The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දකුණු ආසියාවේ ලොකුම මාතෘ රෝහල හැදීමේ විලි රුදාව - (කුසල් පෙරේරා)

T

The Leader Desk

March 30, 2024 • 6:25 AM

දකුණු ආසියාවේ ලොකුම මාතෘ රෝහල හැදීමේ විලි රුදාව - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදීන්ගේද සාඩම්බර සිරස්තල සමග වාර්තා කෙරුණි. දකුණු ආසියාවේ හෝ ආසියාවේ විශාලම හෝ හොඳම ඉදිකිරීම් අපේ රටේ කිරීමේ දේශපාලන මාන්නය, අද ඊයේ පුස්සක් නොවේ.
  • බණ්ඩාරනායක මැතිනියගේ පාලන යුගයේ “පැරකුම්” ටින්කිරි කම්හල පොළොන්නරුවේ හදන විටද, එය 70 දසකයේ ආසියාවේ ලොකුම ටින්කිරි කම්හල විය.
  • ඔරුවල වානේ කම්හල් සංකීර්ණයද ඒ කාලයේ දකුණු ආසියාවේ විශාලම කම්හල වූ බැව් මතකයක් ඇත.
  • ආසියාවේ උසම කුළුණ රාජපක්ෂ යුගයේ ඉදිකළ “නෙළුම් කුළුණ” යැයි දැන් එය සංචාරකයින්ටද ආකර්ශනයක් ලෙස ඉදිරිපත් කෙරෙන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාධ්‍යවේදීන්ගේද සාඩම්බර සිරස්තල සමග වාර්තා කෙරුණි. 

 

දකුණු ආසියාවේ හෝ ආසියාවේ විශාලම හෝ හොඳම ඉදිකිරීම් අපේ රටේ කිරීමේ දේශපාලන මාන්නය, අද ඊයේ පුස්සක් නොවේ. බණ්ඩාරනායක මැතිනියගේ පාලන යුගයේ “පැරකුම්” ටින්කිරි කම්හල පොළොන්නරුවේ හදන විටද, එය 70 දසකයේ ආසියාවේ ලොකුම ටින්කිරි කම්හල විය. ඔරුවල වානේ කම්හල් සංකීර්ණයද ඒ කාලයේ දකුණු ආසියාවේ විශාලම කම්හල වූ බැව් මතකයක් ඇත. දකුණු ආසියාවේ නවීනතම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හම්බන්තොට හැදුවේ රාජපක්ෂ ජනාධිපති යුගයේය. ආසියාවේ උසම කුළුණ රාජපක්ෂ යුගයේ ඉදිකළ “නෙළුම් කුළුණ” යැයි දැන් එය සංචාරකයින්ටද ආකර්ශනයක් ලෙස ඉදිරිපත් කෙරෙන්නේය.

 

ගාල්ලේ මහමෝදර ඉදිකෙරුණු දකුණු ආසියාවේ විශාලම මාතෘ නිවාසයද එවැන්නකි. එවගේම එය ඉදිකෙරුණේ විශාල දූෂණ චෝදනාද ඇතිවය. මේ මාතෘ රෝහල් සංකීර්ණය ඉදිකිරීමේ නිමිත්ත ඇත්තේ 2004 දෙසැම්බර සුනාමියෙන් ඇතිවූ විනාශයෙහි ය. එවකට පැවති ගාල්ල මහමෝදර මාතෘ රෝහලද සුනාමි විපතට හසු වූවකි. ඒ සුනාමි විනාශය නිසා ගාල්ලෙහි කොටුවූ එක් විශේෂ පුද්ගලයෙකු වූයේ 1982 සිට අවුරුදු 16 ක් ජර්මනියේ රාජ්‍ය නායක වශයෙන් එරට “චාන්සල” වූ හෙල්මුට් කෝල් ය. ඔහුව මුදා ගනු ලැබුවේ ගුවන් හමුදාව විසින්ය. ඊට දක්වන කෘතඥතාවක් වශයෙන් ඔහු විනාශ වූ මහමෝදර මාතෘ රෝහල අලුතින් ඉදිකිරීමට රුපියල් මිලියන 900 ක් ඔහුගේ “හෙල්මුට් කෝල් පදනම” හරහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය. එහි ඉදිකිරීම් ආරම්භ වූයේ 2006 දී ය. ඉදිකිරීම් කටයුතු සහ කෝල් පදනමේ අරමුදල් සම්බන්ධීකරණය බාරදී තිබුණේ දේශීය පෞද්ගලික සමාගමක් වූ “සෙනොක් සමාගමට” ය.

