The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සුපිරි වෙළඳසැල්වල බඩු කියන තරමට ම සුපිරි ද?

T

The Leader Desk

December 19, 2023 • 11:33 AM

සුපිරි වෙළඳසැල්වල බඩු කියන තරමට ම සුපිරි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලය කළමනාකරණය කර ගනිමින් ගුණාත්මකභාවයෙන් වැඩි භාණ්ඩ මිල දී ගැනීමේ අරමුණෙන් එලෙස බොහෝ දෙනෙක් සුපිරි වෙළඳසැල්වල සේවාවන් භාවිතා කරති.
  • ඇතුළෙ තියාගෙන ඉඳලා මැලවුණ ඒවා විකුණනෙ.
  • ඊට වඩා පිටකොටුවෙ විකුණන ඒවා හොඳයි," එලෙස හඬ අවදි කළේ නිලන්ති ය.
  • ඔවුන් පවසන්නේ සුපිරි වෙළඳසැලට එන පළතුරු තොගවල නැවුම්භාවය නැතිවුවත් බොහෝ වෙලාවට ඒවා විකිණීමට කටයුතු කර ඇති බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

කාලය කළමනාකරණය කර ගනිමින් ගුණාත්මකභාවයෙන් වැඩි භාණ්ඩ මිල දී ගැනීමේ අරමුණෙන් එලෙස බොහෝ දෙනෙක් සුපිරි වෙළඳසැල්වල සේවාවන් භාවිතා කරති.

සාමාන්‍ය පදික වේදිකා වෙළඳසැල්වලින් හෝ පොළකින් හෝ මිල දී ගත හැකි ආහාරවලට වඩා ගුණාත්මකභාවයක් පාරිභෝගිකයෝ නිතැතින් ම සුපිරි වෙළඳසැල්වලින් බලාපොරොත්තු වෙති.

මෙම ලිපියෙන් පාඨක ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සුපිරි වෙළඳසැල් කිහිපයක සේවය කළ සේවකයන් කිහිපදෙනෙකු විසින් බීබීසී සිංහල සමග ඒ සම්බන්ධයෙන් බෙදාගත් අත්දැකීම් සමුදායකි.

'පළතුරු නම් ගන්නම එපා, අපිනෙ දන්නෙ කොච්චර පරණ ද කියලා'

නිලන්ති සහ පියුමි වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වන සුපිරි වෙළඳසැල් ජාලයක සුපරීක්ෂක තනතුරේ සේවය කළ තරුණියන් දෙදෙනෙකි. මේ ඔවුන්ගේ සැබෑ නම් නොවේ.

ඔවුන් එම සුපිරි වෙළඳසැල් ජාලයේ සේවය කළ සමයේ ලැබූ අත්දැකීම් ගැන බීබීසී සිංහල වෙත අදහස් පළකළේ මෙසේ ය.

"පලතුරු නම් ගන්න ම එපා. අපිනෙ දන්නෙ. ඇතුළෙ තියාගෙන ඉඳලා මැලවුණ ඒවා විකුණනෙ. මිදි එහෙම චිලර්වල තියලා දෙනවා, ඒවා සෑහෙන්න පරණ යි. ඊට වඩා පිටකොටුවෙ විකුණන ඒවා හොඳයි," එලෙස හඬ අවදි කළේ නිලන්ති ය.

ඔවුන් පවසන්නේ සුපිරි වෙළඳසැලට එන පළතුරු තොගවල නැවුම්භාවය නැතිවුවත් බොහෝ වෙලාවට ඒවා විකිණීමට කටයුතු කර ඇති බව යි.

ඇතැම් සුපිරි වෙළඳසැල්වල පළතුරු ගෙඩිය පිටින් නොව, ඉදී ඇති පළතුරු කෑලිවලට කපා විකිණීමට තබා ඇති අයුරු දැකගත හැකි ය. ඒවා ද ගුණාත්මකභාවයෙන් අඩු පළතුරු බව පියුමි පැවසුවා ය.

"කපල තියෙන පලතුරු නම් ගන්නම එපා. පණුවො හැලෙන කෑලි අයින් කරල දෙන්නෙ," ඒ පියුමිගේ හඬ යි. "පළතුරු ජූස් හදලා විකුණන්න දාන්නෙත් ඔය වගේ බාගෙට නරක් වුණු පළතුරු තමයි."

HIllfoot Garages 3

ඔවුන් පවසන්නේ එළවලුවල සහ මස් මාලුවල තත්ත්වය ද එය ම බව යි.

"සමහර වෙලාවට මස් වර්ග දවස් ගණන් පරණ යි. ඩිස්ප්ලේ තියන්න බැරිම තරම් පරණ වුණාම තමයි අර තුනපහ දාල උයන්න ලෑස්ති කරපුව වගේ විකුණන්න දාලා තියන්නේ," නිලන්ති පැවසුවා ය.

