The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

විශේෂඥ වෛද්‍ය හිඟය - සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සැබෑ අර්බුදය

T

The Leader Desk

September 24, 2023 • 7:55 AM

විශේෂඥ වෛද්‍ය හිඟය - සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සැබෑ අර්බුදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික රෝහල් දෙකට, ශික්ෂණ රෝහල් 20 ට තවමත් එහි පීඩණය දැනී නොමැති නමුත්, පලාත් මුලික හා දිස්ත්‍රික් රෝහල්වල දැවැන්තම අර්බුදය මෙයයි. මෙරට අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2,851 කි.
  • සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අද 2,574 ක් සේවයේ නිරතය.
  • නමුත් සැබෑ ලෙසම රෝහල්වල රෝගීන් බලන්නේ 2,039 කි.
  • විශ්‍රාම වයස දැනට ගැසට් කර ඇති පරිදි 2024 දෙසැම්බර් 31 අවු.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික රෝහල් දෙකට, ශික්ෂණ රෝහල් 20 ට තවමත් එහි පීඩණය දැනී නොමැති නමුත්, පලාත් මුලික හා දිස්ත්‍රික් රෝහල්වල දැවැන්තම අර්බුදය මෙයයි. 

මෙරට අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2,851 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අද 2,574 ක් සේවයේ නිරතය. නමුත් සැබෑ ලෙසම රෝහල්වල රෝගීන් බලන්නේ 2,039 කි.   

විශ්‍රාම වයස දැනට ගැසට් කර ඇති පරිදි 2024 දෙසැම්බර් 31 අවු. 63 වන්නේ නම්, දැනට සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් 70 - 75 ක් පමණක් විශ්‍රාම ගනී. විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 2024 දෙසැම්බර් 31 දිනට අවු. 60 බවට පත් වන්නේ නම්, එදිනට දැනට සේවයේ නිරත පිරිසෙන් 310 ක් (15%) එදින විශ්‍රාම ගනී. සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතැනය!    

විශේඥ වෛද්‍යවරුන් විශ්‍රාම ලබන විට, එයට සමාන වෛද්‍යවරුන් සංඛ්‍යාවක් අලුතෙන් සෞඛ්‍ය සේවයට පැමිණියේය. අද වන විට මෙම චක්‍රය බිඳී ඇත.  විදේශගතවීම, සේවයෙන් ඉවත්වී වෛද්‍ය විද්‍යාල හා පුද්ගලික අංශයේ රෝහල් හා එකතුවීම එයට හේතුවයි. 

විශේෂඥ වෛද්‍ය ඛාණ්ඩ අනුව ප්‍රශ්නය ගැටළුව විමසා බැලිය යුතුය. 

වකුගඩු සැත්කම් අත්හිටුවීමේ අවදානමක් !
නිර්වින්ද වෛද්‍යවරුන්ගේ හිඟය බියකරු සිහිනයකි. අනුමත සේවක සංඛ්‍යාව 180 ක් වන විට දැනට සේවයේ නිරතවන්නේ 120 ක් පමණී. 2023 සැප්. 22 දිනට හිඟය 60 කි. පසුගිය වසර දෙක තුල විදේශ පුහුණුව නිම කළ  20 න්, 9 ක් අද වන විට රට හැර විදේශයන් හි රැකියා ලබා හෝ වෙනත් හේතුවකට රෝහල් වෙත පැමිණ නැත. දෙදෙනෙකු (2) මෙරට විශ්වවිද්‍යාලයන්ට එක්වී ඇත. ඒ අනුව, 60 ක හිඟයෙන් පුරවා ගත හැකි වන්නේ 9 ක් පමණී. මේ වසර අවසන් වන්නේ, නිර්වින්දන වෛද්‍යවරුන් 51 ක හිඟයක් සහිතවය.