 

05 German

ඉදි කිරීම් කටයුතු ආරම්භ කර වසරක් යන්නටත් කලියෙන් එහි සියලු කටයුතු ඇණ හිටින. කෝල් පදනමෙන් ලැබුණු රුපියල් මිලියන 900 ද වැයකර අවසන්ව තිබිණ. ඉතිරිව තිබුණේ අකාර්යක්ෂමතාව, නාස්තිය, දූෂණය සහ වගවීමක් නොතිබුණු සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැළකිල්ල සම්බන්ධයෙන් වූ චෝදනා සමූහයක් පමණි. ඒ කිසිවක් ගැන පරීක්ෂණ කෙරුණු බවක් කොතැනකවත් නොකියවේ. 

එහෙත් 2010 මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ තම දේශපාලන ක්‍රියාකාරීන්ගේ බලවත් පෙරැත්තය සමග රාජපක්ෂ ආණ්ඩුව 2011 දී ජර්මානු බැංකුවකින් ලබා ගත් යූරෝ මිලියන 28 (රුපියල් මිලියන 4,000) ක අඩු පොලී ණයක් සහ ජර්මානු ආණ්ඩුවෙන් ලැබුණු ආධාර මුදලක්ද සමග මහමෝදර මාතෘ රෝහලේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළේය.    

 

image 7ed14d14a7           

පරණ දූෂණ වංචා චෝදනා වලට පසු දැන් කතාවද ඒ දෙසටම නැවත ඇඟිල්ල දිගු කෙරෙන්නෙකි. එනිසා ඊට ඉහළින් දැන් මහමෝදර මාතෘ රෝහල් සංකීර්ණය ඔසවා තැබෙන්නේ සියලු නවීන පහසුකම් සහිත සය මහල් යෝධ මාතෘ රෝහල් සංකීර්ණයක් ලෙසින්ය. නේවාසික ප්‍රතිකාර සඳහා ඇඳන් 600 ක් සහිත වාට්ටු 14 ක්ද, නවීන ශල්‍යාලාර 06 ක්ද දැඩි සත්කාර ඒකක 04ක්ද එක් දිනක් ඇතුළත බාහිර රෝගීන් 200 ට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමේ පහසුකම් ඇතැයිද එය දකුණු ආසියාවේ ලොකුම නවීන මාතෘ රෝහල යැයි කීමෙනි. එවැන්නක් ඇත්තටම අවශ්‍යව තිබුණිදැයි කිසිදු ඇගයුමක් කළ බවට වාර්තා නැත. 

ජාතික සෞඛ්‍ය සේවාවේ වැදගත්ම ප්‍රශ්නය වන්නේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෙනුවෙන් අපට අවශ්‍ය වන්නේ මෙවැනි යෝධ රෝහල් සංකීර්ණද නැතිනම් පවුල් සෞඛ්‍ය සේවාව සමග රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවය දියුණු කිරීමද යන්නය. මඳක් ඉතිහාසයට ගියහොත් අවුරුදු 144 ට පෙර ආරම්භ කළ ලංකාවේ පළමු මාතෘ නිවාසය වන ද සොයිසා මාතෘ නිවාසයෙහි මේ වනවිට ඇඳන් 345 ක්ද කාසල් ළමා හා මාතෘ රෝහලේ ඇඳන් 442 ක්ද ඇතුළුව, රට පුරා 550 ට වැඩි රජයේ රෝහල්වල මාතෘ වාට්ටු සතු ඇඳන් දළ වශයෙන් 12,000 ට වැඩියෙන් ඇතැයි අන්තර්ජාල තොරතුරු අනුව ගණන් හැදුවකි. 

 

161579637 211250444121812 398692938305573813 n

අපේ මාතෘ සෞඛ්‍ය සේවාව සංවිධානයවී ඇත්තේ මේ රජයේ රෝහල් වලට පිටතින්ය. සියයට 99 ක් දරු ප්‍රසූතිය සඳහා ආයතන සේවා ලබා ගන්නා නමුත් ගැබිනි මව්වරුන්ගේ සිට දරුවකු වයස අවුරුදු 05 වන තෙක් සෞඛ්‍ය නියාමනයක් කෙරෙන්නේ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවෙනි. මේ රටේ බලාපොරොත්තු නොවිය හැකි මට්ටමක ඉතා කාර්යක්ෂම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ප්‍රශස්ථ ක්ෂේත්‍රගත ප්‍රජා සෞඛ්‍ය සේවාවක් තවමත් ඒ වෙනුවෙන් ඇත. ඒ හේතුවෙන් 1947 දී දරු උපතේදී සිදුවූ මාතෘ මරණ අනුපාතය දරු උපත් 100,000 ට මරණ 1,694 ක් වූ අතර, නිදහසින් පසු 2020 වන විට ඒ සම්බන්ධ දකුණු ආසියාවේ වඩාත්ම වාසනාවන්ත සමාජය ලාංකීය සමාජය බවට පත් කරමින් දරු උපත් 100,000 ට මරණ 30.2 දක්වා අඩු විය. එවගේම උපතේදී සිදුවන ළදරු මරණ 1950 දී 1,000 ට 98.3 ක් වූ නමුත් 2022 වන විට එය 1,000 ට 06.7 දක්වා අඩුවී තිබිණ. 

