The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දරුවන්ට යහපත් අනාගතයක් සොයා පිටරට ගොස් මානසික පීඩනයෙන් බැට කෑ තරුණ මවක්

T

The Leader Desk

February 27, 2024 • 1:05 PM

දරුවන්ට යහපත් අනාගතයක් සොයා පිටරට ගොස් මානසික පීඩනයෙන් බැට කෑ තරුණ මවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීගමුවට නුදුරුව ජිවත් වු ව්‍යාපාරික කාන්තාවක් වු තාරුකා මීට වසර දෙකකට පමණ ඉහත දී ඇගේ සැමියා රැකියාවේ නියුතු නවසීලන්තය බලා යන්නේ තම දරුවන්ට වඩා යහපත් අනාගතයක් උරුම කර දීමේ ප්‍රර්ථනාව සිතෙහි දරාගෙනය.
  • ඒ ඇයටත් නොදැනීම ඇය විෂාදයේ ගොදුරක් බවට පත්වීමයි.
  • ඒ එක්කම රටේ ඇති වෙච්ච ප්‍රශ්න එක්ක තමයි රට යන්න හිතුවේ.
  • මෙහේ මිනිස්සුත් ගොඩක් අඩුයි, කිලෝ මීටර් 10 – 15 යනකම් ටවුන් එකක්වත් කිසිම දෙයක් නැති අක්කර ගණන් ෆාම් තියෙන ගොඩක් පාලු පරිසරයක් තියෙන පැත්තක්.” තාරුකා ගේ සැමියා නවසිලන්තයේ ගොවිපළක රැකියාවේ නිරත අතර ඔවුන්ට නතර වීමට සිදුව ඇත්තේ කිසිඳු මිනිස් වාසයක් නොමැති එම ගොවිපළ තුළය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීගමුවට නුදුරුව ජිවත් වු ව්‍යාපාරික කාන්තාවක් වු තාරුකා මීට වසර දෙකකට පමණ ඉහත දී ඇගේ සැමියා රැකියාවේ නියුතු නවසීලන්තය බලා යන්නේ තම දරුවන්ට වඩා යහපත් අනාගතයක් උරුම කර දීමේ ප්‍රර්ථනාව සිතෙහි දරාගෙනය.

ලංකාවේ ගෙවු කාර්ය බහුල ජිවිතයෙන් මිදි දරු දෙදෙනා සමග නවසීලන්තයේ වාසයට ගිය තාරුකාට එහි ගොස් මාස කිහිපයකට පසුව නොසිතු දෙයකට මුහුණ දෙන්නට සිදුවිය.

ඒ ඇයටත් නොදැනීම ඇය විෂාදයේ ගොදුරක් බවට පත්වීමයි.

මේ වන විට ප්‍රතිකාර ලබමින්, සුව අතට පත්වෙමින් සිටින අතර විදෙස් රටකට යෑම නිසාවෙන් ඇය මුහුණ දුන් බරපතල මානසික සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් බෙදා හදා ගත්තාය. ඇයගේ හෝ පවුලේ අනන්‍යතාවය ආරක්ෂා වනු පිණිස ඇයට අපි "තාරුකා" යැයි අමතමු.

'ළමයි දෙන්නගේ අනාගතේට හොඳක් වෙයි කියලා තමයි අපි මෙහෙ ආවේ'

“ලංකාවේ ඉදන් යන්න ලොකුම හේතුව අපිට ඉන්න තැනක් තිබුනේ නැහැ. අපි හිටියෙත් අම්මලාගේ ගෙදර. ඒ එක්කම රටේ ඇති වෙච්ච ප්‍රශ්න එක්ක තමයි රට යන්න හිතුවේ. ඉන්න තැනක් හදාගෙන, පොඩි දෙන්නගේ අධ්‍යාපන දේවලුත් හොඳට කරගෙන, ලංකාවේ ජිවත් වෙනවට වඩා හොද ජිවිතයක්, ආර්ථික මට්ටමක් වගේම ළමයි දෙන්නගේ අනාගතේට හොඳක් වෙයි කියලා තමයි අපි මෙහෙ ආවේ.” යැයි නවසිලන්තයේ සිට දුරකතනය ඔස්සේ බීබීසි සිංහල සේවය හා සම්බන්ධ වෙමින් තාරුකා කියා සිටියාය.

