The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : සිරා විග්‍රහ අතරේ ජරා සිංහල අමතකවීම් - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

October 27, 2023 • 6:49 AM

බල්සාක් කැෆේ : සිරා විග්‍රහ අතරේ  ජරා සිංහල අමතකවීම් - (මංජුල වෙඩිවර්ධන) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියරුවෙන් මෙන් මැත දොඩවන, ආගමික වෛරීභාවය වපුරන හාල් කෑලි ගැන නම් කතා කර පලක් ම නැත.
  • ඒත් රටේ නායකයා වීමේ සිහිනයෙන් ආඩ්‍ය පාඨලීන්ගේ පුදුමාකාර විශ්ලේෂණ නම් අතැර යා නොහැකි ය. කොහොමත්, ‘ප්‍රඥා ප්‍රදර්ශනකාමය’ ඔහුගේ බල දේශපාලන ව්‍යාපෘතියේ අවිච්ඡින්න ප්‍රකාශනයකි.
  • ගාසා තීරයේ යුද ගිනි ගැන තමන්ගේම යූ ට්‍යුබ චැනලයෙන් පාඨ‍ලී චම්පික කතා කළේ ඉකුත් ඔක්කෝබර් 9වැනිදාය.
  • එය දුටුවෙන් හෝ චම්පිකගේ ජනමාධ්‍ය ක්‍රියාන්විතයේ දැල එළීම මත ඔක්තෝබර් 14 වැනිදා ‘නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ්’ යූ ට්‍යුබ් නාලිකාව ඔහුට සංවාදයකට ආරාධනා කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

වියරුවෙන් මෙන් මැත දොඩවන, ආගමික වෛරීභාවය වපුරන හාල් කෑලි ගැන නම් කතා කර පලක් ම නැත. ඒත් රටේ නායකයා වීමේ සිහිනයෙන් ආඩ්‍ය පාඨලීන්ගේ පුදුමාකාර විශ්ලේෂණ නම් අතැර යා නොහැකි ය. 

කොහොමත්, ‘ප්‍රඥා ප්‍රදර්ශනකාමය’ ඔහුගේ බල දේශපාලන ව්‍යාපෘතියේ අවිච්ඡින්න ප්‍රකාශනයකි. දෙමළා නට්ටං කිරීමට පෙරමුණ ගත් සිංහල බෞද්ධ වියරු ව්‍යාපෘතියේ පෙරටුගාමියකු වූ ඔහු අදවන විට පලස්තීන ඊශ්‍රායෙල් ගැටුම පිළිබඳ දරුණුතම විශ්ලේෂකයෙකි.

දෙමළා ගැන පමණක් දැන සිටි සිංහලයන්ට පලස්තීනුවන් ගැන මෙන්ම ඊශ්‍රායෙලිකයන් පිළිබඳ ත්‍රිල්ලෝපද්දවන අන්දමින් කතා කරන්නට හැකි තරම් වන වාග් කෝෂයක් ළෙලවාගෙන කැමරාව අබියසට පැමිණෙන රණවකයෝ වික්‍රම පාන්නට වන්නා හ. ඉදින් පලස්තීනය ගැන හෝ ඊශ්‍රායෙලය ගැන හෝ ඒබ්‍රහමයික ආගම් ගැන හෝ විමුක්ති අරගල ගැන මතු නොව භූ දේශපාලනය නම් බරපතළ විෂය ගැන මළ පොතේ අකුරක් නොදන්නා අන්තර්ජාලගත 'යූට්‍යුබ ප්‍රීනන ප්‍රජාව'ට ඔහු තරම් ප්‍රාඥයෙක් නැත. මෙම සාකච්ඡාවන් පහළින් පළවෙන කොමෙන්ටු කියවූ පෙනී යන්නේ, මැතිවරණයක් පවත්වන්නේ නම් රටේ මීළඟ නායකත්වය බාර දියයුතු සුදුසුම බුද්ධිමතා වන්නේ අහෝ, චම්පික ය.

චම්පිකගේ පලස්තීන-ඊශ්‍රායෙල් විශ්ලේෂණ එසේ ම තිබියේවා! මගේ අවධාරණය වන්නේ,  මේ සියලු දරුණු විග්‍රහ අතරතුර පතරංග බොරු අතෑර සිංහල සමාජය ශුද්ධෝදනකරණය කරන්නට දරන සවිඥානක වෑයමයි.



