The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අලුත් අවුරුද්දට මගේම නොවන පැතිගොඩ ආච්චි බලන්න ගියෙමි - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

April 3, 2024 • 8:31 AM

අලුත් අවුරුද්දට මගේම නොවන පැතිගොඩ ආච්චි බලන්න ගියෙමි - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මා ද මීට වසර විස්සකට පමණ ඉහත සිදු කළ එබඳු අපූරු නෑ ගම් යාමක් ගැන සුන්දර මතකයක් මගේ සිත තුළ තිබේ.
  • ඇගේ ඒ කතාව ඇසූ පසු මගේ සිත තුළ ‘පැතිගොඩ ආච්චි’ ගැන පුංචි දුකක් ඇති විය.මා ඒ ගමනට යොමූ වූයේ ඒ කරුණ පදනම් කර ගනිමිනි.
  • ඔහු මරණින් මතු ද උඩවල මුත්තා ලෙසින්ම දේවත්වයට පත් වී ඇත.
  • රාජ්‍ය සේවයෙන් පසු උඩවල මුත්තා ලෙසින් ගැමියන් අතර ප්‍රචලිත වූ ඔහු මරණින් මතු ද උඩවල මුත්තා ලෙසින්ම දේවත්වයට පත් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව මා ද මීට වසර විස්සකට පමණ ඉහත සිදු කළ එබඳු අපූරු නෑ ගම් යාමක් ගැන සුන්දර මතකයක් මගේ සිත තුළ තිබේ. ඒ මට සිටි මගේම නොවන ආච්චි කෙනකුගේ සුව දුක් බැලීමට ය.

ආච්චි නමින් ඇමතුම් ලැබීමට අද සමාජයේ කිසිම කාන්තාවක කැමති නොවනු ඒකාන්ත ය. තත්වය එසේ තිබියදී ‘ආච්චි’ යන නම සහිතව පිදුම් ලබන අප්‍රකට දෙවඟනක පිළිබඳ තොරතුරක් ගම්පහ දිසාවේ බඩල්ගම ප්‍රදේශයෙන් අසා දැන ගත හැකි විය. ඇය හැඳින්වනුයේ ‘පැතිගොඩ ආච්චි’ යන නමිනි. පැතිගොඩ යනු බඩල්ගම ආසන්නයේ බස්නාහිර – වයඹ පළාත් මායිමේ පිහිටි කුඩා ගම්මානයකි. මෙම ‘පැතිගොඩ ආච්චි’ එහි ගැමියන් ගේ ගරු බුහුමන්වලට සහ වන්දනාමාන වලට ලක්වනුයේ පැති‍ගොඩ පුරාණ දේවාල බිමක පිහිටි සුවිසල් නා රුකක් මුල් කරගනිමිනි.

එබැවින් බොහෝ දෙනෙකු නමින් වත් නොදන්නා මෙම අප්‍රකට දෙවඟන; පැතිගොඩ ආච්චිගේ සුවදුක් විමසීම පිණිස සිංහල අලුත් අවුරුදු සමයෙක එහි යාමට මම අදහස් කළෙමි.ඒ එවක සිංහල අලුත් අවුරුදු සමයට එහි ගැමියන් කාටත් මේ ‘පැතිගොඩ ආච්චි’ මතක් වූ බැවිනි.”පැතිගොඩ ආච්චි ගැන තියන විශ්වාසය බොහොම ඉක්මනට හෝදා පාළු වෙනවා.හැබැයි ඉතින් පත්තරේකින් හරි ‘පැතිගොඩ ආච්චි’ට ප්‍රසිද්ධියක් දුන්නොත් ඒ පැත්තෙ මිනිස්සු වත් ආයිත් එයා ගැන කතා කරාවි”එවක මිනු/පැතිගොඩ කනිටු විදුහලේ සේවය කළ ගුරුවරියක මා හා කීවා ය. ඇගේ ඒ කතාව ඇසූ පසු මගේ සිත තුළ ‘පැතිගොඩ ආච්චි’ ගැන පුංචි දුකක් ඇති විය.මා ඒ ගමනට යොමූ වූයේ ඒ කරුණ පදනම් කර ගනිමිනි.

 

muththa ඔහු මරණින් මතු ද උඩවල මුත්තා ලෙසින්ම දේවත්වයට පත් වී ඇත.