“අපි අවේ ගම්බද පැත්තකට, ලංකාවේ ග්‍රාමීය කිව්වාම ගම්වල මිනිස්සු ගොඩක් ඉන්නවා පහසුකම් අඩු වගේ දෙයක් නේ. මෙහේ එහෙම නැහැ. මෙහේ මිනිස්සුත් ගොඩක් අඩුයි, කිලෝ මීටර් 10 – 15 යනකම් ටවුන් එකක්වත් කිසිම දෙයක් නැති අක්කර ගණන් ෆාම් තියෙන ගොඩක් පාලු පරිසරයක් තියෙන පැත්තක්.”

තාරුකා ගේ සැමියා නවසිලන්තයේ ගොවිපළක රැකියාවේ නිරත අතර ඔවුන්ට නතර වීමට සිදුව ඇත්තේ කිසිඳු මිනිස් වාසයක් නොමැති එම ගොවිපළ තුළය.

“මම මෙහේ ඇවිල්ල මුල් කාලේ මාස තුන හතරක් විතර කැලේ ගිහින් ඇවිදලා එහෙම හිටියා. ලංකාවේ අපි මනුස්සයෝ එක්ක ආශ්‍රය කරලා , කතා බහ කරලා , රස්සාවත් එක්කත් වැඩිපුර කාලයක් ඉන්නේ මනුස්සයෝ එක්ක. එහෙම නැතුව මාස හතරක් විතර යද්දි එක පාරට දවල් කාලේ තනියම ඉද්දි සමහර වෙලාවට නිදාගන්න හිතෙනවා, මනසට තෙහෙට්ටු ගතියක් තියෙනවා, ඒ වගේ කොයි වෙලාවෙත් වැඩිපුර නිදාගන්න හිතෙන මානසිකත්වයක් ඇති වුණා මුලදිම.”

“ඒකත් එක්ක ලංකාවේ රෙස්ට් එකක් නැති ජිවිතයක්නේ තිබ්බේ කියලා ඒත් හිත හදාගෙන වැඩිපුර රෙස්ට් එකක් ගන්නවා කියලා හිතාගෙන ඔලුව හදාගෙන ඉන්න හැදුවා. එක පාරට මාස හතරකට විතර පස්සේ තමයි ලොකු වෙනසක් ඇඟට දැනෙන්න ගත්තේ . මම මනස ගැන ලොකු දෙයක් හිතුවේ නැහැ.” යැයි ඇයටත් නොදැනීම වෙනස ආරම්භ වු හැටි තාරුකා විස්තර කළාය.


nz 2
'කොහෙ බැලුවත් තණකොල පිට්ටනි, ගෙයක් දොරක් නැහැ'

හිමිදිරි උදෑසන රැකියාව සඳහා ගොවිපළට පිටත්ව යන ඇයගේ සැමියා නැවත සුළු වෙලාවකට උදෑසන ආහාරයටත්, දිවා ආහාරය ලබා ගැනිමටත් නිවසට පැමිණ කඩිමුඩියේ පිටව යයි. ඒ අතරතුර ඔවුන්ට කතා බහ කිරිමට වෙලාවක් ලැබෙන්නේ නැත. දරු දෙදෙනා ද උදෑසන පාසලට ගිය විට නැවත නිවසට පැමිණෙන්නේ සවස 3ත් පසු වී බව ඇය කියා සිටියාය.

උදෑසන සිටම සවස් වරුව වන තෙක්ම ඇය නිවසේ තනිව ගත කරන අතර කතා බහ කිරිමට කිසිවෙක් නැත. බැලු බැලු අත ඇත්තේ වගාවන් සහිත ගොවිපළවල්ය. දෙරට වෙලාවෙන් අතර පවතින පරතරය හේතුවෙන් ලංකාවේ කිසිවෙක් හෝ සම්බන්ධ කර ගැනිමට හැකි වන්නේ කලාතුරකින් බව ද තාරුකා පැවසුවාය.

“හස්බන්ඩ් වැඩ ඇරිලා එන්නේ හවස 5ට විතර. ඒ ඇවිල්ලා මහන්සි නිවලා, වොෂ් එකක් දාලා අපි එක්ක කතා කරන්න එන්න පුලුවන් වෙද්දි රෑ 7.30 වගේ වෙනවා. පොඩි දෙන්නා උදේ ඉස්කෝලෙට ගියාම ආපහු එද්දි හවස 3 විතර වෙනවා. ඒ අය එනකම් මට කතා කරන්න කවුරුත් නැහැ. මම ඉන්නේ තනියම.”