ගාසා තීරයේ යුද ගිනි ගැන තමන්ගේම යූ ට්‍යුබ චැනලයෙන් පාඨ‍ලී චම්පික කතා කළේ ඉකුත් ඔක්කෝබර් 9වැනිදාය. ‘’ලෝක යුද සංග්‍රාමයක් අබියස ද..?’’ මැයෙනි. එය දුටුවෙන් හෝ චම්පිකගේ ජනමාධ්‍ය ක්‍රියාන්විතයේ දැල එළීම මත ඔක්තෝබර් 14 වැනිදා ‘නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ්’ යූ ට්‍යුබ් නාලිකාව ඔහුට සංවාදයකට ආරාධනා කර තිබිණ. එහි නාමකරණය හා තේමාකරණය වූයේ ‘’ඊශ්‍රායල- පලස්තීන යුද්ධයේ වෙන්නේ මොකක්ද කියන එක උභතෝකොටිකයක්, මේකට ඉරානය ඇදගත්තොත් අනිවාර්යෙන් ලෝක යුද්ධයක් එනවා- ලෝකයම බලා ඉන්න යුද්ධයේ සැඟවුණු කතා සමග පාඨලී චම්පික කරන විග්‍රහය’’ යන්න ය.

මා අවධාරණය කරන සිංහල බේගලය ඔහු මුලින්ම කීවේ මංජුල බස්නායක සමඟ සිදුකෙරුණු එම සංවාදයේ දී ය.

 

ඔහුගේ විග්‍රහයට අනුව ගාසා තීරයට ඊශ්‍රායෙලය විසින් කරනු ලැබ ඇති විදුලිය හා ජල සැපයුම් කප්පාදුව වනාහී ‘'එක ත්‍රස්ත කණ්ඩයමක් විසින් කරපු දේකට, නිසා ලක්ෂ විසි දෙකක ජනතාවකට දඬුවම් කිරීමක්’’ ය. ඔහු එතනින් නොනවතියි. ‘’දැන් අපි වන්නියට ඕක කළා නම්...අපේ ආරක්ෂක හමුදා වන්නියට ආහාර යවන්නැතුව, වන්නියට බෙහෙත් යවන්නැතුව සිටියේ නම් කොහොම ක්‍රියා කරයි ද’’ යනුවෙන් ද පවසයි. ඔහු මේ අනියමින් අවධාරණය කරන්නේ මොන තත්වයක් යටතේ වුව වන්නියට ආහාර සහ බෙහෙත් යැව්වා යන්න යි.

ඔහු යළි ‘’ඊශ්‍රායලයට ගහපු මහ මොළකරු ඩයිෆ් සරණාගත කඳවුරක උපත ලබපු දරුවෙක් . ඊශ්‍රායල පලස්තීන ගැටුමේ මුල, මැද, අග ලිහාගමු’’ මැයෙන් ‘ඒෂියන් මිරර්’ වෙනුවෙන් රසික ජයකොඩි පැවැත්වූ ‘පොඩ්කාස්ටුවේ’ එය ම පුනුරුච්චාරණය කරල යි. මෙලෙසිනි.

‘’නමුත් ප්‍රායෝගිකත්වය මොකද්ද? පළවෙනි දේ තමයි, කිසිම රටකට බෑ, කිසිම ජනකණ්ඩායමකට ජලය, ඒ වගේම ඉන්ධන, ඒ වගේම බේත්-හේත්, ආහාර, විදුලිය ලබා දීම නතර කරන්න. මේක පැහැදිලිවම ජිනීවා සම්මුතියට විරුද්ධ යුද අපරාධයක්. මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවලියක්’’.

එසේ කියමින් ඔහු මෙසේ යළි තමන් ද අන්තර්ගත සංයුක්ත සන්දර්භයට අදාල බේගලයට අවතීර්ණ වෙයි.



‘’මේක අපි කළා නම් එල් ටී ටී එක සම්බන්දයෙන් හරි, අපිට කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ’’

ඉක්බිති ඔහුගේ ‘අර’ හිනාව මතුවෙයි.  

