The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ජෝසෙ මරියලා පේදුරු ජුදාස්ලා එක්ක ජේසු අයියලා එකට නෑව වැලිගම්පිටියේ බාර ළිඳ - (ශිවන්ති ප්‍රනාන්දු )

T

The Leader Desk

October 6, 2023 • 7:49 AM

ජෝසෙ මරියලා පේදුරු ජුදාස්ලා එක්ක ජේසු අයියලා එකට නෑව වැලිගම්පිටියේ බාර ළිඳ - (ශිවන්ති ප්‍රනාන්දු )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා සංස්කෘතිය යනුවෙන් ජීවන රටාවක් නම් කර තැබුවද එහි පැවැත්ම තහවුරු කරන නිසැක තීරකයා වන්නේ මහා සමාජය ඇසුරේම උපන් උප සංස්කෘතීන් වේ.
  • උප සංස්කෘතීන්හි ඇති අව්‍යාජ බවය.
  • ලංකාවේ වසර 500කටත් එහා වන පෘතුගීසි සංස්කෘතිය අඩුවැඩිව කරපින්නා ගත් මිනිසුන් ගැන කතාබහද මග හැර යා නොහැක්කේ සමාජය පිනවන මෙකී අව්‍යාජත්වය නිසාමය. සිතිජ මාලිමා අර්ජුමාන් මේ ඇසුරෙන් මෑතකදී ලංකාව මදකට හෙල්ලූ ආකර්ෂණීය නිර්මාණකරුවෙකි.
  • ඒ වැලිගම්පිටියයි. වැලිගම්පිටිය, ජා- ඇල ගීතයට පදනම වී ඇත්තේ කොළඹින් නුදුරු වැලිගම්පිටිය - ජා-ඇල ප්‍රදේශයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මහා සංස්කෘතිය යනුවෙන් ජීවන රටාවක් නම් කර තැබුවද එහි පැවැත්ම තහවුරු කරන නිසැක තීරකයා වන්නේ මහා සමාජය ඇසුරේම උපන් උප සංස්කෘතීන් වේ. මහා සමාජයකට ජීවය සපයන්නේ උප සංස්කෘතීන්හි අනන්‍යතාවන්ය. ඒවායේ අලංකාරත්වයන්ය. ඒවායේ විවිධත්වයන්ය. උප සංස්කෘතීන්හි ඇති අව්‍යාජ බවය. ලංකාවේ වසර 500කටත් එහා වන පෘතුගීසි සංස්කෘතිය අඩුවැඩිව කරපින්නා ගත් මිනිසුන් ගැන කතාබහද මග හැර යා නොහැක්කේ සමාජය පිනවන මෙකී අව්‍යාජත්වය නිසාමය. 

සිතිජ මාලිමා අර්ජුමාන් මේ ඇසුරෙන් මෑතකදී ලංකාව මදකට හෙල්ලූ ආකර්ෂණීය නිර්මාණකරුවෙකි. මේ ඔහු කී වැලිගම්පිටිය - ජා-ඇල ගැන කතාවය. 

arjumaanසිතිජ මාලිමා අර්ජුමාන්

අර්ජුමාන්ගේ ගීතය 

"චූටි කාලේ අපි වැස්සෙ නානකොට 
බුදු අම්මෝ කියපු නැන්දා මාමලට 
බාප්පා පුංචිලට මම්මා පප්පලට 
ආයුබෝවන් වැන්දා සන්තෝ 

අපි වැස්සේ නෑව තමයි 
ලෙඩ වුණා තමයි 
මැරෙන්න ඉඳලයි 
මොකෝ එහෙ ඉන්නයි ආස 
ආච්චි සීයා ළඟ 
අඩි හයක් යට සැපේ" 

ළමා හා තරුණ වියේදී නොවැළැක්විය හැකි අහිංසක, ස්වභාවික ආශාවන් සමග බැඳුණු මතක, මුත්තණු මිත්තණියන් ගැන ඇති ප්‍රේමය අසන්නාගේ හිත්වල දල්වමින් අර්ජුමාන් ගීතය අරඹන්නේම එකෙකා ඇසුරේ නැති සමාජයකින් වැඩක් නොතිබේය යන්න තිර ලෙස කියමිනි.  ගීතයේ ජනප්‍රියම තැන එතැන යැයි කියමින් බොහෝ දෙනා සංවේදී වී තිබුණේ මේ පද පෙළටයි. මේ සියල්ල ලියැවෙන්නේ අර්ජුමාන්ගේ ගම ගැනය. එහි සිටින මිනිසුන් ගැනය. ඔවුන් කතා කරන දේවලිනි. ඒ වැලිගම්පිටියයි. 