මේ හිඟය පියවීමට අමාත්‍යාංශය වෛද්‍යවරුන් 25 ක ලැයිස්තුවක් සකස් කොට ඇත. එම ලැයිස්තුවේ නම සඳහන් 6 ක් දැනටම විදේශගතවී ඇත. තවත් දෙදෙනෙකු (2) ලැයිස්තුවේ නම ඇතත් ලංකාවට පැමිණ නැත. තවත් දෙදෙනෙකු (2) ලැයිස්තුවේ නම ඇතත් ඔවුන්ගේ පුහුණුව සම්පූර්ණ කර නැත. ඒ අනුව, පියවීමේ ලැයිස්තුව (රීප්ලේස්මන්ට් ලිස්ට්) එකේ න් ප්‍රයෝගිකව පිරවිය හැක්කේ 11 ක් හෝ එයට මදක් වැඩි සංඛ්‍යාවකි.  දළ වශයෙන් 40 ක පිරවිය නොහැකි හිඟයක් එවිට ඉතිරි වන්නේ ය. එහි අර්ථය, බී ශ්‍රේණියේ කිසිදු මුලික රෝහලකට වෛද්‍යවරුන් නොලැබීම ය. (එනම් වෙනත් වෛද්‍යවරයෙකු වැඩ ආවරණය කිරීම හෙවත් ඔවුන්ගේ වැඩ වැඩිවීමය)

රජයේ රෝහල්වල බෙහෙත් නෑ ! - රෝගීන් අන්ත අසරණයි !! : 'රාවය'
විශේෂඥ වෛද්‍ය හිඟය නිසා වැඩිම පීඩාවට පත්වන්නේ රට අභ්‍යන්තරයේ හා උතුරු නැගෙනහිර රෝහල් ය. උදාහරණ ලෙස අම්පාර රෝහලට විශේඥ වෛද්‍ය ඛාණ්ඩ 20 ක් අවශ්‍ය ය. මෙයින් ඛාණ්ඩ 15 ක් ම දැනටමත් පුරප්පාඩු ය. 2024 සඳහා අයඳුම්කර ඇත්තේ ඛාණ්ඩ 5 කට පමණී. අම්පාරේ පහසුකම් නැති නම් මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට හෝ මොණරාගලට පැමිණීමට රෝගීන්ට සිදු වේ.  ත්‍රිකුණාමය මහ රෝහලේ සිටින්නේ සීමිත විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවක් පමණී. ඔවුන්ට කන්තලේ, කින්නියා හා මුතුර් මුලික රෝහල්වල රෝගීන් ආවරණය කිරීමට සිදුවේ. කල්මුණේ, නින්දවූර්, පොතුවිල්, සමන්තුරේ රෝගීන් කල්මුනේ වෙත යොමු වන අතර එම රෝහලට දැරිය නොහැකි පීඩණයක් පවතී. ඌව හා මධ්‍යම පළාත් තත්වය ශෝචනීය වේ.  මේ පීඩාව දරා සේවයේ නිරත පිරිසට රටම කෘතඥ විය යුතුය.

දෙවනුව, නාරි හා ප්‍රසව විශේෂඥ තනතුරු 168 ක් ස්ථාපිත ය. මේ  වන විට සේවයේ නිරතව සංඛ්‍යාව 130 කි. එයින් 7 දෙනෙකු මෑතක දී ඉවත් වී හෝ විශ්‍රාම ලබා හෝ ඇත. රට හැර ගිය සංඛ්‍යාව 8 කි. සේවයේ නිරත සංඛ්‍යාව 115 කි.  2023 වසර අතිරේක ලේඛනයේ නම් 17 න්, දෙදෙනෙකු (2) දැන් සේවයට වාර්තා කරන්නේ නැත. තවත් තිදෙනෙකු (3) ඉදිරි මාස දෙකක් තුල රජයේ සේවයෙන් ඉවත්වීමට සුදානම්ය. එවිට අලුතෙන් සේවයට අතුලත් වන්නේ 12 කි. නාරි හා ප්‍රසව විශේෂඥයින් 18 ක් හිඟ ය.  විශ්‍රාම වයස 60 වන්නේ නම්, 2024 අවසානයේ 21 ක් විශ්‍රාම යන්නේය. (විශ්‍රාම වයස 63 ක් වන්නේ නම් 8 කි. කාසල්, ද සොයිසා රෝහල්වල ජ්‍යෙෂ්ඨ සියල්ලම ද, කළුතර විශේෂඥයින් 3 න් 2 ක් ඒ අතර වෙති.  අවසන් වශයෙන් පුරප්පාඩු 18 කි.