‘’මේක ඇමරිකාව ඉවසගෙන ඉන්නවා. මේක වැරදියි. වහාම මේ මානුෂීය ආධාර ගාසා තීරයට ලැබෙන්න ඕනි. එතන හමාස් සංවිධනයෙ තිස්දාහක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් විසි දෙලක්ෂයක් ඉන්නෙ අනිත් මිනිස්සු. අහිංසක මිනිස්සු. දරුවො. අම්මාවරු’’

අහෝ ඒ කම්පාව!

tamil refugees

ලංකාවේ දෙමළාගේ ප්‍රශ්නයට අදාල ඉතිහාසයේ, ආහාර සහ බෙහෙත් හේත් සැපයුම් මාර්ග පමාකිරීම්, අවහිර කිරීම් සහ නතරකිරීම් නිසා මිය ගිය දෙමළ වැසියන් දහස් ගණනක් බව චම්පික දන්නේ නැත. දරුවන් සහ අම්මාවරු ඒ අතර සිටි බව චම්පික දන්නේ ම නැත.

මාරි බිස්කට් එකක් පැනඩෝල් පෙත්තක් නැතුව දෙමළා දිවි ගෙවූ අතීතය අමතක කර දමන්නට වෙර වැඩීම චම්පික ස්ථානගත දෙමුහුන් සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයේ දේශපාලන උවමනාව වුවත්, මෙම සංවාද දෙක අතරතුර ම දෙමළ ප්‍රජාව පිළිබඳ කියැවෙන විසකුරු කතා රාශියකි. ප්‍රස්තුත ‘මානුෂිය ආධාර’ කතාව මා මතුකරලන එක කතාවක් පමණකි.

ඔහු කියන මූලික මානුෂිය ආධාර අතර වන විදුලිය හෝ ඉන්ධන ගැන වන්නියට අදාලව නම් කතා කරලාම පළක් නැත. තමන් වතුර බී හැටි, නො මැරී ඉතුරුවුණු දෙමළ ප්‍රජාවගෙන් ඇසුවහොත් අසන්නාගේ ලේ පවා වතුර වෙයි.

කතා කිරීමට ඉඩක් ඇත්තේ ආහාර සහ ඖෂධ ගැන පමණකි. යුද්ධයේ අවසාන අදියර වන විට වන්නියට අදාල සැපයුම් සිල්ලම පාහේ නතර කෙරිණ. බෙහෙත් පෙත්තක් නැතුව රෝගාතුරව සහ බිස්කට් පොත්තක් නැතුව සාගින්දරින් මිය ගිය දරුවන් වයෝවෘධයන් සිටි බව චම්පික දන්නේ ම නැත.

sl war hospitals
අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීමෙන් රෝහල් මෙන්ම තාවකාලිකව අටවා ගත් උපස්ථායක මධ්‍යස්ථාන තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බව ලිඛිතව දන්වමින් වෛද්‍යවරුන් මෙන්ම නිළධාරීන් රජයට ලිඛිතව දැනුම් දුන් වාර අපමණ ය.

යුද්ධයේ අවසාන අදියරේ පමණක් නොව අනූව දශකයේ මැද සිට අප උතුරු - නැගෙනහිර ජන ජීවිතය වාර්තා කරන්නට ගිය අවස්ථා හැම එකකදිම පාහේ වෛද්‍ය උපකරණ හා බේත් හේත් ප්‍රශ්නය එකසේ පැවතිණ. මාධ්‍යකරුවන් ලෙස අප ඕනෑ තරම් ඒ ගැන ලියා තිබේ. එය දැනුවත් ප්‍රවේශයක් බව දෙමළ වරිග සංහාරයක් ලෙස ගනිමින් කෙරෙන විද්‍යාත්මක විශ්ලේෂණ අධ්‍යනය කර බැලූ විට පැහැදිලිව පෙනී යන්නකි.

                                

