The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මැතිවරණ වසරක බලය මාරුවීමේ නව ප්‍රවණතා - (මහාචාර්ය ජයදේව උයන්ගොඩ)

T

The Leader Desk

February 8, 2024 • 5:20 AM

මැතිවරණ වසරක බලය මාරුවීමේ නව ප්‍රවණතා - (මහාචාර්ය ජයදේව උයන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුවැනි ප්‍රවණතාව නම්, රාජ්‍යයේ මර්දන ශක්තිය, මර්දන හැකියාව සහ මර්දන සූදානම වඩාත් ශක්තිමත් කරනු ලැබීමයි.
  • ඔවුන්ගේ චර්යාවෙන්ද, කියන දේවල්වලින්ද ව්‍යංග්‍යයෙන්ද ප්‍රකාශ වන කරුණක් තිබේ.
  • එය නම්, 2024 වසර මැතිවරණ වසරක් වුවත්, මැතිවරණ තුළින් ආණ්ඩු වෙනසක් වීමේ විභවතාව තිබුණත්, තමන් දැනට අල්ලාගෙන තිබෙන බලයේ වේදිකාව ස්වේච්ඡාවෙන් අතහැර යාමේ අදහසක් ඔවුන්ට නැත යන්නයි.
  • එය දිගටම පැවතිය හැකි ප්‍රවණතාවක් බවද පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමුවැනි ප්‍රවණතාව නම්, රාජ්‍යයේ මර්දන ශක්තිය, මර්දන හැකියාව සහ මර්දන සූදානම වඩාත් ශක්තිමත් කරනු ලැබීමයි. ජනාධිපතිවරයා සහ මහජන ආරක්‍ෂක ඇමතිවරයාත්, පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු සහ එජාප මන්ත්‍රී සහ ඇමතිවරුනුත්, මෙම ක්‍රියාවලියේ ප්‍රධාන නියමුවෝ සහ හවුල්කරුවෝ වෙති. ඔවුන්ගේ චර්යාවෙන්ද, කියන දේවල්වලින්ද ව්‍යංග්‍යයෙන්ද ප්‍රකාශ වන කරුණක් තිබේ.

 


එය නම්, 2024 වසර මැතිවරණ වසරක් වුවත්, මැතිවරණ තුළින් ආණ්ඩු වෙනසක් වීමේ විභවතාව තිබුණත්, තමන් දැනට අල්ලාගෙන තිබෙන බලයේ වේදිකාව ස්වේච්ඡාවෙන් අතහැර යාමේ අදහසක් ඔවුන්ට නැත යන්නයි. එසේ වන්නේ මන්ද යන්න වෙනමම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

දෙවැනි ප්‍රශ්නය නම්, වැඩ කරන ජනතාව සහ දුගී ජනතාව තම ආර්ථික අයිතිවාසිකම් සහ ආර්ථික සාධාරණත්වය සඳහා එළියට බැස ආණ්ඩුව සමග විවෘත අරගලයක යෙදී සිටීමයි. එය දිගටම පැවතිය හැකි ප්‍රවණතාවක් බවද පෙනේ. මධ්‍යම පන්තියත් දුගී ජනතාවත් නොමරා මරන රනිල් අයිඑම්එෆ් ආර්ථික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක වෙද්දී, ආර්ථික අර්බුදයෙන්ද, ආර්ථික ප්‍රතිපත්තිවලින්ද බැට කන සමාජයේ බහුතරයක් වන ජනතාවට තිබෙන විකල්ප අතරින් එකක් වන්නේ පාරට බැස, ආණ්ඩුවට ඇඟිල්ල දික්කරමින් තමන්ගේත්, තමන් මෙන් බැට කන අන් සියලු දෙනාගේත්, ආර්ථික අයිතීන් සඳහා එළිපිටම සටන් කිරීමයි.

thediplomat 2022 09 01 100807

 

පාලක පන්තියේ ස්වභාවය

සාමකාමීව සහ ස්වේච්ඡාවෙන් තමන් සතු දේශපාලන බලය අත් හැරීමට සූදානම් නැති බවක් පෙන්වන ලංකාවේ පාලක පන්තියෙහි යම් යම් විශේෂ ගති ලක්‍ෂණ කිහිපයක් හඳුනාගැනීමට දැන් අපි උත්සාහ ගනිමු. 

