The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්

T

The Leader Desk

March 10, 2024 • 6:42 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොකු වැලිගොව්වන් මේ දැන් අල්ලපු මාළු ලාබයි ගන්නකො යාළු ඇන්ටන් රොද්‍රිගෝ ගයන මේ ගීය කලකට පෙර මෙරට අතිශය ජනප්‍රිය වූ අතර දැනුදු එය අසන කා තුළත් ''ට්‍රිප් මූඩ්'' එකක් ඇතිවෙයි.
  • අද කාලේ නම් එදා මාළු ගණන් අසන විට මාළුන්ටත් සිනා යනු ඇත. රට වටේටම මුහුද ඇතත් මේ දූපතේ මාළු ගිනි ගණන්ය.
  • 'කැලණි පාලම' නාට්‍යයේ දෙබසක කියැවෙන අන්දමට ''උන් මාළුවලට ගණන් කියන්නේ හරියට කන්ඩ දීලා ඇතිකෙරුවා වගේ'' ය.
  • හැමතැනම ඇත්තේ අයිස් මාළුය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොකු වැලිගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි ගන්නකො යාළු

ඇන්ටන් රොද්‍රිගෝ ගයන මේ ගීය කලකට පෙර මෙරට අතිශය ජනප්‍රිය වූ අතර දැනුදු එය අසන කා තුළත් ''ට්‍රිප් මූඩ්'' එකක් ඇතිවෙයි. විනෝද ගමන්වලදී මෙන්ම ප්‍රිය සාදයන්හිදී ලොකු පොඩි කවුරුත් මේ ගීය ගැයූහ. මේ ගීතයේ කියැවෙන විදිහටම අදට සාපේක්ෂව ඒ කාලයේ මුහුදු මාළු ලාබය.

සිලින් තුනයි වැල
උඩහ ගෙදර මැගි නෝනට
මේ දැන් වික්කේ
සත දහයක් අඩු කරලා දෙන්නම්, ගන්නවාද...

 



ඒ අසරණ මාළු වෙළෙන්දා හෙට්ටු කරලා මාළු වික්කත් ලාබුවේ තුට්ටුවේ වාසියකි.

අද කාලේ නම් එදා මාළු ගණන් අසන විට මාළුන්ටත් සිනා යනු ඇත. 

රට වටේටම මුහුද ඇතත් මේ දූපතේ මාළු ගිනි ගණන්ය. මාළු ගණන් අසන විට මාළුකාරයාගේ මාළු කන්නට සිතෙයි. 'කැලණි පාලම' නාට්‍යයේ දෙබසක කියැවෙන අන්දමට ''උන් මාළුවලට ගණන් කියන්නේ හරියට කන්ඩ දීලා ඇතිකෙරුවා වගේ'' ය.

ඇන්ටන්ගේ සින්දුවේ එන මාළුකාරයා විකුණන්නේ මේ දැන් අල්ලපු අලුත් මාළුය. දැන් නම් අලුත් මාළු කෑමට නම් අපිම මුහුදු යා යුතුය. හැමතැනම ඇත්තේ අයිස් මාළුය. ට්‍රෝලර් යාත්‍රාවලදී නම් මාළුවා අයිස් වන්නේ අවසන් හුස්ම හෙළීමටත් පෙරමය.

 fish market in galle sri lanka

 

සිරි ලංකාවේ මාළු ගබඩාවක තිබූ රටින් ගෙනා මිනිස් පාරිභෝජනයට නුසුදුසු ටූනා මාළු කිලෝ ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අල්ලා විනාශ කරනු ලැබුවේ ඊයේ පෙරේදාවකය. 'කුණු ටූනා' ඇල්ලුවේ නැත්නම් අපේ බඩේය.

 

''ඉස්සර වෙලා අල්ලන මාළු ඉස්සර වෙලා කුණු වෙනවා'' යැයි පැරණි පිරුළක් ඇතත් අධි ශීතකරණ තුළ මාස ගණන් තපින මාළුන්ට නම් එය අදාළ නැත.

 

මහ මුහුද තුළද 'පන්ති භේදයක්' නැතුවා නොවේ. තෝරු මෝරු ලොක්කෝය. ඉස්සෝ කූණිස්සෝ හාල්මැස්සෝ සොක්කෝය. එය එසේ වුවද ගොඩට ආ පසු ඉස්සන්ටද හොඳ තැනක් (මිලක්) ලැබෙයි.

දැන් සිරි ලංකාවේ හැමදෙයකටම ඉන්දියාව ද ගෑවෙයි. ලංකාව ඉන්දියාවේ කොටසකැයි කී මහත්මයෙක් හොඳට අහගත්තේය. මාළුවා නහින්නේ ද කට නිසාය.

 

සිරි ලංකාවට ඉදිරියට යාමට නොහැකි වී ඇත්තේ ඉහළින් සිටින ඉන්දියාවේ වදින නිසා යැයි කවට කියුමක්ද ඇත.

