The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පිං ඇති ජනපති වරමක් දෙන්නේ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

January 7, 2024 • 12:31 PM

පිං ඇති ජනපති වරමක් දෙන්නේ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වන්නේ යම් අයෙකුට උපාධියක් හෝ එවැනි සම්මානයක් ගරු බුහුමනක ලෙස ප්‍රදානය කරන විට ය.
  • සාමාන්‍ය සිරිත වන්නේ එම උපාධියේ නමට පසුව වරහන් තුළ ඔනරිස් කෞස යන්න සඳහන් කිරීම යි.
  • ඉන් ගම්‍ය වන්නේ එම උපාධිය අදාළ ආයතනය හෝ විශ්ව විද්‍යාලය විසින් අදාළ පුද්ගලයාට පිරිනමන ලද්දේ ගරු කටයුත්තක් පිණිස බව යි.
  • අදාළ පුද්ගලයා ඒ ගරු බුහුමන ලැබීමට තරම් සේවයක් හෝ කර්තව්‍යයක් සමාජයට හෝ යම් ක්ෂේත්‍රයකට කළ ඇති බවක් ද ඉන් ගම්‍ය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වන්නේ යම් අයෙකුට උපාධියක් හෝ එවැනි සම්මානයක් ගරු බුහුමනක ලෙස ප්‍රදානය කරන විට ය.  

සාමාන්‍ය සිරිත වන්නේ එම උපාධියේ නමට පසුව වරහන් තුළ ඔනරිස් කෞස යන්න සඳහන් කිරීම යි. ඉන් ගම්‍ය වන්නේ එම උපාධිය අදාළ ආයතනය හෝ විශ්ව විද්‍යාලය විසින් අදාළ පුද්ගලයාට පිරිනමන ලද්දේ ගරු කටයුත්තක් පිණිස බව යි. අදාළ පුද්ගලයා ඒ ගරු බුහුමන ලැබීමට තරම් සේවයක් හෝ කර්තව්‍යයක් සමාජයට හෝ යම් ක්ෂේත්‍රයකට කළ ඇති බවක් ද ඉන් ගම්‍ය වේ. එම උපාධිය හෝ සම්මානය සාමාන්‍ය සිසුවෙකුට හෝ සිසුවියකට ලබා ගැනුමට නම් යම් කාලයක් හා පරිශ්‍රමයක් දරා, පාඩම් උගෙන, විභාගවලට හිඳ ඒවා නිසි ලෙස සමත් විය යුතු ය. ඔනරිස් කෞස පදනම මත පිරිනමන උපාධි හෝ සම්මාන සඳහා එවැනි ක්‍රියාදාමයක් අදාල නොවේ.

hesburgh admissions 1
නොට' ඩෑම් සරසවියේ, ටෙඩ් හෙස්බර්ග්ට ලෝකයේ වැඩි ම ඔනරිස් කෞස ආචාර්ය උපාධි ප්‍රමාණයක් ජීවිත කාලය තුළ ලැබූ පුද්ගලයා ලෙස සැලකේ. 1953 සිට 1988 දක්වා යට කී සරසවියේ සභාපති ව සිටි හෙස්බර්ග් ලද ආචාර්ය උපාධි සංඛ්‍යාව 150කි !  ඇමෙරිකානු එක්සත් ජනපදයේ නළු නිලියන්ට ගායක ගායිකාවන්ට මේ පන්නයේ ආචාර්ය උපාධි පිරිනැමීම බහුල ව දක්නට ලැබේ. සුප්‍රසිද්ධ නිළී මෙරිල් ස්ට්‍රිප්ට ප්‍රින්ස්ටන්, හාර්වඩ්, ඉන්ඩියානා ඇතුළු තවත් අයිවි ලීග හා ඉන් පරිබාහිර විශ්ව විද්‍යාල ගණනාවක් ආචාර්ය උපාධි පිරිනමා ඇත. ඩෙන්සිල් වොශින්ටන්, බෙන් ඇෆ්ලෙක්, අරිතා ෆ්‍රැන්ක්ලින්, තවත් උදාහරණය.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න

