The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සර්කස් පැසිපියා: පරම්පරා ගණනක් ශ්‍රී ලාංකිකයින් පුදුම කරවූ 'සැබෑ සර්කස්කාරයින්' රටට අහිමි වෙයි ද?

T

The Leader Desk

May 11, 2024 • 4:02 PM

සර්කස් පැසිපියා: පරම්පරා ගණනක් ශ්‍රී ලාංකිකයින් පුදුම කරවූ 'සැබෑ සර්කස්කාරයින්' රටට අහිමි වෙයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් නියෝජනය කළ ජනතාව පුදුමයට පත් කරවමින් සර්කස් පෙන්නූ 'සර්කස් පැසිපියා' තවමත් සංදර්ශන පවත්වයි.
  • නිරෝෂන් පවසන පරිදි, ඉහත කී සිව් දෙනා සර්කස් කණ්ඩායමක් ආරම්භ කිරීමට පෙළඹී ඇත්තේ, එවකට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ විදෙස් සර්කස් කණ්ඩායම්වල සංදර්ශන නැරඹීමෙන් පසුව ය.
  • දෙවොල් මඩුවේ ගම් වැසියන් පිරිසක් ඉදිරියේ පිනුම් ගැසූ මේ සිව් දෙනා පසුව ශ්‍රී ලංකාව ම අඳුනන සුප්‍රසිද්ධ සර්කස්කාරයින් බවට පත්වීම සඳහා තැබූ පළමු පියවර එය විය.
  • පැසිපියා නම ලැබුණු හැටි‍ සර්කස් පැසිපියා ආරම්භකයින් පිනුම්කරුවන් ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):


දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් නියෝජනය කළ ජනතාව පුදුමයට පත් කරවමින් සර්කස් පෙන්නූ 'සර්කස් පැසිපියා' තවමත් සංදර්ශන පවත්වයි.

පරම්පරා ගණනාවක ජනතාව අමන්දානන්දයට පත් කළ, තවමත් 'සර්කස් පෙන්වන' සර්කස් පැසිපියා වත්මන් හිමිකරු වන නිරෝෂන් කපුගීකියනගේ හමුවීමට අපි මතුගම, අගලවත්තට ගියෙමු.

දශක ගණනක් අතීතයට දිවෙන සර්කස් පැසිපියා ආරම්භය ගැන එහි වත්මන් හිමිකරු සමග කළ සාකච්ඡාවකින් සකස් කළ වාර්තාවකි මේ.

දේවාලේ පිනුම්කරුවන් සර්කස්කරුවන් වූ හැටි

 

"අපේ සීයා තමයි මුලින් ම මේක පටන් ගන්න මුල් වුණේ. කේ.ජී. සුගතදාස තමයි මගේ සීයා. 1940 ගණන්වල කපුගම දේවාලේ මංගල්‍යය කාලයට පිනුම්කරුවෙක් විදිහට තමයි සීයා මුලින් ම කටයුතු කරලා තියෙන්නේ. ඒ පිනුම්කරුවන් විදිහට අලුත්ගම කරුණාසේන, කුඩලිගම කළුආරච්චි, දොඩංගොඩ පබිලිස් කියලා කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තුන් දෙනා යි මගේ සීයායි තමයි සර්කස් පැසිපියා පටන් අරන් තියෙන්නේ," නිරෝෂන් කපුගීකියන ඔහු දන්නා ඉතිහාසය අනාවරණය කළේ ය.


නිරෝෂන් පවසන පරිදි, ඉහත කී සිව් දෙනා සර්කස් කණ්ඩායමක් ආරම්භ කිරීමට පෙළඹී ඇත්තේ, එවකට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ විදෙස් සර්කස් කණ්ඩායම්වල සංදර්ශන නැරඹීමෙන් පසුව ය.

දෙවොල් මඩුවේ ගම් වැසියන් පිරිසක් ඉදිරියේ පිනුම් ගැසූ මේ සිව් දෙනා පසුව ශ්‍රී ලංකාව ම අඳුනන සුප්‍රසිද්ධ සර්කස්කාරයින් බවට පත්වීම සඳහා තැබූ පළමු පියවර එය විය.

පැසිපියා නම ලැබුණු හැටි‍

pasipiaසර්කස් පැසිපියා ආරම්භකයින් පිනුම්කරුවන් ලෙස.. පැසිපියා නම තැබූ පබිලිස් මැද

 

"මුලින් කියපු හතර දෙනාගෙන් දොඩංගොඩ පබිලිස් කියන කෙනාට තමයි සල්ලි තිබිලා තියෙන්නේ. ඒ නිසා එයාගේ වියදමෙන් හට් එකක් ගහලා පළවෙනි වතාවට සර්කස් පෙන්නලා තියෙනවා. එයා තමයි ඒ සර්කස් කණ්ඩායමට පැසිපියා කියන නම දාලා තියෙන්නේ," නිරෝෂන් පැවසීය.


