The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

March 8, 2024 • 6:55 AM

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි.
  • හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි.
  • එනම්, මේ කියන ආයතන පද්ධතියේ දියුණුවට සාපේක්ෂව ඒ සමාජයේ පුද්ගලයාද දියුණු තත්වයට පත්ව සිටිය යුතු බවයි.
  • මන්ද යත්, පුද්ගලයා විසින් හොබවනු නොලබන ආයතනික පද්ධතියක් ගැන දැනට අපට සිතාගත නොහැකි බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. මෙය සත්‍යයක් වන්නේ එක කොන්දේසියක් යටතේ ය. එනම්, මේ කියන ආයතන පද්ධතියේ දියුණුවට සාපේක්ෂව ඒ සමාජයේ පුද්ගලයාද දියුණු තත්වයට පත්ව සිටිය යුතු බවයි. මන්ද යත්, පුද්ගලයා විසින් හොබවනු නොලබන ආයතනික පද්ධතියක් ගැන දැනට අපට සිතාගත නොහැකි බැවිනි. අනාගතේ යම් දවසක කෘත්‍රීම බුද්ධිය විසින් සමාජ සැකැස්ම මුළුමණින් හැඩගැන්වෙන කාලයක් වන තෙක් මේ පුද්ගල සාධකය මත පැටවෙන බර අඩු වැඩි වශයෙන් තිබෙනු ඇත.

 ස්වාධීන කොමිෂන් 07ක් අහෝසියි !

 

ඇතැම් අවස්ථාවක නීතියේ හිල් තිබිය හැකි වෙතත්, වර්තමාන දියුණුව තුළ, නීතිය සමස්තයක් වශයෙන් ගත් විට, නිශ්චිතව සහ නිරවුල්ව ලියැවී ඇත. එහෙත් ඒ නීතිය අර්ථකථනය කිරීමේ විවිධ මානයන් තිබිය හැකිය. ඒ අර්ථකථන සැපයීමේදී තීරණාත්මක වන්නේ විනිශ්චයාසනය නමැති ආයතනයට වඩා, ඒ විනිශ්චයාසනයේ වාඩි වී සිටින විනිශ්චයකරුවා ය. යම් රටක, අධිකරණය නමැති ආයතනය දියුණු වී ඇති තරමට ඒ අධිකරණයේ අසුන්ගන්නා එකී විනිසුරුවරුන්ගෙන් සුළුතරයක් හෝ දියුණු වී නැති අවස්ථාවක ඒ අධිකරණයෙන් අපේක්ෂිත යුක්තිය ඉෂ්ට වන්නේ නැත.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඉතා වැදගත් ආයතනික රටාවක් ලංකාවට හඳුන්වා දෙන ලදි. එනම්, ‘ව්‍යවස්ථා සභාව’ සහ ‘ස්වාධීන කොමිෂන් සභා’ ක්‍රමයයි. නිදහසේ පටන්ම රාජ්‍ය සේවය දේශපාලනීකරණය වී තිබීම නිසා, විශේෂයෙන් රජයේ ඉහළ නිලතලවලට කෙරෙන පත්වීම්, හැබෑම අවශ්‍යතාවන් සහ හැබෑම සුදුසුකම් මත පමණක් සලකා බැලෙන, දේශපාලනික හස්තයෙන් එකී තනතුරු මුදවාගැනෙන යාන්ත්‍රණයක් වශයෙන් මේ කියන ‘ව්‍යවස්ථා සභාවත්’, ඊට අනුබද්ධිත ‘ස්වාධීන කොමිෂන් සභා’ ක්‍රමයත් ස්ථාපිත කෙරුණි. එය එසේම වන බවට වගබලාගැනීම සඳහා ‘ව්‍යවස්ථා සභාව’, දේශපාලනඥයන් 3 දෙනෙකුගෙන් සහ සිවිල් සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත විය යුතු යැයි මුලින් යෝජනා කෙරුණි. එය පිළිගැනුණේ නැත. ඒ වෙනුවට, දේශපාලනඥයන් 6 දෙනෙකුගෙන් සහ සිවිල් සාමාජිකයන් 3 දෙනෙකුගෙන් අවසානයේ එය සමන්විත විය.

