The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සනත් මාධ්‍ය සොහොයුරාගේ ආදරණීය අම්මේ, ඔබට සුභ ගමන් !

T

The Leader Desk

December 30, 2023 • 4:00 AM

සනත් මාධ්‍ය සොහොයුරාගේ ආදරණීය අම්මේ, ඔබට සුභ ගමන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙතනේ කිරි දීලා උකුළේ නළවාලා ඔන්චිලි වාරම් කියාලා ලොකු මහත් කෙරුවාට දහස් වාරයක් පිං අම්මේ.
  • මවකගේ මළගමටවත් එන්නට දරුවකුට වරම් නැති බිමක ඉපදීම මවකගේත් දරුවකුගේත් ඛේදවාචකයකි.
  • එහෙත් අම්මා හෝ මා මේ මනුස්ස ඉතිහාසයේ ඒ ඛේදවාචකය අත්වින්දා වූ අනන්ත මනුෂ්‍ය ප්‍රාණීන් අතර අංශු මාත්‍රයක් පමණක් බව සිතා කඳුළු සඟවමි.
  • එදා කොළඹ එන්නට සිදුවූ මා සිතා සිටියේ, කිසියම් දිනෙක කොළඹ කරදර-කලබලවලින් ගැලවී නැවත ගෙදර ගොස් අම්මාත් අප්පච්චිත් ඇතුළු පවුලේ අය සමග නිස්කාන්සුවේ දිවි ‌ගෙවන්නට ය‍.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙතනේ කිරි දීලා
උකුළේ නළවාලා        

ඔන්චිලි වාරම් කියාලා
ලොකු මහත් කෙරුවාට
දහස් වාරයක් පිං අම්මේ...

උකුළේ නැළ නොවුණු
ඔන්චිලි වාරම් නොඇසූ
දෙතනේ කිරි නොබිව්
උරගයන් වන්
විෂ ඝෝර ස‍ර්පයන්
අපේ මව් බිමේ
වැහි වැහැල අම්මේ...

ආයෙමත් අපි මුණ නොගැහෙන්න
මුණ ගැහෙනා දවසෙවත් Amma 2023.12
තුන් තිස් පැයේ මා සිප ගත්ත
ඔය මූණ සිපගෙන
මුණ නොගැහෙන්න වෙන්වෙන්න
බැරි වුනා අම්මේ...

ඒත්.. ඒ වන්දිය ගන්න
ඡූරියක් කැඳවන්න
හිරු උදාවක් කරමි
සත්තයි මගෙ අම්මේ

අවසානයත් අවසානයක් නොවුනාට
සමාවක් දෙනවාද කියාපන් අම්මේ..

කිව්වාට මදි එහෙම
ආයෙමත් හමුවුනොත්
දෙතනේ කිරි දීලා
උකුළේ නළවාලා
ඔන්චිලි වාරම් කියාලා
මාව නළවනවා නේද
මට ඇහෙන්න හයියෙන්
කියාපන් අම්මේ...

(ඥානසිරි කොත්තිගොඩ)


415770939 10232881643567356 7369944597499893611 n
(සිය මෑණියන්ගේ අභාවය ගැන සනත් බාලසුරිය සිට ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක්)

අද දවසේ සදහට ම අප අතහැර යන්නට යන අම්මා යනු, මට ජීවිතය දුන් තැනැත්තිය පමණක් නොවේ.

ඒ ලබාදුන් ජීවිතයේ අරුත කුමක්දැයි කියාදුන්නාවූ ද, මගේ ජීවන පර්යායට පාදම දමාදුන්නා වූ ද තැනැත්තිය යි.‍

ලෝකය හා ලෝක ධර්මතා ගැනත්, මනුස්සයා හා මනුස්ස ගතිසොබා ගැනත්, යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාව ගැනත් ඇය තුළ තිබූ තියුණු ඉව හා අගැයුම් පද්ධතිය, මා සාමාන්‍ය මනුස්සයකු තුළ දැක ඇත්තේ ඉතාම විරලව ය.

කොන්දේසි විරහිත ආදරය හා දරාගැනීම ගැන, ඇය මගේ අත්පොත ය.

ඉගැන්වීමෙන් නොව සිය ඇවතුමෙන් පැවතුමෙන් මට ජීවිතය මෙන්ම ජීවත් වනහැටි ද කියාදුන් ගුරුවරිය ඇය ය.

මා තුළ වන 'ජීවිතය තුළ ම වූ නොපැවතීමේ' හා 'නොපැවතී පැවතීමේ' අර්ධය මවෙත ආවේ අප්පච්චිගෙනැ'යි සිතමි.

