The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

අයි.එම්.එෆ්.වන්දනාවේ යන අයවැය - (මහාචාර්ය චරිත හේරත්)

T

The Leader Desk

November 18, 2023 • 1:34 PM

අයි.එම්.එෆ්.වන්දනාවේ යන අයවැය - (මහාචාර්ය චරිත හේරත්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අදහසින් මෙම ලිපිය ආරම්භ කළත් ඒ කාරණය සාකච්ඡා කිරීමට කලින් සඳහන් කළ යුතු තවත් කාරණයක් ද කරළියට පැමිණ ඇත.
  • එය වන්නේ රටේ ආර්ථිකය කඩා වැට්ටවීමේ චෝදනාවට හිටපු ජනපති ගෝඨාභය, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් වැරදිකරුවන් බවට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුවය.
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය රටේ ආර්ථිකය කඩා වැටීමට හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිව යුතු බවත් ඒ හේතුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
  • එහි තීරණය පසුගිය දිනක ප්‍රකාශයට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 අයවැයේ හොඳ නරක ගැනය. ඒ අදහසින් මෙම ලිපිය ආරම්භ කළත් ඒ කාරණය සාකච්ඡා කිරීමට කලින් සඳහන් කළ යුතු තවත් කාරණයක් ද කරළියට පැමිණ ඇත.

එය වන්නේ රටේ ආර්ථිකය කඩා වැට්ටවීමේ චෝදනාවට හිටපු ජනපති ගෝඨාභය, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් වැරදිකරුවන් බවට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුවය. ඒ තීරණයත් රටේ ආර්ථිකයේ වත්මන් ගැටලුවට සම්බන්ධ කාරණයක් සාකච්ඡා කරන බැවින් ඒ ගැනත් අදහසක් පළකරමින්ම අය වැය ගැන කථා කිරීම සුදුසුය.


ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය


රටේ ආර්ථිකය කඩා වැටීමට හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිව යුතු බවත් ඒ හේතුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එහි තීරණය පසුගිය දිනක ප්‍රකාශයට පත්විය. ඒ අනුව තීන්දුව වී ඇත්තේ මේ ආර්ථික කඩා වැටීමට ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්රාල්, පී.බී. ජයසුන්දර වැනි ආර්ථික ක්ෂේත්‍රයේ තීරණ ගත් අය වගකිව යුතු බවත් ඒ වගකීම ඉටු නොකිරීම හේතුවෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්ය.

 මේ තීරණයේ තිබෙන තවත් එක් වැදගත් නිරීක්ෂණයක් වන්නේ ජනතාවගේ සම්මුතිය මත බලය ලබා ගන්නා අයට ඒ සම්මුතිය රැකීමේ වගකීම ඊළඟ ඡන්දයේ දී ජනතාව විසින් විනිශ්චය කරන දෙයක් පමණක් නොවන බවත් එම ජනතා සම්මුතිය සමග පාලකයන්ට නෛතික බැඳීමක් ද තිබෙන බවත්ය. මෙය ඉතාමත් වැදගත් නිරීක්ෂණයක් බව මගේ අදහසය.
b9621c6c 1b767f69 cbsl appears at cope 2 850x460 acf cropped
මෙහිදී මගේ මතකයට එන කාරණයක් වන්නේ 2022 මුල් කාර්තුවේ කෝප් (Cope) කමිටුව මගින් මෙම කාරණය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවක් නිකුත් කිරීමට ගත් උත්සාහය පිළිබඳවය. එම උත්සාහය පරාජයට පත් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ට හැකි වූවා පමණක් නොව කෝප් සභාපති ධුරයෙන් මා පළවා හරින්නට ද කටයුතු කළ බවද සඳහන් කිරීම අවශ්‍යය. පාර්ලිමේන්තු වාර්තාවක් නිකුත් කිරීමටවත් ඉඩක් නොදීමේ උත්සාහය කෙළවර වී ඇත්තේ ඉතාමත් බරපතළ ආකාරයෙන්ය.
 
