The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ලංකාව ඉන්දියාවේ කොටසක් ද? :'හරින් ඇමතිකමෙන් නෙරපිය යුතුයි'

T

The Leader Desk

February 15, 2024 • 8:23 AM

ලංකාව ඉන්දියාවේ කොටසක් ද? :'හරින් ඇමතිකමෙන් නෙරපිය යුතුයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එම අදහස ඉංග්‍රීසි බසින් පැවසුවේ මෙසේ ය.
  • බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඔහු ඉන්දියාවේදී කළ එම ප්‍රකාශය "අතිශයින් බරපතළ" එකක් බව ය.
  • "ඔහු මේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු හැටියටයි.
  • මේක හිතාමතා කරන දේශනයක් අතරතුර කරපු ප්‍රකාශයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එම අදහස ඉංග්‍රීසි බසින් පැවසුවේ මෙසේ ය.

"Fuel tanks are taken by the Indian companies. Our solar power energies provided by the Indian companies. This is one of the reasons I think the Indian external affairs secretary mentioned, if you are traveling somewhere, travel to Sri Lanka, because Sri Lanka is a part of India, actually."

එහි දළ සිංහල පරිවර්තනය මෙසේ ය.

"තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බල ශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොක ද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට ම."

එහිදී, ඔහු "ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්" ලෙස අර්ථ නිරූපණය කරමින් එය ඉන්දීය ව්‍යවසායකයින් ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශය "ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්" බවට චෝදනා එල්ල වෙමින් පවතී.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ කර තිබූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

harin t 2
'අමාත්‍ය ධූරයෙන් වහා ඉවත් කළ යුතු යි'

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හරින් ප්‍රනාන්දු "ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වමින් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්," බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කරයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඔහු ඉන්දියාවේදී කළ එම ප්‍රකාශය "අතිශයින් බරපතළ" එකක් බව ය.

"ඔහු මේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු හැටියටයි. ඒ වගේ ම, මේක සම්මුඛ සාකච්ඡාවකදී සිදුවුණ වචන පටලැවීමක් විදිහට සලකන්නත් බෑ. මේක හිතාමතා කරන දේශනයක් අතරතුර කරපු ප්‍රකාශයක්. ඒ වගේ ම, ඔහු කියනවා, 'ඇත්තට ම ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නිසා' කියන අදහසක්. ඒ නිසා මේක අත්වැරදීමක් හෝ කටවැරදීමක් ලෙස ලඝු කොට සලකන්න පුළුවන්කමක් නෑ," ආචාර්ය දයාන් ජයතිලක පැවසීය.

ඔහු අවධාරණය කළේ, මෙවන් ප්‍රකාශයක් කළ පුද්ගලයෙකු කැබිනට් අමාත්‍ය ධූරයෙන් වහා නෙරපා දැමිය යුතු බව ය.

එසේ නොකළහොත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, අමාත්‍ය හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අනුමත කරන බවට උපකල්පනය කිරීමට සිදුවන බව ද ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළේ ය.

"රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවත් මේක වැරදි ප්‍රකාශයක්. ඒ කියන්නේ මේ ප්‍රකාශය හරහා ඔහු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා වහා ම ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු යි. එහෙම කරන්න ආණ්ඩුව අසමත් වුණොත් අපට කියන්න වෙනවා, ආණ්ඩුවත් ඔහුගේ ප්‍රකාශය අනුමත කරනවා කියන එක."

harin t 3
අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අදහස

කැබිනට් අමාත්‍ය හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය "වගකීමකින් කරපු ප්‍රකාශයක් නොවන බව පෙනී යන්නේ" යැයි අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

"මට නම් තේරුණේ එයා ඒක හරියට අර්ථයක් ඇතුව කියපු දෙයක් නෙවෙයි. කතා කරනකොට කට වරදිනවා කියන්නේ, ඒ වගේ වැරදීමකින් කියවෙච්ච ප්‍රකාශයක් කියලා. වගකීමකින් කරපු ප්‍රකාශයක් නොවන බව පේනවා. සමහර විට හොඳ හිත තහවුරු කර ගන්න යාමේදී අන්තෙට ගිහිල්ලා ඕවර් රියැක්ෂන් එකකට ගිහිල්ලා වගේ තියෙන්නේ. විදේශ රාජ්‍යයක ගිහිල්ලා කතා කරනකො‌ට වගකීමකින් කතා කරනවා නම් ඔය වගේ ගැටලු එන්නෙ නෑ."

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ අදහස දැන ගැනීම සඳහා කිහිප වරක් උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

harin t 6
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව, ඉන්දියාවට අයත් නොවන වෙනත් රාජ්‍යයක් ලෙස ඈත අතීතයේ සිට ම පැවති බවට මහාවංශය ඇතුළු ලේඛනගත සාක්ෂි රැසක් පවතී.

ඉන්දියාවෙන් මෙරටට වෙළෙඳ, සමාජයීය, සංස්කෘතික, ආගමික, දේශපාලනික ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව බලපෑම් සිදුවුව ද, ශ්‍රී ලංකාව පැවතියේ වෙන ම රාජ්‍යයක් ලෙස ය.

කෙසේ වෙතත්, මෙම අසල්වැසි රාජ්‍යයන් දෙක අතර පවතින සබඳතාවලට වසර 2500කට අධික ඉතිහාසයක් තිබේ.

වසර 30ක් පැවති සිවිල් යුද්ධය, ආර්ථික අර්බුදය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුද ගණනාවකදී ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට ලැබිණි.

'නින්දිත උත්සහයන්'

මේ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විසින් ට්විටර් ඔස්සේ පළ කරන ලද පණිවුඩයක් ලෙස හුවා දක්වමින් සංසරණය වූ "ව්‍යාජ ඡායාරූපයක්" සම්බන්ධයෙන් 2022 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තරයේ හෙළා දැක තිබිණි.

harin t4
එහි සඳහන් කර තිබුණේ, "ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප, මිත්‍රශීලී සහ ඉපැරණි සබඳතා දුර්වල කිරීමට බංකොලොත් පාර්ශවයන් විසින් ගන්නා මෙවන් නින්දිත ප්‍රයත්නයන් කිසිදා සාර්ථක නොවනු ඇත," යනුවෙනි.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...