 

 98580695 32767fbe d25b 46ea 9344 39f3c97f190e

 

දැන් ගැටළුවක්ව ඇත්තේ සමස්ථ රාජ්‍ය සෞඛ්‍ය සේවාවම සමාජයට වගවීමක් නොමැතිව, දූෂණය සමග බිඳ වැටීමෙන් නැවත ළමා මන්දපෝෂණය සහ ඊට අදාල ළමා අවවර්ධන පිළිබඳ ගැටළුය. වයස අවුරුදු 05 ට අඩු ළමුන්ගේ ඌණ බර ප්‍රතිශතය 2016 සියයට 15.6 ක සිට 2023 වන විට සියයට 17.1 දක්වා ක්‍රමානුකූලව ඉහළ ගොස් ඇත. ශාරීරික අව වර්ධිත ළමුන් ප්‍රතිශතය 2021 වන විට සියයට 07.4 දක්වා පහත වැටුණත් 2023 වන විට එය සියයට 10.3 දක්වා ඉහළ ගොස් ඇත. පූර්ව පාසල් අවදියේ (අවු.02 - 05ත්) දරුවන්ගෙන් සියයට 21 ට වැඩි ප්‍රතිශතයක් තවමත් ඌණ බර දරුවන්ය. (සියලු දත්ත  health.gov.lk/statistics  සහ www.macrotrends.net)

එවැනි අව වර්ධන සමග ඇස් පෙනීම, කන් ඇසීම, මුඛ සෞඛ්‍ය වැනි ගැටළුද ඇති වන්නේය. ඒ සියල්ල ළමුන්ගේ අධ්‍යාපනයටද සෘජුව බලපාති. එහෙත් ඒ කිසිවක් රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍ය කාරණා නොවේ. මාතෘ හා ළමා රෝග සඳහා යෝධ රෝහල් සංකීර්ණ ඉල්ලා සිටින ඌණතා නොවේ. ඊට අවශ්‍ය පිළියම් ගැන කතා කළ යුත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ සේවා වැඩි දියුණු කිරීමට අලුතින් එකතු කළ යුත්තේ කවරක්දැයි කියා ය. දියුණු රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවක් යළි තහවුරු කිරීමේ සැළසුම් ගැනය. 

 

phm sessions srl copy 800x450

එවගේම, ඊට අවශ්‍ය දීර්ග කාලීන ස්ථාවර විසඳුම් ඇත්තේ ජාතික වත්කම් හා ආදායම් බෙදී යාමේ විෂමතා ඉවත් කරමින් වත්කම් හා ආදායම් සමස්ථ සමාජයෙහි සාධාරණ ලෙස බෙදී යන ජාතික ආර්ථිකයක් හඳුන්වා දීමෙහිය. පොදු සේවා පහසුකම් පරිහරණය සහ බුක්ති විඳීමේ නාගරික හා ග්‍රාමීය විෂමතා වලින් තොර, ජාතික සංවර්ධන සැළසුමක් ක්‍රියාත්මක කිරීමෙහිය.     

එනිසා සැළසුම් කළ යුතුව ඇත්තේ සියලු නවීන පහසුකම්, තාක්ෂණ ශිල්පීන් සහ විශේෂඥ වෘත්තිකයින් රටේ එක කොණකට එකතු කෙරෙන, දකුණු ආසියාවේ ලොකුම මාතෘ රෝහල් සංකීර්ණ යැයි පම්පොරී ගැසීමට ඉදි කෙරෙන රෝහල් සංකීර්ණ නොවේ. ඒවායෙන් සැපයෙන සේවා සියල්ල එක් දිස්ත්‍රික්කයකට, පළාතකට සීමා වනු ඇත. එනමුත් ඒ වෙනුවෙන් වැය කෙරෙන ණය මුදල ආපසු ගෙවීමට සමස්ථ ජනතාවම හවුල් විය යුතුය. 

 

4555223

එබැවින් ඒ මුදල් වැය කිරීම් සැළසුම් කළ යුතුව ඇත්තේ බහුතර ග්‍රාමීය ජනතාවට සහ නාගරික දිළිඳු සමාජයට අවශ්‍ය අයුරු ඔවුන්ගේ වත්මන් සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමටය. මුදල් සහ සම්පත් වැය කළ යුත්තේ රෝගීන් වැඩිවන තරමට ප්‍රතිකාර කිරීමට නොවේ. රෝගීන් සහ රෝග උපරිමයෙන් අඩු කෙරෙන රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවක් සඳහාය. සියල්ල එක වාක්‍යයකට ගතහොත් අප සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන සෞඛ්‍ය සේවාවක් ලෙස නොව, නිරෝගී සමාජයක් නඩත්තු කර ගැනීම වෙනුවෙන්ය.


kusal(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 මාර්තු 29



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...