The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මැතිවරණ කාලේන කෘත්‍රිම බුද්ධි

T

The Leader Desk

January 7, 2024 • 6:46 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මැතිවරණ කාලේන කෘත්‍රිම බුද්ධි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මිනිහා මොළකාරයා'' යැයි පැසසුම් ලබන්නේ මොළෙන් වැඩගන්නා පුද්ගලයාය.
  • පුදුමයට කාරණය වන්නේ, මොළකාරයන්ද ඇතැම් විට මොළේ නැත්තන් සේ පිස්සු කෙළිමය.
  • ''මෝඩයාගේ කැත හත් පලේය.'' මොළේ ඇති එකා එක වරකින් කරන වැඩේ, මෝඩයා හත් වතාවකදීවත් හරිහැටි නොකරයි.
  • හොඳ මොළයක් ඇති අයද එය නරකට යොදාගන්නා විට සමාජය පරිහානිය කරා ඇදෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

''මිනිහා මොළකාරයා'' යැයි පැසසුම් ලබන්නේ මොළෙන් වැඩගන්නා පුද්ගලයාය. ''මිනිහට මොළේ නෑ'' යැයි ගැරහුම් ලබන්නේ, මොළයක් නැතුවාක් සේ වැඩ කරන්නාය.

පුදුමයට කාරණය වන්නේ, මොළකාරයන්ද ඇතැම් විට මොළේ නැත්තන් සේ පිස්සු කෙළිමය. ජනවහරේදී ''උකුණු හිසක් තරම්වත් මොළයක් නෑ''  හෝ ''මොළේ බල්ලො කාලා'' යනුවෙන් යෙදෙන්නේ එවැනි උදවියටය. 

brainkhd
පොදුවේ ගත් කල මොළේ නැති එකා මෝඩයාය. ''මෝඩයාගේ කැත හත් පලේය.'' මොළේ ඇති එකා එක වරකින් කරන වැඩේ, මෝඩයා හත් වතාවකදීවත් හරිහැටි නොකරයි. නැතහොත් හත්පලේ ගා ගනී.

දැන් කාලේ නම්, සිරි ලංකාව වැනි රටවල හත්පලේ ගා ගන්නේ, මෝඩයන්ම නොවේ. මැති ඇමැතිවරුන්, මහාචාර්යවරුන්, පමණක් නොව පූජ්‍ය පක්ෂයේ උතුමන්ද ඒ අතර වෙති. ''පණ්ඩිතයාගේ සිහිය උඩහල්ලේ'' යැයි කියන්නේ එබඳු තැන්වලදීය.

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)

''හොඳට නරකට දෙකට කටමය'' යන පිරුළ මොළයටද අදාළය. හොඳ මොළයක් ඇති අයද එය නරකට යොදාගන්නා විට සමාජය පරිහානිය කරා ඇදෙයි. ''විනාශ කාලේන විපරීත බුද්ධි:'' යැයි කියන්නේ එවැනි කාලයන් සම්බන්ධයෙනි.

මිනිසා බුද්ධිමතකු වූයේ, මොළයේ ක්‍රියාකාරීත්වය නිසා වුවත්, වර්තමාන ලෝකයේ ඒ කාර්යභාරය, කෘත්‍රිම බුද්ධියක් (Ai= Artificial Intelligence) වෙත පවරා දීමට සියල්ල සූදානම්ය. එයද මිනිස් මොළයෙන්ම නිර්මාණය වූවකි. එහෙත් ඉන්පසු මිනිසාට තම මොළය වෙහෙසීමට අවශ්‍ය නැත. ඔහුගේ බුද්ධිමය අවශ්‍යතා, කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් ඉටුකර ගත හැකිය.

The New York Times

මෑතකදී සුප්‍රකට මාධ්‍ය ආයතනයක් වූ ''නිව් යෝක් ටයිම්ස්'' තමන්ගේ ඇතැම් ප්‍රකාශිත කෘතීන්, කෘත්‍රිම බුද්ධි සමාගම් විසින් අනවසරයෙන් භාවිත කිරීම ගැන නඩු පැවරීය. එහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ කෘත්‍රිම බුද්ධියටද, ''කොපි'' නොකර බැරි බවය.