 
 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් මගින් ඉදිරිපත් වී ඇත්තේ 2018-22 ආර්ථික කළමනාකරණයේ බරපතළ අවභාවිතයන් සහ වැරදි තීරණ තිබූ බවය. ඒ තීරණය හුදු කාරක සභා වාර්තාවක් හෝ නිර්දේශයකට වඩා ඉතාමත් බරපතළය. ආණ්ඩුකරණයේ දී වැරදි තීරණ ගැනීමෙන් නිමා නොවූ සමහර නායකයන්ගේ මෝඩකම් දිගටම කරන්නට යාම නිසා වඩාත් බරපතළ නෛතික ඉරණමකට ගොදුරු වීමේ තත්ත්වයක් වර්ධනය වී ඇති බව ඉතාමත් පැහැදිලිය.
401576402 730158295815812 4442999979928190407 n 
මේ කාලයේ (2018-22) ආර්ථික තීරණ ගැනීම සම්බන්ධයෙන් කෝප් කමිටුව හරහා සිදුකරන්න උත්සාහ ගත් විමර්ශනය එම කමිටුවෙන් බාහිරව රටට ඉදිරිපත් කරන්නට සූදානම් කරන බව මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමි. එය රටේ අනාගත දේශපාලන – ආර්ථික තීරණ සඳහා උපකාරි වාර්තාවක් වනු ඇතැයි විශ්වාස කරමි.


සමජීවිකතා ප්‍රතිපත්තිය

ජනාධිපතිවරයාගේ අය වැය කතාවේ පදනම ලෙසින් ඔහු කියන්නේ එය බුදු දහමේ එන සමජීවිකතා සංකල්පය මත ඉදිරිපත් කර ඇති බවය. සමජිවිකතා යනු අයට සමානව වැය කළමනාකරණය කිරීමය. ඒ කියන්නේ ආදායමට අනුව වියදම තීරණය කිරීමයි. මේ අදහස සාමාන්‍ය වියදම් කළමනාකරණය පැත්තෙන් ඉතාමත් ප්‍රසිද්ධ කියමනක් බව බොහෝ අය දන්නා කරුණකි.
 
අනෙක් අතට බුදුන් වහන්සේගේ එම දේශනාවට ඇතුළත් කරුණු 04 ක් (උඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යානමිත්තා සහ සමජීවිකතා ලෙසින් එය දැක්වේ) අතරින් සමජීවිකතා යනු එක් කාරණයක්  පමණක්ය. එම සංකල්පයෙන් පමණක් රටක ජාතික ආර්ථිකයේ ස්වභාවය තීරණය කිරීම ගැටලු සහගතය.  

තවත් පැත්තකින් සලකා බැලුවහොත් රටක ආර්ථිකය කියන්නේ හුදු ආණ්ඩුවේ ආදායම හා වියදම පිළිබඳව තීරණ ගැනීම පමණක් නොවේ. ඒ තුළ අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු කරුණක් වන්නේ ආණ්ඩුව නොවන සමස්ත සමාජයේම ආර්ථික වර්ධනය සහ කළමනාකරණය අයත් පළල් කලාපයක්ය. මගේ අදහස වන්නේ රටක ආර්ථික වර්ධනය සම්බන්ධව  වැදගත් වන ආයෝජනය වැනි ක්ෂේත්‍ර සම්බන්ධව කතා කිරීමේ දී ‘අතේ තියෙන මුදලට සමානව අයට සමාන්තර වැයක් පිළිබඳව කියවෙන සමජීවිකතා ප්‍රතිපත්තියට වඩා පළල් ක්ෂේත්‍රයක් ආමන්ත්‍රණය කළ යුතු බවයි.


රටේ ආර්ථික ගැටලුව

poor people
ඉතාමත් නිශ්චිතව බලන විට රටේ ආර්ථිකයේ වර්තමාන ගැටලුව ක්ෂේත්‍ර 03 ක් හරහා ප්‍රකාශයට පත් වී ඇත. ඒවා වන්නේ 1. විදේශ සංචිත හිගය මත වර්ධනය වන ගෙවුම් ශේෂ අර්බුදය 2. විශාල රාජ්‍ය  වියදමක් මත වර්ධනය වන බරපතළ ආකාරයේ අය වැය හිඟය සහ 3. කළමනාකරණයකින් තොරව ණය ගැනීම හරහා ගෙවාගත නොහැකි තරමට වර්ධනය වූ ණය අර්බුදය යන ඒවාය.