 120623870 gettyimages 1232787321
තෙවනුව, හෘද ශල්‍ය වෛද්‍ය විශේඥයින් (Cardiothoracic surgeons) ජාතික රෝහල, මහනුවර, කරාපිටිය, ළමා රෝහල, හා යාපනයේ ඒකක 5 ක සේවයේ නිරත වේ. ලංකාවේ මිලියන 22 ට රජයේ රෝහල්වල සිටින්නේ හෘද ශල්‍ය වෛද්‍යවරු 16 කි. වසර 60 විශ්‍රාම නීතිය ක්‍රියාත්මක වන්නේ නම්, එයින් 6 ක් (කොළඹ ජාතික රෝහලේ 5 දෙනා ම හා මහනුවර සේවයේ නිරත 4 දෙනාගෙන් එක් අයෙකු) විශ්‍රාම යා යුතුය. දැනටම එක් වෛද්‍යවරයෙකු විදේශගතවී ඇති අතර තවත් අයෙකු ඉතා නුදුරේ විදේශගත වේ. එවිට  ඉතිරි වන්නේ 10 කි. පුහුණු අවසන් කළ කිසිදු විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු 2024 ට ලංකාවට පැමිණීමට නැත. දැනට විදේශ පුහුණුවට නිවාඩු ලබා ඇති එක් අයෙකු මෙරට පැමිණ විදේශගත විය. ඉතිරි තිදෙනා ද පෙරළා නොපැමිණීමට ඇති ඉඩ විශාල ය. හෘද ශල්‍ය ඒකක කිහිපයක් වසා දැමීම ට සිදුවීම මෙහි අනිවාර්ය ප්‍රථිඑලය යි. වසර දෙකක වඩා දික් ගැසුණු ශල්‍යකර්ම ලැයිස්තුවක සිටින රෝගීන්ගෙන් 10% ක් පමණ මිය යති. වැඩ අවසන් කර ඇති අනුරාධපුර ද, යෝජිත කුරුනෑගල සහ මඩකලපුව ඒකක ද, ඇරඹීමට විශේෂඥයින් නැත.

සිව්වෙනුව, අනුමත පටක ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍ය (Histopathologists) තනතුරු 75 කි. අද දිනට සේවයේ නිරත වන්නේ 48 ක් පමණී. දළ වශයෙන් පුරප්පාඩු 23 ක් (හෝ 25) කි. රෝගීන් ගේ රෝග විනිශ්චය කරන මේ වෛද්‍ය ඛාණ්ඩයේ 10 ක් දැනටමත් විදේශගත ය. දෙදෙනෙකු (2) මෑතක විශ්‍රාම ලබා ඇත. 2024 දෙසැම්බර් 31 වයස 60 විශ්‍රාම නීතිය ක්‍රියාත්මක වන්නේ නම්, තවත් 10 ක් රාජ්‍ය සේවයෙන් ඉවත් වේ.   ජාතික රෝහලේ ව්‍යෛවරුන් තිදෙනා (3) 2022 වසරේ විවිධ රෝග සම්බන්ධ පරීක්ෂණ 40,000 ක් සිදු කර ඇත. පිළිකා ඇතුළු රෝග විනිශ්චය සිදු කරන මෙම විශේෂඥයින් හිඟය සෞඛ්‍ය සේවය දැරිය හැක්කක් නොවේ.  උතුරු පලාතේ බර අදින්නේ වැඩබලන නිලධාරියෙකි.  අම්පාරේ බර දරන්නේ වැඩ බලන නිලධාරිනියක හා සහායකයෙකි. දැනටමත් සේවක හිඟයක් සහිත රසායනාගාර කාර්මිකයින් වෙත ද මෙහි පීඩනය දැනටමත් එල්ල වී ඇත.