වැලිගම්පිටිය, ජා- ඇල 

ගීතයට පදනම වී ඇත්තේ කොළඹින් නුදුරු වැලිගම්පිටිය - ජා-ඇල ප්‍රදේශයයි. ජා-ඇල යනු ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික පළාතකි. 'ජා-ඇල' යන නම මෙම ප්‍රදේශයට ලැබෙන්නේ ලන්දේසි පාලන සමයේදී 'ජා' මිනිසුන් ගෙන්වා කනින ලද, වර්තමානයේ නගරය මැදින් ගලා යෑමට ඉදි කර ඇති ඇල හේතුවෙනි. මීගමුව - කොළඹ මහාමාර්ගය පසු කර යද්දී ජා-ඇල හමු වෙයි. වැලිගම්පිටිය හමුවන්නේ ඉන් පසුවය. පෘතුගීසි ආධිපත්‍යය සමග ආරම්භ කෙරුණු කතෝලික ධර්මදූත ව්‍යාපාරයේ මුල සිටම සාමාජිකයින් වන මිනිසුන් බහුතරයක් වෙසෙන ගම්මානයකි - වැලිගම්පිටිය. නැගෙනහිරින් බටගම, දකුණින් කපුවත්ත, රිලවුල්ල සහ කඳානින්ද උතුරෙන් ජා-ඇල සහ හෙට්ටිගමින්ද බටහිරින් කලඑළිය, වෑවල සහ ඉඳිවිටිය යන ගම්වලින් වැලිගම්පිටිය වට වී ඇත. 

වැලිගම්පිටියේ අනන්‍යතාව යනු සතුටය. සියලු සතුටු, දොම්නස් අවස්ථාවල "දෙවියන් වහන්සේගේ කැමැත්ත" යැයි කියමින් සැහැල්ලුව පොදු ලක්ෂණය කොටගෙන සිනහමුසුව සිටින මිනිසුන් වැලිගම්පිටියේ වාසය කරයි. අර්ජුමාන් තම ගීතයෙන් කළ අනාවරණය වැලිගම්පිටියේ ඉතිහාසය සොයා යද්දී එතරම්ම තහවුරු වෙයි. 

සුප්‍රකට තලවිල සාන්ත ආනා පුදබිමෙහි ආධ්‍යාත්මික සරණ පතා රොක් වූ ජනයා මංමාවත් ඔස්සේ පමණක් නොව ඇල මාර්ග, කරත්ත, පාරුවලින් මෙන්ම පාගමනින්ද එහි ගියහ. මේ යන ගමනේ ජනතාවට ගිමන් නිවීමට සහන සැපයූ ස්ථානයකි වැලිගම්පිටිය.  