මෙවර අය වැයෙන් යම් පමණකට හෝ ආමන්ත්‍රණය කර තිබෙන්නේ මෙහි සඳහන් දෙවැනි අර්බුදය පිළිබඳවය. අනෙක් අර්බුද 02 පිළිබඳව තිබෙන්නේ සාපේක්ෂ වශයෙන් ඉතාමත් අඩු සංවේදීතාවක්ය. 2023 වර්ෂය සඳහා ආදායම් බදු වශයෙන් අපේක්ෂා කළ මුදල (පසුගිය අයවැයේ දී) වන්නේ රුපියල් බිලියන තුන්දහස් හාරසිය අටකි. (රු.බි. 3,408 කි.) එහෙත් 2023 ජනවාරි සහ  සැප්තැම්බර් අතර කාලයේ (මාස 09 ටම) ළඟා කරගෙන ඇත්තේ රුපියල් බිලියන 2110 ක් පමණය. ඒ කියන්නේ ඇස්තමේන්තු මුදලින් සියයට 61.9 ක් පමණය. ඉතිරි මාස 03 තත්ත්වය ඒ අනුව සිතාගත හැකිය. ණය ගැනීමෙන් තොරව රාජ්‍ය වියදමවත් කළමනාකරණය කරගැනීමේ ඉඩක් නැත.
399651249 729995802498728 499963297518985469 n

අනෙක් අතට IMF වට්ටෝරුවට අනුව සියලු වැඩ කරන්නට සිදු වී තිබෙන නිසා මේ කිසිදු ගැටලුවක් හරියට විසඳන්නට හැකියාවක් නැති තත්ත්වයට මුළු රටම වැටී ඇත.

මෙහිදී රටක් වශයෙන් අපේ අවධානය යොමු විය යුත්තේ හුදු ඉලක්කම් විජ්ජා පෙන්වන ගණිතමය. ආර්ථික විද්‍යාවෙන් බැහැර වී දේශපාලන ආර්ථික විද්‍යාවක් වෙතටය.
 


ලිබරල් ආර්ථිකය ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය ද?
 
401854365 727234432769513 2879667278959577229 n
 ජනාධිපතිතුමාගේ අය-වැය කතාවේ සහ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල නිතර දකින්නට ලැබෙන සංකල්පයක් වන්නේ සමාජ වෙළඳපොළ ක්‍රමයක් පිළිබඳව අදහසය. මෙය එතුමා පමණක් නොව තවත් අය නිතර කියනු ලබන මන්ත්‍රණයක් බවට ද දැන් පත්වී ඇත. ඒ අදහසේ පදනම වන්නේ රාජ්‍යය සතු වපසරිය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අවම කරමින් පෞද්ගලික අංශයේ වර්ධනය සඳහා ප්‍රතිපත්ති රාමුවක් ගොඩනගා ගනිමින් ආර්ථිකය මෙහෙයවීමය. මේ අදහස සමහරුන් යොදා ගන්නේ හුදු ලිබරල් වෙළෙඳපොළ ආකෘතියේම පිටකවරයක් ලෙසින් බව මගේ අදහසය.
 
2001 සිටම එජාප ආණ්ඩු අඩු වැඩි වශයෙන් උත්සාහ කළේ රාජ්‍යය සීමාකර වෙළෙඳපොළ වර්ධනය කිරීමෙන් ආර්ථිකයේ වර්ධනයක් ලබා ගැනීමය. ඒ අදහසේ අනෙක් උපකල්පනය වූයේ එසේ වර්ධනය වන වෙළෙඳපොළ මගින් සමාජයේ අනෙක් පාර්ශ්ව වෙතට ධනය සහ අවස්ථා ගලා යන බවය. එහෙත් ඒ කිසිදු එජාප රජයකින් ඉහත සඳහන් ආර්ථික අපේක්ෂා සාධනය කර ගත්තේ නැත. 2015-19 ආණ්ඩුව නිමා වූයේ මෙතෙක් ඉතිහාසයේ ගත් වැඩිම ISB ණය හෙවත් ස්වෛරී බැඳුම්කර ණය කන්දක් තුළට රට තල්ලු කරමිනි.

