The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අවුරුදු නැකත: නැකත් සිට්ටුව හා සැමරීම් සම්ප්‍රදාය ආරම්භ වූයේ කවදා ද?

T

The Leader Desk

April 9, 2024 • 10:40 AM

අවුරුදු නැකත: නැකත් සිට්ටුව හා සැමරීම් සම්ප්‍රදාය ආරම්භ වූයේ කවදා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුදෙන් වට වූ කුඩා දිවයිනක් වන සුන්දර ශ්‍රී ලංකාවේ ජීවත් වන බහුතරයක් ජනතාව අවුරුදු උදාව සමරන්නේ අප්‍රේල් මාසයේ දී ය.
  • සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමත් සමඟ නව වසරක ආරම්භය සනිටුහන් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
  • සෘතු භේදය අන් රටවල මෙන් නිරීක්ෂණය කළ නොහැකි වුවත් වසන්ත ඍතුවක ස්වභාවය කැටිකරගත් අප්‍රේල් මාසයේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම පදනම් වී ඇත්තේ ජ්‍යොතිෂය මත සැකසුණු නැකැත් චාරිත්‍ර මතයි.
  • රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඒ සඳහා නැකැත් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන අතර එම නැකැත් රටට අහිතකර බව පවසමින් වෙනත් කණ්ඩායමක් තවත් නැකැත් කිහිපයක් යෝජනා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
මුහුදෙන් වට වූ කුඩා දිවයිනක් වන සුන්දර ශ්‍රී ලංකාවේ ජීවත් වන බහුතරයක් ජනතාව අවුරුදු උදාව සමරන්නේ අප්‍රේල් මාසයේ දී ය. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමත් සමඟ නව වසරක ආරම්භය සනිටුහන් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. දුර ඈත අතීතයේ සිට වගාවන්හි අස්වනු නෙලා, කිරට නැමුණු රන්වන් ගොයම් කපා රට වැසියන් නව අවුරුදු උදාවට සූදානම් වෙද්දී, පරිසරය ද නව පනක් ලැබුවා සේ රත් පැහැ එරබදු මලින් පමණක් නොව විවිධ පැහැ මල් පිපී කොහාගේ කොහෝ කොහෝ යන මියුරු නදින් ඇලලී යයි.
 
සෘතු භේදය අන් රටවල මෙන් නිරීක්ෂණය කළ නොහැකි වුවත් වසන්ත ඍතුවක ස්වභාවය කැටිකරගත් අප්‍රේල් මාසයේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම පදනම් වී ඇත්තේ ජ්‍යොතිෂය මත සැකසුණු නැකැත් චාරිත්‍ර මතයි.
 
sp 3
අප්‍රේල් මාසයේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම පදනම් වී ඇත්තේ ජ්‍යොතිෂය මත සැකසුණු නැකැත් චාරිත්‍ර මතය
 
නැකැත් විවාදය

අධික අවුරුද්දක් වන මේ වසරේ පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද යන දෙදින අප්‍රේල් 12 සහ 13 වන දින ලෙස නිවේදනය කර තිබේ.

රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඒ සඳහා නැකැත් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන අතර එම නැකැත් රටට අහිතකර බව පවසමින් වෙනත් කණ්ඩායමක් තවත් නැකැත් කිහිපයක් යෝජනා කර තිබේ. මෙම තත්ත්වය විවාදයකට තුඩු දී ඇති අතර බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ මුලින්ම රාජ්‍ය නැකැත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කළ නැකත් නිවැරදි බවට ය.

අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් මෙවැනි උනන්දුවක් සහ කතාබහක් නිර්මාණය වී ඇති වටපිටාවක් තුළ අලුත් අවුරුදු නැකැත් ආරම්භය සිදු වූයේ කෙසේදැයි යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදු කරන ලදී.

1993න් ඇරඹි සම්ප්‍රදාය

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඇතුළත් ලියවිල්ල සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලෙස ය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති ආකාරයට "ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකැත් කමිටුව රැස්වී අදාළ වර්ෂය සඳහා වන නැකැත් සීට්ටුව සකසා ප්‍රසිද්ධ කිරීම" සම්ප්‍රදායක් වශයෙන් ආරම්භ වී තිබෙන්නේ 1993 වසරේ දීයි.

