The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉල්ලන් කන පරිප්පු

T

The Leader Desk

November 5, 2023 • 6:48 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉල්ලන් කන පරිප්පු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ඉන්දියාවට සේන්දු විය හැකිය.
  • ලෝකයේ ආර්ථික බලවතුන් අතර අංක එකට ඒමට වෙර දරන හෝ ඊට ආසන්නව සිටින මේ අසල්වැසියා හා ඇති නෑකම් අලුත් කර ගැනීමට මේ ඉතා සුදුසු කාලයයි. මුහුණුපොතෙන් දුටු මා සිනාගැන්වූ දෙබසකි මේ.
  • ''ඇයි අනේ ලංකාව ඉදිරියට යන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?'' ''වැඩිය ඉදිරියට ගියොත් ඉන්දියාවේ හැප්පෙයි කියල බයයිනෙ, නංගි!'' ඉන්දියාව සමඟ හැප්පීම සෙල්ලම් නැත. මහාද්වීපයක් නොවුණද, ඉන්දියාව ද ඒ තරමටම විශාලය. ඉන්දියාව සමඟ අපට ඇත්තේ ''කලකදි වහ - කලකදි රහ'' වර්ගයේ විදේශ ප්‍රතිපත්තියකි.
  • තුන්වේලටම පරිප්පු කන උදවියද ලංකාවේ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු ඉන්දියාවට සේන්දු විය හැකිය. පසු කලෙක එය නතරවුණි. යුද්ධය ද ඊට හේතු වුණි.

භාග්‍යයකට මෙන් දැන් යළිත් ඉන්දු - ලංකා මුහුදු ගමන් ආරම්භ වී තිබේ. සිරිලංකාවේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ සොන්ඩිචෙරියට කුඩා නැවක නැග යා හැකිය. ගුවනින් යනවාට වඩා මිලද බොහෝ පහසුය.

මොන මොන කතාන්දර තිබුණත් ඉන්දියාව අපේ අසල්වැසියාය. එහෙයින් අසල්වැසියාගෙන් ලැබිය හැකි උදව් උපකාර බොහෝය. ලෝකයේ ආර්ථික බලවතුන් අතර අංක එකට ඒමට වෙර දරන හෝ ඊට ආසන්නව සිටින මේ අසල්වැසියා හා ඇති නෑකම් අලුත් කර ගැනීමට මේ ඉතා සුදුසු කාලයයි. 

මුහුණුපොතෙන් දුටු මා සිනාගැන්වූ දෙබසකි මේ.

indo sl
''ඇයි අනේ ලංකාව ඉදිරියට යන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?''
''වැඩිය ඉදිරියට ගියොත් ඉන්දියාවේ හැප්පෙයි කියල බයයිනෙ, නංගි!''

ඉන්දියාව සමඟ හැප්පීම සෙල්ලම් නැත. 

මහාද්වීපයක් නොවුණද, ඉන්දියාව ද ඒ තරමටම විශාලය. 

ඉන්දියාව සමඟ අපට ඇත්තේ ''කලකදි වහ - කලකදි රහ'' වර්ගයේ විදේශ ප්‍රතිපත්තියකි. 

ඉන්දියාවද බොහෝ විට උඩින් මිතුරුය. යටින් කතුරුය.

උතුරේ යුද්ධ කාලයේදි ඉන්දියාව ගුවනින් අවුත්, පරිප්පු දැමුවේය. එය 'චණ්ඩි පාට්' එකකි. 

 98007227 scan0012
'ඉන්දියාවට සිරිලංකාව යටත් කර ගැනීමට ගතවන්නේ පැය විසි හතරකි.' යන කතාව යළිත් පැතිරුණේය. ''ඒවා කියන තරම් ලේසි නැතැ''යි කියමින් සිරි ලංකාවද පාරම් බෑවේය.

එහෙත් අනුන්ගේ පරිප්පු ඉල්ලන් කෑමට නොගියේය. තුන්වේලටම පරිප්පු කන උදවියද ලංකාවේ ඇත. එහෙත් ''මාර පරිප්පුවක් කෑවා'' යැයි ජනවහරේ එන්නේ කිසියම් අකරතැබ්බයකට මුහුණපෑ වග කීමටය. මෙහිදී 'පරිප්පු' යන්න යොදාගන්නේ කුමන අරුතකින්දැයි පැහැදිලි නැත. පරිප්පු සුලබ ආහාරයකි. ඒ නිසාම එහි වැඩි අගයක්ද නැතුවා විය හැකිය. ඉහත කියමනේදී පරිප්පු යනුවෙන් අදහස් කෙරුණේ වැදගැම්මකට නැති හෝ බාල දෙයක් වැනි අරුතක් දැයි නිශ්චිතව කිව නොහැකිය.

''පරිප්පු නැති හෝටලේ වගේ'' යැයි කියන්නේ නම් ලොකු අඩුවක් ඇතිතැනය.

