The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

නැටුමෙන් රටක් නැළවූ අපේ රැජිනි මිස්

T

The Leader Desk

October 25, 2023 • 9:57 AM

නැටුමෙන් රටක් නැළවූ අපේ රැජිනි මිස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපිට විතරක් නෙවෙයි රටටම රැජිනක් වූ අපේ රැජිනි අක්කා අන්ත්‍රා වුණා යැයි අජන්ත සෙනවිරත්න සිකුරාදා මහ රෑ දුරකථනයෙන් කතා කර මා සමඟ කිව්වේ කඳුළු අතරිනි.
  • රැජිනි සෙල්වනායගම් මහත්මිය හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලට ප්‍රථම පත්වීම ලබා නැටුම් ගුරුවරියක ලෙස පැමිණියේ 1976 වසරේදීය.
  • වසරේ සිට 1981 වසර දක්වා සෙල්වනායගම් මිස් සේනානායක විදුහලේ නැටුම් ආචාර්යවරිය ලෙස සේවය කළාය.
  • වේවැල අතින් ගෙන සැරවැර වෙමින් රැජිනි සෙල්වනායගම් මිස් කවදාවත් නර්තන කලාව උගන්වන්න ගියේ නැති බව ඇයගෙන් නර්තන කලාව හැදෑරූ සේනානායකයේ ආදී සිසු සිසුවියන් අදටත් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


අපිට විතරක් නෙවෙයි රටටම රැජිනක් වූ අපේ රැජිනි අක්කා අන්ත්‍රා වුණා යැයි අජන්ත සෙනවිරත්න සිකුරාදා මහ රෑ දුරකථනයෙන් කතා කර මා සමඟ කිව්වේ කඳුළු අතරිනි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ප්‍රවීණ සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න මහතා ප්‍රවීණ නැටුම් ආචාරිනී රැජිනි සෙල්වනායගම් මහත්මියගේ එකම සහෝදරයාය.


අභාවප්‍රාප්ත රැජිනී සෙල්වනායගම් ගේ ආදාහන කටයුතු බදාදා බොරැල්ල කනත්තේදීරැජිනි සෙල්වනායගම් මහත්මිය හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලට ප්‍රථම පත්වීම ලබා නැටුම් ගුරුවරියක ලෙස පැමිණියේ 1976 වසරේදීය.

1976 වසරේ සිට 1981 වසර දක්වා සෙල්වනායගම් මිස් සේනානායක විදුහලේ නැටුම් ආචාර්යවරිය ලෙස සේවය කළාය. රැජිනි සෙල්වනායගම් අපේ මිස්ට පාදාන්තය දක්වා ගෑවෙන තරමට ලස්සන දිගු වරලසක් තිබුණා මට තවමත් මතකය.

සෙල්වනායගම් මිස් හිමිදිරි උදෑසන ගුරු නිවසේ සිට මාර්ගය හරහා ලැසි ගමනින් විදුහලට පැමිණෙන්නේ ඒ වරලස පුරා පිච්ච මල්වලින් සරසාගෙනය. සිසු සිසුවියන් කාටත් ඇය හද පත්ලෙන්ම කට පුරා කතා කළේ දුවේ පුතේ යැයි කියමින් ලොකු ළෙන්ගතුකමකිනි.

වේවැල අතින් ගෙන සැරවැර වෙමින් රැජිනි සෙල්වනායගම් මිස් කවදාවත් නර්තන කලාව උගන්වන්න ගියේ නැති බව ඇයගෙන් නර්තන කලාව හැදෑරූ සේනානායකයේ ආදී සිසු සිසුවියන් අදටත් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.

සෙල්වනායගම් මිස් සිසු සිසුවියන්ට නැටුම් උගන්වන දෙස නැටුම් කාමරේ දැල්වල එල්ලී ගෙන දෑස් අයා බලා සිටීමට සිසු සිසුවියෝ බොහෝ දෙනෙක් පුරුදු වී සිටි අයුරු මට තවමත් හොඳ හැටි මතකය. ඒ අන් කිසිවක් නොව රැජිනි මිස්ගෙ නර්තනයන් බැලීමට තිබෙන නොතිත් ආසාව නිසාය. රැජිනි මිස්ගෙ නර්තන නැරඹීමට දැල් ගසා ඇති නැටුම් කාමරයේ එල්ලී සිටියදී සමහර ගුරුවර ගුරුවරියන්ගේ වේවැල් පහරට ලක්වූ අවස්ථා ආදි සිසු සිසුවියෝ අද ද සිහිපත් කරති.