විශේෂඥ වෛද්‍ය සේවයේ අක්ෂි වෛද්‍ය, ළමා හෘද රෝග, ස්නායු ශල්‍ය, හදිසි වෛද්‍ය (Emergency  medicine), දැඩි සත්කාර ඒකක, ශල්‍ය වෛද්‍ය, උගුර කන නාස, මනෝ වෛද්‍ය වැනි අංශ ගණනාවක පවතින්නේ ද මෙවැනිම තත්වයකි.  

සීමාවාසික වෛද්‍යවරුන් 'මරව මරවා වැඩ' ගන්නා බවට චෝදනා !

ඉහත උදාහරණ හතර මගින් ද, තවත් උදාහරණ 20 කට ආසන්නව ද තහවුරු වන කරණ නම්, සැබෑ වෛද්‍ය හිඟය පවතින්නේ විශේෂඥ වෛද්‍ය සේවයේ මිස, වෘත්තීය සමිති උළුප්පා දක්වන සාමාන්‍ය වෛද්‍ය සේවයේ නොවන බව ය. සෞඛ්‍ය අමාත්‍යාංශය ද රජයට මුහුණ දී ඇති අභියෝගය මෙයයි. දැනට අවු. 60 ට යෝජිත විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීම වයස 63 දක්වා පවත්වා ගැනීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැත. එමගින් විශ්‍රාම ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 300 සිට 60 දක්වා 1/5 කින් අඩු කර ගත හැකිය. රජය මෙම විසඳුමට ප්‍රවිශ්ඨ වන විට වෛද්‍යවරුන් ද, හෙදියන් ද, රසායනාගාර කාර්මිකයින් ඔවුන්ට ද එලෙසම විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිති. සෞඛ්‍ය කේෂ්ත්‍ර යේ කල්ලි, කණ්ඩායම්, කුල අතර පවත්නා ගැටුම දැන් දශක 4 ක් පුරා දිග්ගැසෙමින් ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් ඇසුරේ පුහුණුව සඳහා නවක වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම (පර්යන්ත සේවාව) වහා ආරක්ෂණීය පැකේජයක් හදුන්වාදීමේ අවශ්‍යතාව මතුව ඇත. කොළඹ හා තදාසන්නයේ නොව ග්‍රාමීය හා දුෂ්කර සේවයේ නිරතවන විශේෂඥයින්ට ආර්ථික වාසි හෝ වෙනත් වරප්‍රසාද සැලසීම අවශ්‍ය ය.

විශේෂඥ වෛද්‍ය කාණ්ඩ 61 කින් 43 ක් පමණ මෙලෙසම අර්බුදයට ලක්ව ඇත. වෛද්‍ය පරිපාලන, අධිකරණ වෛද්‍ය, ප්‍රජා සෞඛ්‍ය, ආහාර හා පෝෂණ වැනි කේෂ්ත්‍ර හැර අන් සියළු අංශ ක්‍රමිකව නමුත් ස්ථිර ලෙස මේ අර්බුදයේ ගිලෙමින් ඇත.

 96631374 gettyimages 495314721

විශේෂඥ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් එක වර විශ්‍රාම ලැබීම නිසා සිදුවන දැවැන්තම විනාශය දෙවන පෙළක් (දෙවන මහත්තයා/දෙවැනි නෝනා) පුහුණු කිරීමට කිසිවෙකු ඉතිරි නොවීම යි. එහි ප්‍රතිඑලය ලැබෙනු ඇත්තේ වසර ගණනාවකින් පසුව ය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය ය. 

විශ්‍රාම ගිය විශේෂඥයින් නැවත සේවයට කැඳවා ඇති නමුත් ඔවුන්ට මාස 3 කින් පඩි ගෙවා ගැනීමට නොහැකිව ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ දක්වා එයට අනුමැතිය ලබා දී නොමැති නිසාය. මෙරට රාජ්‍ය සේවයේ සෑම අංශයක්ම සෞඛ්‍ය අර්බුදයේ කොටස්කරුවන්ය.

මෙයට පිළිතුරක් ලෙස 14/2022 චක්‍ර ලේඛනය මගින් රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට ලබාදී ඇති අවස්ථාව වෛද්‍යවරුන්ගෙන් උදුරා ගැනීමට යෝජනා වී ඇත.  එවැන්නක් කිරීම වෘත්තිකයින්ගේ පැත්තෙන් ශිෂ්ඨ වන්නේ නැත. පුරවැසියන් විදේශගතවීම වැලැක්වීමට අප රට කියුබාව හෝ උතුරු කොරියාව වැනි බලහත්කාරයේ රාජ්‍යයක් නොවේ! 

