The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ගෝඨාභය සහ දුමින්ද සිල්වා: මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

January 23, 2024 • 2:23 PM

ගෝඨාභය සහ දුමින්ද සිල්වා: මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මම පිස්සෙක්” යැයි කියන කිසිවෙකු, මොළේ ඇති කිසිවෙකු විසින් තමන්ගේ නායකත්වයට තෝරා නොගනු ඇත.
  • සමාජයේ පොදු පරිහානියට අධිකරණයත් පහසුවෙන් ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වුවද, ලංකා වාසීන් වන අපට මෑත අතීතය තුළ අධිකරණයෙන් ලැබී ඇති ආදර්ශය අප තුළ ආඩම්බරය දනවයි.
  • එසේම, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ලංකාවේ ආර්ථිකය වගකීම් විරහිතව කඩාඉහරවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ පාලනයේ ප්‍රධාන කර්තෘකයන් ගණනාවක් වැරදිකරුවන් කිරීම තවත් අවස්ථාවකි.
  • ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 4 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් කෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

“මම පිස්සෙක්” යැයි කියන කිසිවෙකු, මොළේ ඇති කිසිවෙකු විසින් තමන්ගේ නායකත්වයට තෝරා නොගනු ඇත. එහෙත්, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ දෙබෑයන්ගේ අතීත ක්‍රියාකාරකම්වල තරම ඒ වන විටත් දැනගෙන සිටි මිනිස්සු, ඒ පවුලේ සිටි ලොකුම මෝඩයාවත් රටේ ජනාධිපති තනතුරට පත්කරගන්නා තෙක් පස්ස නොබැලූහ.

සියල්ල ගරාවැටෙන වෙලාවක අධිකරණයක් නිරුපද්‍රිතව තිබීම රටකට හිමි වන දුර්ලභ වාසනාවකි. අධිකරණය යනු රටක් කරවන පාලන ආයතනයක් නොවේ. එහෙත් රටක් කරවන ආයතන පද්ධති සහ පුද්ගලයන්ට නිවැරදි මඟ පෙන්වන උත්තරීතර ආයතනයයි. සමාජයේ පොදු පරිහානියට අධිකරණයත් පහසුවෙන් ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වුවද, ලංකා වාසීන් වන අපට මෑත අතීතය තුළ අධිකරණයෙන් ලැබී ඇති ආදර්ශය අප තුළ ආඩම්බරය දනවයි.  


මේ කියන මෑත අතීතය තුළම, විවිධ සොරුන්, තක්කඩියන්, අපරාධකරුවන් එක දිගට අධිකරණ මගින් නිfදාස් කර නිදහස් කර යැවූ අවස්ථා දක්නට ලැබුණි. එවැනි බොහෝ තන්හිදී නිරීක්ෂණය වුණු එක් ප්‍රධාන කාරණයක් වන්නේ, අධිකරණයට සහාය වන පොලීසිය වැනි වෙනත් රාජ්‍ය ආයතන දේශපාලනයට ගොදුරු වීම නිසා, යුක්තියට වඩා අයුක්තියේ පැත්ත නියෝජනය කරමින් අධිකරණය ඉදිරියේ කටයුතු කර තිබීමත්, අධිකරණ පද්ධතිය තුළම පවතින ආයතනික සීමාවන් සහ අක්‍රමිකතාත් ඊට හේතු වී ඇති බවයි. නඩු ඉල්ලා අස්කරගැනීම් ගැන නිතර අසන්ට ලැබෙන්නේ එවැනි තන්හිදී ය. එහෙත්, නීතිය පිළිබඳ ඇතැම් කාරණා, නෛතික සහ ව්‍යවස්ථාමය සන්දර්භයක් තුළ නිශ්චිතව ස්ථානගත කළ හැකි තැන්වලදී සහ රටේ අනාගතය සඳහා ඓතිහාසික වැදගත්කමකින් යුක්ත තැන්වලදී, අපේ අධිකරණය සිය විනිශ්චයන් සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමින් කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනෙන්ට තිබේ. 

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකුළ ආණ්ඩුවක් අස්කොට රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා මහදවල් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය අධිකරණය විසින් පරාජය කරනු ලැබූ අවස්ථාව ඊට එක් නිදසුනකි. එම සිරිසේනවම, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ වැරදිකරුවකු කොට විශාල වන්දියකටත් යටත් කිරීම තවත් අවස්ථාවකි. එසේම, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ලංකාවේ ආර්ථිකය වගකීම් විරහිතව කඩාඉහරවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ පාලනයේ ප්‍රධාන කර්තෘකයන් ගණනාවක් වැරදිකරුවන් කිරීම තවත් අවස්ථාවකි. දැන් තවත් එවැනි ඓතිහාසික තීන්දුවක් අධිකරණයෙන් ලැබී තිබේ.

