The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පාසල් යන ඔබේ දරුවාත් මතට ලොල් වෙලා ද?

T

The Leader Desk

April 7, 2024 • 6:35 AM

පාසල් යන ඔබේ දරුවාත් මතට ලොල් වෙලා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කසුන් මීට වසරකට පමණ පෙර භාවිතය නවතා දැමීමට පෙර ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය කිහිපයකි. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ පාසලේ 6 -7 වසරවල සිට ය.
  • පසුගිය වසරේ දෙසැම්බර් සිට විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් පසු ඒ පිළිබඳව සමාජයේ කතා බහක් ඇති වු අතර පාසල් දරුවන් මතට යොමු වීම සම්බන්ධ සිද්ධි ද වාර්තා වී තිබුණි.
  • කසුන් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වී තිබු අතර මේ වන විට ඔහු ඉන් සම්පුර්ණයෙන් මිදි ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ආකාරය හා ඉන් ගැලවී ගෙවන ජීවිතය ගැන අත්දැකිම් බෙදා හදා ගැනීමට බීබීසී සිංහල හා කතා බහකට එක්වුයේ ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලමින්ය.
  • ‘මටත් ආසාවක් ඇති වුණා එක්පීරියන්ස් කරලා බලන්න’ “මාත් එක්ක ඉන්න ළමයි දානවා දැකලා තමයි පුරුදු වුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කසුන් මීට වසරකට පමණ පෙර භාවිතය නවතා දැමීමට පෙර ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය කිහිපයකි. 

උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ පාසලේ 6 -7 වසරවල සිට ය.

පසුගිය වසරේ දෙසැම්බර් සිට විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් පසු ඒ පිළිබඳව සමාජයේ කතා බහක් ඇති වු අතර පාසල් දරුවන් මතට යොමු වීම සම්බන්ධ සිද්ධි ද වාර්තා වී තිබුණි.

කසුන් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වී තිබු අතර මේ වන විට ඔහු ඉන් සම්පුර්ණයෙන් මිදි ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ආකාරය හා ඉන් ගැලවී ගෙවන ජීවිතය ගැන අත්දැකිම් බෙදා හදා ගැනීමට බීබීසී සිංහල හා කතා බහකට එක්වුයේ ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලමින්ය.

කසුන් මෙන්ම මෙම ලිපියට තොරතුරු ලබා දුන් බොහෝ දෙනෙකුගේ අනන්‍යතාවය මෙන්ම පාසල්වල සත්‍ය නම් ගම් අප හෙළි නොකරන්නේ එම පාසල්වල කීර්ති නාමය ආරක්ෂා කිරිමට මෙන්ම තොරතුරු ලබා දුන් අයගේ ආරක්ෂාව වෙනුවෙනි.

‘මටත් ආසාවක් ඇති වුණා එක්පීරියන්ස් කරලා බලන්න’

 

image 1529859935 359a6a6900
“මාත් එක්ක ඉන්න ළමයි දානවා දැකලා තමයි පුරුදු වුණේ. ඒගොල්ලෝ දාද්දි මම නිකම් තනියෙන් වගේ. ඒගොල්ලෝ දානවා දැකලා මටත් ආසාවක් ඇති වුනා එක්පීරියන්ස් කරලා බලන්න. මට ඒ අය බල කරලා නැහැ මම ඉල්ලපු නිසයි දුන්නේ.” පාසලේ 7 වසරේ දී ඉගෙනිම ලබමින් සිටියදී කසුන් මතට යොමු වී ඇත්තේ එසේය.

පාසලේ පන්ති කාමරය තුළ ඉගෙනුම් කටයුතු කරන ලබන අවස්ථාවලදී පවා දුම් කුඩු භාවිතා කර සිටි බව ඔහු සඳහන් කළේය.

ඔහු එවක දී බොරැල්ලේ පිහිටි පාසලක ඉගෙනුම ලබා ඇති අතර උසස් පෙළ සඳහා උතුරු කොළඹ ප්‍රදේශයේ පාසලකට ඇතුළත් වී තිබේ.

පාසල මාරු වුවද කසුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නැවතී නැත. සිදුව ඇත්තේ අලුත් පාසලේ සිසුන් ද සමග එක් වී ඒවා භාවිතා කිරිම ය.

“මම වොෂ් රූම් ගියාම එහෙම දකිනවා පොඩි අය පාවිච්චි කරනවා. දැකලා ඉල්ලා ගත්තා එහෙම තමයි මෙහෙ ඉස්කෝලේ අය සෙට් වුනේ. මමත් ක්ලාස් ගියාම අරන් එනවා, මම ගේන ඒවා ඒ අය එක්ක ෂෙයාර් කරනවා. ඒ අය ගෙනාපුවාම මටත් දෙනවා.”

