The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලාංකීය ණය සම්බන්ධ විද්වතුන්ගේ ප්‍රකාශය : 2023 ජනවාරි- (කුසල් පෙරේරා)

T

The Leader Desk

January 11, 2023 • 6:45 AM

ශ්‍රී ලාංකීය ණය සම්බන්ධ විද්වතුන්ගේ ප්‍රකාශය : 2023 ජනවාරි- (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් විශාල වශයෙන් බාල්දුවී තිබියදීත් ආහාර හා බල ශක්ති මිල ඉහළ යෑමට සහ පොලී අනුපාත වැඩිවීමට ගෝලීය බලවේග කටයුතු කර ඇත.
  • ප්‍රතිපත්ති කලමනාකරණයේ දෝස සහිත ඉතිහාසයක් විසින් මෙම කම්පණ - විශේෂයෙන් වගකීමක් නොමැති ණයට ගැනීම් උනන්දු කළ ආර්ථික විවෘත කිරීම් හා අවපාලනය, අනීතික ලෙස මුදල් රටින් ගලා යෑම සහ දේශපාලන දූෂණ සඳහා සහායවීම - බාහිර ණය ගැනීම් සහ ගෙවුම් ශේෂ අර්බුද උග්‍රකර ඇත.
  • එයට හේතු දැක්වූයේ එවැනි රටවලින් ණය නැවත අය කර ගැනීමේ ඇති වැඩි අවදානම ය.
  • පළමුව ගෝලීය වසංගතය හරහා සහ දෙවනුව, 2022 මිල වැඩි කිරීම් සහ පොලී අනුපාත වැඩිවීම හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මුදල් විශාල වශයෙන් බාල්දුවී තිබියදීත් ආහාර හා බල ශක්ති මිල ඉහළ යෑමට සහ පොලී අනුපාත වැඩිවීමට ගෝලීය බලවේග කටයුතු කර ඇත. ප්‍රතිපත්ති කලමනාකරණයේ දෝස සහිත ඉතිහාසයක් විසින් මෙම කම්පණ - විශේෂයෙන් වගකීමක් නොමැති ණයට ගැනීම් උනන්දු කළ ආර්ථික විවෘත කිරීම් හා අවපාලනය, අනීතික ලෙස මුදල් රටින් ගලා යෑම සහ දේශපාලන දූෂණ සඳහා සහායවීම - බාහිර ණය ගැනීම් සහ ගෙවුම් ශේෂ අර්බුද උග්‍රකර ඇත.

ද්‍රවශීලතා ප්‍රසාරණය හා ගෝලීය ආර්ථිකයේ පොලී අනුපාත පහළ තිබුණු පසුගිය දසකයෙහි පෞද්ගලික ණය දෙන්නවුන් පහළ හා මධ්‍යම ආදායම්ලාභී රටවල් වලට ණය ලබා දුන්නේ දියුණු රටවලට වඩා ඉහළ පොලී ප්‍රමාණයන්ට ය. එයට හේතු දැක්වූයේ එවැනි රටවලින් ණය නැවත අය කර ගැනීමේ ඇති වැඩි අවදානම ය. එම අවදානම දැන් යතාර්ථයකි. පළමුව ගෝලීය වසංගතය හරහා සහ දෙවනුව, 2022 මිල වැඩි කිරීම් සහ පොලී අනුපාත වැඩිවීම හේතුවෙනි.

 

Graph Falling Down in Front Of Sri Lanka Flag. Crisis Concept    

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රමාණයෙන් සියයට 40 ක් පමණ පෞද්ගලික ණය දෙන්නවුන්ගේ ය. බොහෝමයක් ඇත්තේ ස්වෛරී ජාත්‍යන්තර බැඳුම්කර වශයෙනි. එහෙත් ඉහළ පොලී අනුපාත අය කිරීම යනු බාහිර ණය ගෙවීම් වලින් සියයට 50 ට වැඩි ප්‍රමාණයක් ඔවුන් ලබා ගන්නේය යන්නය. එවැනි ණය දෙන්නෝ ශ්‍රී ලංකාවට ණය ලබා දීමේදී ඔවුන්ගේ අවදානම ආවරණය කර ගැනීම වෙනුවෙන් විශේෂ වාරික අය කරන්නාහ. එමගින් ඔවුන් යෝධ ලාභයක් එකතු කරගත් අතර, 2022 අප්‍රේල්හිදී ශ්‍රී ලංකාව පළමු වරට ණය ගෙවීම් පැහැර හැරීමට එයද හේතු විය. “අවදානම් වාරිකය” හේතුවෙන් වැඩි ලාභයක් ලැබූ ණය දෙන්නවුන් ඒ අවදානමෙහි විපාක බාර ගැනීමටද සූදානම් විය යුතුය. ස්වෛරී ජාත්‍යන්තර බැඳුම්කර දැන් ප්‍රාථමික වෙළඳපලෙහි සැළකිය යුතු අඩු මිලකට අලෙවි වන බව සැබෑය. මෙම සන්දර්භයෙහි, පැරිස් සංගමයේ ස්වෛරී ණයකරුවන්ට සාපේක්ෂව පෞද්ගලික බැඳුම්කර හිමියනට වැඩි බලයක් ලබා දීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය කේවල් කිරීම අත්‍යාවශ්‍ය යැයි සැළකීමත් ස්වාභාවික යුක්තියෙහි මූලික ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් වන්නේය.