කෙසේ වෙතත්, පැසිපියා යන නම දැමීමට බලපෑ හේතුව පිළිබඳව නිරෝෂන්ට මතකයක් නැත‍.

Pasipia යන්න විදෙස් රටවල පෙළපත් නාමයක් ලෙස භාවිත කරන බව නිරීක්ෂණවලින් පෙනී යයි.

"අපේ සීයා, පබිලිස් දොඩංගොඩ, අලුත්ගම කරුණාසේන, කුඩලිගම කට්ටියක්, මේ කට්ටිය එකතු වෙලා කතා වෙලා තියෙනවා, සර්කස් කණ්ඩායමක් හදමු කියලා.

ඊට පස්සෙ පබිලිස් දොඩංගොඩ වියදම් කරලා 'සර්කස් පැසිපියා' කියල නමක් දාලා ඒක පටන් අර ගත්තා කියලා තාත්තා අපට කියලා තියෙනවා."


මුල් කාලයේ පුහුණුවීම් කළ හැටි

JHDFI8E3433මෙම ඡායාරූපයේ උණ බටය දරගෙන සිටින්නේ සර්කස් පැසිපියා ආරම්භක සාමාජික නිරෝෂන්ගේ සීයා ය


සිය මුත්තණුවන් සහ පියා සර්කස් පුහුණු වූ සමයේ ආරක්ෂිත දැල් නොතිබූ අතර, ඔවුන් අනතුරුදායක සර්කස් අංග පුහුණු වීම සඳහා නිවස පහළින් ගලා යන ඇළ මාර්ගයක් භාවිත කර ඇතැයි නිරෝෂන් පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, යකඩ බාර් මත ඇවිද යන අංග, ඔංචිල්ලාවේ කෙරෙන අනතුරුදායක අංග ආදිය එහිදී පුහුණු වී තිබේ.

එකල බාලවයස්කාරයින් සර්කස් සඳහා යොදා ගැනීමට බාධා නොපැවතුණු අතර කුඩා දරුවන් ද සර්කස් සංදර්ශනවලට සහභාගි වී තිබිණි.


"අපේ අම්මාත් සර්කස් කළා. එයා අවුරුදු 7දී තමයි සර්කස් කණ්ඩායමට බැඳිලා තියෙන්නේ. ඒ කාලේ පුංචි කාලේ ඉඳලා සර්කස්වලට පුරුදු කරලා තියෙනවා. ඒත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් සර්කස් පුහුණු කරන්න පුළුවන් පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ තමයි."


නිරෝෂන් පවසන පරිදි ඔහුගේ මව 1967 වසරේදී විජේ සර්කස් කණ්ඩායමේ සාමාජිකාවක බවට පත්වී ඇති අතර, ශ්‍රී ලංකාවේ සර්කස් ඉතිහාසයේ තුන් වන පරම්පරාව නියෝජනය කළා ය.

"සීයලාගේ කාලේ යකඩ බාර් පාවිච්චි කළේ නෑ. උණ ගස් තමයි ඒ වෙනුවට පාවිච්චි කළේ. සීමිත සම්පත්වලින් තමයි ඒගොල්ලො සර්කස් පෙන්නුවේ," නිරෝෂන් පැවසීය.

තුන් වන පරපුරේ නිරෝෂන්‍‍

සර්කස් පැසිපියා කණ්ඩායමේ තුන් වන පරම්පරාවේ හිමිකරු වන නිරෝෂන්, එහි ආරම්භකයා වූ කේ.ජී. සුගතදාසගේ මුණුපුරා ය. එමෙන් ම දෙවන පරපුරේ හිමිකරු වූ කේ.ජී. නිමල් පියශාන්තගේ පුත්‍රයෙකි.

ඔහුට වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක් සහ බාල සොහොයුරෙක් වෙති.

1981 වසරේ උපන් නිරෝෂන් මේ වන විට විවාහ වී සිටින අතර දූවරුන් දෙදෙනෙකුගේ පියෙකි.

"මගේ කාලය වෙද්දී බාලවයස්කාරයින්ට සර්කස් කරන්න දුන්නේ නෑ. ඉතින් මම සර්කස් කරන්න පටන් ගත්තේ 1997 ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ.