Paliment

 

මා මේ අරඅඳින්නේ එක කාරණයක් අවධාරණය කිරීමටයි. ඉහත කී ‘ව්‍යවස්ථා සභාවට’ සිවිල් සාමාජිකයන් වැඩි පිරිසක් සහ දේශපාලනඥයන් අඩු පිරිසක් ඇතුළත් විය යුතු යැයි මුලින් අදහස් කෙළේ ඇයි? දේශපාලනඥයා තරම් සිවිල් සාමාජිකයා දූෂිත නැත, දේශපාලනඥයාට වඩා සිවිල් සාමාජිකයා බුද්ධිමත් ය සහ අපක්ෂපාතී ය යන අදහස් රාශියක් සමාජයේ අරක්ගෙන ඇති නිසා ය.

 

දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම

 

පසුගිය සතියේ නව පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත්කරගැනුණි. ඒ පත්කිරීම සිදු කෙළේ, ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉහත කී ‘ව්‍යවස්ථා සභාව’ විසින් අනුමත කරනු ලැබීමෙනි. එහි ඡන්දය හිමි සාමාජිකයන් 9 දෙනාගෙන් 4 දෙනෙක් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත්කිරීම අනුමත කරමින් ඡන්දය දුන්නෝය. එසේ අනුමැතිය දුන් 4 දෙනාගෙන් 3 දෙනෙක් දේශපාලනඥයෝ ය. එක්කෙනෙක් සිවිල් සාමාජිකයන් 3 දෙනාගෙන් කෙනෙකි. ඇය, විශේෂඥ වෛද්‍යවරියකි.

 

Deshabandu Tennakoon 2022.05.10 2


දේශබන්දු තෙන්නකෝන්, පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සිටියදී, එක් සැකකරුවෙකුගේ ලිංගේන්ද්‍රියට සිද්ධාලේප තවරා ක්‍රෑර වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු වී වන්දියකුත් ගෙවා වැඩි කාලයක් නැත. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව විමර්ශන කළ යුතු බවට අධිකරණයෙන් නිර්දේශ කර වැඩි කාලයක් නැත. වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයන් රාශියකගේ ගෙවල් ගිනිබත් කළ සහ එක් මන්ත්‍රීවරයෙකු ඝාතනය කළ ඒ අවාසනාවන්ත සිද්ධි මාලාවට තුඩුදුන්, ගෝල්ෆේස් ‘අරගලයට’ මහ දවල් පහරදුන් මැරවර සේනාවේ ඉදිරියෙන්ම මේ දේශබන්දු තෙන්නකොන් නිල ඇඳුමින්ම සැරසී පැමිණි රූප රාමු අපට තාම මතකයි. ගෝඨාභය රාජපක්ෂ රටෙන් පලාගිය පසු ඔහුගේ නිවසේ තිබී සොයාගත් රුපියල් කෝටි ගණනක්, පොලිස් වාර්තාවලින් බැහැරට ගෙනයාමට දේශබන්දු තෙන්නකෝන් ක්‍රියා කර තිබුණේද ඒ දිනවලමයි. සිවිල් සංවිධාන රාශියකට අමතරව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා මේ පත්වීම නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේත් මේ මෑතකදීයි.

 

dilkushi


දැන්, වධ හිංසාවන් (සිද්ධාලේප), අකාර්යක්ෂමතාව (පාස්කු ප්‍රහාරය) සහ අවශ්‍ය තන්හිදී නීතිය ක්‍රියාත්මක නොකර මහා අපරාධයක් සිදුවීමට ඉඩහැරීම (ගෝල්ෆේස් ප්‍රහාරය) ආදිය, යමෙකු පොලිස්පතිවරයෙකු බවට උසස් කිරීමට නොව, පොලිස් සේවයෙන් නෙරපා නීතිය ඉදිරියට පැමිණවිමට තරම් කාරණා බව, දේශපාලනඥයන්ට වඩා සිවිල් සාමාජිකාවක් වශයෙන් සහ විශේෂඥ වෛද්‍යවරියක් වශයෙන් අර සාමාජිකාව දැන සිටිය යුතුව තිබුණි. ‘ව්‍යවස්ථා සභාව’ ඇති කරගත්තේම, දේශපාලනඥයන් විසින් ඔසවා තැබෙන මෙවැනි පත්වීම් වැළැක්වීම සඳහාම බව, එනම් අඩු වශයෙන් ‘ව්‍යවස්ථා සභාව’ පිහිටුවීමේ මූලික අරමුණවත් ඇය දැන සිටිය යුතුව තිබුණි. ඉතිං, දැන් සිදුව ඇත්තේ කුමක්ද? පිවිතුරු අභිලාෂයක් පෙරදැරිව පිහිටුවාගත් උත්කෘෂ්ට ආයතනයක් වන ‘ව්‍යවස්ථා සභාව’, පුද්ගල සාධකය මගින් ඉතා පහසුවෙන් දූෂ්‍ය කොට තිබීමයි.