දුමින්ද සිල්වාගේ සමාව අවලංගු වීම

දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට දෙන ලද විශේෂ සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරනු ලැබීමයි. මොහු, චෝදනා හතරක් යටතේ මරණීය දණ්ඩනයට නියම වී සිටි පුද්ගලයෙකි. ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 4 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් කෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙනි. 2016 සැප්තැම්බර් 8 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද විශේෂ මහාධිකරණ තීන්දුවෙන්, ඒ ඝාතනවලට සම්බන්ධ චූදිතයන් 13 දෙනාගෙන් දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකු වැරදිකරුවන් කොට මරණීය දණ්ඩනයට නියම කෙරුණි. 8 දෙනෙකු නිදහස් කෙරුණි. එම විනිශ්චය, තිදෙනෙකුගෙන් සමන්විත මහාධිකරණ විනිශ්චයාසනයක විනිසුරුවරුන් දෙදෙනෙකුගේ බහුතර තීන්දුවකි. 

එම දඬුවම නොපිළිගත් විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ. එය, හිටපු අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් ඇතුළු විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් විභාගයට ගන්නා ලදි. 2018 ඔක්තෝබර් 11 වැනිදා එහි විනිශ්චය ප්‍රකාශයට පත්කෙරුණි. එක චෝදනාවක් හැර, සෙසු සියලු චෝදනා සම්බන්ධයෙන් මහාධිකරණය දෙන ලද තීන්දුව මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විසින් ඒකමතිකව අනුමත කරන ලදි. ඒ අනුව, දුමින්ද සිල්වා ඇතුළු ඉහත කී චූදිතයෝ, මරණීය දණ්ඩනයට පත්කෙරෙන තෙක් හිරේට ගියහ.

ශානී අබේසේකර සහ දේශපාලනික දංගෙඩිය -ගාමිණී වියන්ගොඩ
ඉන්පසු, අර පවුලේ ලොකුම මෝඩයා 2019 නොවැම්බර් 16 වැනිදා මේ රටේ ජනාධිපති පදවියට පත්විය. ඒ පදවිය ලත් සැණින් ඔහු කළ ප්‍රථම ජනාධිපති රාජකාරිය වුණේ, තමන්ගේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත්කිරීම නොව, මේ කියන දුමින්ද සිල්වා එල්ලුම්ගස් යැවූ තීන්දුවට පාදක වූ පොලිස් පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර, ගාල්ලේ උසස් පොලිස් නිලධාරියෙකුගේ පියන් කෙනෙකුගේ තත්වයට බාල්දු කොට ගාල්ලට මාරු කර යැවීමයි. (ඉන්පසු ඔහුව හිරේ දමා එක දිගටම ඔහුගෙන් පළිගත් සැටි වෙනත් තැන්වල, විස්තරාත්මකව සාකච්ඡා වී තිබේ).

236040743 4216229941828085 2662401563273834732 n

නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ගෙන් එසේ පළිගැනීමට පමණක් නොව, රටේ ඉහළම අධිකරණ දෙකෙන් වැරදිකරු කොට එල්ලුම්ගහට නියමව සිටි අපරාධකරුවෙකු වූ දුමින්ද සිල්වාට විශේෂ සමාවක් දී එළියට ගැනීමට තරම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බලයෙන් මත් විය. එපමණක් නොවේ. ජනාධිපති සමාව ලැබූ ඒ දුමින්ද සිල්වා ඉන්පසු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන පුටුවට පත්කිරීමටත් ගෝඨාභය රාජපක්ෂ කටයුතු කෙළේය. යුක්තිය නිරුවත් කිරීමෙන් නොනැවතී ඒ නිරුවත මහපාරේ සාඩම්බරයෙන් ප්‍රදර්ශනය කිරීම ස්වභාව ධර්මය පවා නොඉවසනසුළු කල්ක්‍රියාවකි. 

oroginalaphoto

ඝාතනය වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් කිහිප දෙනෙකු නැවත අධිකරණයට ගියේ, මොහුට සමාව දීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් ජනාධිපතිවරයා විසින් කඩ කොට ඇතැයි කියමිනි. දුමින්ද සිල්වාට දෙන ලද එම ජනාධිපති සමාව නීති විරෝධී බව එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ගිය සතියේ ප්‍රකාශයට පත්කෙළේය. 

