The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : නත්තල් සීයාට ලියුමක්

T

The Leader Desk

December 24, 2023 • 11:33 AM

 කපිල කුමාර කාලිංගගේ හීසරය : නත්තල් සීයාට ලියුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගහන ගහන පදයට නටන්නට ගියහොත් සිදුවන්නේ, රටම බද්දට දී ඇස්සට දත නියවීමටය.
  • ලබන අවුරුද්දේ, අලුත් වැට් ක්‍රමය ක්‍රියාත්මක වනතුරු, එය මොන මොනවාට බලපානු ඇතිදැයි පුංචි සිංඤ්ඤෝලාට දැනුමක් තේරුමක් නැත.
  • යමක් කමක් දන්නා ඇත්තන් කියන විදිහට නම්, වැට් බද්ද නොවදින බලු නැට්ටක්වත් නැති තරම්ය.
  • ඔහුට අනුව, හෙම්බිරිස්සාවටත් බද්දක් ගැසීමට ඉඩ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගහන ගහන පදයට නටන්නට ගියහොත් සිදුවන්නේ, රටම බද්දට දී ඇස්සට දත නියවීමටය.

ජිප්සීස් නායක, සුනිල් පෙරේරාවත් ජීවතුන් අතර සිටියා නම් ''අයි ඩෝන්ට් නෝ වැට්'' යැයි සින්දුවක් හෝ කියා රටපුරා නන්නත්තාර වී සිටින මිනිසුන්ට බද්දෙන් තොර විනෝදයක් ලබාදෙන්නට ඉඩ තිබුණි.

ලබන අවුරුද්දේ, අලුත් වැට් ක්‍රමය ක්‍රියාත්මක වනතුරු, එය මොන මොනවාට බලපානු ඇතිදැයි පුංචි සිංඤ්ඤෝලාට දැනුමක් තේරුමක් නැත. යමක් කමක් දන්නා ඇත්තන් කියන විදිහට නම්, වැට් බද්ද නොවදින බලු නැට්ටක්වත් නැති තරම්ය.

හැටේ දශකයේ මුල් භාගයේද, රටපුරා බදු උණුසුමක් පැතිර ගියේය. එකල, මුදල් ඇමතිව සිටියේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. එතුමා සම සමාජ පක්ෂයේ නායකයා වූවා පමණක් නොව, අර්ථ ශාස්ත්‍රඥයෙක්ද විය. ඇන්.ඇම්. සහෝදරයාද, විවිධ බදු අත්හදා බලමින්, රජයේ ආදායම දියුණු කරන්නට සිතුවේය. 


එදා දවස පුවත්පතට, ''අබරං සීයාගේ දවසේ කියමන්'' යනුවෙන් උපහාස වැකියක් ලියූ, මහා පත්‍ර කලාවේදී ඩේවිඩ් කරුණාරත්නයන්, ඇන්.ඇම්. බදු සරදමට ලක් කළේ මෙසේය.

 ''.... දැන් දරුවන් හය හතර තෝරා ගන්නට කියවන හෝඩි පොතෙනුත් බද්දක් අය කරන්නට අර ඇඳීම හේතු කොටගෙන අලෙවි බද්දෙන් අඩු ගණනේ මළ බත බෙදා කන කොළ පොතවත්, ගෙදර දොර අතු පතු ගාන ඉළපොතවත් ඉතුරු වේ යැයි සිතන්නට බැරිය....''

 
එහෙත් දකින දකින එකට බදු පැනවීමෙහිත් එකම එක හොඳක් පෙනෙන්නට ඇතැයි, අබරං සීයා සරදම් සිනාවකින් යුතුව කියයි.

ඔහුට අනුව, හෙම්බිරිස්සාවටත් බද්දක් ගැසීමට ඉඩ ඇත. එසේ වුවහොත්, නිකම් ලැබෙනවා නම් අනුන්ගේ හෙම්බිරිස්සාව වුණත් හොඳ යැයි සැලකූ පිරිස් ඉන්පසු බදු බයට පත්ව තම අදහස් වෙනස් කිරීමට ඉඩ ඇත

 

තවත් අවස්ථාවක අබරං සීයා මෙසේ බිය වෙයි.

''තුරුණු මුදල් ඇමති - තුමාගේ අයවැය ලේඛනේ
මහලු බද්දකුත් ආවොත්, නාකි අපිව කෑව-නේ!''