“දවසක් වොෂ් රූම් යද්දි එකපාරට සර්ලා චෙක් කරන්න ගත්තා. මම මගේ අතේ තිබුණ එක එකපාරට පිටිපස්සට විසික් කළා. හැබැයි ඒක බිත්තියේ වැදිලා ආයේ මගේ කකුල ගාවටම ආවා. ඒකෙන් පස්සේ තමයි සර්ට අහුවුනේ. සර් පොලිසියටත් කතා කළා, අම්මා තාත්තත් ගෙන්නුවා. ගෙනල්ලා පොලිසියට ගිහිල්ලා අවවාද කරලා ලියුමක් අරන් ආයේ ඉස්කෝලේට එව්වා.”

‘ටික ටික පාවිච්චිය නවත්වපු හැටි’

drug 1
මත්ද්‍රව්‍යයක් සමගම කසුන් ගුරුවරුන්ට හසුවු පළමු හා අවසන් අවස්ථාව එයයි. ඉන්පසුව ඔහු මතින් තොර වීමට අදින්ට කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කළේය.

“මිස්ලා, සර්ලා ගොඩක් අවවාද කළා, අනික මනුස්සයෙක්ට මුහුණ දෙන්න බෑ, හකු බැහැලා, හිනා වෙන්න බැහැ, දිගටම එක එක ඒවා පාවිච්චි කරන අයට වෙලා තියෙන දේවල් දැක්කා.”

ඉන් පසුව කෙමෙන් කෙමෙන් මත්ද්‍රව්‍ය භාවිතය අඩු කරන කසුන් අද වන විට සම්පුර්ණයෙන්ම මතින් ඈත් වී සිටි.

“පාවිච්චිය අඩු වුණා. ක්ලාස් යන එකත් නැවතුනා. ඉස්කෝලෝ කොල්ලෝ එහෙම හම්බ වෙන්නෙත් නැහැ. එහෙම අයින් වෙන්න ගත්තාම මට පාවිච්චි කරන්න උවමනාවක් එහෙම ආවේ නැහැ. දුකක් හිතුන වෙලාවට පාවිච්චි කළා. ඒ ඇරෙන්න ඊට පස්සේ කළේ නැහැ. දැන් සම්පුර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ.” යැයි වසරකට පමණ පෙර මත්ද්‍රව්‍ය භාවිත සම්පුර්ණයෙන්ම නවතා දැමු කසුන් පැවසීය.

කසුන් පැවසු පරිදි අමතර පන්තිවලට සහභාගි වු විට තම පාසලේ මිතුරන් මෙන්ම වෙනත් පාසල්වල මිතුරන් සමග තූල්, සිගරට් හෝ ගංජා භාවිතා කරන බව ඔහු සඳහන් කළේය.

පුද්ගලික පන්තිවලදි කොළඹ ඉහළ පෙළේ පාසල්වල දරුවන් ද තමන් හා එක්ව මත්ද්‍රව්‍ය භාවිතා කළ බව ඔහු කියා සිටියේය.

මත්ද්‍රව්‍ය භාවිතයට තරාතිරම, වයස් භේදය හෝ ගැහැනු හා පිරිමි භේදයක් නොමැති බව කසුන් කියා සිටියේ ඔහුගේ අත්දැකිමෙනි.

පොලිසියට නොකියන හේතුව

 

IMG 20221213 065314
කසුන් උසස් පෙළ සඳහා ඇතුළත් වු විදුහලේ විදුහල්පතිවරයා මෙන්ම පාසලේ විනය භාර ගුරුතුමන් ඇතුලු ගුරු මණ්ඩලය ඔවුන්ගේ රාජකාරියට එහා ගොස් මතට ලොල් වු දරුවන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනීමට මහත් වෙහෙසක් දරනු ලබයි.

“අපි බොහෝ වෙලාවට පොලිසියට කියන්නේ නැහැ සිද්ධිය. පොලිසියට කියන්න ඕන විදියට සම්බන්ධ වෙලා තියෙනවා නම් විතරයි පොලිසියට කියන්නේ. අපි බලන්නේ ඊට මෙහා තියෙන ආයතන මාර්ගයෙන් ළමයාව ගොඩ දාන්න පුලුවන් ද කියන එක.” යැයි විදුහල්පතිවරයා බීබීසි සිංහල වෙත පැවසීය.

පොලිසිය යොදා ළමුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වැළැක්විය නොහැකි බව මෙන්ම එය මනෝවිද්‍යාත්මකව වැරදි ක්‍රියාවක් බව කී විදුහල්පතිවරයා උපදේශනය හා ඇතැම් විට පරිසරය වෙනස් කිරිමෙන් දරුවන් ඉන් මුදා ගත හැකි බව පැවසුවේ ඔහුගේ අත්දැකිමෙනි.

“ඉස්පිරිතාලේට ලෙඩෙක් ඇතුලත් කළාම හොඳ කරන්න බැරි වුනොත් ලෙඩා යන්නේ කනත්තටනේ. ඉතින් අපි කනත්තට ගෙනියන්නේ නැහැ. අපි උත්සාහ කරනවා කොහොම හරි ගොඩ දාන්න. ඒක තමයි අපේ දැක්ම අපේ මෙහෙවර අපි ඒකට වග වෙලා ඉන්නවා.”