“අහල පහළ ගෙයක් නැහැ, දකින්න කතා කරන්න මනුස්සයෙක් නැහැ. කොටින්ම කියනවා නම් මම යන පාරේ වාහනයක් යනවා දකින්නේ පැය 2කට විතර සැරයක්. ඒ ගියත් යන්නේ කිරි ලොරි වගේ දේවල්. මනුස්සයෙක් දකින්න නැහැ, කොහෙ බැලුවත් තණකොල පිට්ටනි, ගෙයක් දොරක් නැහැ.” යි මිනිස් වාසයෙන් මිදී ගෙවන්නට සිදුවු ජිවිතය ඇය විස්තර කළාය.

තාරුකා යම් රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක වී ඇත්තේ ඔවුන් ජිවත් වන ප්‍රදේශයේ ගොවිපළවල් හැර වෙනත් කිසිවක් නොමැති නිසාය. නගරයක් පිහිටා ඇත්තේ ද කිලෝ මීටර් 10-15 පමණ දුරින් බව ද ඇය කියා සිටියාය.

'අයන් නෝමල් වුනාට මම නෝමල් නැහැ කියන එක මට තේරුණා '

“මුලදි අනවශ්‍ය විදියට නිදිමත ගතියක් ආවා. සමහර වෙලාවට පෝන් එක බලනවා ඒකෙන් මිදෙන්න අමාරුයි. එතකොට ඒක කරන්නේ ලොකු මහන්සියක් දාලා. කම්මැලි ගතිය, නිදිමත ගතිය එනවා. මහන්සි ගතියක් දැනෙන්න ගත්තා. ඊට පස්සේ ක්ලාන්තය, කැරකිල්ල එක්ක කිසිම දෙයක් කන්ට්‍රොල් නැති ගතියක් ආවා. ඇගේ මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා තේරෙන්න ගත්තා. ඒත් මනසේ එකක් කියලා තේරුනේ නැහැ මට මුලදි. මුලින් නින්ද යනවා වැඩි වුනාට පස්සේ නිදමත එන එක අඩු වුනා.”

“බෙහෙත් ගන්න ගියාම ඒ අය බලලා කිව්වා අයන් පොඩ්ඩක් ලෝ, කොලෙස්ටරෝලුත් වැඩියි කිව්වා. නින්ද යන්නේ නැහැ කිව්වාම ඒ අය කිව්වා රටත් වෙනස්; හැමදේම වෙනස් ඒ නිසා ඇක්ටිව් ඉන්න, ඇවිදින්න, එක්සර්සයිස් කරන්න, එක තැන ඉන්න එපා කියලා.”

තාරුකා අවුරුද්දක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුව ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ශරිරයේ යකඩ අඩුවීම සහ මේදය වැඩි විම හේතුවෙන් ඇය රෝගාතුර වී ඇති බවයි.

“අයන්වලට කොලොස්ටරෝල්වලට බෙහෙත් අරන් ඒවා නෝමල් වුනා. ඒ වුනාට මට නින්ද යන්නේ නැහැ, හිස් මුදුන රිදෙනවා, දෙයක් කරන්න ගත්තාම ඒකට ෆෝකස් කරන්න බැහැ, අනික රෑට ඇඳට ගියාම නින්ද යන්නේ නැහැ. අයන් නෝමල් වුනාට මම නෝමල් නැහැ කියන එක මට තේරුණා.”

nz 67
'මට මං ගැනම බය හිතෙන දේවල් හිතෙන්න ගත්තා'

“මට තියෙන රෝග ලක්ෂණ මම සර්ච් කරලා බලපුවාම හැමතැනදිම ඇන්සයිට්, ඩිප්රෙෂන්වල රෝග ලක්ෂණ කියලා පෙන්නනවා. මම ඒ රෝග සර්ච් කරලා බලපුවාගේ සියයට අනුවක්ම රෝග ලක්ෂණ මට තියෙනවා.” යි ඇය විසින්ම ඇයගේ රෝගය සොයා ගත් ආකාරය කියා සිටියාය.

“මට නින්ද යන්නේ නැති බෙහෙත් දුන්නාට ඒවාට නින්ද යන්නෙත් නැහැ. එහෙම වුනාම පහුවෙනිදා දවසම අමාරුයි. ඔහොම දවස් ගාණක් නින්ද යන්නේ නැතුව ඉඳලා දවල් කාලෙක දවසක්, මට මැරෙන්න වෙනවා මීට වඩා මට දරාගන්න බැහැ කියලා, මම බාත්රූම් එකට ගියාම ආයේ මට කුස්සියට යන්න හිතෙනවා. 

