The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අපට පින්ලන්තය පැරදවිය හැක

T

The Leader Desk

March 31, 2024 • 6:06 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අපට පින්ලන්තය පැරදවිය හැක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතුව අපේ සිරි ලංකාවට ඒ ස්ථානය දිනා ගැනීමට බොහෝ හේතු කාරණා තිබූ නිසාය.
  • අපේ ජන වහරේ පවතින පින්කම්, පින් තාලි, පින් පඩි, පින් අඩි, පින් බෙහෙත් ශාලා ආදී යෙදුම්වලින්ද අපි පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටින බව පැහැදිලි වේ.
  • අපිට රට පැටවීමට තරම් ඉර එළිය ඇත.
  • සතුටින් සිටින රටවල් අතරින් සිරි ලංකාවට හිමිවී තිබෙන්නේ 112 වැනි ස්ථානය ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට හේතුව අපේ සිරි ලංකාවට ඒ ස්ථානය දිනා ගැනීමට බොහෝ හේතු කාරණා තිබූ නිසාය.

 

acffde64 d556 4065 81af 9aceeb7e3e9a

පින්ලන්තයට වඩා පින් කරන, පින් වඩන, පින් ලබන පින්වතුන් සිටින්නේ සිරි ලංකාවේය. අපේ ජන වහරේ පවතින පින්කම්, පින් තාලි, පින් පඩි, පින් අඩි, පින් බෙහෙත් ශාලා ආදී යෙදුම්වලින්ද අපි පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටින බව පැහැදිලි වේ.

පින්ලන්තය හරිහැටි ඉර එළියවත් නොවැටෙන පට්ට සීතල රටකි. අපිට රට පැටවීමට තරම් ඉර එළිය ඇත. ඒ නිසා සීත රටවල මිනිස්සු රහසේ අපට ඉරිසියා කරති. දවස් කිහිපයක් තදින් පායන විට අපේ මිනින්සු අව්වට බැණ වැදීම වෙන කාරණයකි.

 

lanka happy
සතුටින් සිටින රටවල් අතරින් සිරි ලංකාවට හිමිවී තිබෙන්නේ 112 වැනි ස්ථානය ය. ඊට උඩින් සිටින රටවල් ගැන නොලියන්නේ හිතට දුකක් දැනෙන නිසාය. 

සතුටක් නැති මිනිසුන් සිටින රටවලින් පහළම ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථානයයි. සමහර විට ඔවුන් වැඩිපුරම සතුටු වනු ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සිරි ලංකාව පරදවන අවස්ථාවලදී විය යුතුය. ඒ නිසා ඉඳහිට ඇෆ්ගනිස්ථානයට දිනුමක් දෙකක් දීම ද නරක නැත. එය සිරි ලාංකික දෘෂ්ටියට අනුව පින් අතේ වැඩකි.

 

buddhist 232

පින් කරන තරම ගැන හිතුවොත් දිව්‍ය ලෝකයේ වැඩිපුරම සිටින්නේ සිරි ලාංකිකයන් විය යුතුය. පින්ලන්තයේ මිනිසුන් නම් දිව්‍ය ලෝකයට (ස්වර්ගයට) යාම සඳහා පින් කරන බවක් අපට දැනගන්නට නැත. තමන්ගේ රටේම සතුටින් ජීවත් විය හැකි නිසා ඔවුන් දිව්‍ය ලෝකේ යාම ප්‍රතික්ෂේප කරනවා විය හැකිය. (දිව්‍ය ලෝකයේ පින්ලන්ත පින්වතුන් සිටිනවා දැයි නිසැකව කිව නොහැක්කේ දිව්‍ය ලෝකයේ ගිය කෙනෙක් මෙලොවදී හමුවීම දුෂ්කර බැවිනි.)

අපේ ධර්මයේ කියනා හැටියට නම් පින යනු සැප ය. ඒ අනුව ගත් කල පින්-ලන්තය යනු සැප ලන්තයකි. ඔවුන් සතුටින් සිටින්නේ ඒ නිසාය.

සුඛය ද සැපයට කියන තවත් නමකි. එහෙයින් පින්ලන්තයට සුඛලන්තය යැයි නම් කිරීමටද හැකිය.

