The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි ! - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

September 29, 2023 • 6:14 AM

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි ! - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය එයයි.
  • ඒ අතරින් ගුවන්විදුලිය මුළුමනින් හසුරුවන ලද්දේ, පාලන බලය හොබවන ආණ්ඩුවයි.
  • ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා තිබූ එකම මාධ්‍යය වුණේ පුවත්පත් ය.
  • එය පවා, ඇතැම් අවස්ථාවල පාලකයන් විසින් මෙහෙයවන තත්වයකට පත්ව තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවේ.

පාලකයෝ බැට් කරති. ජනතාව ෆීල්ඩ් කරති. ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය එයයි.  

image 2ad6798dc4

1953 හර්තාලය සිදුවන අවස්ථාවේ ලංකාවේ ජනමාධ්‍ය අවකාශය තුළ තිබුණේ පුවත්පත් සහ ගුවන්විදුලිය පමණි. ඒ අතරින් ගුවන්විදුලිය මුළුමනින් හසුරුවන ලද්දේ, පාලන බලය හොබවන ආණ්ඩුවයි. ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා තිබූ එකම මාධ්‍යය වුණේ පුවත්පත් ය. එහෙත් පුවත්පත් දෙක තුනකට වඩා තිබුණේ නැත. එය පවා, ඇතැම් අවස්ථාවල පාලකයන් විසින් මෙහෙයවන තත්වයකට පත්ව තිබුණි.

එදා හර්තාලය සමග සසඳන විට නූතන 'අරගලය', හැම අරුතකින්ම, ඊට ගව් ගාණක් ඉදිරියට ගියේය. සර්ව බලධාරී ජනාධිපතිවරයෙකු රජකම පැත්තකින් තියා තමන්ගේ පණකෙන්ද රැකගැනීමට රටින් පලා යන තත්වයක්, 'අරගලය' විසින් ඇති කෙරුණි. මෙය, මුද්‍රිත පුවත්පත් සහ ශ්‍රව්‍ය ගුවන්විදුලිය පරයා, රූපවාහිනිය පෙරටු කරගත් දෘශ්‍ය මාධ්‍ය පෙරට විත් තිබූ අවධියකි. ඒ ක්ෂේත්‍රයේ ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ මුද්‍රිත යන ත්‍රිත්වය එක්තැන් කළ නූතන අවකාශය වුණේ සමාජ මාධ්‍යයයි.



1953 හර්තාලය අවධියේ නොතිබුණු, එසැනින් ප්‍රවෘත්ති සහ තොරතුරු බෙදාහරින සහ එකී ප්‍රවෘත්ති සහ තොරතුරු සඳහා එසැනින් ජනතා ප්‍රතිචාර දක්වන සජීවී අවකාශයක් මේ සමාජ මාධ්‍ය තුළ විවර විය. පසුගිය 'අරගලය' වැනි තත්වයක් මෑතකදී නැවත ඇති වෙතැයි සිතිය නොහැකි වෙතත්, ඒ  'අරගලය' සජීවී කළ සමාජ මාධ්‍ය අවකාශයේ තිඛෙන භයානක අවදානම වර්තමාන පාලකයන් අවබෝධ කරගෙන තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය ඇති වූ දා පටන් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අභිප්‍රායයන්ට වඩා, ප්‍රජාතන්ත්‍රවාදය තුළින් බලය හසුරුවන පාලකයන්ගේ අභිප්‍රායයන් කුළුගන්වන පාලන ක්‍රමයක් බවට, විශේෂයෙන් නොදියුණු ලෝකය තුළ පත්වන්නේ, පාලකයා කෙරෙහි දෛනික මට්ටමේ බලපෑම් කළ හැකි තීරණාත්මක සාධකයක තත්වයට මහජනතාවට උසස් වීමට නොහැකි වීම නිසාවෙනි. මේ 'අසමත්කම' කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් වුණේ, මහජන හඬ ප්‍රකාශයට පත්කළ හැකි තුන්තිස් පැයේ සජීවී වේදිකාවක් නොමැති වීමයි. පාලිත ජනතාවට තිබුණේ, තමන්ගේ එකම 'හඬ' වන ඡන්දය පාවිච්චි කිරීම පමණි.  ඒ අයිතිය ජනතාවට ලැඛෙන්නේ අවුරුදු පහකට වරක් පමණි. ඒ නිසාම, එකී කාලය තුළ පාලකයෝ නිරුපද්‍රිත වෙති.

