The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි - (මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර)

T

The Leader Desk

April 21, 2024 • 7:51 AM

පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි - (මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම් ඔහුගේ අවමඟුල සම්බන්ධ ජනතා සහභාගීත්වය තුළ එවන් එක්තරා සමාජ තරාතිරමක් හා සම්බන්ධ ශේෂ මාත්‍රයක් වත් දක්නට නොතිබීම ය.
  • අප විද්වත් සහෘදයා කළ ප්‍රකාශය ඔහුගේ වදන් වලින් ම මෙලෙසිනි.
  • “මම ඇත්තෙන්ම මළ ගෙවල්වලට යනවා අඩුයි.
  • (උපුටා දැක්වීම අවසන්) මහාචාර්ය වරයා මෙහි දී විශේෂයෙන් සඳහන් කළ ‘හිත හොඳ චණ්ඩියා’ ඉතා වැදගත් සමාජ නිරූපණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


නිදසුනක් ලෙස කොළඹ, බොරැල්ලේ කනත්ත සුසාන භූමිය තුළ සිට එක් දිනක් තුළ ආදාහනය හෝ භූමදානය පිණිස එහි රැගෙන එන මෘත දේහයන් සමඟ වටා එක් රොක් වන පුද්ගලයන් ගේ බාහිර ස්වරූපය, ඇඳුම් පැළඳුම්, කතා බහ සහ චර්යා රටා නිරීක්ෂණය කිරීමේදී එම මියගිය පුද්ගලයා වටා කේන්ද්‍රගත වූ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පසුතලය මත පදනම් වූ සමාජ තරාතිරම පිළිබඳ යම් සාධාරණ අනුමානයක් ඇති කර ගැනීමට ඒ පිළිබඳව සංතීක්ෂණ අවධානයකින් පසුවන්නකු හට පුළුවන.

 

එහෙත්, පසුගිය දා ඉතා අනපේක්ෂිත ලෙස හදිසියේ අප අතරින් සඳහටම වෙන් වූ සුවිශේෂ අනන්‍යතාවක් පළ කළ දේශපාලනඥයකු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ මරණය සිදු වූ මොහොතේ සිට ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වන තෙක් එම අවමඟුල හා සම්බන්ධ දසුන් වරින් වර නිරීක්ෂණය කිරීමේදී මට පහසුවෙන් වැටහී ගිය විශේෂිත දෙයක් විය. එනම් ඔහුගේ අවමඟුල සම්බන්ධ ජනතා සහභාගීත්වය තුළ එවන් එක්තරා සමාජ තරාතිරමක් හා සම්බන්ධ ශේෂ මාත්‍රයක් වත් දක්නට නොතිබීම ය. එමෙන්ම පාලිත තෙවරප්පෙරුමයන් ගේ මරණයෙන් පසු ඔහුගේ ජීවන චරිතයේ සුවිශේෂතා පිළිබඳ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් කරන ලද විස්තර ද ජන මාධ්‍යයන් මගින් අසන්නට ලැබිණ.

ඒ ඔස්සේ ඔහුගේ ජීවන චරිතය සංක්ෂේප වශයෙන් ඉදිරිපත් කිරීමට දරන ලද උත්සාහයක දී එම අවමඟුලට එක් වූ මා සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේම කළමණාකාර හා වාණිජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති වරයකු වන මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ විසින් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් ද මට අසා ගත හැකි විය. අප විද්වත් සහෘදයා කළ ප්‍රකාශය ඔහුගේ වදන් වලින් ම මෙලෙසිනි.

 