ඒ ආර්ථික උපක්‍රම මගින් (2008 සිට රාජපක්ෂ රජයක් ද සමගින්) රට බරපතළ ආර්ථික අර්බුදයකට තල්ලු කිරීමෙන් පසුව ඒ අර්බුදයට විසඳුම ලෙසින් යෝජනා කරන්නේත් ඒ පරණ ලිබරල් ආර්ථික ක්‍රමයම නම් එතැන කිසිදු විසඳුමක් ඇත්තේ නැත. මේ රටේ ප්‍රශ්නය IMF වට 17ක් හරහා යමින් එක තැනම කැරකෙන්නේ මේ ප්‍රතිපත්ති ඌනතාව නිසාය.

වෙළෙඳපොළ ආරක්ෂා කරන සහ සමාජ සුබසාධනය ආරක්ෂා කරන සමාජ ප්‍රජාතන්ත්‍රවා දී ආකෘතියකින් මිස මේ යන පාරෙන් රටට විසඳුමක් ලැබෙන්නේ නැති බව මගේ මතයයි. වසර 5කට පසුව IMF වට වන්දනාවක් යන්නට වෙනවා හැර මේ අර්බුදයෙන් ගොඩ එන්නට මගක් මේ ප්‍රතිපත්තියේ (ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ) නැති බව ඉතාමත් පැහැදිලිය.


අය-වැයේ කරුණු කීපයක්
 
 
සංක්ෂිප්ත වශයෙන් මේ අය-වැයේ යෝජනා කීපයක් වෙත අවධානය යොමු කිරීම වැදගත්ය. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව හුදු මානසික සහනයක් මිස භෞතික සහනයක් සෑහෙන කාලයකට ලැබෙන්නේ නැති යෝජනාවකි. වැඩිවන ජීවන වියදම් දීමනාව හෙවත් රු. 10,000 ලැබෙන්නේ ලබන වසරේ අප්‍රේල් සිටය. ඒ දක්වා වැඩි වූ රු. 10,000 ඒවා හතර එකින් එක ලැබෙන්නේ ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිටය. ලබන වසරේ ඔක්තෝබර් මාසය වනවිට අලුත් ජනාධිපති කෙනෙක් පෙන්වීමට නියමිතය. තමන්ගේ ජනාධිපතිධුරය නිමාවන තෙක් ක්‍රියාත්මක නොවන යෝජනා අයවැයට එකතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ තරමේ බරපතළකමය.
 
මේ අය-වැය අතර අධ්‍යාපනය සම්බන්ධකර ඇති සමහර යෝජනා ධනාත්මකය. උසස් අධ්‍යාපනයත්, වෘත්තීය අධ්‍යාපනයත් පමණක් නොව පාසල් අධ්‍යාපනයත් අද තියෙන්නේ බරපතළ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය තැනකය. ඒ සඳහා යම් ආකාරයක මැදිහත්වීම් මේ තුළ තිබෙන බව මගේ අදහසය.

ඉඩම් සම්බන්ධව මේ අය-වැයේ ඉදිරිපත් වන උරුමය වැඩ සටහන ඉතාමත් ප්‍රශ්නකාරී එකක් බව මගේ අදහසය. ඉඩම් ප්‍රතිසංස්කරණය මුවාවෙන් බොහෝ ආණ්ඩු කළේ ඉඩම් කොල්ලකෑම්ය. LRC පනතට අනුව රජයට ගත් ඉඩම් දේශපාලනඳායන්ගේ භුක්තියට සවිකර ගත් අවස්ථා ඕනෑ තරම් අතීතයේ ඇත. ඒවා වර්තමානයේ ද ඇත. මේ යෝජනාව හරහා අනාගතයටත් ඒ ගැටලුව ගෙනයාමේ ඉඩක් ඇත.

අවසන් වශයෙන් කිව යුත්තේ මෙවර අය-වැය ගමන් කරන්නේ රට IMF වන්දනාවේ 18 වැනි වතාවට තල්ලු කිරීමක් බවය. 18 වංගුවෙන් පසුවවත් රට ගොඩනැගීමට හැකිවේවායි මගේ කිවිදා දැක්මය.

charitha herath mp
(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.

charith9@yahoo.com

 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(ලංකාදීප කිවිදා දැක්ම 17 නොවැ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...