The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රටේ දැවැන්තම විනාශය ගැන ජවිපෙ මොකද කියන්නේ ? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

December 23, 2023 • 8:27 AM

රටේ දැවැන්තම විනාශය ගැන ජවිපෙ මොකද කියන්නේ ? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවලම වන ජාතික ජන බලවේගයට (ජා.ජ.බ) වෙන කිසිදු අවුලක් රටේ නැත.
  • ආර්ථික අර්බුදයට විසඳුම් මොනවාදැයි තැනින් තැනින් අසන්නට පටන් ගත් පසු විදේශ විනිමය හිඟයට “විදේශගත” දේශප්‍රේමීන්ගෙන් ඩොලර එකතු කරන කතා සමග, දූෂණයෙන් තොර රටක් හැදීමට සැදී පැහැදී සිටින නායකත්වයක් ඇති එකම දේශපාලන පක්ෂය තමන් යැයි කීමට ජ.වි.පෙ නායකයෝ පටන් ගත්හ.
  • එනිසා බරපතල ඛේදවාචකයකට තමන් ගොදුරුව ඇති බව මේ කිසිවකු තේරුම් ගන්නේ නැත.
  • හැකි තරම් කෙටියෙන් ඒ ගැන කිවහොත් එතෙක් පැවති ශිෂ්ට සම්පන්න සමාජ හර පද්ධතිය, ඇගයුම් හා වටිනාකම් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි වසර 40 ට වැඩි කලක් තිස්සේ ක්‍රමානුකූලව බිඳ දැමුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙවලම වන ජාතික ජන බලවේගයට (ජා.ජ.බ) වෙන කිසිදු අවුලක් රටේ නැත. ආර්ථික අර්බුදයට විසඳුම් මොනවාදැයි තැනින් තැනින් අසන්නට පටන් ගත් පසු විදේශ විනිමය හිඟයට “විදේශගත” දේශප්‍රේමීන්ගෙන් ඩොලර එකතු කරන කතා සමග, දූෂණයෙන් තොර රටක් හැදීමට සැදී පැහැදී සිටින නායකත්වයක් ඇති එකම දේශපාලන පක්ෂය තමන් යැයි කීමට ජ.වි.පෙ නායකයෝ පටන් ගත්හ.

දූෂණයෙන් තොර ආණ්ඩු පාලනයක් වෙනුවෙන් ජවිපෙට අත්පොළසන් ගසනවුන් ඊට අමතරව සමාජය බිඳ වැටීමේ මහා ඛේදවාචකය දකින්නේ නැත. තම පඩිපතට අකුණු කොටන ඛේදවාචකයක් නොවේ යැයි ඒ ගැන සොයන්නේ අසන්නේ නැත. එනිසා බරපතල ඛේදවාචකයකට තමන් ගොදුරුව ඇති බව මේ කිසිවකු තේරුම් ගන්නේ නැත.
sanka 2023
හැකි තරම් කෙටියෙන් ඒ ගැන කිවහොත් එතෙක් පැවති ශිෂ්ට සම්පන්න සමාජ හර පද්ධතිය, ඇගයුම් හා වටිනාකම් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි වසර 40 ට වැඩි කලක් තිස්සේ ක්‍රමානුකූලව බිඳ දැමුණි. ඒ වෙනුවට දූෂිත, අකාර්යක්ෂම සහ මර්දනකාරී රාජ්‍යයක් නඩත්තු කරමින් දැන් ඉන්නේ තමන්ගේ ජාම බේරා ගැනීමේ මී පොරයකට හසුවූ අති ආත්මාර්ථකාමී කුහක පාරිභෝගිකයින් ය. මේ පිරිහුණු දූෂිත රාජ්‍ය යළි සක්‍රීය ලෙස ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ක්‍රියාවලියක් නොමැතිව ආර්ථික අර්බුදයට ඩොලර පොම්පකර ගොඩ දැමිය නොහැක.

ආර්ථික අර්බුදයට විසඳුම් ඇත්තේ රට ගොඩ දැමීමෙන් හෙයින් ඒ වෙනුවෙන් වහා අත ගැසිය යුතු මූලික කාරණා කිහිපයක් ඇත.