ඉන් පළමුවැන්න නම්, ලංකාවේ ජනතාවගෙන් බහුතරය දිළින්දන් බවට පත් කරමින්, එම ජනයාගේ වර්තමානයත්, ඊළඟ පරම්පරාවේ අනාගතයත් විනාශ කිරීම ගැන කිසිදු සිත් තැවුලක් හෝ කනගාටුවක් ප්‍රකාශ කිරීමට පාලක පන්තිය සතු නොහැකියාවයි. ඒ සමගම මෙම පාලක පන්තිය සිදු කරන තවත් දෙයක් නම්, මහජනතාවට අත්කරදී තිබෙන විනාශය පිළිබඳව ඔවුන් මහත් ආඩම්බරයෙන්ද සිටින බවයි. දුගී ජනතාවට හිරිහැර කිරීම තුළින් පරපීඩක සතුටක් ලබන පාලක පන්තියක ස්වභාවය එයයි. මෙම පාලක පන්තිය ප්‍රදර්ශනය කරන තුන්වැනි ගති ලක්‍ෂණයක්ද තිබේ.

 

1hjkhk

එය නම්, තමන් සතු දේශපාලන බලය අත නොහැරීමට ඔවුන් සතු සූදානමයි. සාම්ප්‍රදායික පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ, තමන්ට මහජනතාවගෙන් ලැබී ඇති දේශපාලන බලය අත්හැරීමට සිදුවන බව පාලක පන්ති කොටස් දැන සිටියහ. එහෙත් ලංකාවේ මෙම තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ 1970 ගණන්වල පටන්ය. මැතිවරණ කල් දැමීම, මැතිවරණ නොපැවැත්වීම සහ මැතිවරණවලදී ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී මැතිවරණ ජයග්‍රහණ ලබාගැනීම පාලක පන්තියේ කඳවුරු දෙක අතර පැවති බල අරගල තියුණු වීමේ ප්‍රතිඵල ලෙස බොහෝ කාලයක් සිදුවූ දේවල්ය.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන්  පෙරේරා

 

ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණාමය දෙස බලන විට ඉහත කී කාරණය වෙතින් ගොඩනැගිය හැකි වැදගත් නිරීක්‍ෂණයක් තිබේ. එය නම්, මැතිවරණ වසරක් යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්වීමේද හැකියාව ගැබ් කරගත් මොහොතක් විය හැකිය යන්නයි. එවිට අනතුරට පත්වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවේ. මහජන පරමාධිපත්‍යය, පුරවැසියන්ගේ දේශපාලන අයිතිවාසිකම් සහ මහජනතාවගේ නිදහසද අනතුරට පත්වීමේ අනතුර මැතිවරණ ක්‍රියාවලිය සමග බද්ධ වී තිබේ. 


මෙම අනතුර නිර්මාණය කරන පාලක පන්තිය පරාජය කිරීමද, මැතිවරණයකින් ඉටු කරගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කර්තව්‍යයක් ලෙස 1970 ගණන්වල සිට ලංකාවේ දේශපාලනයේ ගැබ්වී තිබි එක් හදිසි, එහෙත් නිහඬ අරමුණකි.

මැතිවරණ අවිනිශ්චිතතාව

 

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)

2024 වසරේද මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්වීමේ අනතුර මතුවෙමින් තිබේ. මෙම වසරෙහිදී එම අවිනිශ්චිතතාවේ විශේෂත්වයක් තිබේ. එම විශේෂත්වය නිර්මාණය වී තිබෙන්නේ සාධක තුනක් පදනම් කොටගෙන බවද කෙනකුට නිරීක්‍ෂණය කළ හැකිය. එම සාධක තුන පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය. 