විවිධ හේතු මත (දේශීය හා විදේශීයව) සේවය හැර යන වෛද්‍යවරුන් ගේ ප්‍රමාණය පාලනයට ගත හැකි අවම ක්‍රියාමාර්ග හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ දක්වාම ගෙන ඇති බවක් නොපෙනේ. වෛද්‍යවරුන්ගේ සේවා ගිවිසුම් දීගු කාලයකින් යාවත්කාලීන වී නැත.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කලමනාකරණය අතිශයින්ම ප්‍රාථමික මට්ටමකට වැටී ඇත.  අවම වශයෙන් විධිමත් දත්ත පද්ධතියක් හෝ නැත.  විශේෂඥ වෛද්‍යවරුන් ස්ථාන ගත කිරීමේ දී සිදුවන නොතකා හැරීම් විශේෂඥ වෛද්‍යවරුන් පීඩාවට පත් කොට ඇත. පුහුණුවේ දී ලැබූ දැනුම ක්‍රියාවෙහි යෙදවීමට අවශ්‍ය නවීණ උපකරණ නැත.  අලුත්වැඩියා කිරීම් සහ උපාංග ගෙන්වීමේ ප්‍රමාදයන් ඇදහිය නොහැකිය.

Medical 23924
ඉල්ලුමක් සහිත සමහර කේෂ්ත්‍රයන් හි දී විදේශ රටක මාසයක් හෝ දෙකකින් උපයා ගත හැකි වැටුප ගෙවා සේවයෙන් ඉවත්වීමට (සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් කාර්ය පටිපාටිය තුල) වෛද්‍යවරුන්ට ඇත. දුර්වල ප්‍රතිපත්ති හා කළමනාකරණ උපාය මාර්ග විශේෂඥ වෛද්‍යවරුන්ට රට හැර යාමට හා පුද්ගලික සේවයට එක්වීමට ඉණිමඟ පහසුව සපයයි.   

14/2022 චක්‍ර ලේඛනය අනුව වෛද්‍යවරුන් විදේශ නිවාඩු ලබන විට එය ‘වෛද්‍යවරුන් රටට අහිමිවීම‘ ක් ලෙස ලේබල් කෙරේ. අනෙකුත් රාජ්‍ය සේවකයින් නිවාඩු ලබා ‘රට විරුවන්‘ ලේබලය ලබති. වෛද්‍යවරුන්ගේ බුද්ධි ගලනය ඉතිහාසය පුරා සිදුව ඇත. අද පවතින්නේ කළමනාකරණ ගැටළුවකි. පරිපාලනයේ අසමත් බවකි.

2023 විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලැයිස්තුව මාස 10 ක් පුරා සකස් කර ගැනීමට නොහැකි වී ඇති අතර,  2024 යෝජිත ලැයිස්තුව කවදා එළිදක්වන්නේ ද යන උගතෝකෝඨිකය වහා විසඳා ගත යුතුය.   

සෞඛ්‍ය තාක්ෂණ සේවාව  සහ විශේෂඥ වෛද්‍ය සේවයේ බිඳවැටීම තුල සියළු පිඩනයන් අවසානයේ රෝගීන් හා ඔවුන්ගේ පවුල් වෙත (පුරවැසියන්ට) වෙත එල්ල වී ඇත. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති මෙම සත්‍යය දැන දැනම සමස්ත සෞඛ්‍ය අර්බුදයම සිය වෘත්තීය ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා බලහත්කාරයක් බවට පත් කොට ගැනීම අවසනාවකි.


අපි ඩොලර් වැස්සේ තෙමෙමු - (රජිත් කීර්ති තෙන්නකෝන්)(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) 

rajith_tennakoon@yahoo.com


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විශේෂඥ වෛද්‍ය හිඟය - සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සැබෑ අර්බුදය | The Leader