එසේ වීම, එහැමපිටින්ම වරදක් යැයි මෙයින් නොකියැවෙයි. ජනතාව විසින් පාලන බලය සඳහා පත්කරගන්නා පිරිසට ඒ සඳහා නියමිත කාලය ලබාදීමට, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව බැඳී සිටිති. එසේ නොවුණොත්, වසරින් වසර, සමහරවිට වසරට කිහිප වරක් පවා ආණ්ඩු වෙනස් කරගැනීමට ගියොත්, කිසි රටක් දියුණුවට පත් නොවනු ඇත. එහෙත්, පාලකයා කෙරෙහි ලැඛෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රායෝගික අවසරය, රටේ සුභසිද්ධිය වෙනුවට ඒ සුභසිද්ධිය පරදුවට තැඛෙන ආකාරයෙන් හුදෙක් පාලකයාගේ අවශ්‍යතා පිරිමැහෙන තත්වයකට පත්වීම, අපේ කලාපයේ රටවල් මුහුණදෙන ප්‍රශ්නයකි. එය, දීර්ඝ කාලීනව ප්‍රජාතන්ත්‍රවාදයටමත් හානිකරයි. මන්ද යත්, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය ඒ හේතුවෙන් පලූදු වන බැවිනි. ජනතාව ඒකාධිපතියන් ඉල්ලා සිටින්නේ එවැනි අවස්ථාවලයි.

ජනතාව අවදියෙන් සිටීම ප්‍රශ්නයක් ද?

voice rt

මේ නිසා, පාලකයන් යහමඟට යොමු කරගැනීම සඳහා ජනතාවගේ හඬ පැය විසිහතරේමත්, තුන්සිය හැටපස් දවසේමත්, අවදිව තිබිය යුතුය. එය, තමන්ව පෙරළා දැමීම සඳහා නොව, තමන් පිළිබඳ බිම් මට්ටමේ සැබෑ වගතුග දැනගැනීම සඳහා භාවිතයට ගත හැකි මාර්ගයක් වශයෙන් සැලකීම, දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පාලකයාගේ සිරිතයි. එහෙත්, මෙය එලෙසින්ම භාවිතයේ නොයෙදෙන අවස්ථාවක් තිබේ. ඒ වනාහී, ජනතාව තමාගේ සතුරෙකු වශයෙන් මිස, විවේචනාත්මක මිතුරෙකු වශයෙන් සැලකීමට තරම් පාලකයාට ශක්තියක් හෝ බුද්ධියක් නැති අවස්ථාවයි. එවැනි විටෙක, 'හඬ' පාලනය කළ යුතුය. 'හඬ' නිදහසේ නැඟෙන්නට ඉඩ හරින තරමට, තමන්ගේ පැවැත්ම අස්ථාවර වෙතැයි පාලකයා සිතන බැවිනි.

රනිල් වික්‍රමසිංහ යනු, සමස්ත ජනතා ප්‍රතික්ෂේපයක් සහිතව රටේ නායකත්වයට පත් ව්‍යවස්ථානුකූල ලෝකයේ එකම දේශපාලනඥයා ය. ඔව්, 'එකම' යන්න අවධාරණය කළ යුතුමය. හරියටම මීට අවුරුදු 90 කට පෙර (1933 මැතිවරණයෙන්) හිට්ලර් පවා බලයට පත්වුණේ සියයට 43 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ය. ලංකාව සම්බන්ධයෙන් ගත් විට, සිරිමා බණ්ඩාරනායක හෝ ඩී. බී. විජේතුංග මහජන ඡන්දයකින් තොරව රටේ නායකත්වයට පත් වූ කතාව මීට සපුරා වෙනස් ය. ඇයගේ සහ ඔහුගේ පක්ෂ, ජනතාව විසින් පරාජයට පත්කොට තිබුණේ නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ, 2020 අගෝස්තු මැතිවරණයේදී ජනතාව විසින් අන්ත පරාජයට පත්කොට තිබුණි.