එලෙස සකස් කරන නැකැත් සීට්ටුව රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්ගේ අත්සනින් යුතුව විෂය භාර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කෙරෙන අතර විෂය භාර අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ පසු එය ප්‍රසිද්ධ කෙරේ. සාමාන්‍යයෙන් නව කැලැන්ඩර් වර්ෂයක් ආරම්භ වීමට මාස කිහිපයකට පෙර මෙලෙස නැකැත් සීට්ටුව ප්‍රසිද්ධ කරනු ලබයි.

නව වර්ෂයක් ආරම්භ වීමට ප්‍රථම මගතොටේ, කඩපිළේ සැම තැනකම පාහේ නව වසරට අදාල ලිත් විකිණීම සුලභ දර්ශනයකි. මෙම ලිත් අතුරින් ප්‍රසිද්ධම ලිත වන්නේ ඈපා පංචාංග ලිත ය.
 
sp 5
වත්මන් සම්ප්‍රදායට අනුව අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ වන්නේ කෝට්ටේ යුගයේදී බව කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේය
 
පුස්කොළවල ලියැවුණු නැකැත් සීට්ටු ඉතිහාසය

පුස්කොළ පොත් ලිවීමට ගන්නා තල්පත්වල ලියා දුන් නැකැත් ලේඛනය නැකැත් සීට්ටුව ලෙස නම් ලද බව ජනශ්‍රැතිවේදී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පවසයි.

"අතීතයේ ලිත් තිබුණේ නෑ තමයි. නමුත් නැකැත් සීට්ටු පිළිවෙතක් තිබුණා. පුස්කොළ පොත් ලිවීමට ගන්නා තල්පත්වල තමයි නැකැත් සීට්ටුව ලිවීම සිදු කළේ. මේ විදිහට තල්පතේ නැකැත් ලියා දීම හැඳින්වූයේ නැකැත් සීට්ටුව කියලා," කථිකාචාර්යවරයා පැහැදිලි කළේ ය.

පළමු ලිත - 1863

ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය ආරම්භ වීමත් සමග ලිත් මුද්‍රණය ඇරඹි බව ඔහු පෙන්වා දුන්නේය.

"පළමු ලිත මුද්‍රණය වන්නේ 1863දියි. පංචාංග ලිත කියන නමින් තමයි මුලින්ම මුද්‍රණය වෙන්නේ."

"ටික කාලයකට පසුව ඈපා ලිත මුද්‍රණය වීමට පටන් ගන්නවා. සමහර අයගේ මතයක් තියෙනවා පංචාංග ලිතට කලින් මුද්‍රණය වුණේ ඈපා ලිත කියලා. ලිත් මුද්‍රණය පටන් ගැනීමත් සමග සමග අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ල ලිත තුළ මුද්‍රණය කරලා බෙදා හැරීම සිදු කළා," කථිකාචාර්යවරයා පවසයි.
 
epa litha
මෙරට පළමු ලිත මුද්‍රණය වන්නේ 1863දියි 
 
අතීතයේදී නැකැත් රාළවරුන් සැදූ නැකැත් සීට්ටුව

එක් එක් ප්‍රදේශවල ජීවත් වූ නැකැත් රාළවරුන් අලුත් අවුරුදු නැකැත් සකසා තල්පත්වල ලියා ඔවුන් වෙත එන ජනතාවට නැකැත් සීට්ටුව ලබා දීම, මුද්‍රණ කර්මාන්තය ඇරඹීමට පෙර ශ්‍රී ලංකාව තුළ පැවති සම්ප්‍රදාය බව කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පවසයි.

"නැකැත් රාළවරුන්ගේ රාජකාරිය වෙලා තිබුණේ ජ්‍යෝතීර්වේදීන්ගේ කාර්යභාරයයි. මේ නැකැත් රාළවරුන් තමයි බක්මහේ අලුත් අවුරුද්දට අදාළ සියලුම නැකැත් පිළියෙල කළේ. ඉතින් මේ ප්‍රදේශවල ජීවත් වෙන අය නැකැත් රාළ හමුවෙන්න ගිහින් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ඉල්ලාගන්නවා. තෙල් වලං ලිප තියෙන නැකතේ සිට පිළිවෙලින් සියලු නැකැත් ටික මේ නැකැත් සීට්ටුවේ අඩංගු වෙනවා," ඔහු පැවසුවේ ය.

