The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ හෙවත් වික්‍රමසිංහ ලෝකය ජයගැනීම! - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

October 6, 2023 • 5:42 AM

ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ හෙවත් වික්‍රමසිංහ ලෝකය ජයගැනීම! - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සැසඳීමෙන් එහාට ගොස් බැලුවත්, ඔහු උගතෙකැයි කීමට බැරිකමක් නැත.
  • ඒවා මෙසේ ය: (1) ඔහු ඇතැම් විෂයයන්ට අදාළ කරුණු සහ දත්ත දනී.
  • මීට බොහෝ කාලයකට පෙර ජැක්සන් ඇන්තනි අපේ ඉතිහාස රජවරුන්ගේ නම්ගම් සහ නෑකම් (අහවලාගේ පුතා අහවලා, අහවලාගේ බාප්පා අහවලා ආදී වශයෙන්) පිළිවෙලින් සහ කටපාඩමින් ගිරවෙකු මෙන් කියාගෙන යන වීඩියෝවක් අප දැක ඇත.
  • එය දුටු බොහෝ අය, ජැක්සන් ඇන්තනි මහා ඉතිහාසඥයෙකු සේ සලකන්ට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සැසඳීමෙන් එහාට ගොස් බැලුවත්, ඔහු උගතෙකැයි කීමට බැරිකමක් නැත. ඒ ප්‍රධාන කාරණා දෙකක් නිසා ය. මේ කාරණා දෙකම, අපේ මිනිසුන්ගේ දිළිඳු විඥානයේ තරමට සකස් කරගත් බොල් නිර්ණායක දෙකකි. ඒවා මෙසේ ය: 

(1) ඔහු ඇතැම් විෂයයන්ට අදාළ කරුණු සහ දත්ත දනී. විශේෂයෙන්, ලෝක යුද්ධවලට අදාළ කරුණු සහ ප්‍රධාන පෙළේ ලෝක නායකයන් පිළිබඳ තොරතුරු දනී. තවත් එවැනි වෙනත් විෂයයන් පිළිබඳ දත්ත ඔහු කටපාඩමින් දනී. මීට බොහෝ කාලයකට පෙර ජැක්සන් ඇන්තනි අපේ ඉතිහාස රජවරුන්ගේ නම්ගම් සහ නෑකම් (අහවලාගේ පුතා අහවලා, අහවලාගේ බාප්පා අහවලා ආදී වශයෙන්) පිළිවෙලින් සහ කටපාඩමින් ගිරවෙකු මෙන් කියාගෙන යන වීඩියෝවක් අප දැක ඇත. එය දුටු බොහෝ අය, ජැක්සන් ඇන්තනි මහා ඉතිහාසඥයෙකු සේ සලකන්ට ඇත. ඉතිහාසය යනු දත්ත සහ සිද්ධි පිළිබඳ මතකය වශයෙන් සැලකීමට අප තුළ ඇති පුරුද්ද ඊට හේතුවයි. අවසානයේ ඒ ජැක්සන් ඇන්තනි නැවතුණේ, මහින්ද රාජපක්ෂ සුද්දෝදන රජ පවුලට නෑකම් ඇතැයි කියමිනි.



උගතා සහ බුද්ධිමතා අතර වෙනසක් බොහෝවිට අවධාරණය කෙරෙන්නේ එබැවිනි. ප්‍රශස්ත අර්ථයෙන් ගත්තොත්, උගතා යනු කරුණු දන්නා කෙනා ය. අවම අර්ථයෙන් ගත්තොත්, උගතා යනු අධ්‍යාපන සහතික ඇති තැනැත්තා ය. අනිත් අතට, බුද්ධිමතා යනු, තමන් උගත් කරුණු අනුසාරයෙන් අලුත් ඥානයක් සහ දැක්මක් ඇති කරගැනීමට තරම් මොළයක් ඇති තැනැත්තා ය.