"වැලිගම්පිටියේ නැගෙනහිරින් පිහිටි ජා-ඇල වත්තේ සිට කුඩා දිය පාරක් මහා මාර්ගය හරහා ගලා ගොස් ඉඩම් කීපයක් පසුකොට බටහිරින් මුතුරාජවෙලට එක් වේ. තවත් දිය දහරක් බස් රථ මාර්ගයේ සිට ජනාධිපති නීතිඥ පර්සි වැලන්ටයින් මහතාගේ නිවස පිහිටි ඉඩමේ උතුරු සීමාවෙන් පටන්ගෙන ඉඩම් කීපයක් පසු කර ගලා ගොස් මුතුරාජවෙලට එකතු වේ. මෙම දිය පාර දෙකම වට කර ගලා බස්නාහ. පෙර කල මෙම රිදී වන් දිය දහර ගලා බස්නා දෙපසම වගුරු බිම් සහිත විය. තැනින් තැන වී වපුරන බිම් තීරු දක්නා ලදී. උස් බිමේ සිට පහළට බස්නා දිය දහර බොර නොවූ නෙත් සිත් ඇදගන්නක් වූයේය. මෙම දිය දහර අවට බෝවිටියා, බිම් තඹුරු, හබරල, ආදියෙන් සැරසී ඇත. වැසි සමයේ පෙතියෝ, දණ්ඩි තිත්තයෝ ආදී කුඩා මත්ස්‍යයෝ මෙම දියපහරවල විසිතුරු ජවනිකා මැවූහ. කොළකනයි, මඩකනයි, තල් පැද්දෝ, වැල් ගෙම්බෝ, කාවයියෝ, හුංගෝ, මගුරෝ, ලූලුන් බිලී බාමින් සිටින කුඩා ළමුන් මෙන්ම වැඩිඩිහිටියන්ද මේ දිය පාරවල් අසල තැන තැන දවල් කල මෙන්ම රාත්‍රී කලද දක්නා ලදී...." මෙසේ ලියන්නේ වැලිගම්පිටිය ගැන මහත් ආදරයකින් හෙබි පැරැන්නකු වන කැකුලාවලගේ සිරිල් ප්‍රනාන්දු මහතාය. මේ දක්වා මුද්‍රණයක් ගැන අදහසක් පහළ නොවූ කෘතියක් හැටියට කාබන් පෑනෙන් ලියූ කොපි පොතක් '1932 සිට 1952 දක්වා - වැලිගම්පිටිය ග්‍රාමය' යනුවෙන් නම් කර සියතින් ලියා තිබෙන්නේ ඔහුය. මෙම කෘතිය තිබෙන්නේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී යටතේය. කිසිවෙකුට දින ගණන් බැහැරට ගෙන යාම කළ නොහැක. වැලිගම්පිටියත් වැලිගම්පිටිය පල්ලියත් යනු ගසත් පොත්තත් බඳු ජීවන ශෛලියකි. සිරිල් ප්‍රනාන්දු මහතාගේ වාක්‍ය කියවාගෙන යද්දී මේ බව වඩාත් තහවුරු වෙයි. 

"...භූමි ප්‍රදේශයෙන් හතරෙන් තුනක් පාහේ පොල් වගාවෙන් යුක්ත විය. සෑම ඉඩමකම වාගේ කොස් ගසක්, දෙල් ගසක්, කෙසෙල් පදුරක් දක්නට ලැබිණි. වගාවක් වශයෙන් නොතිබුණද අඹ, රඹුටන්, පේර, කජු, ලාවුලු, ෆැෂන් ෆෘට් ආදිය සෑම ගෙදරකම පාහේ වවා තිබිණි...." යනුවෙන් ඔහු සඳහන් කරයි. වර්තමානයේ පවතින සමාජ ක්‍රමය අනුව යම් යම් වෙනස්කම් සිදු වී ඇතද ඔහු සඳහන් කරන 30 – 50  දශකවල ස්වභාවයම තවමත් වැලිගම්පිටියේ තිබේ.  

ග්‍රාමවාසීන්ගේ නිවෙස් චාම්ය. අලංකාර මෝස්තර යෙදූ කැටයම් යෙදීම මනාව කර තිබේ. ගම්මානයේ භාවිත නම් බහුලව මරියා, ආනා, ඇන්තනි, සෙබස්තියන් ලුසියා, රෙමිජියස්, ඇල්බට්, විනිප්‍රීඩා, ග්‍රිගෝරිස්, ඇල්බිනා, ජෝශප්, එඩ්වඩ්, ෆ්‍රැන්සිස්, මාග්‍රට්, ඩේසි, සයිමන්, සිල්වෙස්ටර්, විලියම් යනාදී වශයෙන් යටත් විජිත ආභාස ඇති ඒවා වන අතර වෙනත් රටවලින් හා පිටගම්වලින් ආ පැරැන්නන්  කේරළයෙන්, ජපානයෙන් යනාදී තැන්වලින් විත් පදිංචි වී තිබේ. මේ වන විට මේ සැවොම එකම භාෂාවක් කතා කරමින් ගමේ අනන්‍යතාව තුළ ජීවත් වෙමින් සිටී. රැකියාව, තරාතිරම අනුව කිසිවෙකු හෙළා දැකීම සිදු නොකළ යුතු වීමද ඔවුන්ගේ ඉගැන්වීමකි. 

වැලිගම්පිටියේ පෞරාණික බව කෝකිල සන්දේශයේද සඳහන් බව එම පොතෙහි ලියා තිබේ. 