 

වීසා කාලය ඉක්මවා රටක රැඳී සිටියහොත් මොකද වෙන්නේ?

බංකොලොත් සිරි ලංකාවේ මිනිස්සු දැන් සිටින්නේ එක කකුලක් වීසා කාර්යාලයේද, අනිත් කකුල ගුවන් තොටුපොළේද තබාගෙනය. සසර වසන තුරු යළි සිරි ලංකාවේම උපදීවා යැයි පතන මිනිස්සු දැන් නැත. ඒ ගීතය දැන් ගැලපෙන්නේ සතුටු දර්ශකයේ මුල් තැන දිනාගත් පින්ලන්ත පින් කෙතේ ජනතාවටය.

finland65

 

ඒ කෙසේ වෙතත් 2048 දී හෝ පින්ලන්තයට තරගයක් දීමට නම් දැන් සිටම අප උපාය මාර්ග සොයාගත යුතුය.

සිරි ලාංකිකයා සතුටින් සිටින ජාතියක් බව ලොවට ඇඟවිය හැකි එක් මාර්ගයක් වන්නේ අපේ එෆ්.එම්. හා ටී.වී. නිවේදක නිවේදිකාවන්ගේ ඇතැම් වැඩසටහන් ඔවුනට දැකබලා ගැනීමට සැලැස්වීමය.

ඔවුන් හැමවිටම සිටින්නේ සිනාසෙමිනි. සතුටිනි. කතා කරනවා වෙනුවට ඔවුන් කරන්නේ සිනාසීමය.

 

laugh
විනෝදාත්මක රුපවාහිනි වැඩසටහන්වලට එන සමහර කලාකරුවෝද මහ රෑ වනතුරුම එකදිගට සිනාසෙති. තම තමන්ගේ පෞද්ගලික කතා කියමින් හඬ නගා සිනාසෙති. අසන්නාට ඉන් පලක් වේදැයි ඔවුහු නොසිතති. නොතකති. ඒ වැඩසටහන් බලා සිටින ලෝකයාට සිතෙනු ඇත්තේ සිරි ලංකාවේ තරම් ජොලියේ සිටින මිනිසුන් පින්ලන්තයේවත් නැති බවය.

හඬ නගා සිනාසෙන්නේ ඇතුළතින් වැළපෙන මිනිසුන් යැයි කියමනක් ඇති බවද මෙහිදී මගේ මතකයට නැගේ.

සිරි ලංකාවට අතීතයේ භාවිත වූයේ වෙනත් නම්ය. ග්‍රීක බසින් කියූ තැප්‍රොබේන් පසුව තමුපණ්නි බවට හැරුණි. සෙරන්ඩිබ්, සෙයිලාන්, ලංකා, ලංකාද්වීප ආදී නාමයන්ද පැරණි ලියැවිලිවල දක්නට ලැබේ. ලංකාව යටත් කරගත් ඉංග්‍රීසින් එය හැඳින්වූයේ 'සිලෝන්' නමිනි. 'සිලෝන් ටී' යනු අදටත් ලෝක ප්‍රකට 'බ්‍රෑන්ඩ්' එකකි. ලංකාව ශ්‍රී ලංකාව වූයේ 1972 දීය. එහි අරමුණ කුමක් වුවත් එතැන් සිට තිබූ සිරියත් නැත්තට නැති වී ගියේය.

Sri Lanka UN

 

දැන් උදා වී ඇත්තේ නැවත වරක් නම වෙනස් කර තිබූ යශෝකීර්තිය යළි උදා කරගත යුතු අවස්ථාවකි. මගේ යෝජනාව වන්නේ පිනාලාගෙන්ම පිරි නැතහොත් පිනටම කැපවුණු ජනතාවක් වෙසෙන හෙයින් සිරි ලංකාව 'පින් ලංකාව' ලෙසින් හැඳින්වීම සුදුසු බවය.

මගේ අවංක අරමුණ පින්ලන්තයට වඩා සතුටින් පිරි ජනතාවක් සිටින්නේ මේ දූපතේ බව ලොවට කියා පෑමය. සමහර විට මගේ යෝජනාව සම්බන්ධයෙන් ලංකාවාසී ඔබට දැනටම සිනා පහළ වෙනවා ඇත.

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...