අනූව දශකය වන විට ම වෛද්‍ය ක්‍රියාවලියට අදාල අර්බුදය උතුර හා නැඟෙනහිරට සාමාන්‍යකරණය වූ පීඩාවක් විය. ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යලවල අදාල වකවානුවල වාර්තා අධ්‍යනය කළ හැකි මඟක් වේ නම් එහි ස්වරූපය නිල වශයෙන්ම අවබෝධ කර ගන්නට පිළිවන. නිදසුනක් ලෙස අනූව දශකය මූලාරම්භයේ දී පවා මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අවම වශයෙන් රසායනාගාර පහසුකම් පවා නොතිබිණ. අනූව දශකය පුරා උතුරුකරේ බොහෝ අත්‍යවශ්‍යම ඖෂධ ඌණතාවන් සාමාන්‍යකරණය විය. දරුවන්ට අවශ්‍ය මූලික එන්නත් ප්‍රමාද කෙරුණි. අවම වශයෙන් වෛරස ඈ වූ වසංගත සඳහා පමණක් නොව ජල භීතිකාව සහ දර්ප දෂ්ඨනයට අදාල එන්නත් පවා ප්‍රමාද කෙරුණි. ඖෂධ අඩුපාඩු දන්වා බලධාරීන්ට ලිඛිත දැනුම් දීම් කිරීම මෙකී කලාපයේ සේවය කළ රාජ්‍ය නිලධාරීන්ගේ දෛනික ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක්ව පැවතිණ.

මේ කිසිවක් චම්පික දන්නේ නැත. ඔහු දන්නේ මහා කොටියා වූ පිරිබාහරන් මරා දමා මුල්ලිවෛක්කාලේ සිංහ කොඩිය ඔසවනතුරු දෙමළ ජනතාවට ආහාර සහ ඖෂධ නිතිපතා අඛන්ඩව සැපයුණු බව ය.  චම්පිකගේ ‘දහං ගැට’ පිළිබඳ අප ඕනෑ තරම් කතිකාමය ප්‍රස්තුත ඉස්මතුකර ඇත.

දෙමළ ජනතාවට අත්පත් ඉරණම ගැන හෝ චම්පික මෙන් ම මංජුල බස්නායක සහ රසික ජයකොඩි නොදන්නා මානුෂිය ආධාර සැපයුමේ මානූෂියභාවය ගැන මෙවන් කොලමක දීර්ඝව ලියන්නට අවකාශ නැත. නමුත් චම්පික බේගල් සලකුණු කර තැබීම දේශපාලන මැදිහත්වීමක් දෙස බාර ගත යුතු ය. මේ ලියවිල්ල, එබැවිනි.

ජෝ බයිඩන් ගාසා තීරයේ ඇවිලෙන යුද්ධයට අදාලව කළ ප්‍රකාශය තුළ වන ආගමික අධිමාත්‍රාව පිළිබඳ චම්පික රණවක ‘නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ්’ සංවාදයේදී මෙසේ කියයි.

pcr 34567
‘’ජෝ බයිඩන්ගෙ කතාව ඇහුවම, අර පරණ හොලෝකාස්ට් එක මතක් කරලා, ඒවාත් කියලා ඒ අවදි කරවන්නෙ ආගමික වෛරය. ඔවුන් නිකං ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්වාදී කතා ගොඩක් කියන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරයෙ අවුළුවන්නෙ ඒක.’’

රසික ජයකොඩි සංවාදයේදී චම්පික රණවක කොටි සංවිධානය ගැන කියයි. කොටි ජේ.ආර්. ආණ්ඩුවට ගහද්දී සරසවි සිසුන් හැටියට ‘මරු ටොප්’ කියමින් ‘යටි හිතින් සතුටු වූ හැටි කියයි. ඒ අදහස වෙනස් වූයේ කොටි අනුරාධපුර ශුද්ධ භූමියට පහර දුන් පසුව බව කියයි. මේ සමස්ත සංවාද ක්‍රියාවලිය දෙස සීරුවෙන් නැරඹුවහොත් ඔහුගේ විසකුරු දේශපාලන ස්වරය අල්ලාගැනීම අපහසු නැත.

චම්පිකගේ ජෝ බයිඩන් ප්‍රවාදය ඔහුට ඔහු වෙනුවෙන් ම වුව නැවත රචනා කරගන්නට බැරි කමක් නැත. කොටි අනුරාධපුර ශුද්ධ භූමියට පහර දුන් දවස මෙනෙහි කරමින් ඔහු අවදි කරවන්නෙ කවර වෛරයක් ද?

බයිඩන් අරභයා කීවාක් මෙන්, ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්වාදී කතා ගොඩක් කියනා චම්පික රණවකගේ කතාවේ අභ්‍යන්තරයෙන් ධ්වනි නැංවෙන්නේ කුමක් ද?


(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී 
mwediwardena@gmail.com

http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-man
https://www.flickr.com/photos/wedi_man/

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 ඔක්තෝබර් 29) 

Anida

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...