ප්නොම් පෙන් සමග වැඩ කටයුතු කිහිපයක් කිරීමට ය.
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන් හී ම එම විශ්ව විද්‍යාලය, ගුවන් තොටුපොළට නුදුරින් පිහිටා තිබෙන අතර, මට ලැගුම් ගැනීමට ඔවුන් සූදානම් කර තිබුණේ නගර මධ්‍යයේ පිහිටි මධ්‍යම පැලැන්තියේ හෝටලයක ය. රටකට තොටකට රාජකාරී වැඩකට ගියත්, මාගේ අවධානය වඩ වඩා යොමු වන්නේ අදාළ රටේ කෑමට හා බීමට ය. කාම්බෝජීය ආහාර ඉතාමත් ප්‍රණීත වූවත් ඒවායේ දවස පුරා ම දැනෙන යම් තීව්‍ර රසයක් ඇත. ඒ නිසා මා බොහෝ විට උදෑසන ආහාර වේල කාම්බෝජීය නොවන එකක ලෙස ගැනුමට වගබලා ගනිමි.
කාම්බෝජීය ආහාර ඉතාමත් ප්‍රණීත වූවත් ඒවායේ දවස පුරා ම දැනෙන යම් තීව්‍ර රසයක් ඇත.
බුෆේ පන්නයට පිළියෙල කර ඇති උදෑසන ආහාර මේසයේ පලතුරු, යෝගට්, කිරි හා පාන් වැනි දෑ ඇති පැත්තෙන් කෑම ටිකක් බෙදා ගැනීම මගේ සිරිත යි. තරමක කෝප්පයකට ප්ලේන් යෝගට්, ටිකක් බෙදාගත් මා, වටපිට බැලුවේ, එහි රස තරමක් උද්දීපනය කිරීම සඳහා මිශ්‍ර කර ගත යුත්තේ කුමක් ද කියා ය. සාමාන්‍යයෙන් බුෆේ මේසයක ඇති, වියලි පලතුරු හා කජු, වොල්නට්, ආමන්ඩ් වැනි ඇට වර්ග එහි නොවී ය. එහෙත් කුඩාවට කැපූ පළතුරු අඩංගු බඳුනක් විය. එම කුඩාවට කැපූ පලතුරු කැබලි නැවුම් ගතියක් නොපෙන්වූ අතර ඒවා තරමක් දුර්වර්ණ වී තිබිණ. පනින්නට සිතා බලනු මෙන්, කන්නට පෙර කියවා බලනු කියා කියමනක් ඇත. මේසයේ මා බැලුවේ පලතුරු බඳුන යට තබා තිබුණු කුඩා පුවරුවේ ලියා ඇත්තේ කුමක් ද කියා ය.
පනින්නට සිතා බලනු මෙන්, කන්නට පෙර කියවා බලනු කියා කියමනක් ඇත. මේසයේ මා බැලුවේ පලතුරු බඳුන යට තබා තිබුණු කුඩා පුවරුවේ ලියා ඇත්තේ කුමක් ද කියා ය.
ඉංග්‍රීසියෙන් එහි ලියා තිබුණේ compost ලෙස ය. මා දන්නා ඉංග්‍රීසියේ තරමට, කොම්පෝස්ට් යනු ඉවතලන ආහාර ස්වභාවික ව දිරන්නට ඉඩ දෙන ක්‍රියාවලිය යි. එහි නිෂ්පාදනයක ලෙස කොම්පෝස්ට් පොහොර අපට ලැබේ. සමස්ත ආහාර ක්‍රියාදාමය ගැන කල්පනා කරද්දී ඕනෑම ආහාරයක් එක්තරා ආකාරයකට කලක දී කොම්පෝස්ට් වීම අරුමයක් පුදුමයක් නොවුනත් කෑමට ඉදිරිපත් කරන ආහාරයක්, පලතුරු කොම්පෝස්ට් ලෙස හඳුන්වන්නේ ඇයි ද කියා මට තේරුම් ගත නොහැකි විය.
කොම්පොට් යනු යුරෝපයේ ශතවර්ෂ දෙක තුනකට පෙර භාවිතා වූ ආහාර කල්තබා ගැනීමේ ක්‍රමයකි. කොම්පොට් යන ප්‍රංශ වචනයෙන් කියැවෙන්නේ ස්ටු හෙවත් ඉස්ටු ක්‍රමයට පිසගත් පලතුරු යන්න ය
පමා වී පත්තුවෙන ටියුබ්-ලයිටමය මොහොතකය මට වැටහුණේ, පුවරුවේ ලියැවී තිබුණ පදයේ කුඩා මුද්‍රණ දෝෂයක් නිසා නියම පදය වන කොම්පොට් (compote) යන්න ඔවුන්ගේ මුල් අරුත විය හැකි බව ය. කොම්පොට් යනු යුරෝපයේ ශතවර්ෂ දෙක තුනකට පෙර භාවිතා වූ ආහාර කල්තබා ගැනීමේ ක්‍රමයකි. කොම්පොට් යන ප්‍රංශ වචනයෙන් කියැවෙන්නේ ස්ටු හෙවත් ඉස්ටු ක්‍රමයට පිසගත් පලතුරු යන්න ය. එකල ශීතකරන නොතිබුණ නිසා, පලතුරු කල්තබා ගැනීමේ ක්‍රමයක ලෙස කොම්පොට් ක්‍රමය වූයේ, ඒවා කුඩා කැබලිවලට කපා, සීනි දෙහි හා කුරුඳු මුසු කොට, බටර් සමග තම්බා ගැනීම යි. මා එම හෝටලයේ ලැගුම්ගත් මුළු කාලයේම උදෑසන මාගේ ආහාරය වූයේ යෝගට් සමඟ කොම්පොට් ය. එහෙත් එය බෙදාගන්නා හැම විට ම කොම්පෝස්ට් පුවරුව දකින විට සිනා රැල්ලකින් මගේ සිත සැහැල්ලු වූ බව කිව යුතු ය.