01. සමස්ථ රාජ්‍යයම (පොලීසිය හා අධිකරණය ඇතුළුව පරිපාලන හා සෞඛ්‍ය සේවාවේ සිට ග්‍රාම නිලධර සේවාව දක්වා) හමුදාකරණයෙන් සහ ආගමික හා වාර්ගික මතවාදයෙන් මුදවා ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී, කාර්යක්ෂම ආයතන පද්ධතියක් බවට පත් කිරීම,

02. උතුරු-නැගෙනහිර ජනතතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කෙරෙන බලය සැබෑ ලෙස බෙදීමේ දේශපාලන ක්‍රියාවලියක් ආරම්භ කිරීම,

03. පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වශයෙන් අසාර්ථක හෙයින් එවැනි ජනතා ආයතන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස ස්ථාපිත කිරීම,

04. දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සමග පටු ආකල්ප සමගින්වන ආත්මාර්ථකාමී හා වර්ගවාදී විදුහල්පති සහ ගුරු සේවා, වෘත්තීය වශයෙන් දියුණු ගුණාත්මක සේවා ලෙස ස්ථාපිත කිරීම,

05. ආත්මාර්ථකාමී, කුහක පාරිභෝගිකයා නැවත සමාජ වගකීම් වෙනුවෙන් පෙනී සිටින දැනුවත් රටවැසියෙකු බවට පත් කිරීම, එවැනි කාරණා කිහිපයකි.

image e1f759ce3e
 රාජ්‍ය ආයතන ගැන පළමුව කිව යුත්තේ දූෂණයට අමතරව ඒ හැමකක්ම මේ වන විට ඉතා අලස, අකාර්යක්ෂම හා වාර්ගිකව පක්ෂග්‍රාහී ආයතන බවට පත්ව ඇතැයි කියාය. බොහෝ දෙනෙක් කතා නොකරන කාරණාව නම්, මේ රාජ්‍ය ආයතන සඳහා වෙන් කෙරෙන වාර්ෂික මුදල පලදායි ලෙස වැය කළ හැකි කාර්යක්ෂමතාවක් ඒ කිසිවකට නොමැති වග ය.
 
මහ භාණ්ඩාගාරය විසින් මුදා හරින මුදල් වැය කිරීමේදී වසරේ තෙවන කාර්තුව අවසන් වන විටද බහුතරයක් රාජ්‍ය ආයතන දෙවන කාර්තුව සඳහා ලබා ගත් මුදල වැය කිරීමටද අසමත්ව ඉන්නාහ. එනිසා සිව්වන කාර්තුව සඳහා වන මුදල ලබා දීමක් නොවන්නේය. බොහෝ විට සිදු වන්නේ තෙවන කාර්තුවේ මුදල වසර අවසාන වන්නට කලින් හිතු මතේ වැය කර අවසන් කිරීමකි. එවැනි රාජ්‍ය ව්‍යුහයක් සමගින් මුදල් තිබූ පමණින් ආර්ථික අර්බුදය විසඳිය නොහැක.
 
 අනෙක නම්, මේ රාජ්‍ය එහි තෘණ මුල් දක්වාම ආයතන වශයෙන් මෙන්ම පුද්ගල මට්ටමෙන්ද බරපතල ලෙස පිරිහී තිබීම ය. එබැවින් බහු සංස්කෘතික සමාජයක නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවන්නේය.
 
 116151177 gettyimages 1230151989
 පසුගිය කාලයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව නීතිය යොදා ගන්නා හැටි අපි කුරුණෑගල වෛද්‍ය ශාෆි ෂිහාබ්දීන්ගේ සිට මඩකලපුවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා පසුකර කවියකු වන මන්නාරමේ ආනෆ් ජසීම් සහ හසලක අසරණ කාන්තාවක් වන මසහිමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම දක්වා වූ සිද්ධීන් වලදී දුටුවෙමු. කොවිඩ් වසංගතය සමයේ භූමදාන කිරීම් තහනම් කිරීම තුලද අපි මුස්ලිම් විරෝධී එවැනිම අසාධාරණයක් දුටුවෙමු. පාසල්වල සිංහල-බෞද්ධ ගුරුවර ගුරිවරියන් මුස්ලිම් ළමුන් පංති වලින් එළියට දැමූ සහ මුස්ලිම් ගුරුවර ගුරුවරියන්ට පාසලට ඇතුළුවන්නට ඉඩ නොදුන් තොරතුරුද අපට අසන්නට ලැබුණි.
 
උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සැමරීමේදී නොතිබෙන නිදහස, දකුණේ ඉල් මහ විරුවන් යැයි රාජ්‍ය විරෝධී කුරිරු ත්‍රස්තවාදීන් සැමරීමට ලබා දීමේ අසාධාරණ තේරීම අපි දකිමු. එවගේම කවුරුන් කෙසේ අර්ථ දැක්වූවත් උතුරු-නැගෙනහිර හමුදාකරණය සමගවන රාජ්‍ය මර්දනයද වාර්ගික මර්දනයක් බැව් කිව යුතුය. මහජාතියේ මර්දනකාරී යාන්ත්‍රණයක් ලෙස රජය නඩත්තු කිරීමේ දේශපාලනය ආර්ථික අර්බුදයට මුදල් සොයා ගැනීමෙන් අවසන් වන්නක් නොවේ යැයි කිව යුතුය.
Jafna 2023
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කෙරුණු “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම” මීට වසර 12 ට පමණ ඉහතින් ඔවුන්ගේ වාර්තාව නිකුත් කරමින් ( COMMISSION OF INQUIRY ON LESSONS LEARNT AND RECONCILIATION ) උතුරු නැගෙනහිර පළාත් නොපමාව යළි ස්වාධීන සිවිල් පාලනයකට නතු කළ යුතු යැයි කළ නිර්දේශය අද සමස්ථ රටටම අදාල වන්නකි. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත්, මීගමු කලපුවේ සිට මඩකලපුව දක්වාත් ජාතික වශයෙන් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමකින් තොරව, ස්වාධීන මෙන්ම කාර්යක්ෂම ආයතන පද්ධතියක් බවට රජය පරිවර්තනය කරගත නොහැක.

රාජ්‍ය පිළිබඳ අනෙක් කතාව වන්නේ යුක්ති ගරුක ලෙස නීතිය පවත්වා නොගැනීම පිළිබඳ හිරිකිත ගමනක් සම්බන්ධ කතාවකි. ඊට අදාල වැදගත්ම සාක්ෂි ඇත්තේ මේ සමාජයෙහි සිදුවන අපරාධ සංඛ්‍යාවෙහි ය. ලෝකයේ රටවල අපරාධ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන “මැක්රෝට්රෙන්ඩ්ස් ඩොට් නෙට්” අඩවියට අනුව මෙරට අපරාධ ඉකුත් 2015 වසරට වඩා සියයට 08.4 කින් 2016 වසරේදී වැඩි වී තිබිණ. 2017 දී සියයට 08.7 කින් අඩු වූ නමුත් නැවත 2018 දී සියයට 05.4 කින් වැඩි වී තිබිණ. අනතුරුව පෙර වසරට වඩා 2019 වසරේදී සියයට 43.9 කින් අපරාධ වැඩි වී තිබිණ. ( Sri Lanka Crime Rate & Statistics 1990-2023 )
 
Rape
 වසර 2019 දී සියයට 43.9 කින් අපරාධ වැඩිවීම් පෙන්නුම් කෙරෙන “බරපතල අපරාධ පිළිබඳ 2019 සංක්ෂිප්ත වාර්තාවට” අනුව බාලවයස්කාර දැරිවියන් (කැමැත්ත ඇතිව) දූෂණය කිරීම් 10,765 කි. බලහත්කාර දූෂණ 56,783 කි. බාලවයස්කාර දැරවියන්ගේ කැමැත්ත නෛතිකව නොසළකන හෙයින් සමස්ථ බාලවයස්කාර දැරවියන් 67,548 ක් 2019 වසරේදී පමණක් දූෂණයකර ඇත. වැඩිහිටි කාන්තා දූෂණ සංඛ්‍යාව 1,674 කි. ළමා හිංසන 90,400 කි. අන්තරායකර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වාර්තා කිරීම් 10,012 කි. (මෙම බරපතල අපරාධ පිළිබඳ සංක්ෂිප්ත වාර්තා ජුනි 2021 න් පසු පොලිස් වෙබ් අඩවියෙන් ඉවත්කර ඇත. එහෙත් 2021 මැයි 30 වන දින ලබා ගත් උපුටනයක් විකිපීඩියාවෙහි ඇත. (Crime in Sri Lanka)      
 

