එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාලන රැස්වීම් සඳහා දේශපාලන පක්ෂ සූදානමින් සිටින බව පෙන්නුම් කරමින් තිබේ. මෙවර මැයි පළමු වැනිදා යනු ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රධාන දේශපාලන ‘ශක්තිය’ පෙන්වීමේ අවස්ථාවක් බැවින් එම රැස්වීම් ‘‘පුළුවන්තරම් ලොකුවට’’ කරන්නට ඒ ඒ පක්ෂ සූදානම්වීම තේරුම් ගත හැකි තත්වයකි.
මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ ඉදිරි සති කීපය තුළ රටේ සාකච්ඡාවට ගත යුතු ප්‍රධාන ප්‍රශ්න කීපයක් පිළිබඳවය. මේ ප්‍රශ්න කීපය එකිනෙකට සම්බන්ධ වූ ඒවා නොවේ. එහෙත් දේශපාලන වශයෙන් සාකච්ඡාවට ගත යුතු වැදගත් ප්‍රශ්න කීපයක්ය.
1. ආණ්ඩුවට අභියෝග නොකරන විපක්ෂය

මේ දිනවල දේශපාලන රැස්වීම්වල කතා කෙරෙන එක් මාතෘකාවක් වන්නේ ප්‍රධාන විපක්ෂ ධාරාව වන සමගි ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ කණ්ඩායම විසින් ජාතික ජන බලවේගයේ ආර්ථික උපදේශකයින්ට ‘‘වාදයකට’’ ආරාධනා කෙරෙන අභියෝගයයි. මේ අභියෝගය ගැන විවිධ ආකාරයේ ‘‘වහසි බස්’’ කියන ආකාරයක්ද ඒ සමගින්ම මතු වී ඇත.
මේ වාදය පිළිබඳව සාකච්ඡාව හරහා පෙන්නුම් කරන එක් විශේෂ කාරණයක් වන්නේ රටේ දේශපාලන සංවාදයේ මෙතෙක් සිදු නොවූ බරපතළ ‘‘අමුතු දෙයක්’’ සිදු වෙමින් පවතින බවයි. ඒ අමුතු දෙය වන්නේ විපක්ෂයේ ප්‍රධාන බලවේගය ලෙසින් ස.ජ.බ. පක්ෂය තමන්ගේ දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ආණ්ඩුව නොව විපක්ෂයේ වෙනත් පක්ෂයක් යැයි පෙන්නුම් කිරීමය.
මෙය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පෙන්නුම් කළ කාරණයක් නොවේ. වෙනදාට අපි දැක්කේ ප්‍රධාන විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරන අවස්ථාය. ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ වැරදි යැයි පවසන අවස්ථාය. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වශයෙන් ආණ්ඩුවට අභියෝග කරන අවස්ථාවන් සහ ආණ්ඩුව මතවාදී තලයේ පරාජයට පත් කරමින් ‘‘බිත්තියට හේත්තු’’ කිරීමට උත්සාහ දරන අවස්ථාය.
එහෙත් මෙවර සිදුවෙමින් පවතින්නේ රටේ ප්‍රධාන විපක්ෂය ‘‘ආණ්ඩුවට අභියෝග කරන්නේ නැති’’ තත්වයක සිට අනෙකුත් විපක්ෂ බලවේගයන්ට ‘‘සටනට ආරාධනා කරන’’ තත්වයක්ය.

ස.ජ.බ. පක්ෂයේ නායකත්වය හැමවිටම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අභියෝග කරන බව සැබෑවක්ය. එහෙත් එම පක්ෂයේ ආර්ථික කවුන්සිලය පෙන්නුම් කරන්නේ ‘‘තමන්ගේ ප්‍රතිවාදියා ආණ්ඩුව නොවේ’’ යන ස්ථාවර යයි. මේ තත්වය වෙනස් කරන්නේ නැතිව ඉදිරි ජනාධිපතිවරණය ආණ්ඩුව පැරදවිය යුතු යැයි තර්ක කිරීමේ හැකියාවක් නොමැති බව මාගේ අදහසයි.