පාලිත තෙවරප්පෙරුම සනත් නිශාන්තගෙන් වෙනස්වන්නේ කෙසේ ද? - (ආචාර්ය මහේෂ්  හපුගොඩ)එතකොට සමාජ සාධාරණේ නැති සමාජයක ආයතන පද්ධතියක් නැති රටක හරියට ක්‍රියාත්මක නොවන රටක මෙවැනි අයගේ වටිනාකමක් තියෙනවා.
“මම ඇත්තෙන්ම මළ ගෙවල්වලට යනවා අඩුයි. පුද්ගලයෙක් හැටියට ඒ අදහස නොයනව කියන එක නෙවෙයි. හැබැයි, මේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී වරයාගේ මළ ගෙදරට මට එන්නම ඕන කියල හිතුණා. මම අද බත්තරමුල්ලේ ඉදලා මේකට සහභාගි වුණේ. මොකද? මෙතුමා ජීවතුන් අතර ඉන්න කොට මට එතුමා එක්ක කතා කරන්න ඕනකම තිබුණා. මම දැනට මාසෙකට විතර කලින් මම මගේ බිරිඳට කිව්වා පාලිත තෙවරප්පෙරුම මහත්තයා හමුවෙලා මට ගොඩක් දේවල් කතා කරන්න තියනවා කියලා. ඉතින් අද විශේෂයෙන් මම ආවේ එතුමාට ගෞරව කරන්න.

විශේෂයෙන් එතුමා මානව හිතවාදී පුද්ගලයෙක්. එතුමා හොඳ පරිසරවේදියෙක්. මම වැඩියෙන්ම එතුමාට කැමති එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියටවත් නෙවෙයි. මම එයාගේ කැමති අර මානව හිතවාදී පුද්ගලයෙක් හැටියටත් පරිසරවේදියෙක් හැටියට. මේ හිත හොඳ චණ්ඩියාට මම හරි කැමතියි. මොකද මේ හිත හොඳ චණ්ඩියා සමාජ සාධාරණේ නැති රටක අසරණතාවයට පත් වුණු මිනිසුන්ට පිහිටක් වෙන්නැති රටක එවැනි අයගේ වටිනාකමක් තියෙනවා. එතකොට එතුමා එවැනි අය වෙනුවෙන් අසරණතාවයට පත්වුණ කාගෙවත් පිහිටක් නැති යන්ඩ තැනක් නැති මනුස්සයෝ වෙනුවෙන් පිහිට වුණ හිත හොඳ චණ්ඩියා. එතකොට සමාජ සාධාරණේ නැති සමාජයක ආයතන පද්ධතියක් නැති රටක හරියට ක්‍රියාත්මක නොවන රටක මෙවැනි අයගේ වටිනාකමක් තියෙනවා. එතකොට එතුමා ඒ කාර්යය ඒ කියන්නේ රාජ්‍ය විසින් නොකරන කාර්යය එතුමාගේ ඇගේ හයියෙන් හිතේ හයියෙන් එතුමා කළා. ඉතින් ඒකට අපි ගෞරව කරන්න ඕන.

ඒකට ගෞරව කරන්න තමයි මම අද මේ එතුමාගේ අවසන් කටයුතු වෙනුවෙන් අද දින මා මෙතනට පැමිණියේ.

(උපුටා දැක්වීම අවසන්)

anura kumara t
මහාචාර්ය වරයා මෙහි දී විශේෂයෙන් සඳහන් කළ ‘හිත හොඳ චණ්ඩියා’ ඉතා වැදගත් සමාජ නිරූපණයකි. සිංහල ජන වහරට අනුව චණ්ඩියා යනු නොහික්මුණු රෞද්‍ර පුද්ගලයා ය. පොදුවේ ගත්කළ චණ්ඩි මිනිස්සු සමාජයට හිතදායී නොවෙති. ඔවුන් ගෙන් බොහෝ විට සමාජයට සිදුවන්නේ අයුතු කටයුතු කම් මිස යහපත් දේ නොවේ. ඒ අනුව ශිෂ්ඨ, සාධු සම්මත සමාජයක් තුළ චණ්ඩියකු හැඳින්වීම පිණිස ‘හිත හොඳ’ යන විශේෂණ පදය යෙදිය නොහැක. නමුදු අප හිතවත් මහාචාර්ය වරයාගේ හැඳින්වීම අනුව පාලිත තෙවරප්පෙරුමයන් හිත හොඳ චණ්ඩියකු වූයේ කෙසේද? ඒ සඳහා දිය හැකි පහසුම පිළිතුර වනුයේ එවන් හිත හොඳ මිනිසුන් පවා චණ්ඩින් බවට පත් කරවන නොවිධිමත් සමාජ අර්ථ ක්‍රමයක් මේ වන විට අප හමුවේ නිර්මාණය වී ඇති බවකි.