වසර පහක කාලය තුළ රැජිනි මිස් සේනානායකයේ සිසු දරු දැරියන්ට නර්තන කලාව උගන්වමින් අනූපමේය මෙහෙයක් ඉටු කළාය. සිසු දරු දැරියන්ගේ නර්තන හැකියාවන් එළිදැක්වීමට අපූරු වේදිකාවක් සෙල්වනායගම් මිස් තනා දුන්නාය. ඒ 1978 වසරේ මධුරංගිකා නමින් විවිධ ප්‍රසංගයක් සංවිධානය කරමිනි. ඒ වෙනුවෙන් රැජිනි සෙල්වනායගම් මිස් අපමණ කැපකිරීම් කළාය. එයින් උපයාගත් මුදල් වැය කරනු ලැබුවේ එතෙක් විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවැති තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය සංගීත භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙනි. මධුරංගිකා විවිධ ප්‍රසංගයේදී රැජිනි මිස් නර්තනයක් ඉදිරිපත් කළේ ප්‍රධාන ශාලාවේ අතුරු සිදුරු නොමැතිව සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ප්‍රසංගය විදුහල් මෑණියන්ගේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇත. අදටත් ඒ ප්‍රසංගය ගැන කතාබහ කරන්නේ ඒ නිසාය.

රැජිනි සෙල්වනායගම් මිස් එදා මධුරංගිකා ප්‍රසංගයේදී ඉදිරිපත් කළ නර්තනයක හරිම කලාත්මක ඡායාරූපයක් මේ මෑතක් වනතුරුම මාදම්පේ නගරයේ ඡායාරූප ශාලාවක ප්‍රදර්ශනය කර තිබිණි.

මාදම්පේ සේනානායක ජාතික පාසලේ වසර 5ක සේවා කාලයක් සැපිරූ සෙල්වනායගම් මිස් ස්ථාන මාරුවීම් ලබා ඊළඟට ගියේ කොළඹ දෙමටගොඩ වේළුවනාරාම විද්‍යාලයටය. එම වේළුවන විද්‍යාලයේ සේවය කරමින් සිටි අතරවාරයේ සෙල්වනායගම් මිස් ගුරු සේවයට සමු දුන්නාය.

මාදම්පේ සේනානායක විද්‍යාලයේ උගන්වන කාලයේ සෙල්වනායගම් මිස්ගෙන් නර්තන කලාව හැදෑරූ සිසු සිසුවියෝ බොහෝ දෙනෙක් මිස් සමඟ දිගටම ගුරු සම්බන්ධකම් පවත්වනු ලැබූහ.

අභාවප්‍රාප්ත රැජිනී සෙල්වනායගම් ගේ ආදාහන කටයුතු බදාදා බොරැල්ල කනත්තේදී
දුවේ! පුතේ! ඔයගොල්ලන්ගේ මුහුණ දකින්න හරිම ආසාවක් තිබෙනවා යැයි මාදම්පේ සේනානායක විද්‍යාලයේ සිටියදී නර්තන කලාව හැදෑරූ සිය ගෝල බාලයන්ට ඇය මුහුණ පොත හරහා පවසා තිබුණාය.

ආදි සිසු සිසුවියන් පිරිසක් සෙල්වනායගම් මිස් බැහැදැක සුවදුක් බැලීමට යාමට සූදානම් වී සිටි දිනයේම දැඩි ලෙස රෝගාතුර වී ඇතුළත් කරනු ලැබුවේ මහරගම අපේක්ෂා රෝහලටය. ඒ නිසා ගුරු මෑණියන් දැකබලා ගැනීමට යෑමට තිබූ අවස්ථාව අවසන් මොහොතේ ගිලිහී ගියේය.

අභාවප්‍රාප්ත රැජිනී සෙල්වනායගම් ගේ ආදාහන කටයුතු බදාදා බොරැල්ල කනත්තේදීදැඩි ලෙස රෝගාතුර වීමට සතියකට දෙකකට පමණ කාලයකට පෙර රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන් ඇය මුලින්ම පත්වීම් ලබා පැමිණි මාදම්පේ සේනානායක විද්‍යාලයට රුපියල් ලක්ෂ ගණනක් වටිනා නර්තන ඇඳුම් කට්ටල පිරිනමනු ලැබීය.

රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන් රෝගාතුරව සිටි නිසා එම නර්තන ඇඳුම් කට්ටල රැගෙන ආවේ ඇයගේ සහෝදරියක වන සුදර්ශනීය. සුදර්ශනී ද මාදම්පේ සේනානායක ජාතික පාසලේ ආදි සිසුවියක වූවාය. රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන්ගේ එකම සහෝදරයා වන අජන්ත සෙනෙවිරත්න ද සේනානායක විදුහලේ ආදි සිසුවෙකි.

මාදම්පේ සේනානායක ජාතික පාසලේ ගොඩනැගිල්ලක් රැජිනි සෙල්වනායගම් අනුස්මරණ ශාලාව ලෙස නම් කර ගුරු මෑණියන්ට උපහාර දැක්වීමට කටයුතු කරන බව වත්මන් විදුහල්පති මොරිස් අත්තනායක මහතා පවසයි.

නර්තන කලාව වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන් කලාකීර්ති සහ විශ්වකීර්ති යන ගෞරව නාමවලින් පිදුම් ලබා ඇත.

හෙළයේ නර්තන රැජිනිය ලෙස විරුදාවලිය ලැබ සිටි අපේ ගුරු මෑණියනි ඔබතුමියට සුබ ගමන්.



(lankadeepa.lk- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...