ආණ්ඩුවේ ආර්ථික න්‍යායපත්‍රය ඉතාමත් පැහැදිලිය. ඒ අයට අලුත් ආර්ථික උපාය මාර්ගයක් නොමැතිව පමණක් නොව ගමන් කරමින් සිටින මෙන්ම රට ආර්ථික වශයෙන් කඩා වැටුණු මාවතේ මය. මා නිතර සාකච්ඡා කර ඇති පරිදි අපේ රටේ ආර්ථිකය මේ කඩා වැටීමට ලක් වූයේ ‘‘ආර්ථික ක්‍රියාකාරකම්’’ සම්බන්ධව පසුගිය වසර 45 තුළ ගනු ලැබූ මූලික බරපතළ ප්‍රතිපත්ති වැරදි ගණනාවක්ම නිසාය. රටේ විදේශ මුල්‍ය ශක්‍යතාවය හැම වසරේම ඍණ අගයක් ගත් අතර ඒ හිඟය පියවීමට ඒ ඒ ආණ්ඩු සිදු කළේ ‘‘හැකි හැම තැතින්ම ඩොලර් ණය’’ ගැනීම්ය. ගෙවුම් ශේෂ අර්බුදය පියවන්නට ණය ගැනීම හැර අලුත් ක්‍රියාමාර්ග ඒ කිසිම ආණ්ඩුවකට තිබුණේ නැත.

අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ වියදම පියවා ගැනීමට තරම් දේශීය මුල්‍ය ශක්‍යතාවක් පසුගිය වසර 45 ආණ්ඩුවලට තිබුණේ නැත. ඒ නිසා ඒ හැම ආණ්ඩුවක්ම ආණ්ඩුවේ අය-වැය හිඟය පියවා ගන්නේ බරපතළ ආකාරයේ දේශීය ණය කන්දක් නිර්මාණය කරමින්ය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරමින් රට තුළ අසමමිතික ලෙස මුදල් මැවීම සිදු කළේ ආණ්ඩුවේ අය-වැය හිඟය පියවන්නට කියාය. 2021 වර්ෂයේ (ගෝඨාභය මහතාගේ අවසාන වර්ෂයේ පමණක්) රුපියල් බිලියන දෙදහසකට අධික මුදල් ප්‍රමාණයක් මේ ආකාරයෙන් ‘‘අලුතින්’’ එකතු- කර ඇති බව මහ බැංකුව පෙන්වාදී ඇත. වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ පැරණි වැරදුණු පාරේම යළිත් වටයකින් ඉදිරියට යාමට උත්සාහ කිරීම්ය.

දැන් ප්‍රධාන විපක්ෂයේ ආර්ථික කවුන්සිලය රට හමුවේ අභියෝග කළ යුත්තේ මේ වැරදි ආර්ථික ක්‍රියාදාමයට එරෙහිව මිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ ආරක්ෂා වන ආකාරයෙන් නොවේ. එහෙත් මෙහිදී පෙනී යන බරපතළ කාරණය වන්නේ එවැනි අභියෝගයක් මතු නොවීමය. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය කියන්නට උත්සාහ ගන්නේ ‘‘වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ස.ජ.බ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය අතර වෙනසක් නැතැයි’’ යන මතය දැයි මා දන්නේ නැත. එය එසේ නම් මේ ආණ්ඩුව පරාජයට පත් කළ යුතු යැයි ජනතාව ඉදිරියේ කියා පෑමේ ඉඩක් විපක්ෂයට ලැබෙන්නේ නැත.
ඒ නිසා මතුවී තිබෙන ‘‘ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සංවාදය’’ කළ යුත්තේ විපක්ෂය සහ ආණ්ඩුව අතර මිස ‘‘ආණ්ඩුව පැත්තකින් තියා’’ විපක්ෂයේ පක්ෂ අතර පමණක් නොවේ.
2. IMF යෝජනා පනතක් කිරීම

‘‘යන යකා කොරහත් බිඳගෙන යනවා’’යැයි කියමනක් රටේ ඇත. මේ කරන්නේ එවැනි ක්‍රියාවකි. ආණ්ඩුවේ පැවැත්ම ඉදිරියේදී අභියෝගයට ලක්විය හැකි නිසා මේ වැරදි ආර්ථික ක්‍රියාදාමය එසේම කරගෙන යන්නට අනාගත ආණ්ඩුවලට බලකෙරෙන ආකාරයෙන් නීතියක් හදන්නට IMF එකෙන් උපදෙස් ලැබී ඇත්දැයි මා දන්නේ නැත.