"මම වැඩ කරපු එක බ්‍රාන්ච් එකක හවසට බාබකියු දානවා. ඒ දාන්න ගන්නෙ නිලන්ති කියපු විදිහට පරණ වුණ මස් වර්ග තමයි," පියුමි ද ඇගේ අත්දැකීම විස්තර කළා ය.

"බඩු ගෙනැල්ලා ඒවා වර්ග කරන්න දාන කාමරවලට ගියාම සමහර වෙලාවට වමනෙ යන්න තරම් අප්පිරිය යි. සමහර දවස්වලට කුණු ගඳ ඉවසගන්න බෑ. පළතුරු, එළවලු කුණුවෙලා වතුර වගේ ගලනවා. පණුවො හැලෙනවා සමහර පළතුරු, එළවලු පෙට්ටි උස්සන් එද්දි."

ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ අප්‍රියජනක අත්දැකීම් විස්තර කළේය. මෙම තත්ත්වය නිසා ඇතිවූ පීඩනය හේතුවෙන් ඔවුන්ගේ ආහාර රුචිය පහත වැටුණා සේම, දැන දැනම එවැනි භාණ්ඩ විකිණීමට සිදුවූ නිසා යම් වරදකාරී හැඟීමකට ද පත්ව සිටි බව ඔවුන් සඳහන් කළේය.

"දවල්ට, රෑට කන්න බෑ ගොඩක් දවස්වලට. කෑම කන්න යද්දි හරිම අප්පිරිය යි. කෑම එක ගුලිකරලා කුණු බක්කියට දාලා අනන්තවත් අත හෝදගෙන නැගිටලා ඇවිත් තියෙනවා," පියුමි පැවසුවා ය.

නිලන්ති ද පැවසුවේ එලෙස ගුණාත්මක නොවන භාණ්ඩ විකිණීමට සිදුවීම ඇයට පීඩනයක් වූ බව යි.

"අපට පොඩි කාලෙ ඉඳලා කියන්නෙ කනබොන දේවල්වලට බොරු කරන්න එපා, එහෙම කළොත් ඒක ගෙවා ගන්න බැරි පවක් කියලා. ඒත් මේ වගේ නරක දේවල් බලාගෙන වැඩ කරන්න සිද්ධ වුණේ. එළවළු පලතුරු වර්ග කරද්දි අපි දන්නවනෙ මේවා කොහෙට ද කොහොම ද දාන්නෙ කියලා. ඒ හැඟීම හරිම අමාරු එකක්. මගේ පවුලෙ අයට මම කියලා තියෙන්නෙ පැකට් කරලා සීල් කරපු බඩු ඇරෙන්න වෙන කිසි දෙයක් සුපර්මාකට්වලින් ගන්න නම් එපා කියලා."

Screenshot 2023 12 19 at 16.47.32

'ටාගට් ගහන්න ඕනෙ නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම'

සුමුදු තවමත් සුපිරිවෙළඳසැල් ජාලයක සේවය කරන තරුණියක් වන අතර, මෙය ඇගේ සැබෑ නම නොවේ.

ඇය පවසන්නේ සුපිරි වෙළඳසැලට එවන තොග විකුණා ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය නිසා කළමණාකාරීත්වය විසින් පරණ වී ගුණාත්මකභාවයෙන් අඩු වූ එළවළු පළතුරු පවා විකිණීමට උපදෙස් ලබා දෙන බව යි.

"එළවළු හරි පළතුරු හරි තොගයක් එවුවාම ඒවායින් පුළුවන් තරම් විකුණලා ටාගට් එකට යන්න ඕනේ. එහෙම නැතිවුනොත් මැනෙජර්ලටත් උඩින් බැනුම් අහන්න වෙනවා. ඒ නිසා මෙයාලා අපි ලව්වා අර පරණ වුණ ඒවාත් විකුණනවා," ඇය පවසයි.

"මිදි එහෙම ගණන් වැඩි නිසා දැන් වැඩිය විකිණෙන්නෙ නැහැ. එතකොට කරන්නෙ බාගෙට නරක් වුණ/ තැලුණ ගෙඩි ටික එකතු කරලා කප්වලට දාලා ඇත්ත ගාණට වඩා අඩුවෙන් ගාන ගහලා විකුණන එක.