"රෝපණ නැකත, අලුත් අවුරුදු අත්හැරීමේ නැකත පවා මේ තුළ අඩංගු වෙලා තිබුණා. පිළිපදින්නේ නෑ. වර්තමානයේ දී අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් කිහිපයකට පමණක් ලඝු වෙලා තිබෙනවා."

කෝට්ටේ යුගයෙන් ඇරඹි සම්ප්‍රදාය

වත්මන් සම්ප්‍රදායට අනුව අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ වන්නේ කෝට්ටේ යුගයේදී බව කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේය.

"වර්තමානයේ අපි සමරන අලුත් අවුරුද්ද සූර්ය කේන්ද්‍රීය උත්සවයක්. නමුත් මේ සූර්ය කේන්ද්‍රීය අවුරුදු සැමරුම අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, ගඟ සිරිපුර යන කිසිම රාජධානි කාලයක දකින්න ලැබෙන්නේ නැ. මුලින්ම මේ සූර්ය කේන්ද්‍රීය අවුරුදු සැමරුම පැවැත්වූවා කියන මූලාශ්‍ර අපට හමුවන්නේ කෝට්ටේ යුගයේ සයවන පරාක්‍රමබාහු රජු සමයේදීයි."

"කෝට්ටේ අවධිය කියලා කියන්නේ විවිධ ආගම් සහ සංස්කෘතීන් එකට එකතු වුණු අපූරු අවධියක්. ඒ කාලයේදී මේ පිළිවෙත් අනුගමනය කරලා තිබෙනවා. 

මීළඟට ආරම්භ වන සෙංකඩගල රාජධානි සමයේදී තමයි වර්තමානයේදී අපි සමරන සියලුම අලුත් අවුරුදු චාරිත්‍ර විධි සූර්ය කේන්ද්‍රීයව තහවුරු වෙලා සනිටුහන් වෙන්නේ. සෙංකඩගල රාජධානිය බිඳ වැටුණාටත් පසුව පටන් අද දක්වාම අපි පවත්වාගෙන ඇවිත් තිබෙන්නේ ඒ නැකැත් සම්ප්‍රදාය," ඔහු පෙන්වා දුන්නේ ය.
 
new 34
 
"වර්තමානයේ අපි සමරන අලුත් අවුරුද්ද සූර්ය කේන්ද්‍රීය උත්සවයක්. නමුත් මේ සූර්ය කේන්ද්‍රීය අවුරුදු සැමරුම අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, ගඟ සිරිපුර යන කිසිම රාජධානි කාලයක දකින්න ලැබෙන්නේ නැ" (Getty Images)
 
දුරාතීතයේදී චන්ද්‍රයාට අනුව සැකැසුණු නැකැත් කෙළිය

සූර්ය කේන්ද්‍රීය වර්ෂ ක්‍රමය වන ශක වර්ෂ ක්‍රමයට පෙර දුරාතීතයේදී ජනතාව චන්ද්‍රයා මූලික කරගත් සම්ප්‍රදායක් අනුගමනය කළ බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි.

වර්තමානයේ බක් මහා අලුත් අවුරුදු සැමරුමට සමාන සැමරුම අතීතයේදී සිදු වූයේ චන්ද්‍ර සම්ප්‍රදායට අනුව "නැකැත් කෙළිය" නමින් බව ඔහු පැවසුවේය.

"චන්ද්‍රයා ගමන් කිරීමේදී පුර පස හා අව පස යනුවෙන් පස දෙකක් තිබෙනවා. මූලාශ්‍ර වලට අනුව අතීත මුතුන් මිත්තන් හිරුට සැලකුවේ රජු විදිහට. ඒ වගේම මිනිස්සු සඳටත් ගරු කළා. රාත්‍රියට තිබුණු එකම ආලෝකය වුණේ සඳ එළිය. ඒවගේම සඳේ ගමන් රටාව අනුව ගොවිතැන් කිරීම සහ ජීවන රටාව බැඳිලා තිබුණා. මේ දේවල් වලට අනුකූලව තමයි අතීතයේදී නැකැත් කෙළිය කියන සම්ප්‍රදාය පැවතුණේ. ඒ කියන්නේ අපි අතීතයේදී සිට නැකැත් ක්‍රමයක් අනුගමනය කරලා තිබෙනවා. නමුත් එය වර්තමාන ශක රාජ වර්ෂ නැකැත් ක්‍රමයට වඩා වෙනස් නැකැත් ක්‍රමයක්," කථිකාචාර්යවරයා පැහැදිලි කළේය.