(2) ලංකාව වැනි රටවල පවතින යටත්විජිත මානසිකත්වය නිසා ‘උගතා’ යන්න තවත් ආකාරයකින්ද නිර්වචනය වෙයි. එනම්, ඉංග්‍රීසි දත් තැනැත්තා ලෙසිනි. ඉංග්‍රීසි කතා කරන කෙනෙකු උගතෙකු වශයෙනුත්, ඉංග්‍රීසි නොදන්නා කෙනෙකු නූගතෙකු වශයෙනුත් සලකන පුරුද්දක් අපේ රටේ තිබේ. මෙය, සහමුලින්ම යටත්විජිත මානසිකත්වය විසින් ඇති කරන ලද හැඟීමකි. භාෂාවක් වශයෙන් ඉංග්‍රීසියම පමණක් අප විසින් කරට ගෙන තිබීමෙන් එය ඔප්පු වෙයි. ඇයි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජපන් හෝ හින්දි හෝ චීන භාෂා උගත් කෙනා ‘උගතෙකු’ වශයෙන් නොසැලකෙන්නේ? අපේ අධිරාජ්‍යවාදී ස්වාමියා, ඉංග්‍රීසිකාරයා මිස අර කී කිසි ජාතිකයෙකු නොවන නිසා ය. කොච්චර බැන්නත් අපට අවශ්‍ය කරන්නේ ‘සුද්දෙකු’ වීමට ය.

දැන්, සියලු රාජපක්ෂලාට වෙනස්ව, රනිල් වික්‍රමසිංහ උගතෙකු වශයෙන් සැලකෙන්නේ මේ කියන කාරණා දෙක නිසා ය. ඔහු පොතපත කියවතියි කියති. එසේම, ඇතැම් විෂයයන් සම්බන්ධයෙන් (නැවතත්, රාජපක්ෂලාට සාපේක්ෂව) ඔහු තොරතුරුවලින්ද සන්නද්ධ බවත් ඇත්තකි. එහෙත්, ලෝකය සහ දේවල්ද, සංසිද්ධි සහ සංකල්පනාද, වඩාත් තාර්කිකව සහ අපක්ෂපාතීව ඥානනය කිරීමට තරම් බුද්ධිමය පරිචයක් නැති කෙනා සැබෑ බුද්ධිමතෙකු නොවේ.  




එවැන්නෙකු, තමා දන්නා විෂය කරුණු සහ දත්ත පාවිච්චියට ගන්නේ, සැබෑව නිරාවරණය කරගැනීම සඳහා නොව, බොරුව අස්සේ සැඟවීමට අවශ්‍ය සුහුරු මෙවලම් ලෙස ය. රනිල් වික්‍රමසිංහ, පසුගිය දා ජර්මනියේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිය භාවිතයෙන් පෙන්නුම් කෙළේ තමාද එවැන්නෙකු බව ය. හැබැයි, ‘ඌටත්, උගේ සනුහරේටත් ඇටි හැලෙන්න දුන්නා’ යැයි රනිල් වික්‍රමසිංහත්, ලංකාවේ දේශප්‍රේමීනුත් දැන් ආඩම්බරෙන් සිතනවාට අඩමානයක් නැත. 

රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටොකෝලය තුළ, රාජ්‍ය නායකයෙකුට හිමි වන අධිකාරීත්වය පාවිච්චියට ගනිමින් ප්‍රශ්නකරුවෙකු නිශ්ශබ්ද කිරීම හෝ යටපත් කිරීම ඕනෑම රාජ්‍ය නායකයෙකුට ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි. ඉඩි අමින් ඒ දිනවල එසේ හැසිරුණි. අනිත් පැත්තෙන්, රාජ්‍ය නායකයෙකුගෙන් ප්‍රශ්න අසන මාධ්‍යවේදියෙකු අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයාගේ බහට, ඉතා මෙහා සීමාවකදී නතු වෙයි. හෙවත් ඔහු නිශ්ශබ්ද වෙයි. ඒ ද්විත්ව වාසිය රනිල් වික්‍රමසිංහ උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා මිස, මේ කියන සම්මුඛ සාකච්ඡාවේදී, තමන්ගේ බුද්ධිමය ප්‍රභාවක් හෝ ශිෂ්ටසම්පන්න සංයමයක් හෝ ප්‍රදර්ශනය කිරීමට ඔහු මුළුමණින්ම අසමත් විය. 

අපේ නායකයෙකු මෙතරම් කුලප්පු වුනේ සහ ඇවිස්සුනේ මන්දැයි මට සිතාගත නොහැකි විය. එය ඉතා අතාර්කික කැසිල්ලකි. එසේම ලෝකයා හිනාගස්සන තර්ක ක්‍රමයකි. උදාහරණයක් වශයෙන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ගැන ප්‍රශ්නකරු විමසන විට රනිල් වික්‍රමසිංහ ප්‍රශ්නකරුගේ ඇඟට කඩාගෙන පැනීම ගත හැකිය. මාධ්‍යවේදියා අසන්නේ එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේද නැද්ද යන්නයි. ඊට රනිල් වික්‍රමසිංහ දෙන පිළිතුර කුමක්ද? ‘තමුසෙලාගෙ රටවල එහෙම පරීක්ෂණ පවත්වනවාද?’ යන ප්‍රති-ප්‍රශ්නයකි. 

