The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

හුන්නස්ගිරිය වතු ප්‍රජාවට ඡන්ද සාක්ෂරතාවය උගන්වන යෞවනයෝ

T

The Leader Desk

January 12, 2024 • 9:09 AM

හුන්නස්ගිරිය වතු ප්‍රජාවට ඡන්ද සාක්ෂරතාවය උගන්වන යෞවනයෝ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහළ පන්තියට අයත් ප්‍රාඩෝ, ලෑන්ඩ් කෘෂර්, ටොයොටා, ලැන්ඩ් රෝවර්, ඩිපෙන්ඩර්, කියා වැනි වාහන මෙන්ම මධ්‍යම පන්තියට අයත් සුසුකි, වැගන්ආර් වැනි වාහන ගමන් කරන අතර තුරේ, ත්‍රිරෝද ද නැතුවාම නොවේ.
  • ඔවුන් වතු කම්කරුවන් බව නිට්ටාවටම පැහැදිළි වූයේ, පාවහන්වලින් තොර ඔවුන්ගේ දෙපා සහ ඇඳුම් පැලඳුම්වලිනි.
  • වාහනවලින් ගමන් කරන්නන්නගේ ගමනාන්තය (හුන්නස්පෝල්) හුන්නස් ඇල්ල නරඹා, හුන්නස්පෝල් නිවාඩු නිකේතනයට ගොස් කාබී සතුටු වී ඇතැමි විට රැයක්ද ගතකර ආපසු පැමිණීමය.
  • නිවහන් ලෙස ඒවා හැඳින්වුවද සැබැවින්ම ඒවා නිවහන්ද යන්න ප්‍රශ්නාර්ථයක් මතු වන්නේ ඒවා දුටු කලය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉහළ පන්තියට අයත් ප්‍රාඩෝ, ලෑන්ඩ් කෘෂර්, ටොයොටා, ලැන්ඩ් රෝවර්, ඩිපෙන්ඩර්, කියා වැනි වාහන මෙන්ම මධ්‍යම පන්තියට අයත් සුසුකි, වැගන්ආර් වැනි වාහන ගමන් කරන අතර තුරේ, ත්‍රිරෝද ද නැතුවාම නොවේ.

ඒ අතර පාරේ පයින් ගමන් කරන්නෝද වූහ. ඔවුන් වතු කම්කරුවන් බව නිට්ටාවටම පැහැදිළි වූයේ, පාවහන්වලින් තොර ඔවුන්ගේ දෙපා සහ ඇඳුම් පැලඳුම්වලිනි.

වාහනවලින් ගමන් කරන්නන්නගේ ගමනාන්තය (හුන්නස්පෝල්) හුන්නස් ඇල්ල නරඹා, හුන්නස්පෝල් නිවාඩු නිකේතනයට ගොස් කාබී සතුටු වී ඇතැමි විට රැයක්ද ගතකර ආපසු පැමිණීමය.

WhatsApp Image 2024 01 12 at 11.20.57 AM 2
පයින් යන්නන්ගේ ගමනාන්තය සිය නිවෙස්ය. නිවහන් ලෙස ඒවා හැඳින්වුවද සැබැවින්ම ඒවා නිවහන්ද යන්න ප්‍රශ්නාර්ථයක් මතු වන්නේ ඒවා දුටු කලය.

හුන්නස්ගිරිය හන්දියේ සිට කිලෝ මීටර හයක් කඳු මුදුනට වෙන්නට ඇති, හුන්නස්ගිරිය ඩිවිෂනයේ මහඔය කොටස අපගේ ගමනාන්තය වේ.  

එතෙක් දුර ගලෙන් ගලට පැන ත්‍රීරෝද රථය යද්දී, අපට මග දෙපස අපූරුවට බලාගත හැකිය.  තවත් දුරක් යද්දී කලකට ඉහත මහා යෝධයෙකු සේ විරාජමානව සිටින්නට ඇතැයි නිශ්චිතවම කිව හැකි දැවැන්ත තේ කර්මාන්ත ශාලාව වල් බිහි වෙමින් ගරා වැටීමට ආසන්නව ඇත්තේ, පැරණි ප්‍රෞඪ ගති ලක්ෂණවල ඉඟි බිඟි තවමත් ප්‍රදර්ශනය කරමින්ය. බිමට සමතලා වීමට ආවඩමින් සිටින මේ දැවැන්තයා එදා කොතරම් තේ කුඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නට උර දෙන්නට ඇතිද? යන්න සිහිපත් වෙද්දී හදවත කොනක සියුම් හිරියක් සමඟ වේදනාවක් මතුවීම වලකා ගත නොහැකි විය.