පැතිගොඩ ආච්චි පුරාවෘත්තය කල්පිතයක් නොවේ. මේ පැතිගොඩ ආච්චි කෝට්ටේ යුගයේ මෙරට ජීවත් වූ මිනිස් දුවකි. කෝට්ටේ රජ කළ අටවන වීරපරාක්‍රමබාහු හෙවත් අම්බුළුගල කුමාරයා (ක්‍රි.ව 1484-1508) සහ ඔහුගේ පුත් ධර්ම පරාක්‍රමබාහු (ක්‍රි.ව 1508 – 1528) රජ දවස උඩුගම්පල රාජධානිය පාලනය කරන ලද්දේ අටවන වීරපරාක්‍රමබාහු රජුට දාව ඔහුගේ බිසවගේ නැගණියගේ කුසින් මෙලොව එළිය දුටු සකල කලා වල්ලභ රජතුමා ය.මෙම සකල කලා වල්ලභයන්ට සෙන්පතිවරු දෙදෙනෙක් වූහ. ඒ කෙහෙළිබැඳි රාළ සහ උඩවල රාළ යනුවෙනි. රාජ්‍ය සේවයෙන් පසු උඩවල මුත්තා ලෙසින් ගැමියන් අතර ප්‍රචලිත වූ ඔහු මරණින් මතු ද උඩවල මුත්තා ලෙසින්ම දේවත්වයට පත් වී ඇත.


pathigodaඋඩවල මුත්තා ගේ මරණයෙන් පසු මෙම මුත්තම්මා නැවත තම උපන්ගම වන පැතිගොඩට ගොස් ඇති බවට බවට සාක්ෂි තිබේ.

 

මෙම උඩවල මුත්තා සඳහා තැනවුණු දේවාලයක් අද ද මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ ඇති අතර එම ප්‍රදේශයේ ගැමියෝ අදත් බැති සිතින් එම උඩවල මුත්තා පුදති. මෙම උඩවල මුත්තා ගේ බිරිඳ එම ප්‍රදේශයේ ගැමියන් විසින් හඳුන්වනු ලබන්නේ “මුත්තම්මා” ලෙසිනි. එමෙන්ම ඇගේ උපන් ගම පැතිගොඩ බව ද උඩවල මුත්තා පිළිබඳ පුරාණෝක්තිවල සඳහන්ය. කෙසේ හෝ උඩවල මුත්තා ගේ මරණයෙන් පසු මෙම මුත්තම්මා නැවත තම උපන්ගම වන පැතිගොඩට ගොස් ඇති බවට බවට සාක්ෂි තිබේ. ඒ වනවිට සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබූ ඇය එම ප්‍රදේශයේ දී පැතිගොඩ අම්මා සහ පැතිගොඩ ආච්චි ලෙසින් ගැමියන් ගේ ගරු බුහුමන්වලට ලක්ව ඇත.

පැතිගොඩ ආච්චි පිළිබඳ පුරාණෝක්ති වලට අනුව ඇය ඉතා ප්‍රෞඩ ගති ගුණ සහිත කාන්තාවකි. එනිසා එවක එම ප්‍රදේශයේ ගැමියන් තම හේන් කුඹුරුවලින් ලබා ගන්නා අස්වැන්නෙන් කොටසක් සිංහල අලුත් අවුරුද්දට පෙර ඇයට ප්‍රදානය කළ බව පැවසෙයි.එවක ඇය ජීවත් වී ඇත්තේ බස්නාහිර සහ වයඹ පළාත් මායිම් වන මා ඔයට‍ මායිම් වූ මහවට්ටාරම නම් වත්තේ ය. වට්ටාරම යන්නෙහි අදහස වටවූ භූමි ප්‍රදේශය යන්න ය.

DSCF9671උඩවල මුත්තා සඳහා තැනවුණු දේවාලයක් අද ද මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ ඇති අතර එම ප්‍රදේශයේ ගැමියෝ අදත් බැති සිතින් එම උඩවල මුත්තා පුදති

 