කුස්සියට ගියාම මම බලනවා ඇයි මම කුස්සියට ආවේ කියලා. ආයේ හිතෙනවා මගෙ නහරයක් හරි කපා ගත්තොත් කවුරුත් නැහැ මාව මැරෙයි කියලා. ආයේ මම හිතනවා පිස්සුද මොනවාද මේ මට හිතෙන්නේ කියලා. ආයේ මම නාද්දි හිතෙනවා හොට් වෝටර්වලින්ම පිච්චිලා මාව මැරෙයි, නැත්තනම් තව ටිකක් මේක වැඩි කර ගත්තොත් රස්නෙට මාව මැරෙයි. ඒ වගේ මට මං ගැනම බය හිතෙන දේවල් හිතෙන්න ගත්තා, කවුරුහරි මං දිහා බලන් ඉන්නවා, මම ඉන්නේ පාලුවෙන් මොකක් හරි වුනත් මට කියන්න කෙනෙකුත් නැහැ එහෙම මගෙ හිතින්ම හිතිලා මාව පැටලි පැටලි එක එක දේවල් හිතෙනවා. මට දැන් සමහර දේවල් මතකත් නැහැ.''

'මේ රටේ තත්වේ එක්ක පිටරටවලින් ආපු ගොඩක් අයට මේ වගේ මානසික ලෙඩ තියෙනවා'


වසරක් පමණ යන තුරු ඇයගේ මානසික පීඩාව හරිහැටි හඳුනා ගැනීමට වෛද්‍යවරුන් අසමත් වු බව පවසන තාරුකා ඉන් පසුව ඇයට විෂාදයේ රෝග ලක්ෂණ ඇති බවට හඳුනා ගත්ත ද ඇයගේ වයස සැළකිල්ලට ගෙන නවසීලන්තයේ වෛදවරු ඒ සඳහා ඖෂධයක් ලබා නොදෙන බව ඇය කියා සිටියාය.

“අවුරුද්දකට විතර පස්සේ මගේ හිස් මුදුනේ රිදිල්ලක් එක්ක ඔලුව අස්සෙන් සද්දයක් එන්න ගත්තා. මම බලපු හැම රිපෝර්ට් එක නෝමල්. හැබැයි මට දැනෙන දේවල් ඒ අවුරුද්දෙම තිබ්බා. ඔලුවේ සද්දේ එක්ක ආයේ බෙහෙත් ගන්න ගියාම මට පොඩි ටැබ්ලට් එකක් දුන්නා. මේ වයසත් එක්ක ඩිප්රෙෂන්වලට බෙහෙත් කරන්න හොඳ නැහැ. කරන්න තියෙන එකම දේ බිසි ප්ලේස් එකකට යන්න, පඩියක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කට්ටියක් වැඩ කරන තැනට ගිහින් වැඩ කරලා මෙන්ටලිටි එක හදාගන්න කියලා තමයි කිව්වේ.”

“ඩොක්ටර් කිව්වා ඩොක්ටර්ගේ වයිෆ්ට පවා මේ වගේ තත්වයක් ඇති වුණා කියලා. මේ රටේ තත්වේ එක්ක පිටරටවලින් ආපු ගොඩක් අයට මේ වගේ මානසික ලෙඩ තියෙනවා කියලා කිව්වා. ආසියාතික රටවල මිනිස්සුන්ට අම්මා තාත්තා, අහල පහළ අසල්වැසියෝ ඉන්නවානේ මේ රටවල්වල ෆාමින් ලයිෆ් එකේ එහෙම නැහැ. දැන් මම හිතලම දුවන්න, ඇවිදින්න යනවා. ගෙදර උයලා තියෙලා ටවුන් එකට ගිහින් හවස ගෙදර එන්න ගත්තා.” යි තාරුකා කතා බහ අවසන් කරමින් කියා සිටියාය.

ඇය මේ වන විට රැකියාවක් හෝ මිනිසුන් සමගම එක්ව කළ හැකි දෙයක් සොයමින් සිටි. විෂාදය උග්‍ර වීමට ප්‍රථම සුව අතට හැරීමට ඇය තවමත් උත්සාහ දරන්නීය.

විෂාදය හෙවත් 'ඩිප්රෙෂන්' (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි. එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි.

විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල 'ඇන්සයටි'(Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි.

සහාය අවශ්‍ය ඔබට උපකාරක සේවා

help line 2
අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් ශ්‍රී ලංකාව තුළදී මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය.

ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සපයනු ලබන මනෝචිකිත්සක සේවාවන්, මානසික රෝග සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳ සාක්ෂි පදනම් කරගත් තොරතුරු සඳහා මහජනතාවට slcpsych.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශාලතම රෝහල -ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකාව

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...