"ඉඟසුඟ සිහින් මොලොකත් මල්දම් සැටිය 
 රඟ අග වන සුරඟන තන හෙම්        තැටිය 
 ගඟ ළඟ සුසැදි මල් බර සල් රම        යටිය 
 මහා මග අසල සිරිසර           වැලිගම්පිටිය" 

යනුවෙන් සඳහන් වන කෝකිල සන්දේශයේ කවිය 2018 වසරේදී 'වැලිගම්පිටියේ අග රැජිනිය' නමින් අමිල ප්‍රියනාත් ග්‍රේරෝ පළ කළ කෘතියේද සඳහන් වේ. 

වැලිගම්පිටිය පල්ලිය 

5191152927 3d1dfcbfe4 z
වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ ආරම්භය වන්නේ 1850දීය. ඒ පොල් අතු සෙවිලි කළ කුඩා ස්ථානයක් වශයෙනි. මරියතුමියගේ මව් වන ශුද්ධවූ ආනා මුනිශවරියට දේවස්ථානය කැප කර ඇත. තලවිල ශාන්ත ආනා පුදබිම සන්තානම් පල්ලිය වෙත ගිය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ ජනතාවට ගිමන් නිවීමට දුන් තැනක් වූ වැලිගම්පිටියේ පුංචි සන්තානම් පල්ලිය විශාල දේවස්ථානයක් හැටියට ඉදි කෙරෙන්නේද පසුකාලීනව ජන සහභාගිත්වය ඉහළ ගිය නිසාමය. වැලිගම්පිටිය කන්දවත්තේ ගල්වලෙන් කපා ගත් කබොක් ගල්වලින් බිත්ති ආදියත් ඉන්දියානු රට උළුවලින් සහ සිංහල උළුවලින් දෙව්මැදුර වහලත් එහිදී සෙවිලි කර ඇත. 

අර්ජුමාන්ගේ ගීතයේ කියන දේවස්ථානයේ ළිඳ දශක කිහිපයකට පෙර වන්දනාකරුවන් අතර  ඉතා ප්‍රසිද්ධ එකකි. වැලිගම්පිටිය පල්ලියේ මංගල්‍යයට සහභාගි වූ වන්දනාකරුවන් සෑම අයෙකුම පාහේ පල්ලියේ ළිඳෙන් නා එහි අනුහස් අපේක්ෂා කළ බව සඳහන්ය. දේවස්ථානය 'බාර ළිඳෙන්' ඕනෑම අයකුට ස්නානය කිරීමට බාධාවක් තිබූයේ නැත. ශාන්ත ආනා මෑණියන් යනු රෝගවලින් සුවය දෙන මවුන් ලෙස නම් කරමින් දේවස්ථානයට ආ පිටස්තර වන්දනාකරුවෝ පවා මංගල්‍යය අවසන්ව දේවස්ථානය භාර ළිඳෙන් නා පිරිසිදු වූහ. ප්‍රනාන්දු මහතාගේ කෘතියේ එය සඳහන් වන්නේ මෙසේය. 

"දෙව්මැදුර පිටුපස දුන් ළිඳේ කුඹුක් ගස නිසා වතුර සීතල විය. කලඑළිය, වෑවල ගම්වලින් නෑම සඳහා මෙහි පැමිණෙති. සිල්ලප්පු (සිල්වෙස්ටර් නමැති මහතෙකු ලබා දුන් එකකි) ළිඳ දෙව්මැදුරේ සිට බෑවුම් ඉඩමේ තනන ලද කුඩා ළිඳකි. මෙහි ජලය තරමක් උණුසුම්ය. මෙම ළිං දෙකම නෑම සඳහා අපි භාවිතා කළෙමු." 

1885දී ප්‍රදේශය භාර ගරු නිකොලොස් කසිනේරු පියතුමන් වැලිගම්පිටිය දේවස්ථානය ගොඩනැගීමට මුල පිරූ චරිතයයි. ආරම්භයේදී කිතුනු පවුල් 700ක් ගම්මානයේ පදිංචිකාර වූ අතර 1867 පටන් විවාහ ලියාපදිංචි කරන දේවස්ථානයක් ලෙස වැලිගම්පිටිය ක්‍රියාත්මක වී තිබේ. දේවස්ථානය ඉදිකිරීම් අවසන් කර ආශිර්වාද කර ආරම්භ කෙරෙන්නේ 1882 ජූලි 22 වැනිදාය. කොළඹ පදවියේ රදගුරුව සිටි ගරු ක්ලෙමන්ට්  පඤ්ඤාණි පියතුමන්ගේ ආශිර්වාදයෙනි.