පසුගිය වසර දෙක පුරා විවෘතව ප්‍රකාශයට පත්වූ තියුණු ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදය. මෙම අර්බුදයෙන් බැට කන මහජනතාව තුළ ගොඩනැගී ඇති කෝපය සහ පාලක පන්තියේ සංයුතියේ වෙනසක් විය යුතුය යන දැඩි අපේක්‍ෂාව සහ විශ්වාසය. නව පාලක පන්ති ස්තරය ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ඒමට සහ දේශපාලන බලයට හිමිකම් කීමට ජවිපෙ / ජාතික ජන බලවේගය සතු විභවතාව. මෙම සාධක තුනෙහි සංයෝගයෙන් ඇතිවන ප්‍රතිඵලය වන්නේ මෙම වසරේ පැවැත්වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් නව ආණ්ඩුවක් පිහිටුවීමට ජවිපෙ / ජාජබය ඉදිරියට පැමිණීම නම්, එහි දේශපාලන අර්ථය සුළුපටු එකක් නොවේ. ඉතා බැරෑරුම් එකකි.

ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලේ !

 

එය නම් ලංකාවේ පාලක පන්තියේ සමාජ සංයුතිය අලුත් වීම සහ වෙනස්වීමයි. ඒ සමගම දේශපාලන බලය, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස, දේශපාලන බලය හිමි සාම්ප්‍රදායික අධිපති පන්තියේ ග්‍රහණයෙන් ගැලවී, අධිපති නොවන සමාජ සන්ධානයකට සහ එහි දේශපාලන නියෝජිතයන්ට මාරු වීමේ හැකියාවයි. මෙය තරමක් ගැඹුරට සාකච්ඡා කළ යුතු කරුණකි. මන්ද යත් 2024 වසරේ මතුවිය හැකි ‘මැතිවරණ උණුසුම’ සහ දේශපාලන අවිනිශ්චිතතාව මූලික වශයෙන්ම එම කරුණ වටා ගොඩ නැගීමට ඉඩ තිබෙන බැවිනි.

පාලක පන්තිය වෙනස්වීමක්?

 

Untitled 2223


සාම්ප්‍රදායිකව ලංකාවේ මැතිවරණවලදී මහජන ඡන්දයෙන් බලයට ඒම සඳහා තරගය තිබුණේ එකම පාලක පන්තියේ කණ්ඩායම් දෙකක් අතරය. ඔවුහු එකම සමාජ පන්තියේ, එනම්, ධනපති, ඉඩම් – ව්‍යාපාර හිමි ආර්ථික වශයෙන් අධිපති පන්තියේම දේශපාලන වශයෙන් බෙදුණු කඳවුරු දෙකකට අයත් වුවෝ වූහ. එයට වෙනස් තත්වයක් තිබුණේ, එජාපය සහ වමේ පක්‍ෂ මුහුණට මුහුණ ලා සටන් කළ 1947 මැතිවරණයේදීය. 1951දී ශ්‍රීලනිපය බිහිවීමෙන් පසුව ලංකාවේ ‘ද්වි-පක්‍ෂ ක්‍රමයක්’ ආරම්භ වී පසුව එම ක්‍රමය තහවුරු විය යන්නෙහි සමාජීය අර්ථය නම්, මැතිවරණයකදී දේශපාලන බලය මාරුවූයේ, එකම අධිපති ධනේශ්වර පන්තියේ තරගකාරී කඳවුරු දෙකක් අතරය යන්නයි. මැතිවරණ ප්‍රතිඵල මත දේශපාලන බලය මාරු වූයේ එකම අධිපති පන්තිය ඇතුළත මිස එයින් පිටත නොවේ.