 

කතානායකවරයාගේ චර්යාව

 කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයෙත් සහාය

 

මේ ‘ව්‍යවස්ථා සභාවේ’ නිල බලයෙන්ම සභාපති වන්නේ කතානායකවරයා වුවද ඔහුට ඡන්දය පාවිච්චි කිරීමේ බලය ලැබෙන්නේ, යම් පත්වීමක් කිරීම සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව එක සමාන ඡන්ද ප්‍රමාණයක් ඇති අවස්ථාවකදී පමණි. එසේම, යම් තනතුරක් මේ ‘ව්‍යවස්ථා සභාවෙන්’ අනුමත වීමට නම් එහි ඡන්දය හිමි මුළු සාමාජික සංඛ්‍යාවෙන් බහුතරයක් හෙවත් ඡන්ද 5 ක් තිබිය යුතුය. දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට පක්ෂව ඡන්ද 4 ක් තිබුණි. විපක්ෂව ඡන්ද 2 ක් තිබුණි. ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 2 කි. (සුළු පක්ෂ වෙනුවෙන් පත්කළ යුතු සාමාජිකයා මේ වන තෙක් පත්කර නොමැති නිසා, මේ මොහොතේ ‘ව්‍යවස්ථා සභාවේ’ සාමාජික සංයුතිය 8 කි).

ඉන්පසු සිදු වුණේ කුමක්ද? තමාගේ ඡන්දය මේ පත්වීම අනුමත කිරීම සඳහා පාවිච්චි කරන බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලියා දන්වන ලදි. ඔහුට සිය ඡන්දය පාවිච්චි කළ හැක්කේ, පක්ෂව සහ විපක්ෂව එක සමාන ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශයට පත්ව ඇති අවස්ථාවකදී පමණක් බව අප ඉහතින් කියා ඇත. එසේ නම් ඔහු මේ පත්වීම අනුමත කිරීම සඳහා සිය ඡන්දය පාවිච්චි කරන්නේ කෙසේද? ඡන්දය දීමෙන් වැළකී සිටි දෙදෙනාද මෙකී පත්වීමට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා සේ උපකල්පනය කිරීමෙනි! පත්වීමට පක්ෂව 4 ක් සහ විපක්ෂව 4 ක් වශයෙන් වන අභූත සංඛ්‍යාව ලැබෙන්නේ එවිට පමණි.

ඡන්දයක් දීමෙන් වැළකී සිටීම යනු, පක්ෂ වීමෙන් මෙන්ම විපක්ෂ වීමෙන්ද වැළකී සිටීමයි. මේ සරල කාරණය නොවැටහෙන කෙනෙකු පාර්ලිමේන්තුවේ කතානායක පුටුවේ වාඩි වී සිටීම, පාර්ලිමේන්තුව බාල්දු කරවන සහ කතානායක පුටුව අමු විකාරයක් කරවන අවස්ථාවකි. ඇත්ත වශයෙන්ම මෙය, මේ කතානායකවරයාගේ වංචනික භාවය සහ දූෂිත භාවය ප්‍රදර්ශනය කරවන අවස්ථාවකි.

 

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41ක් ස්වාධීන වෙයි

පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයෝ පක්ෂපාතී ය. ස්වාධීන යැයි කියාගන්නා මන්ත්‍රීවරුන් පවා පක්ෂපාතී ය. එසේ නොවිය යුතු යැයි උපකල්පනය කෙරෙන පාර්ලිමේන්තුවේ එකම සාමාජිකයා වන්නේ කතානායකවරයා පමණි. ඒ තනතුරට පත්වන තෙක් ඔහු/ඇය යම් පක්ෂයකට අයත් විය හැකි වෙතත්, කතානායක පුටුවේ වාඩි වූ මොහොතේ පටන් එකී පක්ෂපාතීත්වයන් කෙනෙකු අත්හළ යුතුය. එසේ නොවුණොත් ඒ තනතුරේ විශිෂ්ටත්වය පලුදු වෙයි.

