The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දෙහිවලදී සිදුවුණු මනුෂ්‍ය ඝාතනය මාර්ග වියරුවේ ප්‍රතිඵලයක් ද?

T

The Leader Desk

February 24, 2024 • 9:38 AM

දෙහිවලදී සිදුවුණු මනුෂ්‍ය ඝාතනය මාර්ග වියරුවේ ප්‍රතිඵලයක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝාතනය කිරීමේ අරමුණින් සිදු කරන ලද අනතුරක් යැයි පෙනී යන බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ.
  • මෙහි දී සිදුව ඇත්තේ මෝටර් රථයක ගමන් කරමින් සිටි තරුණයකු සහ යතුරු පැදියක ගමන් කරමින් සිටි 52 හැවිරිදි පුද්ගලයා අතර ඇති වූ වචන හුවමාරුවකට පසු කෝපයට පත් තරුණයා යතුරු පැදිය පසුපස වේගයෙන් හඹා ගොස් එය හප්පා යතුරු පැදිකරුට බරපතළ තුවාල සිදු කිරීමය.
  • මේ තුවාල මාරක ඒවා වීමේ ප්‍රතිඵලයක් ලෙස යතුරුපැදි කරු මිය ගොස් තිබේ.
  • මෝටර් රථයේ තරුණ රියදුරා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ, “ඒ අංකල් දාපු කිංඩිය ඉවසන්න බැරි වුණා” යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඝාතනය කිරීමේ අරමුණින් සිදු කරන ලද අනතුරක් යැයි පෙනී යන බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ. මෙහි දී සිදුව ඇත්තේ මෝටර් රථයක ගමන් කරමින් සිටි තරුණයකු සහ යතුරු පැදියක ගමන් කරමින් සිටි 52 හැවිරිදි පුද්ගලයා අතර ඇති වූ වචන හුවමාරුවකට පසු කෝපයට පත් තරුණයා යතුරු පැදිය පසුපස වේගයෙන් හඹා ගොස් එය හප්පා යතුරු පැදිකරුට බරපතළ තුවාල සිදු කිරීමය. මේ තුවාල මාරක ඒවා වීමේ ප්‍රතිඵලයක් ලෙස යතුරුපැදි කරු මිය ගොස් තිබේ. මෝටර් රථයේ තරුණ රියදුරා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ, “ඒ අංකල් දාපු කිංඩිය ඉවසන්න බැරි වුණා” යනුවෙනි. මේ නොඉවසීම අවසන් වූයේ මිනිස් ඝාතනයකි.

 



මග මග දී රථවාහන ධාවනය සම්බන්ධ ගැටලුවල දී ඇති වන කෝපය හඳුන්වනු ලබන්නේ Road rage නමිනි. මෙය සිංහල බසින් ‘මාර්ග වියරුව’ වැනි නමකින් හැඳින්විය හැකි අතර යෙදුමක් ලෙස එය අප අතර ප්‍රචලිත නැතත් මාර්ග වියරුව නම් මහමග දී ඕනෑ තරම් අත්දැකිය හැකිය. තවත් වාහනයක් නිසා සිය වාහනයේ ගමන් මාර්ගයට බාධා සිදුවන සෑමවිටම, “මොන බූරුවෙක් හෝ තමුසේ?”, “පාර බලාගෙන පලයං බූරුවෝ”, ඒයි බූරුවා උඹේ ඇස් පේන්නේ නැද්ද?” යනුවෙන් අසනු නිතර දැකිය හැක්කක් වන අතර අනෙක් රියදුරා ඇමතීම පිණිස ‘බූරුවා’ යන්න බහුලව භාවිත කරන බව ද පෙනෙන්නට තිබේ. හරි වැරැද්ද කෙසේ වෙතත් තවත් රියදුරෙක් අතින් සිදුවන කුමක් හෝ ක්‍රියාවක් නිසා තවත් රියදුරකු තුළ ඇතිවන කෝපය සහ ඒ නිසා සිදු කරනා අනතුරු මේ ගණයට වැටේ. නිතර දෙවේලේ සිදුවන මෙවැනි ක්‍රියාවන් යූටියුබ් නාලිකාවට පිවිසීමෙන් ඕනෑ තරම් බලාගන්නට හැකියාව තිබේ.

