The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

'ගජමෑන්' ඇතුළු ජීවමාන කාටූන් චරිත රැසක් ඉතිරි කර නිහඬව ම නික්ම ගිය කැමිලස්

T

The Leader Desk

December 18, 2023 • 4:31 PM

'ගජමෑන්' ඇතුළු ජීවමාන කාටූන් චරිත රැසක් ඉතිරි කර නිහඬව ම නික්ම ගිය කැමිලස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසැම්බර් 17 වන දා සනිටුහන් විය.
  • කාටූන් සහ චිත්‍ර කතා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන් ම විශිෂ්ටයෙකු ද වූ කැමිලස් පෙරේරා එලෙස දැයෙන් සමුගත්තේ ය.
  • ඔහු, ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය කාටුන් චරිත වූ ගජමෑන්, මගෝඩිස් තුමා, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස් ඇතුළු කාටුන් චරිත රැසක් ජනතාව අතර ජීවමාන කළ ප්‍රවීණ කාටුන් ශිල්පියෙකි.
  • වසරේ දෙසැම්බර් පළමුවන දා මීගමුවේ දී උපත ලැබූ කැමිලස් පෙරේරා, අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙසැම්බර් 17 වන දා සනිටුහන් විය.

කාටූන් සහ චිත්‍ර කතා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන් ම විශිෂ්ටයෙකු ද වූ කැමිලස් පෙරේරා එලෙස දැයෙන් සමුගත්තේ ය.

ඔහු, ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය කාටුන් චරිත වූ ගජමෑන්, මගෝඩිස් තුමා, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස් ඇතුළු කාටුන් චරිත රැසක් ජනතාව අතර ජීවමාන කළ ප්‍රවීණ කාටුන් ශිල්පියෙකි.

1939 වසරේ දෙසැම්බර් පළමුවන දා මීගමුවේ දී උපත ලැබූ කැමිලස් පෙරේරා, අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය.

වෛද්‍ය උපදෙස් මත, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (දෙසැ:17) පස්වරුවේ ම සිදු කළ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය.

කැමිලස් පෙරේරා ඔහුගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ, මීගමුව‍ සාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙනි.

ඉන්පසු ඔහු මාරිස්ටෙලා විද්‍යාලයයෙන් සහ සාන්ත මරියා විද්‍යාලයයෙන් ද සිප් සතර හැදෑරීය.

කැමිලස් පෙරේරා චිත්‍ර කලාවෙහි දක්ෂයෙකු බව ඔප්පු කළේ, කුඩා අවධියේදී ම ය. ඊට අමතරව ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ අතර මීගමුවේ ජුපිටර් පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෙකු විය.

විශිෂ්ට කාටූන් ශිල්පියෙකුගේ ගමන්මඟ

gfgfj

කැමිලස් පෙරේරාගේ කාටූන් නිර්මාණයක් මුලින් ම පුවත්පතක පළ වී ඇත්තේ 1964 වසරේ දී ය. ඒ, ලේක්හවුස් ආයතනයෙහි 'සරසවිය' පුවත්පතේ ය.

1965 වසරේ සිට 'දවස' පුවත්පත වෙනුවෙන් දිනපතා කාටූනයක් නිර්මාණය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. ඒ සඳහා ඔහු නිර්මාණය කළ කාටූන් චරිතය වූයේ 'තෙපානිස්' චරිතය යි.

1966 වසරේ සිට ඔහු දිනපතා නිකුත් කෙරෙන 'ජනතා' පුවත්පත සඳහා ‘දොන් සේතන්’ නමින් කාටූන් චරිතයක් නිර්මාණය කළේ ය. දොන් සේතන් චරිතය සමග සේතංගේ බිරිය සිමෝනා, දියණිය මෙරායා සහ බාල දරුවා ලපයා, දියණියගේ පෙම්වතා ගොඩ්ඩින් අයියා ආදී එවකට අතිශය ජනප්‍රිය වූ චරිත රැසක් ඔහු බිහි කළේ ය.

ඔහු ලේක්හවුස් ආයතනය පළ කළ මිහිර පුවත්පතට ‘ටික්කා‘ නමින් කාටූනයක් ද එහි ම ක්‍රීඩා පුවත්පතට 'සෙල්ලං සේන' චරිතය ද නිර්මාණය කළේ ය.

ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත ලෙස සැලකෙන 'සතුට' පුවත්පත වෙනුවෙන් ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය ම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය කරන ලද්දේ 1972 වසරේ දී ය. එහි අතිශය ජනප්‍රියත්වය නිසා ම ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වෙනුවෙන් ද යොදා ගන්නා ලද්දේ ගජමෑන් චරිතය යි.

එම චිත්‍රපටයෙහි කැමිලස් නිර්මාණය කළ චරිත රැසක් ඇතුළත් විය.

