The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : නැකැත් හුටපට

T

The Leader Desk

March 17, 2024 • 8:34 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : නැකැත් හුටපට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙලාවට මිනිස්සු වැඩපළ නිම කර, කා බී වෙනත් මොනවා හෝ ඕනෑකමක් වේ නම් ඒවාත් ඉෂ්ඨ සිද්ධ කරගෙන දෙයියනේ කියා නිදි ය.
  • කෙසේ වෙතත් මෙදා පාර අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවී තිබේ.
  • ඇතැම් ජ්‍යොතිර්වේදීන් පවසන්නේ මෙවර අවුරුදු නැකැත් යෙදී ඇත්තේ යක්කු ගස් නගින වෙලාවටය.
  • එම යක්ෂ නැකැත්වලට අනුව අවුරුදු කෑවොත් රටම යකාට යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වෙලාවට මිනිස්සු වැඩපළ නිම කර, කා බී වෙනත් මොනවා හෝ ඕනෑකමක් වේ නම් ඒවාත් ඉෂ්ඨ සිද්ධ කරගෙන දෙයියනේ කියා නිදි ය.

එසේ හෙයින් යක්කු ගස් නගින වෙලාවට මිනිස්සු සුබ කටයුත්තක් තියා, සුළු කටයුත්තක්වත් නොකරති. 

 

aluth aurudu
සිංහල - හින්දු අලුත් අවුරුද්ද යනු, හැම සිරිතක්ම නැකැතට සිද්ධ කරන උත්සවයකි. නැකැත් ගැන වැඩි විශ්වාසයක් නැති උදවිය පවා, අවුරුදු නැකැත් අනුගමනය කරන්නේ එම සම්ප්‍රදායට ගරු කිරීමක් වශයෙනි.

කෙසේ වෙතත් මෙදා පාර අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවී තිබේ. ඇතැම් ජ්‍යොතිර්වේදීන් පවසන්නේ මෙවර අවුරුදු නැකැත් යෙදී ඇත්තේ යක්කු ගස් නගින වෙලාවටය. එම යක්ෂ නැකැත්වලට අනුව අවුරුදු කෑවොත් රටම යකාට යනු ඇත. දැන් රට පවතින තත්ත්වය ගැන සලකා බලන විට මීට පෙර තිබූ අවුරුදු නැකැත් ද සියල්ලම වැරදියට පිළියෙළ කරන ලද ඒවාද යන සැකය උපදී.

 

නැකැත් පිළිබඳ මගේ පෞද්ගලික මතය මෙහිදී වැදගත් නැත. එහෙත් නැකැත්වලින් රටක් ගොඩ දැමීමට හෝ වළ දැමීමට හැකි යැයි කියන්නේ නම් ඒ ගැන සැලකිලිමත් වීම වටී. රටටත්, එහි පාලකයන්ටත් පොදුවේ ජනතාවටත් කෙළවෙන යක්ෂ නැකැත් තැනීම පසුපස විදේශීය හස්තයක් තිබීමටද ඉඩ ඇතැයි සැක පහළ වනු ඇත.

මතභේදයට ලක්ව ඇති මෙවර අවුරුදු නැකැත් සකස් කළ ජ්‍යොතිර්වේදීන් පවසනු ඇත්තේ ඒවායේ කිසිදු වරදක් නැති බවත්, එම නැකැත් අනුගමනයෙන් අනාගතයේදී රටට මහත් සුබසිද්ධියක් වනු ඇති බවත්ය. එහෙත් එහි සැබෑ බොරු බැලීමට 2048 වනතුරු බලා සිටිය යුතු වෙයි. එසේත් නැතිනම් මහා මැතිවරණ අවසන් වී ලබන සිංහල අලුත් අවුරුද්ද එනතුරු හෝ ඉවසා සිටිය යුතු වෙයි.

 

සුබ නැකැත් අනුව කටයුතු කිරීමෙන් සුබ ඵල ලැබේය යනු බොහෝ පුරාණයේ සිට පවතින විශ්වාසයකි. විශේෂයෙන්ම දරුවනට අකුරු කියැවීම, වෙළෙඳ ව්‍යාපාර ආරම්භය, මුල්ගල් තැබීම්, ගෙට ගෙවදීම් හා මංගල්‍ය පමණක් නොව ඇතැම්විට අවමංගල්‍ය කටයුතුවලදීද නැකැතට මුල් තැන දෙන්නේ එහෙයිනි.

කිසිම මිනිසකු නැකැතට උපදින්නේ නැත. එහෙත් දැන් සුබ නැකැතකට අනුව කෙරෙන සැත්කමකින් දරුවකු බිහි කිරීමට ද අවස්ථාව ඇත.