ශුද්ධ බයිබලයට අනුව මරියා - ජුසේ යනාදී යහපත් යැයි නම් කළ අයටත් පේදුරු වැනි මිත්‍ර චරිතවලටත් ජුදාස් වැනි පාවා දෙන්නන් හෝ වෙනත් විදිහට සමාජයෙන් කොන් කළ අයටත් ළිඳෙන් නෑම තහනම් වී නැත. පල්ලියේ ඉගැන්වීම් අනුව පිරිසිදු වීම කාගෙත් අයිතියකි. වර්තමානයේ ළිඳෙන් නෑම වතාවතක් නොවූවද එහි සංරක්ෂණය සිදු වී තිබේ. පල්ලියද ඕනාම අයකුට විවෘතය. හිටපු ඇමති ජයලත් ජයවර්ධන මහතා මීට පෙර පල්ලියේ පළමු නුවාන කොට්ඨාසයේ නායකයා වේ. වර්තමානයේ ඔහුගේ සොහොයුරා මෙම කාර්ය කරන බව පැවසේ. රුක්මණි දේවියගේ විවාහය කතෝලික ක්‍රමයට සිදු කෙරුණේ ද වැලිගම්පිටිය දේවස්ථානයේ බවට ප්‍රසිද්ධ කතාවක් තිබේ.   

පල්ලියේ මංගල්‍යය 

st annes church

අනෙක් කතෝලික දේවස්ථාන මෙන්ම වැලිගම්පිටිය පල්ලියේද මංගල්‍යය, පාස්කුව, නත්තල එක හා සමානව උත්සවශ්‍රීයෙන් සැමරීම අනිවාර්යය. අතීතයේ පටන් මෙම ප්‍රධාන උත්සව සියල්ල කලාකාමී ඇසින් නාට්‍ය, ගීත, විචාර (දේශනා) හැටියට වාදන භාණ්ඩ යොදාගනිමින් පවත්වාගෙන විත් ඇත. මෙකී උත්සවවලදී එකිනෙකා මුහුණ නොබලන අමනාපකාරයන් වූ අය සිනහමුසුව එකිනෙකා දවස් ගෙවන අතර නත්තලේදී නම් එකිනෙකා සමාව යැද මිතුරන් වී නත්තල සමරන බවද ප්‍රනාන්දු මහතාගේ කෘතිය කියා දෙයි. අර්ජුමාන්ගේ ගීතයේ සඳහන් පරිදි මධුවිතට පවා එහිදී තරාතිරමක් නොමැත. සියල්ලෝ සමාජය හඳුන්වා දුන් පරතර අමතක කර සමානයින් ලෙස උත්සව සැමරීම අදද සිදු කරති. කලා හිතකාමී බව අතින් අතීතයේ පටන් පාස්කුවද නාට්‍යානුරූපීව මීසමේ වාදකයින්, ගුරුවරුන් සහ ගම්මානයේ සියල්ලන් එක්ව පුහුණු වී රඟ දක්වන අතර ඒවායේ නාමාවලියක්ද සිරිල් ප්‍රනාන්දු මහතාගේ පොතෙහි සඳහන් වේ. 

373509343 1952257958485948 2964427438080965167 nඩෙන්සිල් පෙරේරාඅවසානයටම පැවැත්වූ පාස්කු නාට්‍යයේ ක්‍රිස්තු චරිතය නිරූපණය කළ තැනැත්තා ඩෙන්සිල් පෙරේරා මහතා වන අතර ඔහු හඳුන්වන අන්වර්ථ නාමය වන 'ජේසු අයියා' චරිතයද අර්ජුමාන් තම ගීතයට ඇතුළත් කර ඇත. ප්‍රවීණ රංගන ශිල්පී මිලින්ද පෙරේරා ඩෙන්සිල් පෙරේරාගේ සොහොයුරා වේ. ඩෙන්සිල් පෙරේරා වර්තමානයේ රෝමයේ දහම් සේවය හා බැඳී ජීවත් වෙයි. එවැනි මිනිසුන් එක් අයෙකු නොව චිත්‍රපටි හා සමාන මිනිසුන්ද බොහෝ සංඛ්‍යාවක් සිය ගමේ සිටින බවය අර්ජුමාන්ගේ අදහස වන්නේ. 