මා ඉහත සඳහන් කළ සමාජමය තරාතිරම් පසෙක තිබියදී ඕනෑම සමාජයක් තුළ ප්‍රභූ නිර්ප්‍රභූ භේදය යම් යම් ප්‍රමාණවලින් දක්නට පුළුවන. සමාජ ආර්ථික ස්ථායි බවකින් යුතු දේශයක මෙය ප්‍රාමාණික ලෙස දක්නට ලැබෙන අතර වත්මන් ශ්‍රී ලාංකේය සමාජය බඳු සමාජ ආර්ථික වශයෙන් අස්ථායී දේශයක මෙම ප්‍රභූ නිර්ප්‍රභූ භේදය වඩාත් ඉහළ මට්ටමක පවතිනු දක්නට පුළුවන. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත ස්කැන්ඩිනේවියානු රටවල එතරම් තීව්‍ර ලෙසින් ඉස්මතු නොවන මෙම ප්‍රභූ නිර්ප්‍රභූ භේදය අපට ඉතා සමීප සමාජ ආර්ථික සංස්කෘතික ධාරාවකින් යුතු ඉන්දියාවේ වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු වී තිබේ.එම ප්‍රබලතාව කොතෙක් ද යත් නිර්ප්‍රභූ වීරයන් සම්බන්ධ සිනමා කෘතීන් ගෙන් ද දකුණු ඉන්දීය සිනමාව පිරී තිබේ.

 

මෙරට ජනගහණයෙන් 40%ක් අන්ත දුප්පත්කමේ!ඒ අනුව සමාජයේ විවිධ ජන කොටස් විඳින දුක විවිධාංගිකරණයට හා අතිශයෝක්තියට නංවා සමාජ ගත කිරීම ද නූතන දේශපාලනික පන්නයක් හා විලාසිතාවක් බවට පත්ව තිබේ.
නිර්ධන පන්තිය පීඩිත පැලැන්තිය දුක් විඳින ජනතාව නැති බැරි උන් ආදී වශයෙන් විවිධ නම් වලින් හැඳින්වෙන මෙම ජන කොටස සම්බන්ධයෙන් නිරතුරු ඇස් ගසා ගෙන හිඳින පැලැන්තියක් තිබේ. එනම් ප්‍රභූ දේශපාලන පැලැන්තියයි. නිර්ධනයන් ධනවත් කරන බවට, දුගීන් සුඛිත මුදිත කරවන බවට නැති බැරි ජනයා ඇති හැකිවුන් කරන එකට නිරතුරුවම ඇසෙන එම දේශපාලන ප්‍රකාශ ළිඳකට වැටී හිඳින්නවුන් ඉන් ගොඩට ඇද ගැනීම පිණිස ආරක්ෂිත ලෙස ළිං කට අබියස හිඳ දරනු ලබන උත්සාහයක් බව ඒ පිළිබඳව විමැසීමේ දී පෙනී යයි. ඒ අනුව සමාජයේ විවිධ ජන කොටස් විඳින දුක විවිධාංගිකරණයට හා අතිශයෝක්තියට නංවා සමාජ ගත කිරීම ද නූතන දේශපාලනික පන්නයක් හා විලාසිතාවක් බවට පත්ව තිබේ. මේ වන විට අප රටේ විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රට පුරා සමාජ ගත කරමින් යන “ගොවි දුක” යන්න පවා තත්‍ය සමාජ නිරූපණයක් නොවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨතමයකු වන සුනිල් කන්නන්ගර සහෘදයා මෙම වෙබ් අඩවියට සැපයූ ලිපියක සඳහන් විය.