රටක ආර්ථික උපාය මාර්ග ඒ ඒ කාලවලට අනුව වෙනස් විය හැකි දෙයක් මිස ‘‘ගලේ කෙටූ අකුරක්’’ මෙන් තිබෙන එකක් නොවේ. පසුගිය මහ බැංකු පනත සම්මත කිරීමේදී ආණ්ඩුවේ ප්‍රධානීන් කීවේ රටේ මුල්‍ය ප්‍රතිපත්තිය හෙවත් monetry pohcy එක මහ බැංකුව සතු බලයක් විය යුතු බවත් රටේ මූලික ආර්ථික ප්‍රතිපත්තිය හෙවත් Fiscal Poliy එක ඒ ඒ කාලවල ජනතාව සහ ආණ්ඩු තීරණය කළ යුතු දෙයක් බවය. (මේ නිර්වධනයටත් මම එකඟ නැත. එහෙත් ඒ අය කීවේ එසේය.)

3.පෞද්ගලිකකරණය ඉබාගාතේ යාම

මා මතු කරන තුන්වන ප්‍රශ්නය වන්නේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය සම්බන්ධ ආණ්ඩුවේ ක්‍රියාදාමයයි. වත්මන් ආණ්ඩුව උත්සාහ ගන්නේ ‘‘අහම්බෙන් තමන්ගේ අතට පත්වූ බලයෙන්’’ උපරිම ප්‍රයෝජන ගනිමින් හැකි සෑම රාජ්‍ය ව්‍යවසායක්ම පෞද්ගලීකරණය කිරීමට උත්සාහ දැරීමයි. ආණ්ඩුව මේ සඳහා ලේකම් කාර්යාලයක්ද පිහිටුවා ඇත. එම ලේකම් කාර්යාලයේ ලැයිස්තුවට රාජ්‍ය ව්‍යවසායන් 52ක් තිබේ යැයි කියනු ලැබේ.
මේ ආයතන 52 ලැයිස්තුව යනු නියම විගණනයක් හරහා පාඩු ලබන ආයතන ලෙස සොයා ගත් ආයතන 52ක් නොව මුදල් අමාත්‍යාංශයේ Fiscal managmint Repovt එකේ තිබෙන රජයේ ආයතන 52ක්ය. මේ ආයතන 52කට මහජන බැංකුව, ලංකා බැංකුව, වරාය අධිකාරිය, සේවක භාරකාර අරමුදල වැනි කිසිදු පාඩුවක් පසුගිය වසර ගණනාව තුළදීම නොපෙන්නූ, ආයතනත් තිබේ. මේ ආයතන 52න් 28ක්ම 2023 වර්ෂයේත් ලාබ ලැබූ ඒවා බව මුදල් අමාත්‍යංශය තහවුරු කර ඇත. මෙතන සිදුකර තිබෙන්නේ බරපතළ ලෙසින් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ආයතන කිහිපයක් මේ ලැයිස්තුවට දමා ලාබ-පාඩු එකතු කර ආයතන 52 ලැයිස්තුවේ ඒකාබද්ධ පාඩුවක් පෙන්වා ඒ ආයතන සියල්ලම පෞද්ගලීකරණය කරන්නට උත්සාහ කිරීමය.

මීට අමතරව නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්මත කරගැනීම හරහා එම ආයතනය සතු සම්ප්‍රේක්ෂණ ක්‍රියාදාමය සඳහා පෞද්ගලික කොම්පැනි පිහිටවීම සැලසුම් කර ඇත.
වත්මන් ආණ්ඩුවේ පෞද්ගලිකරණ ව්‍යාපෘතිය සිදු කරන්නට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ තමන්ගේ මැතිවරණ ප්‍රකාශයට මේ ආයතන ලැයිස්තුව ඇතුළත් කර ජනතාවගේ අනුමැතියක් ලබා ගැනීමය. එසේ නොමැතිව ‘අන්තර් වාර කාලයක’ සිටින ආණ්ඩුවක් සිදු නොකළ යුතු බරපතළ වැඩක් ලෙසින් මේ පෞද්ගලිකකරණ ව්‍යාපෘතිය සැළකිය යුතු බවත් එය පරාජයට පත් කළ යුතු බවත් මගේ යෝජනාවය.

ඉහතින් සඳහන් කළ ප්‍රශ්න 03 ටම අදාළ මහා පොදු සාධකය වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ ආර්ථික න්‍යාය පත්‍රය පිළිබඳ පළල් සංවාදයක් ඇති කළ යු බවයි. ඒ සඳහා විපක්ෂයේ සියලු බලවේගවලට ශක්තිය හා බුද්ධිය ලැබේවා යන්න මගේ මේ සතියේ කිවිදා දැක්මය.
(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.charith9@yahoo.com
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)