Sunaka123

එක අතකින් බලන කල රටට නිදහස ලබන්නටත් පෙර සිටම ඉස්තෝප්පු බද්ද ඇඟ බද්ද, බලු බද්ද යනාදී වශයෙන් විවිධාකාර බදු ගෙවා පුරුදු සිරි ලාංකිකයාට කලක් ගත වනවිට වැට් බද්දත් මොන ඉළව්වක්දැයි සිතෙන්නට බැරි නැත.

සමාජ ජාලා තුළද නොයෙක් වැට් බදු යෝජනා කෙරෙයි. ''අවිවාහක බද්ද'' ඉන් එකකි. කල් මරමින් සිටින අය, බදු වදින්නට පෙර විවාහ විය යුතුය. රුවුල් බද්ද, ටැටූ බද්ද, ගිටාර් බද්ද, ට්‍රිප් බද්ද, ඩෙනිම් බද්ද තවත් කීපයකි.

''දරු බද්ද'' යනු, දරුවකු උපන් විට ඔහු හෝ ඇය වෙනුවෙන් දෙමව්පියන්, රජයට ගෙවිය යුතු බදු මුදලය. ''මළ බද්ද'' යනු කෙනෙකු මළ විට, ඔහුගේ ඥාතීන් විසින් ගෙවිය යුතු බද්දය. (මේවා අසන විට කෙනෙකුට ''මළ බද්ධය'' ඇති වුණොත් පුදුම විය යුතු නැත. එවිට පාචනයට වඩා මළ බද්ධය හොඳ යැයි ආර්ථික උපදේශකවරුන් පවසනු ඇත.)
412748527 751248007040174 607359695265830870 n

 මේවා හුදු උපහාසය පිණිස කියන බොරු කතා යැයි ඉවත දැමිය නොහැක්කේ, දැනටමත් කුසගින්නට කන පාන් ගෙඩියට, රොටියට පවා පෙර නොවූ විරෑ මිලක් ගෙවන්නට සිදුව ඇති බැවිනි. ජීවිතය දුෂ්කර වූ විට, මිනිසා වෙතින් සතුට පළා යයි. ඉන්පසු දැකිය හැකිවන්නේ මුඩුම, මුස්පේන්තු සමාජයකි. සිරි ලංකාව සිනාවට ප්‍රසිද්ධ රටකි. එහෙත් දැන් දැන් ඒ සිනාව මැකී යමින්, මුහුණ එල්ලා ගත්, බුම්මාගත් මිනිසුන් බහුල වෙමින් පවතී. අනාගතයේදී, සිනාවටත් බද්දක් වැදුණොත්, එයද පුදුමයක් නොවේ.

 
මිනිසුන්ට උත්සව අවශ්‍යය. අලුත් අවුරුදු, නත්තල් වැනි උත්සව කාලයන්හිදී ඔවුන්, කනකර උකස් තබා හෝ ඒ සමරන්නේ, එහෙයිනි. නත්තලද ආගමික උළෙලක් වුවත්, ඉන් සැමට විනෝදය, විවේකය හා සාමය හිමිවෙයි.

නත්තල් සීයාද, නත්තලේ වැදගත් චරිතයකි. මෑතකදී සමාජ ජාලයක මෙබඳු සටහනක් විය.

412912601 976238013871776 6705533816185079789 n

 ''නත්තල් රාත්‍රියේ මට තෑගි බෝග ගෙනවිත් තබා යන නත්තල් සීයා යනු, අන් කවුරුන්වත් නොව, මගේ තාත්තා බව තේරුම් ගැනීමට මට මඳ කලක් ගත විය.''


නත්තල් සීයාට ලියුම් ලිවීමද, කුඩා ළමයින්ගේ සිරිතකි. සිරි ලංකාවේ කුඩා ළමයෙක්, මෙවර නත්තල් සීයාට යැවූ ලියුමකි මේ.

''නත්තල් සීයේ, මෙදා පාර නත්තල නම් හරිම සවුත්තුයි කියලා අපේ තාත්තා නිතරම කියනවා. ආණ්ඩුවට මිනිස්සු ගැන කිසිම හැඟීමක් නැතිලු. හැම බඩුවක්ම ගණන් ගිහිල්ලලු. අම්මත් හැම තිස්සෙම ආණ්ඩුවට බණිනවා. අල්ලපු ගෙදර අයත් එහෙමයි. ඒ නිසා මේ පාර මට තෑගි බෝග එපා. පුළුවන් නම් හැමෝටම අලුත් ආණ්ඩුවක් තෑගි කරන්න....''

Kapila kumara
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...