රතු පරිප්පු, තෝර පරිප්පු, කඩල පරිප්පු ආදී වර්ග රුසක් ඇතත්, වඩාත් ජනප්‍රිය පරිප්පුව මයිසූර් පරිප්පුවය.

dhal 223
මයිසූරය (Mysore) ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසා ලංකාවේ බොහෝ දෙනා සිතුවේ මයිසූර් පරිප්පුද ඉන්දියානු බවය. ඉන්දියානු සාම හමුදා ලංකාවට පැමිණි කාලයේ ඉන්දියානු ආක්‍රමණය ගැන 71 දී පන්ති පවා පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ, ඉන්දීය භාණ්ඩ හා ආහාරපානවලට 'තහනමක්' පැනවීය. ඒ ආහාර අතර මයිසූර් පරිප්පුද විය. එහෙත් පසුව හෙළි වූයේ මයිසූර් පරිප්පු එන්නේ ඉන්දියාවෙන් නොව, තුර්කියෙන් බවය! එහි මුල් නම 'මසූර් ඩාල්' (මසූර් පරිප්පු) ය. (මේ පිළිබඳව කෙටි සඳහනක් තිස්ස අබේසේකරයන්ගේ 'Bringing Tony Home' නවකතාවෙහිද දක්නට ඇත.)

මේවා ඒ හැටි ගණන් ගත යුතු නැත්තේ, සිරිලන්කන්ස්ලා තරම් අනුන්ගේ පරිප්පු කන ජාතියක් ලෝකයේ තවත් නැති හෙයිනි.

ඉන්දියාවේ බොහෝ දේවල් අපිට නැතුවම බැරිය. හින්දි චිත්‍රපට එක නිදසුනකි. රෑපවාහිනී නාලිකාවල සිංහල චිත්‍රපටවලට වඩා පෙන්වන්නේ හින්දි, මලයාලම් හෝ දෙමළ චිත්‍රපටය.

ඉන්දියාවෙන් ගෙන්වන දෑ බොහෝ වෙතත්, දැන් බිත්තර පවා ''මේඩ් ඉන් ඉන්ඩියා'' වී ඇති හෙයින්, අර ලැයිස්තුව කීම අනවශ්‍යය.

ඒ කෙසේ වෙතත්, ඉන්දියාවට වඩා සිරිලංකාව උසස් යැයි මෝඩ ආඩම්බරයක් අපේ සිත් තුළට කාවද්දවා ඇත. ''ලෝකෙන් උතුම් රට ලංකාවයි'' කිව්වා සේය. පාසල් ළමුන්ට එසේ උගැන්වූයේ මෙරට අධ්‍යාපන ඇමැතිවරයකුව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ලේය. මේ දිනවල පාස්පෝට් පෝලිම දුටු විට ඒ උතුම් රටේ තත්ත්වය සිතාගත හැකිය.

1 5fc5e17aac833

1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී අර්ජුන රණතුංගගේ කණ්ඩායම ඉන්දියාව පරදවා අවසන් තරගයට පිවිස, එයද ජය ගත්තේය. එදා සිටම අපේ ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණයමය. ඉන්දියාවද පැරදවිය යුතුමය. එහෙත් එය එසේ සිදු නොවීය. ඊයේ පෙරේදා සිරිලංකාව හොඳ පරිප්පුවක් කෑවේ ඉන්දියාව සමඟ තරගයේදී ලකුණු පනහකට දැවී යාමෙනි.

ඒ පිළිබඳ සමාජ මාධ්‍යයක වූ විකට චිත්‍රයක මෙසේ කියැවුණි. ගමන් මල්ලක් අතින් ගත් උපාසක අම්මා කෙනෙක් නිකටේ අත තබාගෙන සිටී.

''අනේ පුතේ, දැන් නම් දඹදිව යන්ඩත් ලැජ්ජයි.''

ඉන්දියාවට ක්‍රිකට් ආගමකි. 

සිරි ලංකාවේදී නම් ක්‍රිකට් ආගමටත් බාධාවකි.

sl indi a23match

ශතකයක් ලබාගත් විට හෝ කඩුල්ලක් දවාගත් විට, අහස දෙස බැලීම (දෙවියන්ට ස්තූතිවන්ත වීම) බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිරිතකි. එහෙත් අපට හැඟෙන අන්දමට නම් දෙවියෝ ක්‍රිකට් හෝ ක්‍රිකට් නීති රීති නොදනිති. ක්‍රිකට් ක්‍රීඩාවට නව තාක්ෂණය හා තෙවැනි විනිසුරුවරයකු අවශ්‍ය වූයේ එහෙයිනි. අනෙක් අතට තම කඩුල්ල දැවී ගිය විට හෝ තරගයක් පරාජය වූ විට හෝ කිසිදු ක්‍රීඩකයෙක් අහස දෙස නොබලයි.


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...