GPJnews Srilanka SDM wage 86 web L

ඒ වේදනාව තවත් තීව්‍ර කරනුයේ, මෙවැනි තේ කර්මාන්තයන් සමග වසර දෙසියයක් පුරා බන්ධනය වී සිටින වතු ජන ප්‍රජාවද, දිරා අපතේ යවන මෙවැනි කර්මාන්ත ශාලාවල තත්ත්වයටම පත්කර ඇති බැවිනි.  

එහෙත් මේ ප්‍රජාව තවමත් තේ වතුවලටම කඹුරති.  අප යන මගේ දෙපස තේවත්තේ පාර අද්දරම තේ දළු නෙළමින් සිටින වැහැරුණු සිරුරින් යුතු වතු කම්කරු කාන්තාවන් දකින විට අප සිත්හි ජනිත වූයේ එකී සිතිවිල්ලයි.

තේ වත්තේ දසුනුත්, ඒ අතරින් ගලා හැලෙන දිය සීරාවනුත් දකිමින්ම අප කඳු මුදුනට පැමිණ තිබේ.  

මේ හුන්නස්ගිරිය කඳු මුදුනේ මස්ථකය නොවන නමුත්, අවට පරිසරය බලද්දී ඇතින් මාතලේ නගරයත්, මෑත පහළින් උකුවෙල නගරයත්, වත්තේගම නගරයත් පෙනේ.

තවත් ඈතින් මහනුවර නගරයත් දර්ශනය වේ.

estate line houses

කඳු පන්ති අතරින් ගලා යන මන්ද මීදුම් වලාවන් තිබුණ හොඳින් හිරු පායා තිබූ එවේලෙහි මේ දසුන් සොබා පරිසරය විඳින්නට චමත්කාර දසුන් මැවුණද, ඒ දසුන්වලට යටින් ඇත්තේ වතුජනයාගේ ශෝකාලාපය නොවේදැයි සිතේ. ඒ කඳ මුදුනේත් ඉන් පහළත් තන්හි තන්හි දිස්වෙන පැරණි ලැයිම් කාමර දකිද්දීය. වැස්ස, පින්න, සීතල සමග සැමදා දහයයි දහයේ ලැයිම් කාමරවලට, නැතිනම් තුමූම ඉදිකර ගත් කූඩුවලට කොටුවුණු ජීවිතවලින් කිසි දිනක මිදෙන්නට ඔවුන්ට නොලැබේවි ද?

රජයට අයත් ඇල්කඩුව වැවැලි සමාගමේ හුන්නස්ගිරිය ඩිවිෂනය, පහළ කොටස මහඔය කොටස හා ඉහළ කොටස ලෙස තවත් අනු ඩිවිෂන තුනකට බෙදා තිබේ.

පහළ ඩිවිෂනය හරහා ඉහළ ඩිවිෂනයට ගමන් ගන්නා බස් රථයක් (වත්තේගම - හුන්නස්ගිරිය) ධාවනය වුවද, මහඔය ඩිවිෂනයට පයින් ගමන් කරන්නට සිදු වේ. නොඑසේ නම් ත්‍රිරෝද රියකින් ගමන් කළ යුතුවේ. දුර ප්‍රමාණය කිලෝ මීටර තුනකි.  

මේ හේතුව නිසා මාතලේ, ඇල්කඩුවට හෝ වත්තේගමට මහනුවරට යාමට මහ ඔය ඩිවිෂනයේ කෙනෙකුට අනිවාර්යයෙන්ම පහළ කොටස හන්දියට පයින් ගාටන්නට සිදු වේ. කිසියම් විදියකින් බස් රථයේ සෙනඟ පිරී සිටියහොත් හෝ බස් රථය මඟ හැරුණේ නම් ඉතිරි කිලෝ මීටර තුනද ඔවුන් පයින්ම ගෑටිය යුතුය.

18 T. Yuwarajan 1 scaled

මේ අතවරය සැමදා අත් විඳින්නේ මහඔය කොටසේ පාසල් දරුවන්ය. ඔවුහු පාසල් යෑම සඳහා පෙරවරු හයට හයයි විස්සට නිවෙස්වලින් පිටවෙති. බස්රථය එන වෙලාවට පහළ ඩිවිෂනයේ හන්දියට ආවත් හුන්නස්ගිරිය ඉහළ ඩිවිෂනයේදීම බස්රථය ඊස්මීස් නැතිව සෙනඟ පිරි ගමන් ගන්නා බැවින් ඔවුන්ට සිදු වන්නේ ඉතිරි කිලෝ මීටර තුනක් පයින්ම යෑමටය.

මාක් ස්ටීව්, නිරෝෂන, සත්‍ය කුමාර් යන දරුවන් තිදෙනාම කීවේ, වත්තේ පාසලේ පන්ති ඇත්තේ 9 වසර දක්වා බැවින් ඉන් ඉහළට ඉගෙනීමට තිබෙන උවමනාව නිසා ඇල්කඩුව දෙමළ විදුහලට යන බවය. වාහන ගැටලුව නිසා සැමදා කිලෝ මීටර හය පයින් ගොස් එතැන් සිට බස් රථයකින් ගමන් කර පාසලට යනවිට පෙරවරු අටයි තිහ වන බවය.