තාත්තා අපිට සර්කස් ඉගැන්නුවේ නෑ. අපේ ජානවල ඒ හැකියාව තිබුණා. ඉතින් තාත්තලා පුරුදු වෙන තැනට ගිහින් බලාගෙන ඉඳලා තමයි මම ඉ‌ගෙන ගත්තේ," නිරෝෂන් මතකය අවදි කළේ ය.

"දැන් තියෙන සර්කස් කලාව රැකිලා තියෙන්නේ අපේ තාත්තා නිසා. එයා හදපු ගෝලයෝ තමයි දැන් සර්කස් කලාව කරගෙන යන්නේ. තාත්තා අවුරුදු 50ක් විතර වෙනකම් සර්කස් කළා. ඊට පස්සෙ අපිට භාර දීලා එයා නතර වුණා.

මේ වන විට සර්කස් පැසිපියා කණ්ඩායම නිසා පවුල් 15ක් පමණ ජීවත් වන බව නිරෝෂන් පවසයි.

වත්මන් හිමිකරු නිරෝෂන්

NIROSHAN'ගෙදර ඉන්නේ මාසයකට දවස් තුන හතර යි'


වසරේ සෑම මසක ම පාහේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සර්කස් සංදර්ශනය පවත්වන අතර, තමන්ට නිවසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන්නේ මසකට දින තුන හතරක් පමණක් බව නිරෝෂන් පැවසීය.


"අපි එක ගමකට ආයෙත් යන්නෙ අවුරුදු 5කට විතර පස්සේ. නිතර නිතර ගියොත් මිනිස්සුන්ට සර්කස් ගැන අගයක් නැති වෙනවා. ඒ නිසා අපි ටික කාලයක් ගියාට පස්සෙ තමයි ආයෙත් එක ම ගමට යන්නේ."


මේ අතර, විනෝද බදු ආදිය හේතුවෙන් සර්කස් සංදර්ශනවලින් රජයට සැලකිය යුතු මුදලක් ගෙවන බවත්, එක් සංදර්ශනයක් පැවැත්වීම සඳහා මූලික වශයෙන් රු. ලක්ෂයකට අධික මුදලක් වැය වන බවත් ඔහු සඳහන් කළේ ය.

සාමාන්‍යයෙන් ඔවුහු සර්කස් සංදර්ශනයක් සති කිහිපයක් තිස්සේ පවත්වති.

දුෂ්කරතා

මේ වන විට සර්කස් කණ්ඩායමක් පවත්වාගෙන යාම දුෂ්කර කටයුත්තක් වී ඇතැයි නිරෝෂන් පවසයි.

 

"ප්‍රධාන කාරණේ තමයි සර්කස්වලට පුහුණු කරන්න ළමයි හොයා ගන්න අමාරුයි. හොයා ගත්තත් වයස 18 පැන්නාට පස්සේ ඔවුන්ට පුරුදු කරන්න අමාරුයි. පොඩි කාලේ ඉඳලා පුරුදු කරන එක තමයි ලේසි. අනික් අතට දැන් ඉන්න දරුවෝ මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. ඒ කාලේ ගෑනු උදවිය කරපු සර්කස් තමයි දැන් පිරිමි කරන්නේ."


ඉදිරි මාස කිහිපය තුළදී තමන් ද සර්කස් සංදර්ශනවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවත්, එසේ වුවහොත් සිය බාල සොහොයුරා ද ඉන් ඉවත් වනු ඇති බවත් නිරෝෂන් පැවසීය.


"ශ්‍රී ලංකාවේ සර්කස් ක්ෂේත්‍රය ඉදිරියේදී කඩා වැටෙයි කියලයි මට හිතෙන්නේ. අපි ගැන කිසි බලධාරියෙක් බලන්නෙ නෑ. අපි බදු නම් ගෙවනවා ලොකු ගාණක්. මං හිතන්නේ දේශපාලනඥයොවත්, නිලධාරියොවත් සර්කස් බලල නැතුව ඇති. ඒකයි අපි ගැන කිසි ම තැකීමක් නැත්තේ."


සර්කස් සංදර්ශන සහ පුහුණුවීම් අතරතුර අනතුරට ලක්ව ඔත්පල වී සිටින පිරිසක් ද වෙති. ඔවුන් රැක බලා ගැනීමට ද සිදුව ඇත්තේ, සර්කස් කණ්ඩායමේ හිමිකරුට ය.

"මේක කලාවක්. අනතුරුදායක කලාවක්. අපිට මේක කරන්න පුළුවන් ඇඟේ හයිය තියෙනකම් විතරයි. ඉතින් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සර්කස්කාරයින් කියන අපි ගැනත් ටිකක් හොයලා බලන්න කියලා," නිරෝෂන් අවසාන වශයෙන් පැවසීය.

(BBC සිංහල සේවය) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...