රාජපක්ෂගේ නිලධාරීන් 'පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි' - එංගලන්තයේ 'ද  ටයිම්ස්'

ජනාධිපතිතුමනි, අර මාධ්‍යවේදියා සහ ඔබ සමාන තත්වයක සිටියේ නම්, ඔහු ඔබට මෙසේ කියනු ඇත: ‘ඔබතුමාගේ රටේ මේ ගැන පරීක්ෂණ කීයක් දැන් කරලා තියෙනවද? කොමිෂන් සභා කීයක් පත්කරලා තියෙනවද? පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් පත්කර තියෙනවා නේද? (මේ තෝම්බුව 2008 සිටම අර මාධ්‍යවේදියා එළියට අදිද්දී, රනිල් වික්‍රමසිංහ ඔහුව කටින් ගසා නතර කෙළේය). මීට පෙර, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පටන් මේ දක්වා සිදු කෙරී ඇති කිසි දේශපාලනික අපරාධයක බලවන්තයෙකු මේ දක්වා දඬුවමට ලක් වී නැති බව ඔබ නොදන්නේ ද?”.

ජනාධිපතිතුමනි, ඊළඟට ඔහු ඔබට මේ කරුණත් පෙන්වා දෙනු ඇත: “ඔබතුමා කියන ජර්මනියේ හෝ වෙනත් බටහිර රටක මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් තමන්ගේ නීතිය සහ අධිකරණ ක්‍රියාවලිය සමග සෙල්ලම් දමා ඇති තත්වයකට උදාහරණයක් ඔබට සැපයිය හැකිද? මේ රටවල අගමැතිවරුන් පවා හිරේ යන බව ඔබ දන්නේද? කොටින්ම, දණ්ඩමුක්තියක් මේ රටවල ඇති බවට හෙවත් අපරාධයක් කොට පහසුවෙන් ගැලවී යා හැකි බවට උදාහරණයක් මේ රටවලින් ඔබට දිය හැකිද?”

ජනාධිපතිතුමනි, අවසාන වශයෙන් ඔහු ඔබට මෙසේ කියනු ඇත: ‘මේ රටවල්වලට ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නොකරන්නේත්, ඔබේ රටට ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය කරන්නේත් ඒ නිසා යැයි ලෝකයා කියතොත් ඔබ කියන්නේ කුමක්ද?” 

සිරිකොතේ රනිල් ජර්මනියෙන් ප්‍රාදුර්භූත වීම

ef28b02058d1452fae612fa9d87a2305 18.jpeg
මාධ්‍යවේදියාට තමන්ගේ ප්‍රශ්නය තාර්කිකව පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ ඉඩ නොදුනි. එසේම, රනිල් වික්‍රමසිංහගේ ප්‍රති-ප්‍රශ්නයට උත්තර දෙන්නටත්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටොකෝලය විසින් මාධ්‍යකරුවාට ඉඩ නොදෙයි. රනිල් වික්‍රමසිංහ මෙහිදී හැසිරුණේ සිරිකොතේ තමන්ගේ පක්ෂයේ සාමාජිකයන් ඉදිරියේ ඔහු හැසිරෙන ආකාරයටමයි. තමාගේ වචනයට පිටින් යාමට කිසිවෙකුට ඉඩ නොදීම ඔහුගේ සිරිතයි. කෙනෙකුට එක වරක් ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ඔහු ඉඩ දෙයි. ඉන්පසු ඔහු එම ප්‍රශ්නයට දෙන උත්තරය මත නැවත ඔහුව ප්‍රශ්න කිරීමට ඔහු කිසි විටෙක අර ප්‍රශ්නකරුට ඉඩ නොදෙයි. මේ මාධ්‍යවේදියා එසේ පැහැදිලි කිරීමට තැත් කරන එක් අවස්ථාවක ‘තමුසෙ කතා කරන්නෙ බහුබූත!’ යැයි රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඇඟට කඩා පැන්නේය. 