ඊට අමතරව, ණය කේවල් කිරීමේ ක්‍රියාවලියෙහි පාරදෘශ්‍යභාවයක් නොතිබීමත් ස්වෛරී ජාත්‍යන්තර බැඳුම්කර ලබා ගත්තවුන් සතු වග වීමක් නොවීමත් දූෂිත දේශපාලකයින්ට ණය දීමේ ඇති අවදානම (“හපුටු ණය” වශයෙන් දැන් හඳුනාගෙන ඇති ණය) වර්තමාන ණය අර්බුදයට වැදගත් හේතුවක් යන්න අඩු ලන්සුවකට පත් කෙරෙන්නේය. ස්වෛරී ජාත්‍යන්තර බැඳුම්කර ලබා ගත්තවුන්ගේ අනන්‍යතා හෙළි නොකිරීමට අමතරව, එකී බැඳුම්කර දෙනු ලැබූයේ කෙසේද යන්නත් එම අරමුදල් භාවිත වූයේ කුමකටද යන්නත් හෙළි කිරීම වැදගත් වන්නේය.

 

ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා දැන් ඇත්තේ ඉතා අවදානම් අවදියක ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බරට හවුල් වෙමින් ආසන්න කාලයේ ලබා දෙන අමතර මූල්‍ය පහසුකම් සඳහාද සියලු ණය දෙන්නවුන් - ද්විපාර්ශවීය, බහුපාර්ශවීය හා පෞද්ගලික ණය දෙන්නවුන් -  සහතික විය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවට එය තනිව කරගත නොහැක. ඒ සඳහා මීට වැඩි ජාත්‍යන්තර සහායක් අවශ්‍ය වනු ඇත. භූ-දේශපාලනික උප්පරවැට්ටි වෙනුවට ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියල්ලන් වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි අයුරු ණය අහෝසි කිරීම සහතික කළ යුතුය.

 

World Bank

බහුපාර්ශවික සංවිධානවල, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සතු කාර්යභාරයද ඉතා වැදගත්ය. ඒවා පිහිටුවනු ලැබූයේ ස්වෛරී රාජ්‍යයන්ට සහාය වීමටය. විශේෂයෙන් මූල්‍ය වෙළඳපලවල් මගින් සේවයක් නොවන විට, මූල්‍ය අර්බුදවල බලපෑම අවම කිරීමට හෝ වැළැක්වීමට සහ මූල්‍ය ස්ථාවරවත්වයක් තහවුරු කිරීමටත් සමාජීය හා සංවර්ධනාත්මක අවශ්‍යතා වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආයෝජන සඳහා සම්පත් සැපයීමටත් ය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන නොපමාව අවශ්‍ය වන මේ වෙලාවේ මෙම වගවීම් වෙනුවෙන් ඔවුන් දැන් ඉදිරිපත් වන්නේ නැත. ඔවුන් ශ්‍රී ලංකාවෙහි ප්‍රවර්ධනය කෙරුවේ වර්තමාන අර්බුදයට හේතුවන වඩා විවෘත ප්‍රාග්ධන ගිණුම් සහ අවනියාමනය සඳහාවන ප්‍රතිපත්තීන්ය. අර්බුදයට ප්‍රතිචාර දැක්වීමෙහිදී ඔවුහු මන්දගාමී වූහ. එවගේම ඔවුන් ඉතා කෙටි කලකින් ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් වෙත මාරුවීම සඳහාවන ඉතා වෙහෙසකර හා අසීරු ප්‍රතිපත්ති හා මූල්‍ය කොන්දේසි ඉල්ලා සිටින්නටද වූයේ ආර්ථිකය කඩා වැටෙන අතරතුරය.