පාසලට යන විට කන්ද පහළට යායුතු වුවත්, පෙරළා පැමිණෙන විට ඔවුන්ට කිලෝ මීටර හයක්ම කඳු මුදුනට නඟින්නට සිදු වේ. කුසගින්න හා වෙහෙස නිවා ගන්නට ඔවුනට පිහිට වන්නේ කන්දෙන් ගලා එන දිය කඳුරුය.

22
මේ වන විට රටේ වෙනත් ප්‍රදේශවල පාසල් දරුවන්ට සපත්තු මිල දී ගැනීම සඳහා රජයෙන් වවුචර ප්‍රදානය කර තිබුණත්, වසර තුනකට ඉහතදී සපත්තු ලැබුණාට පසුව තවම නම් තමන්ට සපත්තු නොලැබුණු බවය.

දිනපතා කිලෝ මීටර හයක් දුෂ්කර මාවතක ගල් කැබලිවලට නිතැතින් ෆුට් බෝල් ගසමින් යන්නට සිදු වෙන ඔවුන්ගේ පාවහන්වල ආයුෂ කාලය කොපමණ විය හැකිද යන්න සිතා ගැනීමට ඔබට භාර කරමි.

මෙසේ දුෂ්කර දිවියක් ගත කරන වතු ජන ප්‍රජාව තවමත් ගත කරන්නේ සිය මූලිකම අයිතිවාසිකම් වන නිවාස, ආහාර, සෞඛ්‍යය හා අධ්‍යාපන හිමිකම් අහිමිවය. ඇතැම් පළාත්හි වතු ජන ප්‍රජාවට පමණක් නොව අනෙකුත් ජන කොටස්වල තත්ත්වයත් මෙයට නොදෙවෙනි බවත් කිව යුතු වේ.

මේ සියළු දෙනාම අග හිඟයකින් තොර දිවියක් ගත කිරීමට අවශ්‍ය පදනමක් ගොඩ නැගීමේ උත්සාහයක් ඌවශක්ති සංවිධානය විසින් ආරම්භ කර ඇත.

ඒ ඡන්ද සාක්ෂරතාවය පිළිබඳව තරුණ ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනය. තරුණ උපදේශන කණ්ඩායම් (YCL) පිහිටුවා ඔවුන් වෙතින් තම බල ප්‍රදේශවල තරුණ ප්‍රජාවට ඡන්ද සාක්ෂරතාවය පිළිබඳ දැනුමක් ලබා දීම ඔවුන්ගේ අරමුණය.

elec nhunnns
මෙම නියාමන ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් මොනරාගල, මාතලේ, පුත්තලම, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වේ.  මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවන එවැනි ක්‍රියාකාරකමක් නිරීක්ෂණය සඳහා අපි එදින හුන්නස්ගිරිය ඩිවිෂනයට ගියෙමු.

මෙරට පුරවැසියන්ගේ ඡන්ද අයිතිය සහ භාවිතාවත්, සාක්ෂරතාවත් කියවා ගැනීම අපට නම් අසීරු නොවේ. එය විචාරශීලීත්වයකින් තොරව කරන්නන් වාලේ සිදු කරන බොහෝ දෙනෙකි. එනිසා විචාරශීලී ඡන්ද භාවිතාවක් ගැන කතිකාවතක් පවත්වා ගෙන යාම අසීරු මෙන්ම විවිධ බාධාවන්ද සිදු විය හැකි පසුබිමක් පවතී.

තරුණ පිරිස පවා නව මානයකට හැරවීම පහසු නොවේ. එනිසා ඌවශක්ති සංවිධානය ඡන්දය භාවිත කළ පිරිසට වඩා ඉදිරියේදී ඡන්දය පාවිච්චි  කිරීමට සූදානමින් සිටින පිරිස් සිය ඉලක්ක කණ්ඩායම ලෙස තෝරා ගෙන තිබේ. එනම් නව යොවුන් වියේ (Teens) දරුවන්ය.  

මාතලේ දිස්ත්‍රික්කය යනු බහුත්ව සමාජ පසුබිමක් පවතින කලාපයකි. පොදුවේ ගතහොත් සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් මෙහි වෙසෙති.  මේ ස්ථරවල තුරුණු ප්‍රජාවට ඡන්ද සාක්ෂරතාවය ලබා දීම අත්‍යාවශ්‍ය වේ. ඒ අතරේ දෙමළ ප්‍රජාව නියෝජනය කරන එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණු දා සිටම පත් කර යවන්නට ඔවුන් සමත්ව නැත.  