බලය, පරම නැත

විධායක කෝලම - රටේ රාළ
වගකීම් සහිත සහ වගකීම් විරහිත යනුවෙන්, බලය දෙවර්ගයකට බෙදිය හැකිය. ඕනෑම බලයක් නීත්‍යානුකූල වන්නේ සහ සමාජයක් විසින් එය පිළිගනු ලබන්නේ, වගකීම් සහිතව එම බලය පාවිච්චි කළොත් පමණි. උදාහරණයක් වශයෙන්, අලුගෝසුවෙකු කෙනෙකු එල්ලා මැරීම නීත්‍යානුකූල වන්නේත්, රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මාරවිල ප්‍රදේශයේදී ලොරි රියැදුරෙකුට රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබා ඝාතනය කිරීම මිනිමැරුමක් වන්නේත් එබැවිනි. අලුගෝසුවාගේ ක්‍රියාවට එන විට, පිළිගත් නෛතික රාමුවක් අනුගමනය කර ඇත. අර පොලිස් නිලධාරියාගේ ක්‍රියාවට කලින් එවැනි නෛතික රාමුවක ඔහු කටයුතු කර නැත.

මෙය, විධායක ජනාධිපතිවරයාටත් එලෙසින්ම බලපාන නෛතික මූලධර්මයකි. ඉහතින් කී මෛත්‍රිපාල සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය (යහපාලන ආණ්ඩුව හිතුමතේ අස් කිරීම) සම්බන්ධයෙන් අධිකරණය අනුගමනය කළ මූලධර්මය එයයි. ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමය, ශිෂ්ට ප්‍රජාතන්ත්‍රීය ධර්මතා නොතකන, පුද්ගල බලාධිකාරිය ඔසවා තබන අශිෂ්ට ක්‍රමයකි. එසේ තිබියදී පවා, ඕනෑම ක්‍රියාවකදී ජනාධිපතිවරයෙකු අනුගමනය කළ යුතු යැයි පැනවෙන නෛතික ක්‍රමවේදයක් තිබේ. එවැනි ක්‍රමවේදයක් නියම කර ඇත්තේ යම් පරමාර්ථයක් පෙරදැරිවයි. එනම්, ජනාධිපතිවරයෙකුගේ අභිමතය හිතුවක්කාරී නොවන තැනට වගබලාගැනීමටයි. 

ජනාධිපති සමාවත් කොන්දේසිවලට යටත්

ජනාධිපති සමාව සම්බන්ධයෙන් ගත්තොත්, යම් පුද්ගලයෙකුට සමාවක් දීමට කලින් ජනාධිපතිවරයෙකු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය තුළ වැදගත් වන ප්‍රධාන අවශ්‍යතා මෙසේ ය: 

(1) සමාව දීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාගේ තීන්දුව දුන් මුල් විනිශ්චයාසනයේ අදහස් ලබාගැනීම, 
(2) සමාව දීම පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම, 
(3) ඒ මත පදනම්ව අධිකරණ ඇමතිවරයාගේ නිර්දේශ ලබාගැනීම.  

Cartoon Gotha knee to neck of consitution

ගෝඨාභය රාජපක්ෂ මේ ක්‍රමවේදය නාමමාත්‍රිකව අනුගමනය කර ඇතත්, ඉන් අපේක්ෂිත පරමාර්ථය සාධනය කරගෙන නැත. එනම්, ඉහත කී කිසිවෙකු දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර නොමැති බවයි. මරණීය දණ්ඩනය පැනවූ මහාධිකරණ නඩුවේදී, දුමින්ද සිල්වා ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස්  කොට නිදහස් කළ යුතු බවට තනි තීන්දුවක් දුන් එහි සභාපති ශිරාන් ගුණරත්න ගරු විනිසුරුවරයා පවා, ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව දිය යුතු බවට මේ අවස්ථාවේදී නිර්දේශ කර නැත. 

එම නඩුවේදී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කළ සෙසු මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා වන එම්. සී. බී. එස්. මොරායස් සහ පද්මිණී රණවක, සමාව දීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාට යැවූ නිර්දේශ මෙසේ ය:

(1) “සිරකරු දේශපාලනඥයෙකු බව මට වැටහෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලනඥයෙකුගේ කාර්යභාරය වන්නේ ජනතාවට නායකත්වය දීමත්, තමාගේ හැසිරීමෙන් සෙස්සන්ට ආදර්ශයක් සැපයීමත් ය... මගේ අදහසේ හැටියට, සිරකරු සඳහා කිසිම සමාවක් සලකා බැලීම, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රමිතීන් සමග නොපෑහෙයි.” (ගරු විනිසුරු එම්. සී. බී. එස්. මොරායස්) 

