The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඒ තොවිලෙත් ඉවරයි

T

The Leader Desk

May 5, 2024 • 8:27 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඒ තොවිලෙත් ඉවරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි දිනය සම්බන්ධයෙන්ද එසේ කිව හැකිය. ඒ තොවිලයට යකැදුරෝ ගණනාවක් සිටියහ. යකැදුරෝ හොඳ නැට්ටුවෝද වෙති.
  • ඇතැම් මැයි තොවිලයක, ආතුරයාත්, යකැදුරාත් දෙන්නාම එකෙකි.
  • නුඹලාට නැතිවන්නට දෙයක් ඇත්නම්, ඒ යදම් පමණකැයි කියුවේ, කාල් මාක්ස් ය.
  • හැම කථිකයෙක්ම, තම ප්‍රතිවාදීන් විවේචනය කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


මැයි දිනය සම්බන්ධයෙන්ද එසේ කිව හැකිය. 

ඒ තොවිලයට යකැදුරෝ ගණනාවක් සිටියහ. 

යකැදුරෝ හොඳ නැට්ටුවෝද වෙති. ගැමියන් තොවිල්පළට ගියේ නැටුම්, ගැයුම් දෙකම බලන්නටය.

 

May Day 2

මැයි තොවිලය ඉවර වූ සැටි දෙස කල්පනා කරන විට, නටපු නැටුමකුත් නැත, බෙරේ පලුවකුත් නැතැයි කෙනකුට සිතෙන්නට බැරි නැත. හැමදාමත් ඒ ටිකමය. මැයි තොවිලය නැටූ සමහර පක්ෂවලට තිබූ ලෙඩරෝග, දහඅට සන්නිය නටාවත් සුව කරන්නට බැරි ඒවාය.

ඇතැම් මැයි තොවිලයක, ආතුරයාත්, යකැදුරාත් දෙන්නාම එකෙකි. පන්නන්නට හදන යකාත් ඒකාමය. එහෙව් තොවිල්වලින් වෙන්නේ යන යකා කොරහත් පමණක් නොව, ගේ ඉස්සරහ කොස් ගහේ අත්තකුත් බිඳගෙන යාම පමණි.

තොවිලයෙන් පසු, ලොකුම වැඩ කොටස ඉතිරි වන්නේ කොළඹ මහ නගර සභාවේ 'වැඩ කරන' පන්තියටය.

ලෝකයේ කම්කරුවනි, එක් වෙයව්. නුඹලාට නැතිවන්නට දෙයක් ඇත්නම්, ඒ යදම් පමණකැයි කියුවේ, කාල් මාක්ස් ය.

 

Street sweepers rest the street on International Workers' Day in Colombo on May 1, 2023. (Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)
අද කම්කරුවන් එකතු වන්නේ කලාතුරකිනි. මැයි දිනයට පවා ඔවුන් එක්රුස් කර ගැනීමට පක්ෂ සංවිධායකවරුනට නොයෙක් උපක්‍රම භාවිත කිරීමට සිදුවෙයි.

''අපි බෝතල් දෙනවා. ඒත් ඒවා එනකොට බොන්ඩ එපා. යනකොට බොන්ඩ.''

එක් සංවිධායකයෙක් කල් තියාම කාරුණිකව ඉල්ලා සිටියේය. (එනකොට බිව්වොත්, යනකොට වෙන බස් එකකය!)

තවත් පක්ෂයක නායකයෙක් තම පාක්ෂිකයන් ගැන කොතරම් අනුකම්පා කළාදැයි කිවහොත්, ඔහු මෙවර මැයි පෙළපාලි යාම නවතා දැමුවේ, ඔවුන් පවතින අධික උෂ්ණත්වයෙන් මුදවා ගැනීම පිණිසය!

සිරි ලංකාවේ පැරණිම පක්ෂයක් මෙවර මැයි රැලිය උදෙසා, කල් තියා ස්ථානයක් වෙන්කර නොතිබීම පිළිබඳව, වෙනත් පක්ෂයක කෙනෙක් 'හීසරය'ට මෙසේ කීය.

 

SLFP MayDay 1200px 24 05 01 1000x600
''ඒගොල්ලන්ට තැනක් ඕනෙ නෑ. කුඩ දෙකක් තිබුණම ඇති. එක කුඩයක් නායකයන්ට. අනික් කුඩය පාක්ෂිකයන්ට.''

එබඳු Umbrella Party සඳහා, කුඩේ ලකුණෙන් තරග කිරීම සඳහා ඉඩ දීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කාරුණික විය යුතුය.

කලකට ඉහත, 'ත්‍රීවිල් පක්ෂ' යනුවෙන් සරදමට ලක් කෙරුණේද, එබඳු 'කුඩ පක්ෂය'. කුඩ නොහොත් කුඩා පක්ෂ, අවසානයේ නවතින්නේ 'සන්ධාන' නමැති පක්ෂ හවුල් තුළය.

