වචන දහසකින් කියන දෙයකට වඩා ඔහු එක වැකියකින්, දෙබසකින් කියන දෑ ජන මනසේ තැන්පත් වෙයි. සමහර කාටූන්වල විකට චිත්‍රයක් මිස, එකම වචනයක් හෝ දක්නට නැත. එබඳු කාටූන්, අකුරු නොදත්තකුට හෝ වටහාගත හැකිය.
රනිල් වික්‍රමසිංහ කාටූන් ශිල්පීන්ගේ ඇසට හසු වූ ආකාරය දැක්වෙන “PRESS VS PREZ”
මේ නිසාම, ඇතැම් සංවිධානයන්ට දේශපාලන නායකයන්ට, කාටූන්කාරයන් රුස්සන්ගේ නැත. විශේෂයෙන්, ආඥාදායක පාලනයක් පවතින රටවලදි කාටූන් ශිල්පීහු බන්ධනාගාර ගත කෙරෙති. සමහරු ඉන් ගැලවීමට රටින් පලා යති.
එබඳු රටක විසූ, කාටූන් චිත්‍ර ශිල්පියෙක් බටහිර රටකට පලා ගොස් එහි පුවත්පතකට බැඳුණේය. එරට මාධ්‍යවේදියෙක් ඔහුගෙන් මෙසේ ඇසීය.
''ඔබේ රටේ කතා කිරීමේ නිදහස නැද්ද?''
''කතා කිරීමේ නිදහස නම් අපිට තියෙනවා. ඒත් අපේ නිදහස නැතිවෙන්නෙ කතා කිරීමෙන් පස්සෙ.''
''කතා කිරීමේ නිදහස නම් අපිට තියෙනවා. ඒත් අපේ නිදහස නැතිවෙන්නෙ කතා කිරීමෙන් පස්සෙ.'' කාටූන් ශිල්පියා කීය.
තවත් රටක කාටූන් ශිල්පියෙක් ඔහු විසින් අඳින ලද කාටූනයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ උදහසට ලක්විය.
ඔහු පළ කළ කාටූනයේ දැක්වෙන අන්දමට, විශාල කිඹුලෙක් උගේ වල්ගයෙන් ජනමාධ්‍යවේදියකු වෙලාගෙන සිටී. කිඹුලාගෙන් ඉඟි කළේ එරටේ පාලකයා යැයි සිතූ රහස් පොලිසිය ඔහුට නඩු පැවරීය.
ආගම, සදාචාරය හා ආණ්ඩුව යන අංශ තුනම එකක් වූ කල, මුලින්ම අහිමි වන්නේ මිනිසාගේ නිදහසය.
ඉන්පසු ඔහු කාටූන් ඇඳීම අත්හැරියේය. එහෙත්, එතැන් සිට ඔහු නිතරම පැළඳියේ කිඹුලා නොහොත් ''ක්‍රොකඩයිල්'' වෙළෙඳ සලකුණ සහිත ටී ෂර්ට්ය!
දාර්ශනිකයන් පෙන්වා දී ඇති අන්දමට ආගම, සදාචාරය හා ආණ්ඩුව යන අංශ තුන තිබිය යුත්තේ වෙන වෙනමය. ඒ තුනම එකක් වූ කල, මුලින්ම අහිමි වන්නේ මිනිසාගේ නිදහසය.
නිදහස අහිමි රටක දිගු කලක් ජීවත් වන විට, පුරවැසියාට තමන් කලින් විඳි නිදහස අමතකව යයි.
සමාජ ජාලයක පළ වූ කාටූනයක දැක්වෙන අන්දමට, ඉස්ලාමීය දැඩි පාලනයක් පවතින රටක තරුණියක් එරට සම්ප්‍රදායට අනුව දෙපා තෙක් ශරීරය ආවරණය ඇඳුමකින් සැරසී හිජාබ් ක්‍රමයට හිසද වසාගෙන මුහුදේ නෑමට ගියේය. එහි සිටින වෙරළ ආරක්ෂකයෙක් ඇගෙන් මෙසේ අසයි.