 

images 

පර්යේෂණවලින් හෙළි වී ඇති ආකාරයට මාර්ග වියරුව බහුලවම දක්නට ලැබෙන්නේ තරුණ රියදුරන් අතරය. දෙහිවල කඩවත පාරේ සිදු වූ අනතුර එයට ඇති මෑතකම නිදසුන වේ. ලෝකය සමස්තයක් ලෙස ගෙන බැලුවහොත් මාර්ග වියරුව නිසා සිදුවන අනතුරුවලින් 6.8% ක් මාරාන්තික වේ. එක් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සිය වාහනය වෛවර්ණ විදුලි බුබුලුවලින්, ස්ටිකර්වලින් පුරවා ගන්නා රියදුරන් තුළ මාර්ග වියරුව ඉතා ඉහළ මට්ටමකින් පවතින බවය. අප රටේ තොරණ වැනි ආකාරයකින් හැඩ ගන්වා ඇති පුද්ගලික බස් රථවල මේ තත්ත්වය හොඳින්ම දක්නට ලැබේ. ඔවුන් මාර්ගයේ ගමන් කරන සෙසු රියදුරන්ට කරදරයක් බවට පත්වනවා සේම ඔවුන්ට බැන වදිමින් මාර්ගය පුරා නොසැලකිලිමත් ලෙස රථය ධාවනය කරන බව ද පෙනෙන්නට තිබේ.

indiatvnews road rage 6 1430902494

 

Ceylon Medical Journal හෙවත් ශ්‍රී ලංකා වෛද්‍ය සඟරාවේ පළ වූ මේ සම්බන්ධව කරන ලද එක් පර්යේෂණාත්මක ලිපියක සඳහන්ව තිබුණේ මේ පර්යේෂණය සඳහා සම්බන්ධ කරගත් පුද්ගලයන්ගෙන් 85.3%ක්ම මාර්ග වියරුවට ලක්වෙන බවය. කෙසේ නමුත් ශාරීරික හානි සිදු කිරීමේ ප්‍රවණතාව 0.8% ක් ලෙස ද, වාහනයට හානි සිදු කිරීම 2.5% ක් වාර්තා වී තිබේ. එමෙන්ම කාන්තාවන්ට වඩා පිරිමි රියදුරන් අතර මාර්ග වියරුව වැඩි බව වෛද්‍ය සඟරාවේ ලිපියේ සඳහන්ව තිබේ.

 

road rage

රියදුරන් තුළ මාර්ග වියරුව ඇති වන්නට හේතු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනෝ විද්‍යාඥයින් විසින් පර්යේෂණ පවත්වා තිබේ. ඉහතින් සඳහන් කළ තරුණ වයසට අමතරව අධික වාහන තදබදය, පිටකරගත නොහැතිව පවතින කෝපය, ජීවිතයේ පවතින විවිධ මානසික ආතති තත්ත්වයන් ද මෙයට ඉවහල් වේ. මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට වැඩි නැඹුරුවක් දක්වන පුද්ගලයන් තුළ ද මාර්ග වියරුව බහුලව දක්නට ලැබෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