 

porondam
නැකැතට අනුව මිය යාමක් ගැන නම් මා අසා නැත. එහෙත් ''හොඳ වෙලාවක්'' බලා, සියදිවි නසා ගැනීමට නම් බැරිකමක් නැත. ඉපදීමටත්, මරණයටත් නැකැතක් නැති මිනිස්සු ඒ දෙක අතර ඇති කාලය ගත කිරීමේදී නැකැත් පිළිබඳව විශ්වාසය තැබීම පුදුමසහගතය.

පසුගිය දිනවල දුටු පුවතකින් කියැවුණේ සිරි ලංකාවේ දික්කසාද වීම් ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවකි. ඒ විවාහයන්ගෙන් සියයට අනූවක්ම මංගල නැකැත් අනුව චාරිත්‍රානුකූලව සිදුකෙරුණු ඒවා බවට සැකයක් නැත. ඒ විවාහයන් දික්කසාදයකින් කෙළවර වන්නේ නම් ඒ සුබ නැකැත්වලද මොනවා හෝ ප්‍රශ්නයක් තිබිය යුතු නොවේද?

491

 

පුරාණයේ සිටි රජවරුන්ගේ සිට, මෑත කාලයේ සිටි ජනපතිවරුන් දක්වාම නැකැත් විශ්වාස කළ බව පෙන්නට තිබේ.

''පරංගි හටනේ'' දැක්වෙන අන්දමට යුද්ධයට පිටත් වී ඇත්තේ ද, සුබ නැකැතක් අනුවය.

යුදට යන ගම නේ
ඇත්තේ ඇසළ එදි නේ
වඩිනුව නැකති නේ
කියා සැල කළ සඳෙහි එදි නේ

යුද්ධය ආරම්භ කිරීමට ප්‍රථම වෙඩිල්ල තබා ඇත්තේද නැකැතටය!

සෙංකඩගල පුර ට
නුදුරුව තැනක වැඩ සි ට
සතුරන් හුන් දෙස ට
වෙඩිල්ලක් තැබුවේය නැකත ට

ජනතාවට වඩා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් විශ්වාස කිරීමට ගිය, සිරි ලංකාවේ ජනාධිපතිවරුන් දෙදෙනකුටම පස්සා දොරින් පලා යාමට සිදුවූ බව නොදන්නා කෙනෙක් නැත.

 

මම ජනාධිපතිතුමාව නාවලා නෑ' - ඥානා කියයි

දේශපාලනඥයන්ගෙන් වැඩිදෙනා මැතිවරණ ව්‍යාපාර අරඹන්නේද නැකැතටය. එහෙත් ඔවුන්ගෙන් හැම කෙනකුම දිනන්නේ ද නැත. දිනුවොත් නැකැත්කරුවා ද දිනුම්ය. පැරදුණොත් බලු බැණුම්ය. දේවාලෙට ගල් මුල්ය.

එක් ඇමැතිවරයකු තමන්ට රාජයෝගයක් වෙත්දැයි දැනගැනීම පිණිස, තම ජන්ම පත්‍රය ලේකම්වරයා අත නක්ෂත්‍රකරුවකු වෙත යැවීය. එය පරීක්ෂා කළ නක්ෂත්‍රකරු මෙසේ කියන්නට විය.

 

Kendra
''මේ ජන්ම පත්‍ර ලාභියාට රාජ යෝගයක් නම් පෙන්නුම් කරන්නේ නෑ. ඒත් කාම යෝගයක් නම් තියෙනවා. ඒක කොතරම් ප්‍රබලද කියනවා නම්, මෙයාට ඇඳෙන් බහින්න වෙලාවක් ලැබෙන්නෙ නෑ. ඇඟට වස්තරයක් දාගන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ.''

ලේකම්ගේ ඇස් සහ කෙස් උඩ ගියේය. 

ඇමැතිවරයා වැරදීමකින් දී තිබුණේ තම බිරිඳගේ ජන්ම පත්‍රයය! රාජ යෝගයට වඩා කාම යෝගය බල සම්පන්න වන තැන් ඉතිහාසය පුරාම දකින්නට ලැබෙයි.

සිංහල අවුරුද්දටද වැඩි කාලයක් නැත. නැකැත් හුටපටයේද ඉවරයක් නැත. කළ යුතු හොඳම දේ වන්නේ හරි නැකැත හදාගන්නා තෙක්, අවුරුද්ද කල් දැමීමය. එය ජනතාවටද මහත් සැනසීමක් අස්වැසිල්ලක් වනු ඇත.

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...