The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සුබ උදෑසනක් පැතුමේ සැබෑ අරුත දන්නවා ද? - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

February 26, 2024 • 6:17 AM

සුබ උදෑසනක් පැතුමේ සැබෑ අරුත දන්නවා ද? - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතුව ඔවුන් වීදි අමදින අතරේ එම ස්ථානය පසු කරමින් යන දෙනෝ දහසක් ඔවුනට සුබ උදෑසනක් යනුවෙන් සුබ පැතීම ය.
  • එමෙන්ම ඒ සියලු දෙනාට ද ඒ වදනින් සුබ පැතීමට සිදුවීම තමන්ට කරදරකාරී දෙයක් ලෙස ද ඔවුන්ගෙන් ඇතැමෙකු සඳහන් කොට තිබේ.
  • මේ අතර මෙම සුබ උදෑසනක් යන සුබ පැතුම අතිශය බහුල ලෙස භාවිතයට ගැනීම මගින් වට්සැප් සමාජ ජාලය ද අවහිරතාවයනට පවා පත් වන බවට පසුගිය කාලය තුළ කරුණු අනාවරණය වී තිබේ.
  • මෙම ජාල අවහිරතාව සඳහා ඉන්දියානුවන් අති විශාල සංඛ්‍යාවක් එක්වර වට්සැප් භාවිතයෙන් සුබ උදෑසනක් පැතීමට යාම ප්‍රධාන වශයෙන් ඉහවල් වී ඇති බව ද නිරීක්ෂණය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෝලීය වශයෙන් ප්‍රබල ව්‍යාප්තියක් පළ කරන මෙම සුබ පැතුම සම්බන්ධ විවිධ පුද්ගලයන්, සංවිධාන සහ ආයතන මඟින් අනේක විධ සමාජ, මානව සහ මනෝ විද්‍යාත්මක පර්යේෂණ ද දියත් කොට තිබේ. 

 

පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ දියත් කෙරුණු එක්තරා පර්යේෂණයක දී තහවුරු වී ඇති අන්දමට මෙම සුබ උදෑසනක් යන පැතුම වැඩිපුරම අසන්නට ලැබෙන පිරිස් අතරේ වීදි අමදින කාන්තාවන් ද හිඳ තිබේ. ඊට හේතුව ඔවුන් වීදි අමදින අතරේ එම ස්ථානය පසු කරමින් යන දෙනෝ දහසක් ඔවුනට සුබ උදෑසනක් යනුවෙන් සුබ පැතීම ය. එමෙන්ම ඒ සියලු දෙනාට ද ඒ වදනින් සුබ පැතීමට සිදුවීම තමන්ට කරදරකාරී දෙයක් ලෙස ද ඔවුන්ගෙන් ඇතැමෙකු සඳහන් කොට තිබේ.


මේ අතර මෙම සුබ උදෑසනක් යන සුබ පැතුම අතිශය බහුල ලෙස භාවිතයට ගැනීම මගින් වට්සැප් සමාජ ජාලය ද අවහිරතාවයනට පවා පත් වන බවට පසුගිය කාලය තුළ කරුණු අනාවරණය වී තිබේ. මෙම ජාල අවහිරතාව සඳහා ඉන්දියානුවන් අති විශාල සංඛ්‍යාවක් එක්වර වට්සැප් භාවිතයෙන් සුබ උදෑසනක් පැතීමට යාම ප්‍රධාන වශයෙන් ඉහවල් වී ඇති බව ද නිරීක්ෂණය වී ඇත. අනෙ`කක් තබා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද දිනපතා අති විශාල පිරිසකට වට්සැප් ජාලය මගින් සුබ උදෑසනක් යන පැතුම එක් කරන බව ද එම සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ. 

 

narenda modi
මානව සමාජයේ යහපැවැත්ම උදෙසා සුබ පැතුම් ආශිංසන මගින් ලැබෙන පිටිවහල සුළුපටු කොට තැකිය නොහැක. එවන් සුබ පැතුමකින් එය ලබන්නාට මානසික උත්තේජනයක් ලැබීමට හැකිවීම සේම එම සුබ පැතුම යොමු කරන්නා හා ලබන්නා අතර පවතින අන්තර් සම්බන්ධතාව තහවුරු වීම ඉන් ප්‍රධාන ය.