මාතලේ තරුණ ලීගයේ සාමාජික හරීන්ද්‍රන් හරි කුමාර් මෙසේ පවසයි.

හරීන්ද්‍රන් හරි කුමාර්

... ඌව ශක්ති සංවිධානයට අනුබද්ධ ලීගයේ මාතලේ දිස්ත්‍රික්කයේ සිටි දොළොස් දෙනාගෙන් මමත් එක් අයෙක්. අපේ අරමුණ ඡන්ද අයිතිය ගැන තරුණ පිරිසට අවබෝධයක් ලබා දී ඔවුන්ට අලුත් විදිහට හිතන්නට පෙළඹවීමයි. මෙතෙක් කලක් බත් පැකට් එකට අරක්කු කාලකට ඡන්දය දීපු අය දැනුවත් කිරීම අපහසුයි.

මෙහේ ඡන්දය දෙන්නේ තාත්තා යම් පක්ෂයකට දුන්නා නම් පුතාත්, ඒ අයට ඡන්දය දීමයි. පවුලේ ප්‍රධානියා ඡන්දෙ දෙන කෙනාටම තමා අනෙක් අයත් දෙන්නේ. එහෙම ක්‍රමයක් තමා මෙහේ තිබෙන්නේ.

ඒක පරම්පරා උරුමයක් විදිහට තමයි සලකන්නේ. එයින් එහාට ගිය සිතීමක් අපේ අයට නැහැ. ඒ වගේම අපි දකින දෙයක් තමයි ඡන්දය දිනපු කෙනාත් වැඩියෙන් සලකන්නේ එයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වියදම් කරපු මහන්සි වුණ කෙනාටයි.

ඒ නිසා ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිලාභවල නාම ලේඛනයේ මුලින්ම ඉන්නේ, ඒ පුද්ගලයා.  රජයේ නිලධාරීන් සලකන්නෙත් ඒ කෙනාටමයි.  මේ චක්‍රය තමයි වතුවල සැමදාම ක්‍රියාත්මක වෙන්නේ.

මේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍යයි. ඒක  පහසු නෑ. ඒ නිසා අපි කතා කරන්නේ තරුණ අයට. මෙහේ ගත්තොත් ඒ අය පාසල් යන්න විඳපු දුක, පාසල්වලට ගුරුවරු හිඟ වීම, අපේ පාරවල්වල තත්ත්වය වැනි මූලික කරුණු පදනම් කර ගෙන අපි අපේ කතාබහ ආරම්භ කර තිබෙනවා.  මේවා ගැන අපේ අය හොඳටම අත් විඳල තිබෙන නිසා ප්‍රවේශය අමාරු නැහැ.

WhatsApp Image 2024 01 12 at 11.22.06 AM

නන්දකුමාර් දේවානන්ද

අපේ වැඩිහිටියෝ නෙවෙයි. තරමක් හෝ අධ්‍යාපනයක් ලබා ගත්ත තරුණයන් පවා ඡන්දදායක ඇති වටිනාකම. ඒකේ භාවිතාව ගැන දන්නේ නැහැ. අපි තෝරා ගත යුත්තේ මොන වගේ නියෝජිතයෙක්ද? කියල හිතන්නේ නෑ. මේ අය අපේ අයිතිවාසිකම් ලබා දෙන්නේ නැතිනම් ඒකට කළ යුත්තේ මොනවද කියලා දන්නේ නැහැ.

ඉතින් අපි කියන්නේ අපි තෝරා ගත්ත නියෝජිතයා සිය යුතුකම ඉටු කරන්නේ නැතිනම්, අපිම දේශපාලනයට පිවිසෙන්න ඕනේ කියන එකයි.

සැමදාම සිදු වෙන ක්‍රමය වෙනස් නොකෙරුවොත් අපට දිගටම මේ විදිහට ඉන්න සිද්ධ වේවි.

ඒ වෙනුවෙන් සුළුවෙන් හෝ පුංචි වැඩ කොටසක් කිරීමයි අරමුණ. දැන් මාතලේ අපේ තරුණ ලීගයේ දොළොස් දෙනෙක් ඉන්නවා. ඒ සෑම කෙනෙක්ම කුඩා කණ්ඩායම් සාකච්ඡා පවත්වල තරුණ අය දැනුවත් කරන්න ඕනේ. ඒක අපි සිදුකරමින් සිටිනවා.

සටහන : 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිමල් අබේසිංහ විසිනි
samsungblade9@gmail.com

මේ ලිපියත් කියවන්න :

යෞවනයන් අතර දේශපාලන සාක්ෂරතාව ගොඩ නැංවීමට උරදෙන පුත්තලමේ තරුණ තරුණියෝ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හුන්නස්ගිරිය වතු ප්‍රජාවට ඡන්ද සාක්ෂරතාවය උගන්වන යෞවනයෝ | The Leader