 

ශ්‍රී ලංකාණ්ඩුවේ මෙවර අයවැයේ ප්‍රතිවිපාක දැනටත් පෙනෙන්නට ඇත. එහි අපේක්ෂිත ආදායම් කිසි විටෙක උපයා ගැනීමට හැකි ඇස්තමේන්තු නොවේ. ආදායම් පහත වැටීම සමග තව දුරටත් වියදම් කප්පාදු කරන්නට සිදුවන්නේය. බොහෝවිට අත්‍යාවශ්‍ය පොදු වියදම්ද කප්පාදු කරන්නට සිදුවිය හැක. එවගේම අයවැය මගින් පොදු වත්කම් අතහරිමින් මර්මස්ථානයන්හි ඉඩම්, සාගර සම්පත්, බල ශක්ති, පොදු ප්‍රවාහන, විදුලි සංදේශ යටිතල පහසුකම් සහ පොදු ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමත් යෝජනා කෙරෙන්නේය. මෙම ප්‍රතිපත්ති මගින් වඩාත් අස්ථාවර ජන කණ්ඩායම් තව දුරටත් අහේනියට පත් කරනු ඇත. අසමානතා හා දුප්පත්කමත් ආර්ථික බිඳ වැටීමත් තව උග්‍ර කරනු ඇත. එහෙත් ඊට විකල්ප ලෙස අවධානය  යොමු කළ යුත්තේ පසුගිය වසර 15 ක කාලයේ මිල හා භාණ්ඩ වාරණ වෙනස් කිරීම් මගින් අනීතිකව සිදු කළ ධනය පිටමං කිරීම පාලනය කරනු සඳහා නීතිමය හා නියාමන පියවර ගැනීම වෙතය. එම මුදල ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය එකතුවට වඩා වැඩි යැයි ගණන් බලා ඇත. එවගේම අවධානය යොමු විය යුත්තේ සුපිරි ධනවතුන්ගේ පරිභෝජනය හා වත්කම් සඳහා බදු අය කිරීම් වෙත ය.

 

ලෝකයට වාගේම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට වඩාත් හදිස්සි ගැටළුවන ස්වෛරී ණය සහන සහ තිරසාරත්වය පාලනය කරගැනීම සඳහා හැකියාවන් තිබේද යන්නට ශ්‍රී ලංකානු සංසිද්ධිය ඉතා වැදගත් නිර්ණායකයක් වනු ඇත. එවගේම ජාත්‍යන්තර ණය සම්බන්ධ සංවිචාරණයේදීද යම් සාධාරණත්වයක් සහතික කර ගැනීමට වැදගත් වන්නේය. එනිසා එය තීරණාත්මකව වැදගත් වන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට පමණක් නොවේ. දැනටමත් සුජාත බවක් සහ මූලික වලංගුභාවයක් නොමැති බහුපාර්ශවීය පද්ධතියට නැවත විශ්වාසයක් තහවුරු කර ගැනීමටද එය වැදගත් වන්නේය.

 

prof 2

ලෝක විද්වතුන්ගේ මෙම ප්‍රකාශයට,  

මැසචුසෙට්ස්-ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජයති ගෝෂ්, හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන ආර්ථික විද්‍යා මහාචාර්ය ඩානි රොඩ්රික්, පැරිස් ආර්ථික විද්‍යා පාසලෙහි මහාචාර්ය තොමස් පිකෙටි, ග්‍රීසියෙහි ඇතන්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය යානිස් වරූෆාකිස්, ජපානයේ ඩෝක්කියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජුන්ගි ටොකුනාගා, ආජන්ටිනාවේ CONICET ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක මහාචාර්ය හුආන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි, සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ නීතිය සම්බන්ධ මහාචාර්ය මුතුකුමාරස්වාමි සොර්නරාජා, නිව්යෝක් විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් හා ජාත්‍යන්තර නීතිය සම්බන්ධ මහාචාර්ය වාසුකි නේසයියා, කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මානව භූගෝල විද්‍යා මහාචාර්ය කනිශ්ක ගුණවර්ධන, ඇම්ස්ටඩම් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මහාචාර්ය මැගී ලොයිං, ඉන්දියාවේ සංවර්ධන ආර්ථික විද්‍යා මහාචාර්ය වෙන්කටෙෂ් අත්රේයා, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය කාලිංග ටියුඩ සිල්වා ඇතුළුව විද්වතුන් 182 ක් අත්සන් තබා ඇත.



මේ එන්නේ කලු අවුරුද්දක් - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්න ලදී )
2023 ජනවාරි 08 වන දින


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...