ඊට හේතුව කිසිදු ඓතිහාසික පදනමක් නොමැති වුව මානව විද්‍යාත්මකව අතිශය වැදගත් රාමායන පුරාවෘත්තයේ එන භාරතයේ රාම කුමරුන් ගේ සහ ලංකා පුරයේ රාවණ රජුගේ යුද්ධයේ දී රාම කුමරු උදෙසා මහත් මෙහෙවරක් කළ හනුමාන් හෙවත් හනුමන්නා සිංහල බෞද්ධයන් ගේ ඇදහීමට ලක් වන දෙවියකු නොවීම ය.
ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් නම් හින්දු පූජක වරයා කෝවිලට ගොස් විශේෂ ආගමික පූජා සත්කාරයක් සිදු කළේ ය.
අප ජන සමාජයට හනුමන්තා ටිකක් හරි ඕනෑ වනුයේ අංජනම් එළි බැලීමක දී පමණි. එවන් පසුබිමක් තුළ ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් නම් හින්දු පූජක වරයා පසුගිය 23 දා අස්ගිරි මල්වතු මහ නා හිමි වරුන් බැහැදැකීමෙන් අනතුරුව මෙම කෝවිලට ගොස් විශේෂ ආගමික පූජා සත්කාරයක් සිදු කළේ ය. ඒ සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් හා අමාත්‍ය ජීවන් තොන්ඩමන් යන දේශපාලනඥයෝ ද එක් ව සිටියහ.
සීතා අම්මාන් කෝවිලේ දී
ශ්‍රී ලංකාවේ සැම දෙනා හට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින්ම තහවුරු කොට තිබේ. එවන් පසුබිමක ඒ සඳහා අප ගේ ආශීර්වාදය සේම අනුග්‍රහය ද හිමි විය යුතු බව ඒකාන්ත සත්‍යයකි. එහෙත්, එම පූජාවෙන් පසු ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හින්දු පූජක වරයා කළ කතාව එලෙස පහසුවෙන් අත හැර දැමිය හැක්කක් නොවේ.
“ශ්‍රී ලංකාව රාවණාගේ කියා ජනතාව පවසනවා, ඒත්, ශ්‍රී ලංකාවේ සැබෑ වීරයා විහීෂණ මිසක් රාවණ නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න. මම මේක හැම තිස්සෙම කියනවා. ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලන්න විභීෂණ රාම දෙවියන් ළඟට ගිහින් ශ්‍රී ලංකාව බේරා ගත්තා. ඉන්දියාවේ කිසිදා නොමැකෙන අට දෙනෙක් ගැන විශ්වාසයක් තියනවා. විභීෂණත් ඉන් එක්කෙනෙක්. ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි කියන්නේ සම සිතුම් පැතුම් තියන ජනතාවක් ඉන්න රටවල්. මේ රටවල් දෙක ආරක්ෂා කරලා දෙන්න කියලා මම හනුමාන් දෙවියන්ගෙනුයි භගවාන් ශ්‍රී රාම් ගෙනුයි ඉල්ලනවා”
ශ්‍රී ලාංකේය සමාජ විඥානයට අනුව දෙවියකු නොවුව ද රාම කුමරු වීරයෙකි. එමෙන්ම රාවණා දුෂ්ටයෙකි.
ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හින්දු පූජක වරයාගේ ඒ කතාව අප රටේ සාම්ප්‍රදායික ජන විඥානයට එරෙහි වූවක් ද නොවේ. අප සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය සමාජ විඥානයට අනුව දෙවියකු නොවුව ද රාම කුමරු වීරයෙකි. එමෙන්ම රාවණා දුෂ්ටයෙකි. දහ අට වන සියවසේ ලියැවුණු රාජාවලියේ සඳහන් අන්දමට විහාර මහ දේවිය හා සම්බන්ධ මුහුද ගොඩ ගැලීමට හේතුව ද අතීතයේ රාවණා කළ දුෂ්ඨ කමකි. එමෙන්ම ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හින්දු පූජක වරයා කී ලෙසම 1904 ජෝන් ද සිල්වා විසින් රඟ දක්වන ලද රාමායණ නාටකයේ ද ශ්‍රී ලංකාවේ විභීෂණ ලංකා පුරය බේරා දෙන මෙන් රාම කුමරුන් ගෙන් ඉල්ලා සිටි බව පැවසෙයි. එවන් පසුබිමක් තුළ මෙම රාවණා අප රටේ අසම සම නරපතියා ලෙස හැඳින්වීමේ සමාරම්භය අප රටේ පවත්නා ආර්ය සංස්කෘතියට පූර්වගාමීව හෙළ යනුවෙන් හැඳින්වෙන දියුණු ශිෂ්ඨාචාරයක් පැවැති බවට මීට සියවසක පමණ කාලයක සිය අප සමාජයේ පැතිර ගිය විද්වත් මතය බව පෙනෙයි.
එල්ටීටී ඊ යුද සමයේ සිංහල බෞද්ධ ජනයගේ මානසික උත්ථානය පිණිස මෙම රාවණා සංකල්පය යළි ප්‍රවර්ධනය කරන ලදි.