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

දැන්, ප්‍රති-තර්කයක් මෙසේ ගොඩනැඟිය හැකිය: එනම්, රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කිරීමට මූලික වූ පොහොට්ටු පක්ෂයට, 69 ලක්ෂයක ජනතා අනුමැතියක් තිබුණේය යන්නයි. ඔහු ජනාධිපති වශයෙන් පත්වන්නේ ඔවුන්ගේ අනුමැතියෙන් නිසා පොහොට්ටුවට ලැබුණු එම වරම ඔහුටත් වලංගු වන බවයි. එහෙත්, 'අරගලය' හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට රටින් පලායාමට සිදුවීම සහ ඔහුගේ වැඩිමහලූ සහෝදරයා ඇතුළු ඇමති මණ්ඩලය මූනිච්චාවට වුව ඉවත් කිරීමට සිදු වීම යනු, අර 69 ලක්ෂයේ ජයග්‍රහණයේ මරණය බිම් මට්ටමින් සනිටුහන් කිරීමක් බව මේ තර්කය තුළ අමතක කෙරේ. කොටින්ම, ඒ 69 ලක්ෂයට ඈතින්වත් සම්බන්ධයක් නැති සහ ඒ 69 ලක්ෂයට පාරම්පරිකව හතුරුව සිටි රනිල් වික්‍රමසිංහ කෙනෙකු ඉන්පසු අගමැතිකමටත්, ජනාධිපතිකමටත් පත්කරගැනීමට ඔවුන්ට සිදුවීමම, 69 ලක්ෂයේ ජයග්‍රහණයේ නින්දිත අවලංගුවක් ලෙස පිළිගැනීමක් වන බව මේ තර්කය තුළ අමතක කෙරේ.

මේ කරුණු මා කියන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනතාව පෙළගැසිය යුතු බවක් කීමට නොවේ. ව්‍යවස්ථානුකූලව, ඊළඟ වසර තෙක් ජනාධිපති තනතුරේ සිටීමට ඔහුට නෛතික බලය ඇති බව, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කවුරුන් විසිනුත් පිළිගත යුතුව තිබේ. මගේ පරමාර්ථය වෙනත් කාරණයක් අවධාරණය කිරීමයි. එනම්, එවැනි ලොතරැයි බලයක් හොබවන නායකයෙකු වෙනත් නායකයෙකුට වඩා ජනතාවට බිය වන බව කියාපෑමයි. එවැනි නායකයෙකු, වෙනත් නායකයෙකුට වඩා, ජනතාවගේ හඬ මර්දනය කිරීමට පෙළඹිය හැකි බව කියාපෑමයි. 

62227378
එසේ නොමැතිව, අද සිටින රනිල් වික්‍රමසිංහව අප තේරුම්ගන්නේ කෙසේද? අඩු වශයෙන් 2002 සිටවත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහුගේ පෙනී සිටීම, විශේෂයෙන් රාජපක්ෂලාට සාපේක්ෂව, සාධනීයව කැපීපෙනුණි. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් එදා සිට පෙනී සිටි කෙනෙකු, එසේ දැනගත් තොරතුරු ජනතාව විසින් සමාජගත කිරීම සහ බෙදාහදා ගැනීම මර්දනය කිරීමට අද පෙනී සිටීම පසුපස ඇති යථාර්ථය පැහැදිලි කිරීම, ඉහත කරුණු දැක්වීමේ මගේ අභිලාෂයයි. මේ සිටින්නේ, එදා රනිල් වික්‍රමසිංහ නොව, මේ මොහොතේ තමා පය ගසා සිටින පොළොවේ අස්ථාවරත්වය ඇඟට දැනෙන සහ ඒ ගැන බියට පත් රනිල් වික්‍රමසිංහ කෙනෙකි.