ප්‍රදේශයේ කලක් ඇවෑමෙන් වියපත්ව මිය ගිය මෙම ප්‍රභූවරිය පසුව එම වත්තේම පිහිටි සුවිසල් නුග රුකකට අධිගෘහිතව රුක් දෙවඟනක් ලෙසින් උපත ලද බව ගම්මු මා හා කීහ.එහි දී ඇගේ සහ එම නුග රුකේ ආරක්ෂාව පිණිස එම ප්‍රදේශය පුරා සුදු නාගයන් සැරිසැරූ බවත් උන්ගෙන් කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොවූ බවත් ගැමි විශ්වාසයයි. කෙසේ හෝ මේ මහා නුගයේ එක් අත්තක් මා ඔයට නැඹුරු වී තිබූ අතර එය කපා දැමීමට එම වත්ත හිමිකරුට අවශ්‍ය විය. එහෙත්, ඔහු කී අන්දමට පැතිගොඩ ආච්චි වැඩ වාසය කරන එම නුගරුක කපා හෙළීමට කිසිම ගැමියෙක් කැමති නොවූහ. අවසානයේ පැතිගොඩ ආච්චිගේ තේජස ගැන නොදත් දෙමළ කම්කරුවන් යොදා එම නුග අත්ත කපා දැමීමට වතු හිමියා කටයුතු කොට තිබේ. එහෙත් ඒ සමගම ඉන් කිපුණු නාගයන් ප්‍රදේශය පුරා විසිර යන්නට වූ බවත් ඉන් උදහස් වූ පැතිගොඩ ආච්චි ගස කැපීමට සම්බන්ධ වූ සියළු දෙනා වනසා දැමූ බවත් ජනවහරෙහි සඳහන්ය. එසේ වැඩිපුරම නයින් ගැවසුණු මාඔයෙක් එපිට ප්‍රදේශය මුලදි නාගවලාන ලෙස හැදින්වි අද වනවිට නාලවලාන ලෙසින් හැඳින්වෙයි.

p a 2පැතිගොඩ ආච්චි දෙවඟන මෙම නුගරුකයට අරක් ගනිමින් ප්‍රදේශයේ ජනී ජනයාට පිහිටාරක්ෂාව සලසන බව පැරණි ගැමියන්ගේ විශ්වාසයයි.

 

වත්මන් පැතිගොඩ ආච්චි දේවාලය පිහිටි ස්ථානය පුරාණයේ සිට මලල වීරමුණ්ඩ දේවාලයක් තිබී ඇත. එම පැරණි දේවාලයේ නටබුන් තවමත් දැකිය හැක. ඒ කෙසේ හෝ මහවට්ටාරම වත්තේ නුග ගසට හානි සිදු කිරීමත් සමඟ එම මලලවීරමුණ්ඩ දේවාලයට දින පතා රාත්‍රී කාලයන් හි විසිතුරු ආලෝකධාරා පැමිණෙනු බොහෝ දෙනකු දැක තිබේ. පසුව මලලවීරමුණ්ඩ දේවාලයේ පැවැති වාර්ෂික මංගල්‍යයේ දී ආරූඪ වූ කපුවන් මගින් පැතිගොඩ ආච්චි මෙම නුගරුකය වෙත තමන් ගේ සපැමිණීම දන්වා ඇත. එමෙන්ම එතුමියගේ සපැමිණීම හඟවන තවත් අද්භූත සිදුවීම් කිහිපයක් ද එහි සිදුව ඇති බවට ජනප්‍රවාද තිබේ.

එදා මෙදා තුර මෙම පැතිගොඩ ආච්චි දෙවඟන මෙම නුගරුකයට අරක් ගනිමින් ප්‍රදේශයේ ජනී ජනයාට පිහිටාරක්ෂාව සලසන බව පැරණි ගැමියන්ගේ විශ්වාසයයි.

 

 

අතීතයේ ඇය ජීවත් වූ සමයේ සිදුවූ ලෙසින්ම තමන් විසින් වගා කරනු ලබන බව බෝග වල අස්වැන්න ලබා ගන්නා ගැමියෝ ඉන් අග්‍ර භාගය මෙම පැතිගොඩ ආච්චි දෙවඟනට පුද දෙති. එහෙත් ඒ සියලු පූජාවන් අතරින් ඇය කුරහන් රොටී සමඟ අල කොළ මාළුව ප්‍රිය කරන බව ගැමි විශ්වාසයයි.එනිසා එය ඇයට පුජා කිරීමට බොහෝ දෙනෙක් රුචි වූහ.ඒ අනුව එවක පැතිගොඩ ප්‍රදේශයේ ගැමියෝ සිංහල අලුත් අවුරුද්දට පෙරොතුව එළඹෙන මාර්තු මාසයේ දිනයක මෙම පැතිගොඩ දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය සිදු කළහ.නමුත් අද වන විට පැතිගොඩ ආච්චිගේ අලුත්ම තත්වය කුමක්දැයි මම නොදනිමි. ඒ අනුව මා ඔබ ගෙන් ඉල්ලා සිටිනුයේ මෙවට සිංහල අලුත් අවුරුද්ද මුල් කොට හෝ මේ පැති ගොඩ ආච්චි සම්බන්ධ ජන විශ්වාසයනට කුමක් වූයේ ද යන්න පිළිබඳව මඳක් හෝ විපරම් කරන ලෙස ය.මක් නිසා ද ඒවා ද සිංහල අලුත් අවුරුද්ද හා බද්ධ වූ අප ජන විඥානයේම කොටසක් බැවිනි.

Thilak senasinghe
ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...