ඔවුන් අතර මතවාදී, බලවාදී, පවුල්වාදී සහ පුද්ගලික පසමිතුරුතා තිබුණද, ඔවුහු එකිනෙකා හොඳින් දැනසිටි, බොහෝ විට එකම පාසල්වල අධ්‍යාපනය ලැබූ, සමාන සංස්කෘතික හා සමාජ වටිනාකම් වැළඳගෙන සිටි ලංකාවේ ප්‍රභූ තන්ත්‍රයේ නායක ස්තර වූහ. 2024 වසරේදී මැතිවරණ මාධ්‍ය කොටගෙන සිදුවිය හැක්කේ මෙම ප්‍රභූ තාන්ත්‍රික සමාජ පන්තිය අතර මෙතෙක් කල් හුවමාරු වූ දේශපාලන බලය ‘නිර්ප්‍රභූ’ සමාජ ස්තරයක් වෙතට මාරුවීමයි. අධිපති ප්‍රභූ පන්තිය සමග සමාජ, සංස්කෘතික, ඥාති, මිත්‍ර, විවාහ ආදි කිසිදු සම්බන්ධතාවක් නැති, නිර්ප්‍රභූ වීම නිසාම පිටස්තර වී සිටින, සමාජ ස්තර අතර දේශපාලන සන්ධානයකට මාරුවීමයි. 

 

prth

මෙම වසරේ මැතිවරණ සහ මැතිවරණ ප්‍රතිඵල ගැන එජාපය, පොහොට්ටු පක්‍ෂය, ශ්‍රීලනිපය, පොහොට්ටුවෙන් කැඩී ගිය කොටස් මෙන්ම එජාපයෙන් කැඩී ගොස් පිහිටුවා ගන්නා ලද සජබයද බියට පත්වන්නේ, එක සමාජ පන්තියකින් තවත් සමාජ පන්තියකට, අධිපති ප්‍රභූ තන්ත්‍රයේ සිට අධිපති නොවන නිර්ප්‍රභූ සමාජ පන්තියකට, දේශපාලන බලය මාරුවීමේ හැකියාව තිබෙන නිසාය.

ඉහත කී නිරීක්‍ෂණය වෙතින් මතු කළ හැකි තවත් අලුත් දේශපාලන ප්‍රවණතාවක් දැනටමත් ලංකාවේ මතුවී තිබේ. එනම් අඩු තරමින් සිංහල බහුතර සමාජයේ දුගී, පීඩිත, ගොවි, කම්කරු, තරුණ සහ මධ්‍යම පන්තික සමාජ කොටස්, සිංහල ප්‍රභූ පන්තියේ දේශපාලන නායකත්වය තවදුරටත් පිළිගන්නේ නැති බව සහ නිර්ප්‍රභූ සහ අධිපති නොවන සමාජ/පන්ති පසුබිමකට අයත් නව දේශපාලන නායකත්වයක් පිළිගැනීමට සහ අනුගමනය කිරීමට තීරණය කර ඇති බව පෙනෙන්නේය යන්නයි. 

 

අරගලය ජනතා ජයග්‍රහණයෙන් අවසන් වනු ඇත - SSA Sri Lanka

වෙනත් ආකාරයකින් කිවහොත්, පසුගිය කාලයේ උත්සන්න වූ ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදවල ප්‍රතිඵලයක් වී තිබෙන්නේ, අධිපති පාලක පන්තිය ජනතාව මත පවත්වාගෙන ගිය දේශපාලන හා මතවාදී ආධිපත්‍යය දෙදරා ගොස්, අර්බුදයට පත්වීමයි. එය නිදහසින් පසු ලංකාවේ දේශපාලනය තුළ ඇතිවූ ඉතාම වැදගත් පරිවර්තනයකි. 2022 වසරේ පුරවැසි අරගලය වෙතින් සංකේතවත්ව ප්‍රකාශයට පත්වූයේ අධිපති දේශපාලන ප්‍රභූ පන්තිය සහ මහජනතාව අතර පැවැති සාම්ප්‍රදායික ආධිපත්‍යවාදී සම්බන්ධය කඩා වැටීමයි.