පසුකලෙක ඔහු 'සතුට' පුවත්පතින් ඉවත්ව මල්ටිපැක්ස් ආයතනය නිකුත් කළ 'සිත්තර' පුවත්පත හා සම්බන්ධ වූ අතර එම පුවත්පත එවකට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

1982 වසරේදී මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත්වූ කැමිලස් ඔහුගේ ම ආයතනයක් පිහිටුවා, 'කැමිලස්ගේ ගජමෑන් සමග සත්සිරි' නමින් පුවත්පතක් එළිදැක්වීය. එය අතිශයින් ජනප්‍රිය වී අලෙවි වාර්තා බිඳ දැමීමට සමත් වූ අතර, ඔහුගේ ව්‍යාපාරික දැනුම ද ඉන් දිස්විය.

2002 වසරේ දී 'ගජමෑන්' චරිතයෙහි 30 වන උපන් දිනය සැමරූ අතර ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වීය.

‘චිත්‍ර කතා සහ කාටූන් ශිල්පීන් සිය ගණනකට අතහිත දුන්නා’

cartoonකැමිලස්ගේ චරිත

කැමිලස් පෙරේරා දශක ගණනාවක් පුරා ඔහුගේ අනන්‍යතාව රැක ගනිමින්, කාටූන් සහ චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස පෞරුෂයක් ගොඩනගා ගත් නිර්මාණකරුවෙකි.
ඔහුගේ අනුග්‍රහය මත මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන බීබීසී සිංහල සේවයට මෙසේ පැවසීය:

"මටත් ඒ කාලේ ආභාසයක් තිබුණා අපේ ඉස්කෝලෙ චිත්‍ර ටීචර් හිටියේ, හෙන්රි තෙන්නකෝන්. අර 'සමාජ සමයං' කාටූන් එක ඇන්ද කෙනා. ඒ නිසා මමත් කාටූන් ඇන්දා. ඇන්ටන් බී. පෙරේරා කියන චිත්‍ර ශිල්පියා තමයි මාව මුලින් ම කැමිලස් පෙරේරා ගාවට එක්කගෙන ගියේ. ඒ කාලේ එයා මල්ටිපැක්ස් සමාගමෙන් මුද්‍රණය කරපු සිත්තර පත්තරේ තමයි වැඩ කළේ."

පසුකලෙක ජනප්‍රියත්වයට පත්වූ චිත්‍ර ශිල්පීන් රැසකට මඟ විවර කර දුන්නේ, කැමිලස් පෙරේරා බව ද රන්ජන් පරණවිතාන පැවසීය.

"එයා චිත්‍ර කතා ශිල්පීන් සිය ගණනකට අතහිත දුන්නා. පසු කාලවල ගොඩක් ජනප්‍රිය වුණ චිත්‍ර ශිල්පීන් ගොඩක් අය ගෙනාවේ කැමිලස් තමයි. ජනක රත්නායක, බන්දුල හරිශ්චන්ද්‍ර, බලංගොඩ සරත් මධූ වගේ ගොඩක් අය ඒ අතර ඉන්නවා. කැමිලස් පෙරේරා චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි, ඔහුට තිබුණා වර්ණ ගැලපීමේ පුදුමාකාර දක්ෂතාවක්. බොහෝ විට ඔහුගේ අතින් තමයි ඔහු යටතේ මුද්‍රණය වුණු පුවත්පත්වල මුල් පිටුව නිර්මාණය වුණේ. ඔහු චිත්‍ර කතා සහ කාටූන් ක්ෂේත්‍රයට කරපු මෙහෙවර කියලා නිම කරන්න බැරි තරම්."

මේ අතර, පුවත්පත් කාටූන් කලාවට කැමිලස් පෙරේරා කළ සේවය අමතක නොකළ යුතු බව මව්බිම පුවත්පතේ සේවය කරන ප්‍රවීණ කාටූන් ශිල්පී එම්. ඩී. වීරරත්න පවසයි.

"ඔහු කාටූන් ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෙක් කියලා කියන්න පුළුවන්. ඔහු පුවත්පත් කාටූන් ශිල්පීන්ට යම් ගෞරවයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයෙක්. ඔහුගේ අඩි පාරේ ගිහින් විශිෂ්ටයින් බවට පත්වුණ ගොඩක් අය ක්ෂේත්‍රයේ ඉන්නවා. ඇත්තට ම ඔහුගේ අභාවය ගැන ඇසුවා ම මට ඇති වුණේ කම්පාවක්."

‘මම කැමති මගේ මුල් ගජමෑන්ට’

කැමිලස් පෙරේරා සමීපව ඇසුරු කළ රන්ජන් පරණවිතාන 'ගජමෑන්' චිත්‍රපටය සම්බන්ධයෙන් කැමිලස් කී අදහසක් ද අප සමග පැවසීය.

"ඔහු ජීවතුන් අතර ඉන්න කාලෙදි ම චිත්‍රපටය තිරගත කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටු වුණා. හැබැයි චිත්‍රපටය බලලා මට කිව්වා, මම කැමති මගේ මුල් ගජමෑන්ට කියලා. ත්‍රිමාණ සජීවීකරණයෙන් නිර්මාණය කළ ගජමෑන්ට වඩා ඔහු ආදරය කළා තමන්ගේ තෙලිතුඩෙන් ඇන්ද ගජමෑන්ට."

(BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...