මගේ ළමා කාලයේ මතකය අනුව, මට මතක් කළ හැකි මෙවැනි ගරු බුහුමන සඳහා ආචාර්ය උපාධියක් පිරිනැමුණේ, සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න මහතාට ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙනුත් පිලිපීනයේ එමීලියෝ අක්විනො කොලීජියෙනුත් ආරියරත්නයන්ට ආචාර්ය ගෞරව උපාධි පිරිනැමිණ. කල් යත් යත් ම, ලංකාවේ මෙවැනි ගෞරව ආචාර්ය උපාධි පිරිනැමීම, සිල්ලර කඩේක වෙළඳාම් කරන මට්ටමකට ඇද වැටීම නිසා, එවැනි ආචාර්ය උපාධියක දිස්නය හා සමාජ පිළිගැනීම දැඩි ලෙස ක්ෂය විය. සමාජය ඒ දෙස සමච්චලයෙන් බැලීමට පුරුදු වූ අතර, මෙවැනි ආචාර්ය උපාධි ලද්දන් හැඳින්වූයේ පිනාචාර්ය නමිනි. පින් හා ආචාර්ය ලෙස සන්ධි වුණු ඒ ජන වහරට ආ වදනේ පදනම වූයේ මෙවැනි උපාධි ලැබෙන්නේ පිනට බව ය. නොඑසේ නම් හිඟමනට ආ කෙනෙකුට පිං පිණිස දුන් සුළු සම්මාදමක් ලෙස ය.

1978 සිට ලංකාවේ ව්‍යවස්ථාව අනුව, ලාංකීය රාජ්‍යයේ නායකයා ලෙස සැලකෙන්නේ ජනාධිපති ය. ඒ අනුව, වසර පහකට වරක් පැවැත්වෙන ජනාධිපතිවරණයක මහජන ඡන්දයෙන්, එවැනි ජනාධිපතිවරයෙකු පත්වනු ලැබේ. ව්‍යවස්ථාවේ නිර්වචනය වී ඇති සීමිත ව්‍යාතිරේකී අවස්ථා කිහිපයකදී පමණක්, මහජන ඡන්දයෙන් තෝරා පත් වූ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගේ ඡන්දයෙන් නිශ්චිත කාලයක් සඳහා ජනාධිපතිවරයෙක් හෝ වරියක් පත්වීම සිදුවිය හැක. මෙලෙස මුල් වරට පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ඡන්දයෙන් පත් වූ ජනපති වූයේ ඩී.බී විජේතුංග මහතා ය. ඒ, ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවය නිසා මතු වුණු පුරප්පාඩුව පුරවනු පිණිස ය. ඔහු එම තනතුර හෙබවූයේ මාස හයක් වැනි කෙටි කාලයක් ය. අනතුරු ව ජනපති ලෙස පත් වූයේ  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ය. කාටවත් කරදරයක් තර්ජනයක් නොවූ විජයතුංග මහතාට කාගේවත් විවේචනයට හෝ සමච්චලයට ලක් නොවුණේ ඔහු එම තනතුර දැරුවේ තාවකාලික ස්ටොප්-වෑල්ව හෙවත් කූඤ්ඤ භූමිකාවක් පිණිස බව කවුරුත් පාහේ පැහැදිලිව ම දැන සිටි නිසා ය.

.

2022 වසරේ ලංකාවේ සිදුවුණේ ආසන්න විප්ලවයකි. වාසනාවට, ප්‍රංශ විප්ලවයේ මෙන් ලාංකීය ජනතාව ප්‍රචණ්ඩ නොවී ය. අණක් ගුණක් නැති ප්‍රංශ විප්ලවකරුවන් කළේ මුවහත් ගිලටීනවලට බෙලි හිරකර දූෂිත පාලක පංතියේ හුස්ම අවසන් කිරීම ය. දහම් පාසල් සහතිකලාභී ගෝල්පීස අරගලකරුවන් කළේ හොඳ හුස්මක් අල්ලා, තම තමන්ගේ නාසය තද කරගෙන, ජනපති පිහිනුම් තටාකයේ ඩීප් එන්ඩයට ජබුන් ගා පැනීම ය. දෙරටේ හැදියාව හා නොහැදියාව මින් මනාව පැහැදිලි නොවේ ද ? මේ තත්ත්වය මැද රටින් පලා ගිය ජනපති සිංගප්පූරුවේ සිට තම ඉල්ලා අස්වීමේ ලිපිය එවූ අතර, ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අනුප්‍රාප්තික ජනපතිවරයකු පත් කර ගැනීමට පැවරුණේ පාර්ලිමේන්තුවට ය. ආටක නාටක කිහිපයකින් අනතුරු ව, ඒ වන විට නෙට්ප්ලික්-සුවයෙන්, හවසට අයිස්කැටයක් දෙකක් සමග ස්කොච්චඩියක් රසවිදිමින් පොතක් පතක් කියවමින් සිටි මහතෙකු, ව්‍යවස්ථානුකූල ව පාර්ලිමේන්තු නියෝජිත ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනපති ලෙස පත් වී ය.  