(2) “මා සිතන පරිදි, දුමින්ද සිල්වා මහතා නිවැරදිවත්, නීත්‍යානුකූලවත් වැරදිකරු කර මරණීය දණ්ඩනයට නියම කර තිබේ. එබැවින් ඔබතුමා විසින් ඔහුට සමාවක් දිය යුතු යැයි මට නිර්දේශ කළ නොහැක.” (ගරු විනිසුරු පද්මිණී රණවක) 

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ගෝඨාභය රාජපක්ෂට යවා ඇති උපදේශයේ, සමාවක් පිළිබඳ සමස්ත හරය මෙසේ කුළුගන්වා ඇත: 

“සමාව දීමේ බලය ජනාධිපතිවරයා විසින් අභ්‍යාස කළ යුත්තේ, තාර්කිකත්වය, සාධාරණත්වය, බුද්ධිමත් බව සහ විෂයමූලික නිර්ණායකවලින් සමන්විත පරීක්ෂණයට මුහුණදීමට තරම් ශක්තිමත්ව ය.” 



එහෙත් ගෝඨාභය රාජපක්ෂ එසේ නොකළ බව, ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දැක්වෙයි: 

“ප්‍රශ්නකාරී අදාළ සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි ක්‍රියාවලිය අනුගමනය කර නැත. ගරු නීතිපතිවරයාගේ උපදේශය ඔහු සැලකිල්ලට ගෙන නැත. ඔහු විසින් සැලකිල්ලට ගත යුතු යැයි නීතියෙන් ඉල්ලා සිටින කිසිවක් කොහෙත්ම ඔහු සැලකිල්ලට ගෙන නැත. එබැවින් හිටපු ජනාධිපතිවරයා සිය අභිමතය නිවැරදිව අභ්‍යාස කොට ඇතැයි මට කිව නොහැක.” (ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සූරසේන)

 103805530 44f869f7 af7b 48a9 86a0 c4781afa19a8

තමාගේ කටවචනය, පරිපාලන චක්‍රලේඛ සේ සලකන්නැයි ඉහළ නිලධාරීන්ට වරක් ප්‍රසිද්ධියේ කියා සිටි ජනාධිපතිවරයෙකු, මෙතරම් සියුම් නෛතික තත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙතැයි කෙසේ සිතන්නද! ඇත්ත වශයෙන්ම, අද දුමින්ද සිල්වාට යළිත් පෝරක පෝලිමේ සිටීමට සිදුව ඇත්තේ, ජනාධිපතිවරයාම කලින් කියා ඇති, ඔහුගේ මුග්ධත්වය නිසාම ය. 

මේ සමාව දීම පිළිබඳ චෝදනාවෙන් ගෝඨාභය රාජපක්ෂට ගැලවිය හැකිව තිබූ එක් ක්‍රමයක් වන්නේ, මුල් නඩුවේ තීන්දුව කෙරෙහි යම් අගතියක් සිදුව ඇති බවටත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා ඊට පිළිසරණක් ලැබී නැති බවටත්, එසේ හෙයින්, නියම කර ඇති ‘අසාධාරණ’ දඬුවම නිවැරදි කිරීම සඳහා තමාගේ සමාව ප්‍රදානය කරන බවටත් ‘තර්කයක්’ තමා අතේ තබාගැනීමයි. 

එහෙත් මුල් නඩුවෙන් එල්ලුම්ගහට නියම වූ 5 දෙනාගෙන් දුමින්ද සිල්වාට පමණක් සමාව දීමට තරම් ගෝඨාභය රාජපක්ෂ මුග්ධ වී තිබීම නිසා, ඒ ‘වාසියත්’ දුමින්ද සිල්වාට අහිමි විය. ඇත්ත වශයෙන්ම, දුමින්ද සිල්වාට සමාව දීමෙන් ජනාධිපතිවරයා තම මූලික අයිතීන් උල්ලංඝණය කර ඇතැයි, හිරුණිකාට කලින් අධිකරණයට යා යුතුව තිබුණේ, එම සමාව නොලද ඉතිරි සිරකරුවන් 4 දෙනා ය! 

බලය යනු අජරාමර දෙයකැයි සිතන්නෝ අමනයෝ ය. මෛත්‍රීපාල සිරිසේන සමාව දුන්, එල්ලුම්ගහට නියමව සිටි මිනිමරුවා, සමාව ලද සැණින් ලංකාවෙන් පිටව ගියේය. දුමින්ද සිල්වා සමාව ලද සැණින් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති පුටුවට ගියේය! 

හය-හතර නොතේරෙන පාලනයක් - ගාමිණී වියන්ගොඩ(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...