මිනිසාට සමාන රොබෝවරුන් නිර්මාණය කිරීමද තවමත් සියයට සියයක් සාර්ථක වී නැත. මිනිස් මොළයට සමාන කෘත්‍රිම මොළයක් නිර්මාණය කෙරෙන බවට පුවතක්ද මෑතකදී දක්නට ලැබුණි. ඒ නිසා මුදල් හදල් ඇති අයට අනාගතයේදී තම මොළය වෙනුවට සුපිරි මොළයක් බද්ධ කර ගැනීමේ අවස්ථාවද සැලසෙනු ඇත.

can we trust AI.2e16d0ba.fill 933x525 c100

මිනිසා නිර්මාණය කළේ දෙවියන් වහන්සේය. නැතිනම් මහා බ්‍රහ්මයාය. ඒ දෙදෙනා වහන්සේලාටම මිනිසාට සමාන මොළයක් (බුද්ධියක්) ලබාදීමට අවශ්‍ය නොවූයේ එසේ වී නම්, ලෝකය අවුල් ජාලාවක් වීමට ඉඩ තිබූ නිසා විය හැකිය. දැන් ඒ අඩුපාඩුව පිරිමැසීම කෘත්‍රිම මොළ හා බුද්ධි ජාලා නිපදවන සමාගම් විසින් බාරගෙන ඇත.

මීට කලකට ඉහත මා කියැවූ විද්‍යා ප්‍රබන්ධයක් මගේ මතකයට නැඟේ.

AI 1200x900 1
එක් විද්‍යාඥයෙක් ප්‍රේමය පිළිබඳ හැඟීම් දැනෙන රොබෝවරයකු නිපදවීය. ටික කලක් යනවිට, රොබෝවරයා විද්‍යාඥයාගේ රෑමත් බිරිඳට, ආදරය කිරීමට පටන් ගනී. එක් දිනක් විද්‍යාඥයා තම බිරිඳ සමඟ යහන් ගැබේ පෙම් කෙළිනු දුටු රොබෝ දැඩි ලෙස කෝප වෙයි. ඔහු විද්‍යාඥයා වෙත කඩා පැන ඔහුගේ ගෙල මිරිකා මරා දමයි.

විද්‍යාඥයා රොබෝට ප්‍රේමය උගැන්වූ නමුත්, ප්‍රේමය සමඟම උපදින ඊර්ෂ්‍යාව ඉවත් කිරීම අතපසු කර තිබුණි.

දැනට පෙනෙන අන්දමට නම්, කෘත්‍රිම බුද්ධිය යනු මිනිසාට සේවය කරන සහායකයෙකි. ලේකම්වරයෙකි. එහෙත්, දැනටමත් මිනිසා ජංගම දුරකථනයෙහි වහලකු වී ඇති සැටි සිතන විට අනාගතයේදී ඔහු කෘත්‍රිම බුද්ධියේද යටත් වැසියකු වුවහොත් පුදුම විය යුතු නැත.

අප්‍රිකානු රටක දේශපාලන පක්ෂයක් සිය ජාතික සංවිධායක වශයෙන් කෘත්‍රිම බුද්ධිය ''පත්කරන'' බව නිවේදනය කිරීමෙන් පසු ඒ පිළිබඳ නොයෙක් කතාබහ නැගුණි. අපේක්ෂකයන් තෝරා ගැනීමේදීද, මැතිවරණ ප්‍රතිඵල ඉක්මන් කිරීමේදීද, කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි බවද සමහරු පෙන්වා දුන්හ. එක් තීරු ලිපි රචකයකු කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම සඳහාද කෘත්‍රිම බුද්ධිය යොදා ගතහොත් එය සොයාබැලීමට වෙනත් බුද්ධියක් සොයාගත යුතු වන බවය.

20230902 USD001
රොබෝවරුන්ට විහිළු තහළු කළ නොහැකි බවත් උපහාස රසය නොදැනෙන බවත් විද්‍යාඥයෝම පවසති. එක් විද්‍යාඥයෙක්, දේශපාලන උපහාසය දැනෙන රොබෝවෙක් නිෂ්පාදනය කළේය. රට රටවල දේශපාලන උපහාස කතා අසන කළ ''ඔහු'' හඬනගා සිනාසෙයි.

එහෙත් ටික කලකින්ම රොබෝගේ සිනාව නතරවුණි. විද්‍යාඥයා, තම රොබෝව රටින් රට ගෙන ගොස් දේශපාලන සිනා කතා අසන්නට සැලැස්වීය. එහෙත් රොබෝ නිහඬය.

එක් දිනක් විද්‍යාඥයා තම සහායකයකු අමතා මෙසේ කීය.

''මට තව එක රටයි යන්න ඉතුරුවෙලා තියෙන්නෙ. එහෙදිත් හරි ගියේ නැත්තං මම මේ රොබෝව විකුණලා දානවා, යකඩ මුදලාලියකුට.'

sri asjdhks

''මොකක්ද ඒ රට?'' සහායක ඇසීය.

''සිරි ලංකාව''

ඒ ඇසූ සැණින්, රොබෝ මහ හඬින් සිනාසීමට ගත්තේය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : තවත් අවුරුද්දක්(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...