දේශපාලන සංකීර්ණතා

ඉහත අප සටහන් කළ වර්ධනයන් සහ පසුබිම තුළ 2024 වසරද, දේශපාලන සංකීර්ණතා ගණනාවක මිශ්‍රණයේ කාල පරිච්ඡෙදයක් වීමට ඉඩ තිබේ. එම තත්වය නිර්මාණය කිරීමට තුඩුදෙන හේතු හඳුනා ගැනීමද මෙම සාකච්ඡාවට වැදගත්ය. ඉන් කිහිපයක්වත් කෙටියෙන් දක්වන්නේ නම් මෙසේය. ලංකාවේ මහජනතාව මත තමන් අයත් දේශපාලන ප්‍රභූ පන්තිය මෙතෙක් පවත්වාගෙන ගිය ආධිපත්‍යය සහ නායකත්වය තීරණාත්මක ලෙස දුර්වල වී, බිඳ වැටෙමින් පවතින බව, දැනට ආණ්ඩු බලයේ සිටින සහ නොසිටින, ප්‍රභූ පන්තිද දැන සිටිති. තමන් සතු දේශපාලන බලය, සමාජීය සහ දේශපාලන වශයෙන් තමන්ට පිටස්තර සහ පසමිතුරු සමාජ – දේශපාලන බලවේගයක් අතට පත්වීමේ හැකියාව ගැන එම අධිපති ප්‍රභූතන්ත්‍රවලින් ප්‍රතිචාරයක් හා ප්‍රතික්‍රියාවක් නොඑතැයි සිතිය නොහැකිය.

 

ඡන්දයේ මුද්‍රණ කටයුතු සඳහා දින 30 ක් අවශ්‍ය බව මුද්‍රණාලය කියයි
මෙම වසරේ පවත්වන මැතිවරණ වටා සිදුවන දේශපාලන බෙදීම, අධිපති ප්‍රභූ තන්ත්‍රය සහ අධිපති නොවන සමාජ ස්තර විශාල ප්‍රමාණයකින් සමන්විත වන ප්‍රති-ප්‍රභූ දේශපාලන මධ්‍යස්ථානයන් අතර සිදුවන තියුණු ධ්‍රැවීකරණයක්, එනම් දෙකට බෙදී සිදුවන බලය සඳහා වූ සටනක්, වීමට ඉඩ තිබේ. සමාජීය ධ්‍රැවීකරණය මත ගොඩනැගෙන මෙම දේශපාලන ධ්‍රැවීකරණය තුළ, තුන්වැනි අතරමැදි බලවේගයකට ලැබෙන දේශපාලන අවකාශය ඉතා ස්වල්ප එකක් විය හැකිය.

සමාජීය සහ දේශපාලන වශයෙන් සිදුවෙතැයි දැනට ලකුණු පහළ වන මෙම තියුණු ධ්‍රැවීකරණය මූලික වශයෙන් එජාප / පොහොට්ටු සන්ධානය එක් පසකින්ද, ජවිපෙ / ජාජබ කඳවුර අනෙක් පසකින්ද සිටගෙන සිදුවන්නකි. ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය මෙම පසමිතුරු කඳවුරු දෙක අතර දේශපාලන බලය සඳහා සිදුවන විවෘත සටනක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. මෙවැනි සංකීර්ණතා සහිතව දිග හැරෙන දේශපාලන පසුබිම තුළ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීමට හෝ ඒවා නිදහස්, සාධාරණ මැතිවරණ බවට සහතික කිරීමට හෝ පාලක දේශපාලන ප්‍රභූ ස්තරයට හේතුවක්, උනන්දුවක් හෝ කැපවීමක් තිබිය හැකිද? මෙය වනාහි පැහැදිලි පිළිතුරක් නැති ප්‍රශ්නයකි. එයට ‘නැත’ යන පිළිතුර ලැබෙන්නේ නම් ඒ ගැන අප විමතියට පත්විය යුතු නොවේ.


ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු - කථිකාචාර්ය සුමිත් චාමින්ද

(මහාචාර්ය ජයදේව උයන්ගොඩ)
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකි.
uyangoda@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...