"සීනි බෝල කදිම කෑම 
කටට බෝම රසැති කෑම 
අපට ලැබේවා සැමදාම 
ආයුබෝවන්" 

වැනි කුඩා කෙටි ගීත එවක පටන් ගම්මානයට ආවේණික, ළමුන්ගේ මුවගට හුරු ගීත වෙයි. පල්ලියේ මෙහෙයවීමෙන් පාසල් දෙකක් ක්‍රියාත්මක වන අතර එයින් කීර්තිය අත් කරගත් උගතුන් වර්තමානය වන විට විශාල සංඛ්‍යාවකි. දේවස්ථානය ඇසුරේ හිඳ පැවිදි දිවියට ඇතුළත් වූ පූජකවරුද සිටිති. වර්තමානයේ දේවස්ථනයේ පාලක වන්නේ ගරු ලෙස්ටර් නෝනිස් පියතුමාය.  

අර්ජුමාන්ගේ අදහස  

උත්සවශ්‍රීය පිරි අල්පේච්ඡ මුහුණුත්, සිය ගම්මානය ගැන ඇති අභිමානය මෙන්ම පවතින සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව තුළ කෙදිනකවත් නොවූ විරූ තරම් සිය හිතවතුන් ගම අතහැර විදේශගත වීමේ කම්පාවත් මෙම ගීතය නිර්මාණය කිරීමට එක් හේතුවක් වූ බව අර්ජුමාන් පවසයි.  

artworks Zz9fujFPfYOdbzGN 9HzAPQ t500x500"මේක වැලිගම්පිටිය කියන මගේ ගම තුළ තිබෙන ප්‍රාදේශීය සංස්කෘතිය නිරූපණය කෙරෙන ගීතයක්. මේ සංස්කෘතිය ගැන අවධානයක් හැදෙන එක තමයි මගේ කැමැත්ත වුණේ. මම ඉපදුණේ මෙහෙ. මට දැනෙන්නේ මෑතක සිට මගෙත් එක්ක සිටි මිතුරන් සියල්ල විශේෂයෙන් මේ බටහිර මුහුදු තීරයම වගේ ඉතාලි, යුරෝපෙට යනවා. ඉන්න අයත් යන්න උත්සාහ කරනවා. පෘතුගීසි සංස්කෘතික බලපෑම ලංකාවේ වැඩියෙන්ම දැනුණ ප්‍රදේශය තමයි මේ බටහිර මුහුදු තීරය. මේ සියලු තැන්වල මිනිසුන් බහුතරයක් සිංහල කතා කරන අය වුණාට බර්ගර්, දෙමළ චෙට්ටි, මැලේ වගේ විවිධ සම්භවයන් ඇති පිරිස් ඉන්නවා. නමුත්, සේරම ඉන්නේ එකම සංස්කෘතික රටාවක. මේ තියෙන සමාජ වටපිටාව දැනිලයි මම මේ ගීතය නිර්මාණය කළේ. රටේ ආගමික මත බලපෑම්, යුද්ධ වගේ කාරණා නිසා මිනිසුන් හිතන විදිහ සමහර වෙලාවට වෙනස් වී තියෙනවා. මම සින්දුවේ ආරම්භය ගන්නේ මීට කලින් මම වසර 04ක් උගන්වපු (ලයිසියම්) ජාත්‍යන්තර පාසලේ දරුවන් සමග කළ සමහර සංවාද නිසයි. යෞවන වයසේ සිතුම් පැතුම්, ඒවට වැටෙන වාරණ කොතරම් වුණත් ළමුන්ට බාධා පනවන්න බෑ. තමන්ගේ මුතුන් මිත්තන්ට දක්වන ආදරයත් හරි සුන්දර එකක්. ආච්චි, සීයා වෙන් වුණත් ඒ අය එක්ක හදවතින් ජීවත් වෙනවා. මම ගමේ චරිත, සිද්ධි, පල්ලිය, එහි සුවිශේෂී අනන්‍ය ලක්ෂණ මේ හැමදෙයක් ගැනම දැකපු අදහස තමයි ලිව්වේ. මම සම්පූර්ණයෙන්ම දේශපාලනයක් සාකච්ඡා කරන්නේ නෑ. මගේ දේශපාලනය පක්ෂ මූලික නෑ. සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු හැටියට මම දුටුව සමාජය තමයි මම මේකෙ කියන්නේ. සින්දුවේ යටි අර්ථය මමම කියන එකට වඩා කවුරු හරි විචාරයේ යෙදෙනවට මම හරිම කැමතියි. විවේචන නම් කිසිවක් සින්දුව ගැන ඇවිත් නැහැ. සමහරු ජේසු අයියා කියලා ලිව්වේ ඇයි වගේ දේවල් ඇහුවා. ඒත් ඒ කියන්නෙත් මගේ ගමේ ජේසුට රඟපෑ කෙනෙක්ගේ චරිතයක් ගැන. අනිත් එක මම හිතන්නේ ජේසුස් වහන්සේ කියන එකට වඩා ජේසුස්ට සහෝදරයෙක් හැටියට ආමන්ත්‍රණය කරන එක හොඳයි. මම ධර්මය ගැන අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්. මමත් පල්ලි යනවා. මම ඒකට ගරු කරනවා. මම මේ කියන සංස්කෘතිය ගැන, මගේ ගම ගැන සමාජයේ සතුටුදායක අවධානයක් හැදුනා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව වුණේ. ඒක ගැන මට සතුටුයි." 