ජනතා ජයග්‍රහණයකින් බලයට පත් වූ නායකයෙකු වූවත් අවසාන කාලයේදී මේ බියට සාමාන්‍යයෙන් ගොදුරු වන බව සැබවි. එය සත්‍යයක් නම්, එවැනි කිසි ජයග්‍රහණයකින් තොරව වාසනා බලයෙන් බලයේ සිටින කෙනෙකු මොන තරම් ජනතාව කෙරෙහි බියෙන් සැකෙන් පසු වෙත්දැයි සිතාගැනීම අපහසු නැත. දැන්, මේ සමීකරණයට තව එක් සාධකයක් එක් කරන්න: එනම්, එසේ වර්තමානය ගැන නිරන්තර බියෙන් පසුවන තැනැත්තා, ඊළඟ වසරේ සිට තවත් වසර පහකට රටේ නායකත්වය හෙබවීමේ ආශාවෙනුත් පෙළෙන්නේ නම් තත්වය කෙසේ විය හැකිද යන්නයි.

රනිල් වික්‍රමසිංහගේ මේ මොහොතේ දේශපාලනය පදනම් වන්නේ, ඊළඟට නියමිත එකී බල අරගලය ඉලක්ක කරගනිමිනි. එහිදී, අතීතයේ සොරුන් සහ අපරාධකරුවන් සමග, මේ ප්‍රපාතයට රටත් ජනතාවත් ඇද දැමූ පිරිස් සමග සන්ධානගත වීමකින් තොරව, ඊළඟ කිසි මැතිවරණයක් ගැන ඔහුට සිතාගත හැකි තත්වයක් නැත. එවැනි වටපිටාවක, මීට පෙර දෙවැනි වරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ කිසිවෙකුට නොතිබුණු අභියෝගයක් තමා ඉදිරියේ ඊළඟ වසරේ ප්‍රාදුර්භූත වන බව ඔහු දනී. ඒ නිසා, දැන් තියාම ඊට සූදානම් විය යුතුය.

පරම හතුරා 'සමාජ මාධ්‍ය' වූ කල..

මේ ලිපියේ මුලින් කී සමාජ මාධ්‍ය අවකාශය එහිදී ඔහුගේ දැඩි සැලකිල්ලට යොමු වෙයි. අද (27) පුවත්පත් වාර්තාවක් අනුව, එක් කාන්තාවක් තමාගේ නිරුවත් වීඩියෝ දර්ශන රුපියල් 1000 ක ගෙවීමක් යටතේ මිනිත්තුවක කාලයක් 'ඔන්ලයින්' බලාගැනීමට පහසුකම් සලස්වා ඇත. ලබන 27 වැනිදා දක්වා ඇය රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Ezi9 o6VgAIzMK

සමහරුන්ගේ චරිතය කැලැල් කෙරෙන ප්‍රකාශන හෝ දර්ශන, සමාජ සංහිඳියාව නැති කරන ව්‍යාජ ප්‍රවෘත්ති ආදිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ගැන දැන් කාලයක සිට විවේචන ඉදිරිපත් වෙයි. ඒවාට වැට බැඳිය යුතු බව ඇත්ත. මාධ්‍යයක පමණක් නොව, ඕනෑම දෙයක නියාමනයක් තිබිය යුතු බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත්, දේශපාලන බල අවකාශය තුළ, මෙය නිර්වචනය කෙරෙන්නේ සහ ඊට විසඳුම් වශයෙන් ඉදිරිපත් කෙරෙන නීතිරීති සහ රෙගුලාසි යොමුවන්නේ ජනතාවගේ ප්‍රකාශනයේ මූලික නිදහස සීමා කිරීමට නම්, ජනතාවගේ කටවල් වැසීමට නම්, ඒ ආයාසය කිසි ලෙසකින්වත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ප්‍රගමනයට දායක නොවෙයි. ළඟදී ගෙන ඒමට නියමිත ''මාර්ගගත ආරක්ෂණ පනත'' වැටෙන්නේ ඒ ගණයටයි.

20fd108d02064d0f5038edd5441b5f86 XL

මීට වඩා ප්‍රගතිශීලි යැයි පිළිගත් අයි.සී.සී.පී.ආර්. (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය) ලංකාවට එන අවස්ථාවේ, ගලගොඩඅත්තේ ඥානසාර වැනි පුද්ගලයන්ට වැට බැඳේතැයි විශ්වාස කෙරුණි. එහෙත් ඒ පනත පවා අද දක්වා පාලකයන් විසින් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ, ඥානසාරලා වැනි ජාතික සමගියට ගිනි තබමින් සිටි පුද්ගලයන් මැඩලීමට නොව, ඔවුන්ගේ සිත්සතන් සැනසවීමට ය.