ප්‍රධාන වශයෙන් මෙම ආශිංසන දෙකොටසකි. ඉන් මුල් කොටස හෘදයාංගම සුබ පැතුම් සහ ආශිසංසනයන් ය. බරපතල රෝගාබාධයකින් පෙළෙන තම සමීපතමයකු හට ඉක්මන් සුවය ලැබේවා යනුවෙන් යමකු ප්‍රාර්ථනා කරනුයේ හුදෙක් හෘදයාංගම කටයුත්තක් වශයෙනි. එහිදී බොහෝ දෙනකු ඊට ආගමික සහ ආධ්‍යාත්මික ස්වරූපයක් ද එක් කරගනු පෙනේ. මෙවැනි හෘදයාංගම සුබ පැතුම් වෙනම වර්ගීකරණ වලට ලක් කළ හැක.

මේ අතර සුබ උදෑසනක් ආදී වශයෙන් වන දෙවන ගණයේ සුබ පැතුම් හුදු වාගාලාප ආශිංසන ගණයට වැටේ. ඉහත සඳහන් හෘදයාංගම සුබ පැතුම් ආගමික ආධ්‍යාත්මික ගණයට ඇතුලත් කළ හැකි අතර මෙම දෙවන ගණයේ සුබ පැතුම් දැක්විය හැක්කේ හුදෙක් අවිඥානක ගණයට ය. නැතහොත් ඔහේ කියන්නන් වාලේ කියන වදන් වශයෙනි.

021KQCLTSOjeOsRHP
සාමාන්‍යයෙන් දිනයේ මානව ක්‍රියාකාරකම් පෙරවරු හයට ඇරඹුණහොත් මෙම උදෑසන කාල සීමාව පැය හයකට සීමා වේ. ඒ දවල් දොලහට දවසේ මධ්‍යාන්නය එළැඹෙන බැවිනි. ඒ සමඟම එම සුබ උදෑසනක් යන ආශිංසනය නිශේධ වී යයි. ඒ අනුව හුදු පැය හයක කාලයකට පමණක් සීමා වන එම සුබ පැතුම ඇතැම් විට පැය භාගයක්, පැයක් වැනි කෙටි කාලයක් උදෙසා යෙදීම ද බොහෝ විට සිදුවන්නකි. ඒ දිනයේ පෙරවරු එකොලහ, එකොලහමාර වැනි වේලාවන් සඳහා ද එම සුබපැතුම වලංගු වන බැවිනි.

ඒ අනුව දවසේ යාමයන් අනුව සුබ උදෑසනක්, සුබ මධ්‍යාහ්නයක්, සුබ පන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක් ආදී කාලානුරූපී වශයෙන් සුබ පැතුම් ආශිංසන සමාජගත වීමේ යටගියාව ද අප විමසුම් කළ යුතු ය. මෙසේ දවසේ යාමයන් අනුව සුබ පැතුම්, ආශිංසන පළ කිරීම කිසිසේත්ම දේශීය තබා පෙරදිග සංස්කෘතියට වත් අයත් වූවක් නොවේ. එය හුදෙක් යුරෝකේන්ද්‍රීය මානව චින්තනය මත පදනම් වන්නකි. සමස්ත යුරෝපා මහාද්වීපය පිළිබඳව සිතා බැලුව ද එය අනේක විධ දේශගුණික සහ කාලගුණික අතවර පීඩා, කම්කටොළු වලට ලක් වන භෞමික කලාපයකි. 

 

flooding carlisle desmond jeff j mitchell getty
ඒ අනුව දිනපතා හිමිදිරියේ යහනින් පිබිදී තම දවසේ කටයුතු පිළිබඳව සිතන ඕනෑම කෙනෙකුගේ සිත තුළට ක්ෂණිකව පිවිසෙන සිතුවිලි දාමයක් තිබේ. එනම්, අද කාලගුණයෙන් තම කටයුතු වලට කුමනාකාර බාධාවක් සිදුවේද? යන්න පිළිබඳ බිය මුසු සැකයයි. අනතුරුව ඔවුන් තම නිවෙස් වලින් නික්මී තම එදි`නෙදා කටයුතුවල නියැලෙනුයේ ද එම බිය මුසු සැකය සිත තුළ රඳවා ගනිමිනි. 