ප්‍රශ්නය වන්නේ, මුළු ලෝකයාටම ඔහුගේ අසංයමයත්, අර මාධ්‍යවේදියාගේ සංවරයත් ප්‍රදර්ශනය වීමයි. අශිෂ්ඨත්වය සහ ශිෂ්ටත්වය පුටු දෙකක වාඩි වී සිටි පුද්ගලයන් දෙන්නෙකුගෙන් ප්‍රදර්ශනය වීමයි.

ඇමරිකාවේ එෆ්.බී.අයි. සහ එංගලන්තයේ අපරාධ විමර්ශන අංශ මගින් කළ පරීක්ෂණ වාර්තා ඇති බවත්, පිටස්තර කිසිවෙකු පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් නැතැයි ඒවායේ කියා ඇති බවත් රනිල් වික්‍රමසිංහ එහිදී කීවේය. එෆ්.බී.අයි. වාර්තාවේ පිටස්තර සම්බන්ධයක් නැතැයි කියා ඇත්තේ අයි.එස්.අයි.එස්. වැනි ජාත්‍යන්තර අන්තවාදී මුස්ලිම් සංවිධානවල සහභාගීත්වයක් පාස්කු ප්‍රහාරයට තිබී නැති බවයි. එය, ඔවුන් පමණක් නොව, අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා එක දිගටම පෙන්වා දී ඇති කාරණයකි. 

චැනල් 4 හෙළිදරව්ව තුළ නැඟෙන චෝදනාව වන්නේ, රට ඇතුළේම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අපේම පිරිසකගේ සම්බන්ධයක් පාස්කු ප්‍රහාරයට තිබී ඇති බව ය. ජර්මානු මාධ්‍යකරුවාගේ ප්‍රශ්නය එයයි. ඊට උත්තරයක් වශයෙන්, රටින් පිටස්තර සංවිධානයක සම්බන්ධයක් මීට නැති බව එෆ්.බී.අයි. වාර්තාවෙන් පවා කියා ඇති බව රනිල් වික්‍රමසිංහ කීම, යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවකි.

රනිල් වික්‍රමසිංහ කෙමෙන් රාජපක්ෂකරණය වීම

මේ සාකච්ඡාවේ එක තැනකදී, “හූ ආ යූ?’ (තමුසෙ කවුද?) කියා රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදියාට දමා ගසයි. ඊළඟට, තමාද රූපවාහීනි මාධ්‍ය ඇතුළු මේ ක්ෂේත්‍රයේ සෑහෙන කාලයක් කරක්ගසා ඇති බවට කයිවාරුවකුත් ගසයි. මට මතක් වුණේ, ගෝඨාභය රාජපක්ෂව ය. එක් විදේශ මාධ්‍යවේදියෙකු ලසන්ත වික්‍රමතුංග ගැන ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂත්, ‘හූ ඉස් ලසන්ත?’ (කවුද ලසන්න කියන්නෙ?) කියා ඇසුවේය. ඒ මාධ්‍ය සාකච්ඡාවේදීත් මේ විදිහටම විදේශ මාධ්‍යවේදියාට ගෝඨාභය සැර වුණි. රනිල් වික්‍රමසිංහ යනු ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියෙන් සහ ඔහුගේ කඳවුරේ ඡන්දයෙන් ජනාධිපති තනතුරට පත් පුද්ගලයා වන නිසා දෙන්නා අතරේ එවැනි සාම්‍යත්වයක් තිබීමත් අරුමයක් නොවේ. 



ඇත්තෙන්ම, මේ සමස්ත මාධ්‍ය සාකච්ඡාව තුළ රනිල් වික්‍රමසිංහ පෙනී සිටියේ ලංකාව නමැති රටේ ජනාධිපතිවරයා වශයෙන් නොව, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ පවුල වෙනුවෙන් තමන් පෙනී සිටිය යුතු යැයි සිතන ජනාධිපතිවරයෙකු වශයෙනි. 

අපේ රට ගැන බටහිර ආකල්පය වෙනස් විය යුතු බව ඔහු අවධාරණය කරන විට, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් වාර්තාව තමා ප්‍රතික්ෂේප කරන බව ඔහු කියන විට, ජාත්‍යන්තරය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ අපට හුරුපුරුදු රාජපක්ෂ වාගාලාප නිතැතින්ම අපේ සිතට එයි. කාලයක් තිස්සේ සිදු වූ සියලු අපරාධවලින් සැඟවීම සඳහා රාජපක්ෂලා පාවිච්චි කළ ‘දේශප්‍රේමී’ වාංමාලාව අපේ මතකයට එයි. රනිල් වික්‍රමසිංහ යා යුත්තේ තව එක අඩියකි. එවිට, මේ සියල්ල ‘බටහිර කුමන්ත්‍රණ’ වශයෙන් ඔහු හඳුන්වනු ඇත!  