1941 වසරේ මුණිදාස කුමාරතුංගයන් ගේ නායකත්වයෙන් යුතුව එළි දැක්වුණු හෙළ හවුල මඟින් ඒ සඳහා නොමඳ පෝෂණයක් ලබා දී තිබේ. හෙළ හවුලේ මුල් පෙළේ සාමාජිකයකු වූ අරීසෙන් අහුබුදුවන් මීට දශක කිහිපයකට පෙර කරලියට ගෙනා “සක්විති රාවණ” නාට්‍යය ඒ සඳහා එක් නිදසුනක් පමණි. ඉන්පසුව ඉකුත් කාලයේ අප රටට මහත් ව්‍යසනයක් උදා කළ එල්ටීටී ඊ යුද සමයේ සිංහල බෞද්ධ ජනයගේ මානසික උත්ථානය පිණිස මෙම රාවණා සංකල්පය යළි ප්‍රවර්ධනය කරන ලදි. එමෙන්ම යුද ජයග්‍රහණයෙන් පසුව රාවණ සහ දුටු ගැමුණු යන රාජ චරිත දෙක මෙරට පරමාදර්ශී නරපතියන් සේ සමාජ ගත කිරීමට නිහඬ උත්සායක් දැරූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඒ නරපතියන් දෙදෙනාට පැන වූ සමාජමය උස් අසුන් දෙකට අමතරව තවත් අසුනක් හිස් ව තබා තමන්ට එහි අසුන් ගන්නා මෙන් ජනතාව ඉල්ලන තුරු බලා සිටියේ ය.
මහින්ද රාජපක්ෂ
පිරිසිදු බෞද්ධ දර්ශනයේ හුළඟක් වත් වැදී නැති හුදෙක් අප රටේ ප්‍රවලිත හරසුන් ජනප්‍රිය බුද්ධාගමේ පවත්නා අංග තවදුරටත් අත්තනෝමතික ලෙස විස්තාරණය කරන ජනකාන්ත භික්ෂුවක විසින් පවත්වාගෙන යන පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක 2013 වසරේ රාවණා දෙවොලක් පවා තැනීම ඉහත සඳහන් සංසිද්ධියට සමාන්තර වූවකි. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ අනුගාමික භික්ෂු පිරිසක් කිසිදු බෞද්ධ පදනමක් නැති මෙම රාවණ පරමාදර්ශයට කර ගසා එය සමාජය තුළට කාවද්දන්නට වෙර දැරූ බව ද නොරහසකි.
ජනපතිවරණ ජයත් සමඟ තරුණ තරුණියන් රට පුරා තාප්ප වල සිත්තම් කළ රාවණා රූප වල අද පුස් දිය සෙවල බැඳී දුර්වර්ණ වී තිබේ.
එහෙත් 2015 ජනපතිවරණයෙන් රාවණා පරමාදර්ශය කේන්ද්‍ර කර ගත් මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපයට දුම්රියක ගැටුණු මෝටර් රථයකට මෙන් බරපතල හානි සිදුවිය. පසුව එම පරමාදර්ශය පදනම් කර ගනිමින් 2019 ජනපතිවරණයෙන් බලයට පත් ඔහු ගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ සමයේ ඔහු ගේ අතින් එම රාවණා පරමාදර්ශය කුඩු පට්ටම් වූයේ ඊට කිරි දරුවකු ගේ අතින් ගිළිහෙන මැටි බළලකුට හිමි ඉරණම උදා කර දෙමිනි. ඒ අනුව ඔහු ගේ ජනපතිවරණ ජයත් සමඟ තරුණ තරුණියන් රට පුරා තාප්ප වල සිත්තම් කළ රාවණා රූප වල අද පුස් දිය සෙවල බැඳී දුර්වර්ණ වී තිබේ. නමුදු අද වන විට රාවණා සංකල්පය පදනම් කර ගනිමින් ව්‍යාප්ත වූ කොටි වෙදකම් වල සිට හෙළ ප්‍රතිකාර නමින් බිහි වූ ගණිකා මඩම් පවා සැලකිය යුතු ප්‍රමාණයක් අප රටේ පැතිර තිබේ. ඒ අතර පසුගිය කාලයේ ඉස්මතු වූ සමාජ ආර්ථික දේශපාලණික පෙරැළි මත අද වන විට රාවණා පරමාදර්ශය මුලුමනින් උඩු යටිකුරු වී ඇත්තේ ඊට යළි හිස ඔසවා ගත හැකි වේද? යන සැකය අප තුළ ජනිත කරමිනි.
ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ආරම්භය
තත්වය මෙසේ තිබිය දී, ඉන්දු - ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම පසුගිය දා සිදූ බව රජය මඟින් නිවේදනය කරන ලදී.
සාගල රත්නායක මුල් වන ජනපති ගේ කිසිදු ව්‍යාපෘතියක් කිසිදා “රිවස්” නොවන බවක් සමහරු කියති.
කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක් වීම ද විශේෂත්වයකි. සාගල රත්නායක මුල් වන ජනපති ගේ කිසිදු ව්‍යාපෘතියක් කිසිදා “රිවස්” නොවන බවක් සමහරු කියති.
මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ
“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බව රජය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ. එහි න්‍යාචාර්ය වරයා වනුයේ ද ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හින්දු පූජක වරයාම ය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ්, හිටපු කතානායක කරු ජයසූරිය, යුරෝපා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී නිරංජන් දේව් ආධිත්‍ය
හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, යුරෝපා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී නිරංජන් දේව් ආධිත්‍ය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි මෙම අවස්ථාවේ දී මේ වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගොඩබිම් පාලමක් ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ වැඩකටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කීය.එම ගොඩබිම් පාලම දෙරට අතර සංචාරක ප්‍රවර්ධනයට ඉවහල් වන බව ද ඔහු එහි දී පෙන්වා දීම ද විශේෂත්වයකි.
ගොඩබිම් පාලම ස්ථාපිත කිරීමට අප දරන උත්සාහය, අපගේ රටවල් දෙක අතර සංචාරක ප්‍රවර්ධනය සඳහා අපගේ අඛණ්ඩ ප්‍රයත්නයන් තවදුරටත් පිරවීමට උපකාරී වේ.
දෙරට අතර ගොඩබිම් පාලම මඟින් බොහෝ වර්තමාන තත්වයන් වෙනස් වනු ඇති අතර, මෙම සම්බන්ධතාවයේ පෙළගැස්ම ඔස්සේ රටවල් දෙකට බොහෝ ප්‍රතිලාභ ගෙන දෙන බවත්, සංචාරක, ව්‍යාපාර පහසු කිරීම සහ දෙරටේම ප්‍රජාවට වඩාත් ආකර්ෂණීය වනු ඇතැයි ද කී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වරයා “ඒකාබද්ධ වැඩකටයුතු ආරම්භ කර ඇති ගොඩබිම් පාලම ස්ථාපිත කිරීමට අප දරන උත්සාහය, අපගේ රටවල් දෙක අතර සංචාරක ප්‍රවර්ධනය සඳහා අපගේ අඛණ්ඩ ප්‍රයත්නයන් තවදුරටත් පිරවීමට උපකාරී වේ.
“රාමායණ මංපෙත”
ඇත්ත වශයෙන්ම, මෙම සම්බන්ධතාවයේ පෙළගැස්ම ඔස්සේ දෙරට ජනතාවට බොහෝ ප්‍රතිලාභ ගෙන එනු ඇත” යනුවෙන් පවසා ද තිබේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරමය පෞරාණිකත්වය සහ මිනිසුන් අතර ඇති ගැඹුරු සම්බන්ධය හා සහජීවනය “රාමායණ මංපෙත” ඔස්සේ සනාථ වන බවත් දෙරටේ ජනතාව අතර ගැඹුරු සම්බන්ධය සියවස් ගණනාවක් පුරාණයේ සිට දිවෙන බව ඔවුන් මෙහි පැමිණීමෙන් තහවුරු වන බව ද ඔහු පවසා ඇත්තේ ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හින්දු පූජක වරයාගේ කසායට අනුපාන සපයමිනි.
“රාමායණ මංපෙත”
එමෙන්ම මෙම නව පාලම රාම කුමරුගේ ලංකා ආක්‍රමණය සඳහා රාමගේ වානර හමුදා විසින් තැනූ බව පැවසෙන “රාම සේතු”හෙවත් රාමගේ පාලමේපාදම මත ඉදිවීම ද විශේෂත්වයකි. මේ අතර 1987 අප රට එකම ගිනි ජාලයක් කළ ඉන්දු ලංකා සාම ගිවිසුමින් පසු මෙරටට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාව ජනතා විමුක්ති පෙරමුණ විසින් නම් කරන ලද්දේ “වානර හමුදාව” ලෙසිනි. ඒ රාම ගේ හනුමන්තා ඇතුළු පිරිවර මුල් කර ගෙන විය යුතු ය. එහෙත්, මේ වන විට ව හනුමන්තා අප රටේ පිනුම් ගැසීම සම්බන්ධ මාතෘකාව ජනතා විමුක්ති පෙරමුණ තම විෂය පථයෙන් ඉවත් කර ගෙන තිබේ දැයි අපට සැක සිතෙයි. ඒ තමන්ට ළකුණු රැස් කර ගත නොහැකි විෂයන් අත හැර දැමීමේ ඔවුන් ගේ සිරිත නිසා ද විය හැක. නමුදු මහින්ද රාජපක්ෂ නම් දේශීය රාවණාගෙන් ගිළුහුණු බලය රනිල් වික්‍රමසිංහ නම් දේශීය රාම කොතෙක් දුරට තහවුරු කරනු ඇති ද යන්න පිළිබඳව අනාවැකි කීමට තවම කල් වැඩි බව අප ගේ වැටහීම ය.
(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)
සබැඳි ලිපි :
ඉන්දියාවේ රාම කුමරු අපේ රාවණා 'බිත්තියට හේත්තු කර ගත්තා ද' ?
ඉන්දියාවේ අයෝධ්‍යා ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන පූජක මහනුවර සංචාරයක
'ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ඇරඹේ - ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්