ඇතැම් රටවල රිය පැදවීම සඳහා බලපත්‍ර ලබා දීමේ දී පරිගණක මගින් නිර්මාණය කරන ලද සමාකරණ (simulation) රිය පැදවීමේ යෙදුමක් ඔස්සේ ක්‍රියාත්මක වන වැඩසටහනකට මුහුණ දෙන්නට අවස්ථාව සලසා දෙයි. එය සැබෑ රිය පැදවීමකට සෑම අතින්ම සමානය. මෙහිදී මාර්ග වියරුව සිදු වන අවස්ථාවන් ඇති කරන අතර රියදුරා එයට කෙතරම් හොඳින් මුහුණ දෙන්නේදැයි සොයා බලනු ලබයි. අධික ලෙස මාර්ග වියරුව ඇති වන පුද්ගලයන් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට පවා යොමු කොට එය සැලකිය යුතු මට්ටමකින් සමනය වූ විට පමණක් රියදුරු බලපත්‍රය ලබා දෙයි. ඇතැම් රටවල මාර්ග වියරුවට අධික ලෙස මුහුණ පාන රියදුරන්ගේ මානසික තත්ත්වය මැන බැලීම සඳහා මේ සමාකරණ යෙදුම්වල සහාය ලබා ගැනේ.

 

road checkpoint

ලෝකයේ බොහෝ රටවල මාර්ග වියරුව යනු දඬුවම් ලැබිය හැකි වරදකි. මාර්ග වියරුව මහාමාර්ගයේ ආරක්ෂාවට තර්ජනයක් වශයෙන් නීතිය තුළ නිර්වචනය කර තිබේ. බැණ වැදීම, වාහන ඝට්ටනය කරවීම, පහරදීම ආදී බරපතළ මට්ටම් පමණක් නොව යම් කිසි රියදුරකු විසින් තවත් රියදුරෙක් තුළ කෝපය ඇති වන අයුරින් අභිනයෙන් යම් සංඥාවක් පෙන්වීම පවා මාර්ග වියරුවට ඇතුළත් කර තිබේ. මාර්ග වියරුව නිසා වැඩිම දඩ මුදලක් අය කරන රටක් ලෙස සිංගප්පූරුව කැපී පෙනේ. යම්කිසි හානියක් වන තරමට මාර්ග වියරුව සිදු වූ විට ඇමරිකානු ඩොලර් 5000ක (රු. මිලියන එක හමාරක් පමණ) දඩයක් නියම කෙරේ.

ලෝකයේ ඇතැම් රටවල මාර්ග වියරුවට නිතර මුහුණ දෙන රියදුරන්ට සිත එකඟ කරවා ගැනීම සඳහා වැඩමුළු පවත්වනු දක්නට ලැබේ.

 

457227 10 bons trucs pour prevenir la rage au volant ou bien reagir
එක් රියදුරෙක් කෙතරම් ඉවසීමෙන් රිය පදවා ගෙන ගිය ද තවත් රියදුරෙක් සිදු කරන නොමනා ක්‍රියා නිසා මාර්ග වියරු තත්ත්වයක් ඇති විය හැකි බැවින් මෙය අවම කිරීම සැලකිය යුතු තරමේ දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. කුඩා කල සිටම අධ්‍යාපනය තුළින්, ආකල්ප වර්ධනය කිරීම තුළින් යම් ප්‍රගතියක් අත් කර ගත හැකිය. මහා මාර්ගයේ ගමන් කිරීම සඳහා වාහනයක් අතට ගත් පසු සිදු විය හැකි සුළු හෝ අත්වැරැද්දක් නිසා තම ජීවිතය සේම සෙසු පුද්ගලයන්ගේ ජීවිත ද හානි විය හැකි බව අවබෝධ කරගන්නට හැකි නම් මේ තත්ත්වය බොහෝ දුරට සමනය කර ගත හැකිය.

නමුත් පවතින සමාජ, ආර්ථික ගැටලු ඉදිරියේ සියලු දෙනා ජීවත් වන්නේ දැඩි ආතතියකින් පිරි සමාජයකය. එවැනි තත්ත්වයක් තුළ මාර්ග වියරුවට පත් වීම අවම කිරීමේ දුෂ්කර තත්ත්වයක් පැන නැගී තිබේ.

(නිරංජන් චාමින්ද කරුණාතිලක)

උපුටා ගැනීම - vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙහිවලදී සිදුවුණු මනුෂ්‍ය ඝාතනය මාර්ග වියරුවේ ප්‍රතිඵලයක් ද? | The Leader