හිටිගමන්, තමන් ඉන්නේ සිරිකොතේ නොවන බව එක මොහොතකදී ඔහුට මතක් විය. එවිට සන්සුන් වූ ඔහු, තමා දැන් කමිටුවක් පත්කර ඇති බවත්, ඒ කමිටුවෙන් නිසි පරීක්ෂණයක් නොකෙරුණොත් පාර්ලිමේන්තු කමිටුවකින් නැවත ඒ ගැන සොයා බැලිය හැකි බවත්, තැන්පත්ව කීවේය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් මේ සම්මුඛ සාකච්ඡාවෙන් අවබෝධ කරගත යුතු වැදගත් පාඩමක් තිබේ. එනම්, දැනට මියගොස් සිටින ත්‍රස්තවාදීන් හැරුණුකොට වෙන කිසිවෙකු මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයක් නැතැයි යන අවසාන තීන්දුවට රනිල් වික්‍රමසිංහ දැනටමත් පැමිණ ඇති බවයි. එය රාජපක්ෂලාගේ අවසාන තීන්දුවයි.

රනිල් වික්‍රමසිංහගේ සමස්ත හැසිරීම මොන තරම් අතාර්කිකද යන්න සොයා බැලිය හැකි හොඳම ක්‍රමය, මේ සාකච්ඡාව ආරම්භයේදී නැඟෙන ප්‍රශ්නයට ඔහු උත්තර දෙන ආකාරයත්, සාකච්ඡාව අවසාන වන විට ඔහුගේ හැසිරීම වැටී තිබූ තත්වය සැලකිල්ලට ගැනීමත් ය. සාකච්ඡාව පටන්ගන්නා මොහොතේම මාධ්‍යකරු අසන්නේ, මේ ජර්මානු සංචාරය අවසන් වී ආපසු ලංකාවට යන විට ගෙන යාමට යහපත් පණිවිඩයක් ඇත්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින්, අප අතරේ (එනම්, බටහිර සහ අපේ රට අතරේ) පරතරය අවසන්ව ඇති බවත්, අප අතරේ වඩාත් හොඳ අවබෝධයක්, විශේෂයෙන් යුරෝපය පැත්තෙන් අප පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව තිබීම සතුටට කාරණයක් බවත් රනිල් වික්‍රමසිංහ කියයි. එහෙත්, ඉන්පසු සාකච්ඡාව පුරාම ඔහු හැසිරුනු ආකාරයෙන් කියාපෑවේ, ඔවුන් (බටහිර) ගැන එවැනි යහපත් අවබෝධයක් සහ පැහැදීමක් තමා තුළ නම් කොහෙත්ම නැති බවයි. සමහරුන් ඔහුව ‘රනිල් රාජපක්ෂ’ නමින් හැඳින්වීමේ යම් තර්කයක් ඇතැයි මට නිකමට සිතුණි. 


තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

Anida

සබැඳි ලිපි :

කතෝලික සභාවේ මත දෙකක් ගැන ජනපතිගේ ජර්මන් කතා අල්ලේ පැල වෙයි

රනිල්, ලිබරල් ද? ජාතිකවාදී ද? -  හැමෝම ඔලුව පොලොවේ ගසා ගන්නේ ඇයි !

ජර්මන් මාධ්‍යවේදියා චැනල් 4 හා රනිල් - (මහාචාර්ය නලින් ද සිල්වා)

ජනපති සහ ජර්මනියේ Deutsche Welle සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙන්න

දැන් කවුද ලිබරල්? - (එරන්ද ගිනිගේ)

ඇත්තටම 'හෙලාදැක්ක' උනත් තව ඉවසන්න තිබ්බ....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

රනිල් හරියට වෙනස් වෙලා.. - (චින්තන ධර්මදාස ගේ වීඩියෝවක්)

රනිල් ජර්මනියේ දී බටහිරට අභියෝග කරයි! - (සුවිශේෂ වීඩියෝවක්)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ හෙවත් වික්‍රමසිංහ ලෝකය ජයගැනීම! - (ගාමිණී වියන්ගොඩ) | The Leader