ඒ අනුව එසේ මඟතොටට පිවිසෙන ඒ තැනැත්තාට තමන් ඉදිරියට පැමිණෙන්නවුන් තුළ ද එම බිය සැක මුසු මානසිකත්වය ජනිත වී ඇති බව ඔවුනට නිරායාසයෙන්ම වැටහී යනු නියත ය. එබැවින් කාලගුණික අතවර වලින් තොර යහපත් උදය කාලයක් වේවා යන්න හකුළුවා සුබ උදෑසනක් යන සුබ පැතුම ආශිංසනය එකි’නෙකා වෙත පිරිනමා ගැනීමේ සම්ප්‍රදායක් සහ චාරිත්‍රයක් ඇති වී එය මේ වන විට ලොව පුරා පැතිර තිබේ. ඒ අනුව එවැනි අයහපත් කාලගුණික වටපිටාවක් නොමැති සෙසු රටවල බොහෝ දෙනෙක් ද හුදෙක් චාරිත්‍රමය වශයෙන් මෙම සුබ උදෑසනක් යන ආශිංසනය, එලෙසම යොදා ගනිති.

 

මෙම සුබ උදෑසනක් යන පැතුමට අමතරව යහපත්, විශිෂ්ඨ, අපූරු, සුන්දර දිනයක් වේවා ( Have a good/great/wonderful/nice day )ආදී වන සුබපැතුම් හා ආශිංසන ද ලොව විවිධ අයුරින් භාවිතයට ගැනේ. එමෙන්ම ඒවා සුබ උදෑසනක් පැතුම තරම් කඩිනමින් “කල් ඉකුත් නොවන” බව ද පැහැදිලි ය. නමුත් කුමක් හෝ හේතුවක් මත අප සමාජයේ වුව උදෑසන හමුවන්නකු හට සුබ උදෑසනක් යන පැතුමේ පරාසය මුළු දවස දක්වාම පුළුල් කොට සුබ දවසක් වේවා යනුවෙන් සුබ පැතීමක් සිදුනොවේ. සාම්ප්‍රදායිකත්වය කෙරෙහි යොමු වීම පිළිබඳ පොදු සමාජය තුළ පවත්නා ස්වභාවික නැඹුරුව ඊට හේතුව බව මගේ වැටහීම ය.

එහෙත්, අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ සාම්ප්‍රදායික වශයෙන් සැළකෙන දීර්ඝායු වේවා යන අරුත සහිත “ආයු බෝ වන්” යන සුබ පැතුම ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක් තුළ යොමු කළ හැක්කකි. පැය කිහිපයකට, වරුවකට සීමා නොවන එය කල් ඉකුත් වනුයේ සුබ පැතුම ලබන්නා ගේ මරණයත් සමඟය. 

106107605 271690377600395 8931506045341973816 n
මීට අතිශයින් සමාන සතුට, සෞභාග්‍යය, චිරජීවනය ලැබේවා! ( Wishing you happiness/prosperity and long life) ආදී වශයෙන් වන සුබ පැතුම් ආශිංසන ලොව වෙනත් ජන සමාජයන් තුළ ද තිබේ. එමෙන්ම මානව සම්බන්ධතා ගොඩනඟා ගැනීම පිණිස ඒවායින් ද නොමඳ පිටිවහලක් ලැබේ. එහෙත්, අප සමාජයේ සෙසු බොහෝ දේ සම්බන්ධයෙන් මෙන්ම සුබ පැතුම් සම්බන්ධයෙන් ද එවැනි හරවත් සුබ පැතුම් අභිබවා සුබ උදෑසනක් යන නිසරු වාගාලාපය පෙරට පැමිණ තිබීම කෙසේවත් යහපත් දෙයක් විය නොහැක.


thilak (තිලක් සේනාසිංහ)
 ගවේශනාත්මක මාධ්‍යවේදී 
 thilaksenasinghe@gmail.com

 (උපුටා ගැනීම- vinivida.lk)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...