''මුහුදෙ නාන්න නම්, බිකිනියක් ඇඳං එන්න එපායැ..?''
ඒ මොකක්ද?
''ඒ මොකක්ද?''
තරුණිය පුදුමයෙන් අසයි.
ආඥාදායකයන් කොතෙක් තහංචි පැනවූවත්, හිඩැස් තුළින් රිංගා උපහාස කතා නිර්මාණය කිරීමට ජනතාව සමත් වෙති. මිනිස් ඉතිහාසය පුරාම එබඳු කතා දක්නට ලැබෙයි. ඒ කතා රටින් රටට පැතිරෙයි.
එබඳු රටක පැතිර ගිය උපහාස කතාවකි මේ.
එරට සර්කස් කණ්ඩායමකට අශ්වයකු අවශ්‍ය බවට දැන්වීමක් පළ කෙරුණි. ඒ අනුව එක් අශ්වයෙක් සර්කස් කණ්ඩායමේ අයිතිකරුගේ කාර්යාලයට පැමිණියේය.
''මීට කලින් සර්කස් එකක ඉඳලා තියෙනවද?''
සර්කස් හිමිකරු, අශ්වයාගෙන් ඇසීය.
මට මනුස්සයෙක් වගේ කතා කරන්න පුළුවන්
''නෑ.''
''මොනවද තියෙන විශේෂ දක්ෂතා.. කඩුළු පනින්න පුළුවන්ද?''
''බෑ.''
''ගිනි වළලු පනින්න පුළුවන්ද?''
''බෑ.''
''පාපන්දුවකට පයින් ගහන්න පුළුවන්ද?''
''බෑ.''
''තරුණියක් පිට උඩ හිටවගෙන සර්කස් රවුමේ යන්න පුළුවන්ද?''
''බෑ.''
''එතකොට මොනවද පුළුවන්?''
''මට මනුස්සයෙක් වගේ කතා කරන්න පුළුවන්.. මේ රටේ හැටියට ඒකම ලොකු දෙයක් නෙවෙයිද?''
එදිනම, අශ්වයා සර්කස් කණ්ඩායමට බඳවා ගැනුණි. මනුෂ්‍යයන්ට කතා කිරීම ප්‍රශ්නයක් වන තැනදී, සත්වයන්ට ඉදිරියට ඒමට බාධාවක් නැත.
කතා කිරීමේ නිදහසට දැඩි වාරණයන් පැවතුණු රටක, කාටූන් ශිල්පියෙක් ජනාධිපතිගේ අමන තීරණ විවේචනයට කදිම උපක්‍රමයක් භාවිත කළේය. ඔහු හැම දෙයටම ප්‍රශංසා කළේය. ස්තූති කළේය. එහෙත්, ඒ උත්ප්‍රාසාත්මකවය. භාෂණයේ නිදහසට බාධා පැමිණවීම පිළිබඳව ඔහු පළ කළේ මෙබඳු වැකියකින් යුත් චිත්‍රයකි.
අපේ නිවෙසේ රෙදි සෝදන යන්ත්‍රය (වොෂින් මැෂින්) වත්, අනවශ්‍ය ශබ්ද නගන්නේ නැත.
''නව ජනපතිතුමා බලයට පත් වූ දා සිට අපේ නිවෙසේ රෙදි සෝදන යන්ත්‍රය (වොෂින් මැෂින්) වත්, අනවශ්‍ය ශබ්ද නගන්නේ නැත. ඔබට ස්තූතියි, ජනාධිපතිතුමනි!''
කිළිටි රෙදි සේදීම, අපේ රටේ කාටූන් ශිල්පින්ගේද ජනප්‍රිය තේමාවක් වූ කාලයක් තිබුණි. ඒ පිළිබඳව කිසිත් නොකියා නිහඬ වන්නේ, එකල භාවිත කෙරුණු එක් ''වොෂින් මැෂිමක්'' දැන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවිනි.
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - deshaya.lk)