එවන් තත්වයක් තුළ අප රටේ වත්මන් දේශපාලන සංස්කෘතිය තුළට පිවිසි පාලිත තෙවරප්පෙරුම එසේ ප්‍රභූ දේශපාලන ධාරාව තුළ අරක් නොගෙන ඉන් බැහැරට පැමිණ නිර්ප්‍රභූ ජනතාව උදෙසා සිය ආත්මය කැප කිරීම ඔහු සතු සුවිශේෂ අනන්‍යතාවක් සේ මම දකිමි. වරක් ඔහු ජනතාවගේ යහපත තකා මතුගම ප්‍රදේශයේ විෂබීජ වලින් ගහණ ගලි වළකට බැසීම තෙක්ම ඔහු ගේ විෂය පාරාසය පුළුල් කර ගැනීම ඔහුගේ එම සුපවිත්‍රතාවයට එක් නිදසුනකි. එමෙන්ම වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ වැජඹෙන දේශපාලනය ඉනිමඟක් කර ගනිමින් නිර්ප්‍රභූ පැලැන්තියෙන් ප්‍රභූ පැලැන්තියට පිවිස හිඳින බහුතරයට වඩා ඉඳුරාම වෙනස් චරිතයක් වීම මත පාලිත තෙවරප්පෙරුමට වත්මන් දේශපාලන සංස්කෘතිය නොරිසි වූ අතර ඒ බව ප්‍රසිද්ධියේ කීමට පවා අභීත වීම ඔහු සතු උතුම් මානුෂීය ලක්ෂණයකි. 

 

ජාති ආගම් කුල මල ආදී තරාතිරම් නොතකා තම සමාජ තත්ත්වය තරාතිරම පිළිබඳව ද අබමල් රේණුවකවත් තැකීමක් නොකළ පාලිත තෙවරප්පෙරුම

සමාජ ආර්ථික දේශපාලනමය සේම ස්වභාවික හේතුවක් මත පවා තම නෙතු හා සවන් පත් සීමාවේ ජීවත් වන කිසිවකුට හෝ විපතක් කරදරයක් අකටයුත්තක් අසාධාරණයක් සිදුවූ සැනින් ඔවුන් ගේ ජාති ආගම් කුල මල ආදී තරාතිරම් නොතකා තම සමාජ තත්ත්වය තරාතිරම පිළිබඳව ද අබමල් රේණුවකවත් තැකීමක් නොකළ පාලිත තෙවරප්පෙරුම ඒ උදෙසා රඟපෑමක් ලෙසින් නොව අව්‍යාජවම කැප වී නිහාහාරව පසුවීම හා පදික වේදිකා මත වැතිර ගැනීම වැනි බිම් මට්ටමට පැමිණීම ද අප රටේ ප්‍රභූ දේශපාලන සංස්කෘතියට ඔහු ගෙන් එල්ල වූ බරපතල අතුල් පහරකි.

එමෙන්ම ඇතැම් නීති, රෙගුලාසි අන පනත් ආදියෙන් ජනතාව අනිසි දුක් පීඩාවන්ට ලක් වන අවස්ථාවේදී ද ඔහු ඒ සම්මතයන් ගේ වැටකඩොළු උඩින් පැන ජන දුක නිවීමට ගත් වෙහෙස අපගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. අප හිතවත් මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ පැවසූ අන්දමට පාලිත තෙවරප්පෙරුම යන වත්මන් ප්‍රභූ දේශපාලන වේදිකාවේ රැඳෙමින් “දුප්පතා ගේ හිතවතා” චරිතයට පණ පොවන්නකු නොව දේශපාලන වේදිකාවෙන් දුක් විඳින ජනතාව අතරට පැන ඔවුන් ගේ දුක් පීඩා සමසේ බෙදා හදාගෙන ඒවා සිඳ දමා ඔවුනට සැබෑ සුව සෙත උදා කිරීමට කැප වූ හිත හොඳ චණ්ඩියකු වූයේ එබැවිනි. මේ තත්වය තුළ පාලිත තෙවරප්පෙරුම වැන්නවුන්ට අනේක විධ දෝෂ වලින් ගහන ප්‍රභූ දේශපාලන ධාරාවට පිවිසීම කෙසේවත් කළ නොහැකි දෙයක් බවට සැක නැත.




එහෙත්,සැබෑ අරුමය එය නොවේ. ජන දුකට අලෙවි වටිනාකමක් දෙමින් බලයට ලොබ බඳින වත්මන් දේශපාලන සංස්කෘතියට එක්ව සිටින කිසිවකුටත් පාලිත තෙවරප්පෙරුමගේ අව්‍යාජ ජනහිතකාමී දේශපාලනය පිළිබඳ සිහිනයක් වත් දැකීමට නොහැකි වීම ය.එය ජාතික අවාසනාවකි.


praneeth 1(මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර)
මානව හා සමාජවිද්‍යා අංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය


 

උපුටා ගැනීම : vinivida.lk 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි - (මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර) | The Leader