‘ඇබ්බැහි වෙච්ච දරුවෝ නැහැ’

 

image 19f2990989
අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ, සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර පවසන ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු දරුවන් නොමැති අතර මෙරට පාසල් තුළ සිටිනුයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හෝ අත්හදා බැලු දරුවන් ය.

මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන දරුවන් සිටින පාසල් බහුතරය බස්නාහිර පළාත තුළ පිහිටා ඇති බව ඔහු බීබීසි සිංහල වෙත කියා සිටියේ මතට ලොල් වු දරුවන් සම්බන්ධව අප කරන ලද විමසීමක දී ය.

“බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රිත්කය අංක එක, දෙක ගම්පහ, තුන ගාල්ල, කුරුණෑගල වගේ පැතිවල තියෙන්නේ. ඔය වගේ පැතිවල අමතර පන්ති තියෙනවා ඒ වගේ පැතිවල තමයි තත්ත්වය ඉහළ තියෙන්නේ.” යැයි ඔහු පැවසීය.

“ගොඩක් තැන්වල තියෙන්නේ තූල් කියන එක, දැන් මේ ඊ සිගරට් කියනවා ඒවා පාවිච්චි වෙනවා. ඒවා පාසල්ම නෙමෙයි කැම්පස්වල ළමයි තමයි පාවිච්චි කරන්නේ.” යනුවෙන් දරුවන් අතර වැඩි වශයෙන් භාවිතා වන මත්ද්‍රව්‍ය සම්බන්ධව ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර සඳහන් කළේය.

දොරටු මත්ද්‍රව්‍ය

mava
අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය හදුනාගෙන ඇති පරිදි මෙරට පාසල් දරුවන් හෙරොයින් හෝ අයිස් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව නැති අතර ඔවුන් භාවිතා කරනුයේ තූල්, විවිධ බුලත් විට වර්ග, පෙති වර්ග වැනි දොරටු මත්ද්‍රව්‍යය ය.

කලාපයේ අනෙකුත් රටවල් හා සලකා බැලිමේ දී මෙරට මත්ද්‍රව්‍ය භාවිතය හුරු වු දරුවන් ප්‍රමාණය ඉතාම අඩු බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ, සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර කියා සිටියේය.

හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පාසල් දරුවෝ ඉන්නවා ද?

“මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝම තමයි ඊළඟ සෙට් එක ඒගොල්ලන් ඩ්‍රග්ස්වලට හුරු කරගන්න බාල අවධියේ යම් යම් මත්වෙන දේවල්වලට හුරු කරගන්න කරන දේවල්නේ මේ.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය.

හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පාසල් දරුවන් හමුවී නැති තරම්ම බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම උවදුර ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදී පාලනය කර ගැනීමට හැකි වී ඇති බව ද සඳහන් කළේය.

යුක්තියට සමගාමීව “පවුර සංසදය”

 

FkeaQybUcAAy8Lr
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව “පවුර සංසදය” නිර්මාණය කරන ලද්දේ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම වැළැක්වීමට බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

“පවුර සංසදයේ ඉන්නවා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරු, ශිෂ්‍ය නායකයෝ, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, අවට ඉන්න ප්‍රභූවරු සහ එවැනි කණ්ඩායම් සහ පොලිස් නිලධාරියෙක් මේකේ ඉන්නවා. අවට ඉන්න අය එකතු කරලා සංසදයක් හැදුවාම පාසල සහ ගමට වගකීමක් භාර වෙනවා. එතකොට තොරතුරක් තියෙනවා නම් දෙනවා. ඒ වගේම ඒ ගැන සැලකිල්ලෙන් හොයාලා බලනවා.”

දැනට පාසල් 5000කට වැඩි පාසල් සංඛ්‍යාවක පවුර සංසදය නිර්මාණය කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේය.

එම සංසදයේ ප්‍රතිඵල ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා පාසල් අවට වෙළඳසැල්වල මත්ද්‍රව්‍ය සහිත දේවල් නැති තත්වයට පත්ව ඇතැයි කියා සිටියේය.

මෙම ලිපියේ ප්‍රධාන කතා නායකයා වු කසුන් බීබීසි සිංහල සේවයට මුණ ගැසුනේ ඔහු අවසන් වරට අකුරු කෙරු පාසලේ විනය භාර ගුරුතුමා මාර්ගයෙනි.

උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔහු දැනට මෙරට පිහිටි ජාත්‍යන්තර අවන්හලක පුහුණු සේවයකු ලෙස සේවය කරනු ලබයි. අප හමුවීමට කලකට පසු පාසලට පැමිණි පසුව පාසලේ ගුරුවරුන්ගෙන් ලැබුන ආදරණීය පිළිගැනීම ගැන කසුන්ට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

“මටත් ඕනේ කාව හරි හදන්න. මේක බලලා, දැකලා එක්කෙන් හරි හැදුනොත් මට ඇති.” කසුන් බීබීසි සිංහල සේවය සමග පැයක පමණ කළ කතා බහ නිම කරමින් කියා සිටියේය.

(BBC සිංහල සේවය )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...