සිරි ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කියූ විට තද වෙන උදවියට අපිට බිත්තරේ පවා එරටින් ගෙන්වීමට සිදුවී තිබීම අමතකය.

දැන් අලුත්ම ආරංචිය ඉන්දියාවෙන් ඉස්සන්ද ගෙන්වීමට යන බවකි.

ඉන්දියානු කුළුබඩු මිශ්‍ර කර ''ප්‍රෝන්ස් කරි'' හදන ආකාරය පිළිබඳ 'රෙසිපි' දැනටමත් අන්තර්ජාලයේ දක්නට ඇත. ළඟදීම ඉන්දියානු කුළුබඩු නොව, ඉන්දියානු ඉස්සන්ම යොදා පිළියෙළ කරගත් ''ප්‍රෝන්ස් මසාලා'' ''ප්‍රෝන්ස් වෙට්ටිකාඩ්'' හා ''බැංගලෝර් ප්‍රෝන් කරි'' වැනි රස බොජුන් අනුභව කිරීමට සිරි ලාංකිකයාට භාග්‍ය උදාවනු ඇත.

 

Garlic Ganbak Skillet Spot Prawns with Garlic and Spanish Paprika FT RECIPE0823 3a33676e58674a01904a5a086604b220

එක අතකට බැලුවාම ඉස්සාගේ ජාති භේදයක් සෙවීමට යාම මෝඩකමකි. සිරි ලන්කන් ඉස්සා හා ඉන්ඩියන් ඉස්සා යන දෙදෙනාම වෙසෙන්නේ ඉන්දියානු සාගරය නමැති එකම මුහුදේය.

ඉස්සා තුළින් ද ඉන්දියානු ආක්‍රමණය දකින්නට යන උදවියත් තම ඉසේ කුණු තබාගෙන මමයි සුදනා කියනා ඉස්සාත් අතර ලොකු වෙනසක් නැතැයි ද සිතේ.

ඉන්දියාව අපේ අසල්වැසියා වුණත් ඉස අතගා ඇස උලුප්පන වැඩ ද නොකරනවා නොවේ. සිවිල් යුද සමයේදී උතුරට ගුවනින් පරිප්පු පාර්සල් දැමීමද එවැනි එක් අරියාදුවකි.

 

ඉන්දියාව සමග හැදෙන සංවර්ධනයේ සංහිඳියාව

දැන් සිරි ලංකාවේ ආර්ථිකය පවතින්නේ උගුරේ මාළු කටුවක් සිරවූ තත්ත්වයකය. එහෙයින් කළ යුතුව ඇත්තේ ලොකු අයියා සමඟ හැපෙන්නට නොගොස් දෙන ඉස්සකු කාගෙන හාල්මැස්සාගේ සමගි ප්‍රතිපත්තියෙන් ''බැලන්ස්'' වීමට බැලීමය. අපේ උදවිය (පාලකයෝ) බොර දියේ මාළු බෑමට කවදත් ප්‍රිය කළ බවද මෙහිදී සිහි වේ. පින් මාළු වලේ මාළු බාන කුසල් හාමිලා ද ඒ අතර වෙති.

මාළු බෑම රුකියාවකටම නොව විනෝදයට කරන අය ද සිටිති. එසේම ලංකාවේ විශේෂ ස්ථාන කිහිපයකට හැර අනෙක් ඕනෑම තැනක - ඇළක දොළක ගඟක, වැවක - මාළු ඇල්ලීමට තහනමක් නැත.

පොලිස් රාළහාමි කෙනෙක් රාජකාරියකට යන අතර ගං තෙරක හිඳ මාළු බෑමේ යෙදෙන මැදිවියේ පුද්ගලයකු දැක නතර වූයේය. ඊට හේතු වූයේ ගං තෙරෙහි ''මෙහි මාළු ඇල්ලීම තහනම්'' යනුවෙන් පුවරුවක් සවි කර තිබෙනු දැකීමය.

 

10 Reasons To Go Fishing compress
''ඒයි මෙතන මාළු අල්ලන්න තහනම් කියල ගහල තියෙනව. තමුසෙ දැක්කෙ නැද්ද?'' රාළහාමි ගර්ජනාවක් දැම්මේය.

''ආ... ඒක ගණන් ගන්න එපා රාළහාමි. ඔය බෝඩ් එක ගැහුවෙ මමයි... එතකොට වෙන කවුරුවත් එන්නෙ නෑනෙ.''
''තමුසෙ කොහොමද එහෙම නීතිය අතට ගත්තෙ?''
''පිස්සුද රාළහාමි, මට ඒ වගෙ දෙයක් කරන්න පුළුවන් නම් මම මාළු බාන්න එනවයැ... එහෙනං මම ඉන්නෙ...'' 

මාළු බාන්නා හිස කැසුවේය.

රාළහාමි මාරු වුණේය.

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන් | The Leader