අතීතයේ තිබූ වත්මනේ නැති නැකත් මොනව ද?

බීබීසී සිංහල විසින් කථිකාචාර්ය මහින්ද කුමාර දළු පොත ගෙන් විමසා සිටියේ අතීතයේ පැවති නමුත් වර්තමානයේ එතරම් පිළිනොපදින නැකැත් මොනවාද යන්නයි.

එමෙන් ම එසේ නැකැත් මඟ හැරී යාමට ද හේතුව විමසන ලදි. එයට ඔහු ලබා දුන්නේ මෙවැනි පැහැදිලි කිරීමකි.

"ලිත මුද්‍රණය කිරීමේදී ඈපා අප්පුහාමිට සිදුවෙනවා වසර පුරාම තිබෙන සියලුම වැදගත් නැකැත් එක කොළයකට අරගෙන මුද්‍රණය කරන්න. අලුත් අවුරුද්දට අදාල විවිධ පළාත්වල තිබෙන පළාත්බද නැකැත් සියල්ල මේ තනි පිටුවට ගන්න බැරිවෙනවා. ඒ නිසා ඔහු එක් දිනයකට දෙකකට පමණක් සීමා වූ නැකැත් කිහිපයක් පමණක් ලිතේ මුද්‍රණය කරලා අනෙක් නැකැත් ටික අතහරිනවා."

"ඒ වගේම 1896 වර්ෂයේදී සිංහල බෞද්ධ ව්‍යාපාරය නිදහස ලබා ගැනීම ඉලක්ක කර ගෙන කර ගෙන අලුත් අවුරුදු උත්සවයක් පවත්වන්න යෝජනා කරනවා. 

එහි මුහුණුවර අපි වර්තමානය දක්වා දකිනවා. ඒ සමරුමත් එක දවසකට ලඝු වෙනවා. මෙන්න මේ කාරණා දෙක නිසාම සමහර නැකැත් මගහැරීම ආරම්භ වෙනවා," කථිකාචාර්යවරයා හේතුව පැහැදිලි කළේ ය.

"අපේ සියලුම නැකත් ඉටු කරන්න සති දෙකකටත් සති තුනකටත් ආසන්න කාලයක් ගත වුණා."

තෙල් වළං ලිප තැබීමේ නැකත වත්මනේ පිළිනොපදින චාරිත්‍රයක් බව ඔහු පෙන්වා දුන්නේය.

"තෙල් වලං ලිප තැබීමේ චාරිත්‍රය සිදු කරන්නේ අවුරුදු උදාවට කලින්. ඒ වගේම කලින් සිදුකරන චාරිත්‍රයක් තමයි දුර සිටින දෙමව්පියන් බලලා එන්න යන නැකත. ඒ වගේ ම අවුරුදු ශබ්ද පූජා නැකත කියලා නැකතක් තිබුණා. බෙර, දවුල් වාදනය කිරීම ඒ නැකතේ දී සිදු කළා. කුණු මුත්තා පිදීම, රෝපණ නැකත, අවුරුදු ගෙවැදුම් නැකත, අස්වනු නෙළීමෙන් පසුව කරන කිරි ඉතුරුම් මංගල්ල නැකත ඇතුළු ප්‍රාදේශීය වශයෙන් අනන්‍ය වූ බොහෝ නැකැත් වර්තමානය වන විට මගහැරිලා තිබෙනවා."

මෙවැනි නැකැත් වර්තමානය වන විට අත්හැරී තිබුණත් ඒවා අපගේ සංස්කෘතිය හා අනන්‍ය වූ වටිනා චාරිත්‍ර විධි බව කථිකාචාර්ය දළුපොත පැවසීය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවුරුදු නැකත: නැකත් සිට්ටුව හා සැමරීම් සම්ප්‍රදාය ආරම්භ වූයේ කවදා ද? | The Leader