මේ කතානායකවරයා ඒ සම්ප්‍රදාය එක මාසයක් ඇතුළත අමු අමුවේ උල්ලංඝණය කළ තවත් අවස්ථාවක් මෙසේ ය.

 

‘මාර්ගගත ආරක්ෂණ පනතට’ කතානායක අත්සන් තැබීම

 කථානායක අත්සන් කරයි - ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

 

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ඊට කතානායකවරයාගේ අත්සන ලැබීමත් සමගම එය රටේ නීතියක් බවට පත්වෙයි. ‘මාර්ගගත ආරක්ෂණ පනත’ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම ව්‍යවස්ථානුකූල වීමට නම්, එහි අඩංගු කාරණා ගණනාවක් සංශෝධනය විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කෙළේය. එසේ නොවන්නේ නම්, එකී වගන්ති විශේෂ වැඩි ඡන්දයකින් (තුනෙන් දෙකක) සහ ජනමත විචාරණයකින් මිස සම්මත කරගත නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙළේය. එහෙත් අවසානයේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් මේ පනත් කෙටුම්පත සම්මත කරගත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී නිර්දේශ අතරින්, 13, 17, 20, 21, 22, 31, 33(6), 34(1), 35(1), වගන්තිවලට අදාළ නිර්දේශ නොතකා හරිමිනි. එසේ තිබියදී මේ කතානායකවරයා එම පනත් කෙටුම්පතට සිය අත්සන යෙදුවේය.


අපේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) වැනි වගන්තියේ මෙසේ දැක්වෙයි:
“යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරනු ලැබ ඇත්තා වු හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරන ලද සේ සැලකෙන්නා වූ අවස්ථාවක, ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධාන, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ ප්‍රකාශ කර ඇති ආකාරයට හැර සම්මත නොකළ යුත්තේය.”

 


දැන් ඉහත කී ‘මාර්ගගත ආරක්ෂණ පනතට’ අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය කී නිර්දේශිත සංශෝධන ඇතුළත් කර නැති තත්වයක් තුළ මේ කතානායකවරයා එම පනතට සිය අත්සන යෙදීම, පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත කී වගන්තිය (123-4) උල්ලංඝණය කිරීමකි. කතානායක නමැති ‘ආයතනය’ (ආසනය) විශිෂ්ටයි. එහෙත් අවිශිෂ්ටයෙකු එහි අසුන් ගත් විට, එම ආසනය පස්ස පැත්ත තැබීමට පාවිච්චි කරන බංකුවක් පමණක් වන්නේය.

 

සුපිළිපන් භාවය ඊට හපන්!

කතානායක කාර්යාලයේ ඉහළ නිලතල හොබවන නිලධාරීන් පිරිස දෙස බැලීමෙන් වර්තමාන කතානායකවරයාගේ චරිතයේ තවත් පැත්තක් නිරාවරණය වෙයි. ඒ මෙසේ ය: මොහුගේ පුද්ගලික ලේකම් වන්නේ ඔහුගේ සහෝදරයා වන වසන්ත යාපා අබේවර්ධන ය. සම්බන්ධීකරණ ලේකම් වන්නේ, තවත් සහෝදරයෙකු වන සරත් යාපා අබේවර්ධන ය. මාධ්‍ය ලේකම් වන්නේ, තවත් සහෝදරයෙකු වන ඉඳුනිල් යාපා අබේවර්ධන ය. මහජන සම්බන්ධතා නිලධාරියා වන්නේ ඔහුගේ පුතා වන චාමර යාපා අබේවර්ධන ය. මස්සිනා වන ප්‍රේමානන්ද කුමසාරු තවත් සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

නීතිය කඩකිරීමක් මෙතැන සිදුව නැති බව ඇත්ත. තමාගේ පවුලට තනතුරු පිරිනැමිය නොහැකි බවට නීතියක් නැති බැවිනි. එහෙත් අවම ශීලාචාරකම සහ ප්‍රජාතන්ත්‍රීය ප්‍රමිතිය නිර්ලජ්ජිතව පැත්තකින් තබා තිබේ. එවැනි පුද්ගලයෙකු මධ්‍යස්ථ සහ සාධාරණ ආකාරයකින් ප්‍රශ්නයක් දෙස බලතැයි කෙසේ නම් සිතන්නද?

 

(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි - (ගාමිණී වියන්ගොඩ) | The Leader