ගෝල්පීස අරගල භූමියේ ස්ථාපිත වූ ආයතන අතර මහත් වැදගත් තැනක් හෙබ වූ ගෝටාගෝහෝමාගම සරසවිය‍ ය. දෙස් විදෙස් පැකල්ටියකින් සමන්විත මේ සරසවිය කෙතරම් ප්‍රගතිශීලී වූවා ද කියතොත්, විදෙස් සරසවි කිහිපයක ම ප්‍රදීපස්ථම්භනය වූ එක් ඇදුරෙකු මේ සරසවියේ තම දෙසුම කළේ සෝටක් ගසා ය. එබඳු රේට්ටු ඇති මේ අරගල සරසවිය විසින් ඔනරිස් කෞස පදනමෙන් සම්මානයක් හා පදවියක් අනුප්‍රාප්තික මහතාට පිරිනැමුවේ  "පිං ජනපති" නමින් ය. ඒ ගැම්මෙන් ම එම සරසවියේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මඩුල්ල "හැප්පිලා බලමු" නමින් වීදි නාට්‍යයක් ද රඟ දක්වන ලදී. එය රාජ්‍ය අනුග්‍රහයෙන් පිදෙන ජලාචාර සම්මාන කිහිපයක් ම දිනා ගැනුමට සමත් විය.    

topshots topshot sri lanka economy rates protest 151840 2290085 20220409081812
ඉන් අනතුරුව මේ පිං ජනපති, රට පුරා හා ඉන් පරිබාහිර ව පින්කම් මාලා ගණනාවක් හා මල් වට්ටි වෙන්දේසි කිරීම් සංවිධානය කරනු රට වැසියනට පෙනිණ. පිං ජනපතිගේ විශේෂ අවධානය යොමු වුණේ විදේසංචිතාරාමයට ය. ඒ වන විට, එය ජරාවාස වී මකුණු දැල් ද බැඳී තිබිණ. එය වහා පිළිසකර කෙරුම පිං ජනපතිගේ මූලික අනුමෝදනාව විය. සාමාන්‍යයෙන් දඹදිවට වන්දනාවට යන සිරිතෙන් තරමක් වෙනස් වී, පිං ජනපති ගියේ වොසින්තන දාසී නුවර පිහිටි ජාමූල්‍යාධාරාමයට ය. කිහිප වරක් ම එය වැඳ පුදා ගත් ජනපති, ඒ අනුහසින් කොටුවේ විදේසංචිතාරාමය වටා පලංචි තට්ටුවක් බැඳ තින්ත බාල්දියක් හා බුරුසුවක් අතට දුන්නේ 'හොඳ බාස්' හෙවත් නන්දලාල් උපාසක මහතාට ය.

මෙලෙස රට පුරා පින්කම් මාලා පවත්වා රටේ මැද පන්තිය මැදහත් කරගත් පිං ජනපති, ඊළඟට කළේ සම්මාන දීම ය. "මේ පිං ජනපති අතිනුත් සම්මාන පට්ටම් ගැනීම මේ කුණු වූ ක්‍රමය අනුමත කිරීමක්" ලෙස වස් කවි කියන්නෝ බුකියේ මතුරන්න පටන් ගත් හ. සම්මානවලින් උදම් වන බොහෝ දෙනාට ගම්දෝ නොගම්දෝ ලෙස මනස වියවුල් විණ. කෙනෙකුට සම්මානයක් ලැබුණාට ඊර්ෂ්‍යා කරන අයට තම කුහකත්වය සඟවාගන්නට "පිං ජනපති අතින්නේ සම්මානය ලැබුණේ" යන්න පහසු වහන්තරාවක් විය.

01292 SC large
අර්බුදකාරී තත්ත්ව නවෝත්පාදනයට පිටිවහලක් වෙයි කියා චීන කියමනක් ඇත. රාජ්‍ය සම්මාන උළෙලකදී යට කී පිං ජනපති අතින් පිදෙන සම්මානයක් ගැනීමට එක්තරා මහැදුරෙකු එම සම්මාන උළෙලේ වේදිකාවට තබා ශාලාවටවත් ගියේ නැත. ඒ වෙනුවට ඒ සුහුරු මහැදුරු කළේ  "පික් මී ප්ලෑස්" නම් වූ ඉස්කූටර දිලිවරි සේවාව මගින් කොලුවකු ලවා එම සම්මානය තම නිවසට ම ගෙන්වා ගැනීම ය. නිවසට පැමිණෙන විට, සම්මානයේ පින් ගතිය පහ ව තිබුණ බව කියැවේ. මේ වසරේ අග වන්නට පෙර පිං ජනපති පරයා පිංපොං ජනපති කෙනෙකු එන බවට සකබර වැසියන්ගේ ඇදහිල්ල ය. වසර හතළිහකට පෙර සරච්චන්ද්‍රයන් තම චරිතාපාදනය ලිවූ ටයිටලය මඳක් එහා මෙහා කර පිං ජනපතිට ද 2025 දී තම පිංග්‍රැපිය එලි දැක්විය හැක.

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...