වසරක් තුල ළමා හිංසන 90,400 ක් වාර්තා වූයේ යැයි කියන විට එය සුළුපටු සංඛ්‍යාවක් නොවේ. පාසල්වල ගුරුවර ගුරුවරියන්, විදුහල්පතිවරුන් ළමුන්ගේ කන් පළන හැටි, කොසුමිටි වලින් පහර දෙන හැටි, ලිංගිකව සූරා කන හැටි පිළිබඳව ඒ අතර අපමණ වාර්තා ඇත. එවගේම විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවර ගුරුවරියන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් පාසල් පරිපාලනය දේශපාලනීකරණය කෙරෙන සැටිත් පාසල් සංවර්ධන සංගමයේ අරමුදල් බරපතල ලෙස අවභාවිතා වන හැටිත් ප්‍රසිද්ධ කතා ය. පරම්පරා කිහිපයක් පුරා පිරිහුණු එවැනි විදුහල්පති හා ගුරු සේවාවන් සමගින් වන විධිමත් අධ්‍යාපනයක් මත පිහිටුවා ඇති විශ්ව විද්‍යාල ඇතුළත් උසස් අධ්‍යාපනය පමණක් ගුණාත්මක ආයතන වන්නේ නැත. පරම්පරාවෙන් පරම්පරාවට එළෙසින් පිරිහී ඇති විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියෙහි ශීලාචාර සමාජයකට ඇවැසි විනයක් සදාචාරයක් ඇති රටවැසියන් හැදිය නොහැක. රටේ හැම සේවාවකම ඉන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ මේ පිරිහුණු සහ පිරිහෙමින් ඇති අධ්‍යාපන ක්‍රියාවලියෙන් හදා දෙනු ලබන බාල, ආත්මාර්ථකාමී සේවක සේවිකාවන්ය.
Kusal 2023.12.23
 මෙවැනි බිහිසුණු ඛේදවාචකයක් ගැන කිසිවක් කතා නොකරන රටකට යහළුවන් ඩොලර ලබා දුන්නත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ලබා ගත්තත් ආර්ථික අර්බුද වලින් ගොඩ එන්නට නොහැක. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට නම් මේ තිරිසන් සමාජය නැවත ශීලාචාර, සංවර සමාජයක් බවට පත් කරගත යුතුය. ඒ සඳහා මේ පිරිහීම තේරුම් ගත යුතුය. විසඳුම් සොයන සමාජ සංවාදයක් දිග හැර ගත යුතුය.

එවැනි සංවාද නාගරික මැදපංතියේ ඇත්තේ නැත. විශ්ව විද්‍යාලවල කෙරෙන්නේද නැත. වෘත්තිකයින් අතරද නැත. දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් දිවුරා පොරොන්දු වන ජ.වි.පෙ හා ජා.ජ.බ අහම්බෙන් හෝ ඒ ගැන කතා කරන්නේද නැත. එනිසා ඔවුන්ගෙන් ඇසිය යුතු සරළ ප්‍රශ්න කිහිපයක් ඇත.

1. රාජ්‍ය පිරිහීම හා අපරාධ දෝරේ ගැලීම වළකාලමින් ස්වාධීන කාර්යක්ෂම රාජ්‍යයක් යළි ස්ථාපිත කිරීම සඳහා ජ.වි.පෙ ඉදිරිපත් කරන විසඳුම් මොනවාද?

2. ආණ්ඩු බලය ලැබුණහොත් (?) උතුරු-නැගෙනහිර ජනතතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීම වෙනුවෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයින් හා සාකච්ඡා කරන්නේද නැද්ද?

3. අනාගතය වෙනුවෙන් දියුණු රටවැසියන් හදන ජාතික අධ්‍යාපනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ජ.වි.පෙ ඉදිරිපත් කරන යෝජනා කවරේද?


එවැනි ප්‍රශ්න ගැන වැරදීමකින් හෝ කතා නොකරන බැවින් ජ.වි.පෙ ආර්ථික අර්බුදය විසඳමින් දූෂණයෙන් තොර ආණ්ඩු හැදීමට දෙන පොරොන්දු කිසිවක් මේ රටේ, මේ කුණු වුනු සමාජයට වලංගු නැතැයි අවධාරණයෙන් යුතුව කිවමනා ය. ඒවා ගේදොර සැරසීමට ඇති ලස්සණ ප්ලාස්ටික් පැල, වත්තේ වගා කිරීමට දෙන පොරොන්දු වැනිය. ඒ බැව් හෝ නොදන්නා ජ.වි.පෙ නායකයින්ගෙන් කාර්යක්ෂම පිරිසිදු ආණ්ඩු බලාපොරොත්තුවීමත් ප්ලාස්ටික් ගස්වල මල් පිපෙනවා යැයි බලාපොරොත්තු වනවා වැනිය.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2023 දෙසැම්බර 22

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...