මේ සියල්ල සමගින් පල්ලියත් ගමත් එකක් කොට දකිමින් වැලිගම්පිටිය වෙනුවෙනුත් දේවස්ථානය වෙනුවෙනුත් දිවා රෑ කැප වන දේවස්ථානයේ ගරු මීසම් සහායක තැන හෙවත් සන්ක්‍රිස්තියන් මහතා වන ෆ්‍රැන්සිස් ලේල්වල මහතා ලේඛන, පතපොත ලබා දෙමින්, කරුණු සඳහන් කරමින් දුන් සහාය ඉතා ඉහළ එකකි. එහෙයින් මෙම සටහනේ විශේෂම පළමු ස්තුතිය ඔහුට හිමිය. 

ගීතය  

චූටි කාලේ අපි වැස්සෙ නානකොට 
බුදු අම්මෝ කියපු නැන්දා මාමලට 
බාප්පා පුංචිලට මම්මා පප්පලට 
ආයුබෝවන් වැන්දා සන්තෝ 

අපි වැස්සේ නෑව තමයි 
ලෙඩ වුණා තමයි 
මැරෙන්න ඉඳලයි 
මොකෝ එහෙ ඉන්නයි ආස 
ආච්චි සීයා ළඟ 
අඩි හයක් යට සැපේ 
අයියෝ හිනා යනවනෙ ටයි කෝට් ඇඳගෙන ගිනි කාශ්ටක අව්වේ...  
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන  
දන්සල් පෝලිමේ...  
මල්ලි දන්නැත්තන් අහපන්කො විස්තරෙ කියපන්කො  
හංගං ඉන්නෙ මොකො අස්සේ....  
ඔය අක්කල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා එන්නකො බලන්න අනේ... 

කනත්ත  පාර වැලිගම්පිටිය ජාඇල ඉපදුණු තැන මගේ 
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට කසිප්පු දාලයි ගැහුවෙ  
ඔය ජෝසෙ මරියලා පේදුරු ජුදස්ලා අපෙ ලිඳෙන් තමයි නැවේ 
මෙහෙ ලෝගු ඇඳගත්ත රෝමෙ උන්දලට ජේසු අයියා භය නැතේ 

අයියෝ හිනා යනවනෙ.... 

එක එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරු උනා 
එකෙ එක හොටු පෙරන උදවිය පාලනේට ගියා 
අපි දෙවියන් වහන්සෙට තියපු පඬුරු කෑලි කෑලි කපා 
අපෙ සුදු මහත්තයගෙ නෝන හාමු ළඟ බාර හාර උනා 

අයියෝ හිනා යනවනෙ....  

PHOTO 2023 10 06 13 08 25(ශිවන්ති ප්‍රනාන්දු)
mirrorarts.lk සංස්කාරක
shivfernando87@gmail.com

(උපුටා ගැනීම - අනිද්දා පුවත්පත)

Anida


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...