"මේ බඩු විතරක් නෙවෙයි, පැකට් කරපු බඩුවලත් සමහර වෙලාවට කල්ඉකුත් වුණ ඒවා විකුණන්න දාලා තියනවා. ඩේටාබේස් එකෙන් බලලා ඒවා අයින් කරන්න පුළුවන් වුණත් සමහර වෙලාවට එහෙම කරන්නෙ නෑ. හාල්, පරිප්පු වගෙ දේවල්වල වුණත් ගුල්ලො ඉන්න වෙලාවල් ඕනෙ තරම් තියෙනවා," ඒ සුමුදුගේ අත්දැකීම යි.

super m 3

'පීඑච්අයිලා චෙක් කරන්න එන්නෙ කලින් පණිවිඩේ දීලා'

Screenshot 2023 12 19 at 16.53.40

මෙවැනි තත්ත්වයක් යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ පරීක්ෂා කිරීම් සිදු කරන්නේ නැති ද යන්න අපි මේ තිදෙනාගෙන්ම විමසුවෙමු.

සාමාන්‍යයෙන් තම බලප්‍රදේශය තුළ ඇති අවන්හල්, වෙළඳසැල්වල ගුණාතමකභාවය වරින් වර පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරනු ලබන රාජකාරියකි.

"චෙක් කරන්න කියලා පීඑච්අයිලා එන්නෙ කලින් ම මැනේජර්ට පණිවිඩේ දීලා. ඉතින් මොනවද චෙක් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?" නිලන්ති විමසයි.

"අලුතෙන් මැනේජර් කෙනෙක් බ්‍රාන්ච් එකකට ආව ගමන් කරන්නේ ඒ පැත්තෙ ඉන්න පොලිස් ලොක්කො ටිකයි පීඑච්අයිවයි යාලු කරගන්න එක. තව චෙක් කරන්න එන තැන් තියෙනවා නම් ඒ තැන්වල අයවත් අල්ල ගන්නවා. එතනින් එහාට කිසි දෙයක් වෙන්නෙ නෑ කියලා මැනේජර් දන්නවා.

"අපට ඔය වගේ දේවල් කරන්න එපා කියලා කතා කරන්න බෑ. කතා කළොත් අපි ඉවර යි. අපට වැඩ කරන එක එපා කරවනවා," සුමුදු පවසයි.

"ගොඩක් මැනේජර්ලා එයාලට හිතවත් සේවකයො කීපදෙනෙක් අල්ලගෙන අනිත් අයගෙ ඔත්තු බලනවා. මේවා ගැන කොහෙ හරි කතා වුණා කියල ඒ අය ගිහින් බොරුවට ගොතලා හරි කිව්වොත් ඒත් ඉවර යි."

අප සමග මෙලෙස තොරතුරු බෙදාගත් සේවිකාවන් පවසන ආකාරයේ අත්දැකිම් ඇතැම්විට මෙම ලිපිය කියවන අයෙකුට වුවත් ලැබී තිබිය හැකියි.

ඔබ එවැනි අත්දැකීමකට මුහුණ දුන් අවස්ථාවක දී ඔබට පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ හැකි ය.

නරක් වුණු කෑම ලැබුණොත් මොකද කරන්නෙ?

ජනප්‍රිය අවන්හලකින් නරක් වූ කෑම ලබා දීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ද ඇති වී තිබේ.

යම්හෙයකින් ඔබට එවැනි ආහාරයට ගැනීමට සුදුසු නොවන කෑම අලෙවි කළහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බීබීසී සිංහල, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසීමක් කළෙමු.

"ඔබ ආහාර මිලදී ගැනීමක් සිදු කරනවා නම් අනිවාර්යෙන්ම බිල්පතක් ඉල්ලගන්න. පැමිණිල්ලකට බිල්පතක් තිබීම වැදගත්. තමන්ට ලැබිලා තියෙන කෑම එක නරක් වෙලා කියලා හිතෙනවා නම් ඒ ආහාර සාම්පලය විසි කරන්නෙ නැතිව තියාගන්න අවශ්‍යයි. ඊට පස්සෙ ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිල්ලක් සිදු කරලා ඔවුන්ට ආහාර සාම්පලය භාර දිය යුතුයි."

උපුල් රෝහණ පැවසුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටද පැමිණිලි කළ හැකි බවයි. "www.phi.lk වෙබ් අඩවියේ තියෙනවා find your PHI කියලා යෙදවුමක්. එතැනින් ඔබේ ප්‍රදේශය තෝරලා ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දුරකතන අංකය ලබා ගන්න පුලුවන්. රාත්‍රී කාලයේ හැර එවැනි පැමිණිල්ලක දි අපි හැකි ඉක්මනින් පැමිණිලි කරු සමඟ අදාල තැනට යනවා. රාත්‍රියේ නම් උදෑසන 7.30න් පසුව රාජකාරී වෙලාව තුළ දි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා."

"බැලූ බැල්මටම ආහාරය නරක් වෙලා කියන එක පැහැදිලි නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අදාළ වෙළඳසැලට නඩු පැවරීම කරනවා. එහෙමත් නැතිනම් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා පරීක්ෂණ කරලා නඩු පැවරීම කරනවා."


(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...