මැයි දිනය යනු කම්කරුවාගේ දිනයයි. එහෙත්, මෙවර මැයි දින වේදිකා රැසකම මුලසුන්වලට බර දී සිටියේ, රටේ සුපිරි පෙළේ ධනවතුන්ය. ඔවුන්ගෙන් සමහරු, දේශපාලනයට පිවිසීමෙන් පසු විශාල ධනස්කන්ධයක් උපයා ගත්තවුන්ය. ඔවුන්ගෙන් පසු පෙළෙහි වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක්ද, අතරින් පතර හිඳ සිටිනු පෙනේ. අනිත් අය ආරක්ෂකයන්ය.

මෙවර මැයි දින රැස්වීම්වල ප්‍රධාන මාතෘකාව වූයේ ළඟ එන ජනාධිපතිවරණයය. කම්කරු අයිතිවාසිකම් කාට කාටත් අමතක වී ගොසිනි. හැම කථිකයෙක්ම, තම ප්‍රතිවාදීන් විවේචනය කළහ. මඩ ගැසූහ. සරදමට ලක් කළහ. සභාවේ සිටි හෙංචයියෝ හුරේ දැමූහ. විසිල් ගැසූහ. අත්පොළසන් දුන්හ.

''අපිට බලය දුන්නොත්, අපි රට ගොඩ දානවා.'' හැමෝගෙම 'මන්ත්‍රය' වූයේ එයයි. එහෙත් ඒ බොහෝ දෙනා මීට පෙරද බලයේ සිටියවුන්ම බව හෙංචයියලාට අමතක වී තිබුණි.

 

image ae582e99bf
මෙවර එක් මැයි දින වේදිකාවක ආදිවාසීන් පිරිසක්ද හිඳ සිටිනු දක්නට ලැබුණි. මෙරට ආදිවාසීන් කම්කරු පන්තියට එක්වූයේ කවදා සිටදැයි, වන්නිලෑ ඇත්තන්ගෙන්ම විමසා බැලිය යුතුය.

මැයි දිනය, සංගීත සංදර්ශනයක් බවට හැරවුණේ ජේ.ආර්. යුගයේදී යැයි සිතමි. මෙවරද ඇතැම් වේදිකාවල කොටසක් සංගීත කණ්ඩායමකට වෙන්කර තිබෙනු දැකිය හැකි විය.

ඉන්දියාවෙන්ද ගායක ගායිකාවෝ පැමිණියහ. ඔවුහු නොතේරෙන බසකින් ගී ගයා මෙරට කම්කරු පන්තිය පිනවා, සනසා, ආපසු ගියහ.

මේ විදිහට බලන විට, මැයි දිනය යනුවෙන් දැන් පැවැත්වෙන්නේ, වෙනම ආතල් වැඩකි. කම්කරු ඉල්ලීම් දිනා ගැනීම සඳහා, වෙන මාසයක, වෙන දිනයක් යොදාගත යුතුව ඇත. ඒ සඳහා, 'පිරිසුදු කම්කරු පන්තියක්' සොයා ගැනීමටද සිදුවනු ඇත.

1525581828 UNP

 

මැයි දිනය යනු, දේශපාලන පක්ෂ, තම තමන්ගේ ශක්තිය හා පිරිස් බලය පෙන්වීමේ ව්‍යායාමයක් නොවන බව, ඒ අලුත් මැයි දිනයේදී හෝ පෙන්වා දිය යුතුය.

'මැයි දිනය' පිළිබඳව ඇස ගැසුණු උපහාස කියුම් කිහිපයකි මේ. (සිරි ලංකාවට අදාළවය.)

- දැන් සමාජයේ අලුත්ම පන්තියක් දක්නට ඇත. ඔවුහු, දිවා රැ දෙකෙහිම එෆ්.බී. හා වට්ස්ඇප් හි වැඩ කරති.

- සටන් පාඨයක්: අඩුවෙන් වැඩ කරමු

 වැඩියෙන් පඩි ලබමු

- මැයි දිනය: රටේ සියලුම බාර් වසා, මැයි පෙළපාලියට නොමිලේ මත්පැන් දෙන දිනය.

- වැඩ කරන හා නොකරන යනුවෙන් පන්ති දෙකකි. මේ දෙපිරිසම මැයි දිනයේදී එක්වෙති. වැඩ නොකරන පන්තිය, වේදිකාවේ හිඳ සිටිති. වැඩ කරන පන්තිය, පිට්ටනියේ හිටගෙන සිටිති.

මැයි තොවිලය හමාරය. ලෙඩා මළත්, බඩ සුද්දය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...