මෙයින් වසර හයකට පෙර ඔහු අසාධ්‍යව ලෙඩ ඇඳේ සිටියදී මා ඔහු බලන්නට ආවේ, මා බඳු රටක් අහිමි කළ මිනිසකුට ලේසියෙන් ආ හැකි ගමනක් නොවේ. අසාධ්‍යව සිටි අප්පච්චිගේ මුහුණ බලා කතාකිරීමේ වුවමනාවෙන් දුෂ්කර ගමනක් ආ මට දකින්නට ලැබුණේ, මා ගුවන්ගත වූ පාන්දර යාමයේ ම සිය පණනල වා තලයට මුදාහල ඔහු ගේ නිසල සිරුර ය.

එහෙත් මට ජීවය මතු නොව ජීවත්වන හැටි ද කියාදුන් අම්මාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැකගන්නට පවා ඒමේ හැකියාවක්, අද මා සතුව නැත.

මවකගේ මළගමටවත් එන්නට දරුවකුට වරම් නැති බිමක ඉපදීම මවකගේත් දරුවකුගේත් ඛේදවාචකයකි.

අපේ අම්මාත් මාත් යනු ඒ ඛේදවාචකයේ, මේ මොහොතේ මා දන්නා දරුණුම වින්දිතයන් ය.

එහෙත් අම්මා හෝ මා මේ මනුස්ස ඉතිහාසයේ ඒ ඛේදවාචකය අත්වින්දා වූ අනන්ත මනුෂ්‍ය ප්‍රාණීන් අතර අංශු මාත්‍රයක් පමණක් බව සිතා කඳුළු සඟවමි.

මට ගෙදරත්, ගෙදරට මාත් අහිමිවීම ඇරැඹුණේ කහදෙණිගම ඉස්කෝලයේ අම්මා ම ඉගැන්වූ ශිෂ්‍යත්ව පන්තිය අවසානයේ ය. එදා කොළඹ එන්නට සිදුවූ මා සිතා සිටියේ, කිසියම් දිනෙක කොළඹ කරදර-කලබලවලින් ගැලවී නැවත ගෙදර ගොස් අම්මාත් අප්පච්චිත් ඇතුළු පවුලේ අය සමග නිස්කාන්සුවේ දිවි ‌ගෙවන්නට ය‍. එහෙත් ඒ නිස්කාන්සුව කිසිදිනෙක මා සොයා ආවේ නැත‍‍.

2009න් පසු මා තේරුම් ගත්තේ ඒ නිස්කාන්සුව නැවත මා සොයා ඒම සිහිනයක් වීමටත් බැරිකමක් නැති බව යි.

අදින් පසු ඇත්තටම එය සිහිනයක් ම වී අවසන් වන්නේ ය.

වයස එකොලහේ දී සිදුවූ ඒ විතැන්වීමේ සිට ඉවරයක් නැති රස්තියාදුවක පැටලුණු මා ඉවසා දරාගනිමින්, අම්මාත් අප්පච්චිත් වෙනුවෙන් මගේ බර ද කරට ගෙන සියලු දුක් කරදර ඉහිලූ අක්කා Sagariත් මල්ලී Wajiraත් නොවන්නට, ඔවුන් ගේ සහකරු/සහකාරිය නොවන්නට, ඔවුන්ගේ දුවාදරුවන් නොවන්නට මගේ පසුතැවීම නිසැකව ම මීට වඩා ගැඹුරු තුවාලයක් වන්නට ඉඩ තිබිණි‍.

අක්කාත් මල්ලීත් මට කිසිදා ඒ දරුණු තුවාලය ඇතිවන්නට ඉඩ නොදුන්හ‍‍.

දුෂ්කර ම ගම්මානවල පීඩිත ම දරුවන්ට එක ම සම සිතින් ආදරය සමඟ සිප්සතර මතු නොව ජීවිතය ද පොවන්නට ඔබ දැරූ වෑයම පමණක් ම වුව, ඔබ පැතූ සදාකාලික නිවීම ඔබ වෙත ගෙනෙන්නට ප්‍රමාණවත් බව මම හොඳින් ම දනිමි.

අවසාන වතාවට මට ඔබ බලන්නට එන්නටවත් විදියක් නැතිවීම ගැන ඔබ දුක් නොවනවා පමණක් නොව, දිගින් දිගටම කීවාක් මෙන් ඔබ ඒ ගැන සැනසුම් සුසුම් හෙළන බව ද මම ඉඳුරා දනිමි‍.

ඒ මවක ලෙස ඔබටත්, දරුවකු ලෙස මටත් අත්විඳින්නට සැලැස්වූ ඛේදවාචකයේ දිගු පුළුල යි.

(මාධ්‍යවේදී සනත් බාලසූරියගේ ෆේස්බුක් පිටුවෙන්)White Roses PNG removebg preview

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...