ශක්තික සත්කුමාර කෙටිකතාකරුවා අතීත උදාහරණයකි. අලූත්ම උදාහරණය, රම්සි රසීක් නමැති මුස්ලිම් ජාතිකයෙකි. ගිය සතියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව නිදහස් කෙරුණි. නිදහස් කිරීමට හේතුව, සාක්ෂි නැතිකම ය. මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ ය. මෙතරම් කාලයක් අත්අඩංගුවේ තබාගැනීමට තරම් සාක්ෂි නැති බව දැනගෙන තිඛෙන්නේ ගිය සතියේ ය. ඔහු කර ඇති වරද කුමක්ද? 'ජිහාඩ්' යන වචනය, මුහුණුපොතේ සටහනක යොදා තිබීමයි. ඒ , 2020 දී ය. මුස්ලිම් ප්‍රජාව විසින් සිංහලයන් අතරේ කොරෝනා රෝගය උවමනාවෙන් බෝ කරන බව කියා තිබූ එක්තරා සාවද්‍ය සටහනකට ප්‍රතිචාරයක් වශයෙන්, එවැනි දුර්මත දුරු කිරීම සඳහා මුස්ලිම් ජනතාව 'චින්තනමය අරගලයක්' (අයිඩියොලොජිකල් ජිහාඩ්) කළ යුතුව ඇතැයි ඔහු සිය මුහුණුපොතේ යෝජනා කොට තිබේ. 'වරද' එයයි.

දැනට අපට 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක්' තිබේ. එය ඉතා නරක සහ භයානක යැයි කියන නිසා ඊට වඩා හොඳ පනතක් ගෙන ඒම ආණ්ඩුවේ අභිප්‍රාය බව කියැවුණි. 'හොඳ' පනතක් යනු, ත්‍රස්තවාදයේ නාමයෙන් හෙවත් ත්‍රස්තවාදය මර්දනය කිරීමට මුවා වී විරුද්ධවාදීන් දඩයම් කළ නොහැකි වන ආකාරයේ පනතකි. එහෙත් දැන් ගෙන ඒමට යන 'ප්‍රති-ත්‍රස්ත පනත' නමින් හැඳින්වෙන පනත දැනට තිඛෙන 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට' වඩා නරකයි, භයානකයි. එහි සඳහන් 'ත්‍රස්තවාදය' යන වරදට, මේ ලියමන පවා හසු විය හැකිය. (මේ පනත් දෙක තුළ අඩංගු කරුණු ගැන වෙනත් තැන්වල දීර්ඝ වශයෙන් සාකච්ඡා වන නිසා මෙහිදී ඒ ගැන සාකච්ඡා නොකෙරේ).

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියෙක් ද ? - දින 90ක් රඳවා ගැනීමට ජනපති අනුමැතිය

විසම්මුතික අදහස් ප්‍රකාශයට පත්වීම සහ විසම්මුතික අදහස් දරන්නන් මර්දනය කිරීම, මේ පනත් දෙක පසුපසම ඇති ඒකායන අරමුණයි. ජනතාවගේ කට වැඩියි යන අදහසක් 'අරගලයේ' අත්දැකීම්වල පටන් පාලකයන්ගේ හිස් තුළට ගොස් තිබේ. ඒ නිසා, මර්දනීය නීතිරීති තව තවත් ගෙන එමින් ජනතාව බිය වැද්දිය යුතුය. 'ප්‍රති-ත්‍රස්ත පනත' සහ 'මාර්ගගත ආරක්ෂණ පනත' එහි මූලික අදියරයන් ය.

ආණ්ඩුව හදන්නේ, තමන්ට හිතුමතේ 'බැට්' කිරීම සඳහා, 'ෆීල්ඩ්' කරමින් සිටින ජනතාව පිටියෙන් ඉවත් කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිරීති පැනවිය යුත්තේ, සමාජයේ සහ ජනතාවගේ ආරක්ෂාව සහ සුභසිද්ධිය සඳහා මිස, පාලකයන්ගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා නොවේ.

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

Anida


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...