සොන්ක්‍රාන් නමින් හඳුන්වන කාම්බෝජයේ නව අවුරුද්ද යෙදී තිබුණේ ද මා එහි සිටි කාලයේ ය
සොන්ක්‍රාන් නමින් හඳුන්වන කාම්බෝජයේ නව අවුරුද්ද යෙදී තිබුණේ ද මා එහි සිටි කාලයේ ය (සොන්ක්‍රාන් යන්න, 'සංක්‍රාන්ති'යෙන් බිඳී ආ එකකි). මේ උත්සවය නිමිත්තෙන් විශ්ව විද්‍යාලයේ මාගේ කාර්ය සගයන් පිරිස, දිවා භෝජනයකට මා රැගෙන ගියේ ප්නොම් පෙන් නගරයේ ඇති හොඳම අවන්හලකට ය. ක්ලාන්ත වෙන මට්ටමේ ආහාර වේලකින් පසු ව, ඔවුන් මට ඇවිටිලි කළේ අතුරුපසක් නම් කෑ යුතුම ය කියා ය. අතුරුපස කිහිපයක් දැක්වෙන මෙනූපත මා අඩ සිහියෙන් කියවන විට, මා එහි දැක්කේ Kampot (කම්පොට්) කියා අතුරුපසක් ඇති බව ය. මා සිතුවේ මෙහිත් වී ඇත්තේ මුද්‍රණ දෝෂයක් කියා ය. ඒ බව තහවුරු කරගන්න මාගේ කාර්ය සගයන්ගෙන් විමසූ විට මට දැනගන්නට ලැබුණේ ඒ එසේ නොවන බවත් නියම වචනය කම්පොට් බව ය.
ඒ දේශගුණ හා පාංශු තත්ත්වය මත වැවෙන අනර්ඝත ම කම්පොට් ගම්මිරිස්වලට ලෝක වෙළඳපොලේ කියන්නේ ශැම්පේන් ඔෆ් පෙපර් (champagne of pepper) කියලා. ඉන් අදහස් කරන්නේ ලෝකයේ උසස් ම වර්ගයේ ගම්මිරිස් වර්ගයක් කියා ය.
කම්පොට් කියන්නේ කාම්බෝජයේ එක් ප්‍රාන්තයකි. කඳුකර භූගෝලීය පසුබිමක හා තරමක් සීත පැත්තක ය කම්පොටය පිහිටා ඇත්තේ. ඒ දේශගුණ හා පාංශු තත්ත්වය මත වැවෙන අනර්ඝත ම කම්පොට් ගම්මිරිස්වලට ලෝක වෙළඳපොලේ කියන්නේ ශැම්පේන් ඔෆ් පෙපර් (champagne of pepper) කියලා. ඉන් අදහස් කරන්නේ ලෝකයේ උසස් ම වර්ගයේ ගම්මිරිස් වර්ගයක් කියා ය. මේ විශේෂිත ගම්මිරිස් වර්ගය සමග මුසුකොට සෑදුනු 'ක්‍රෙම් බෘලේ' ම ය අතුරුපසට ඔවුන් කියන නම ද කම්පොට් ය. ක්‍රෙම් බෘලේ (crème brûlée) යනු සුප්‍රසිද්ධ ප්‍රංශ අතුරු පසකි. එහි වාච්‍යාර්ථය පිළිස්සුණු ක්‍රීම් ය. ඇත්තෙන් ම එහි කෙරෙන්නෙ පුඩිමේ උඩ තට්ටුවට සිහින් සීනි තට්ටුවක් අතුරා දැඩි උෂ්ණත්වය ඇති ගිනි-ස්ප්‍රේ ගන් එකකින් පිළිස්සීම ය. එවිට සීනි ටික දිය වී සියුම් කැරමල ම ය වීදුරු තට්ටුවක් සෑදේ. ලංකාවේ ක්‍රීම් කැරමල් හෝ කැරමල් පුඩින් කියලා කියන්නෙත් මීට ටිකක් සමාන දේකට ම ය.
එහෙත් එහි නෙක්ස්ට්-ලෙවල ය ක්‍රෙම් බෘලේ ය. කාම්බෝජ කම්පොට් අතුරුපසේ කර ඇති නවතාවය වන්නේ, ඒ පුළුස්සන ලද සීනි තට්ටුවට කම්පොට් ගම්බිරිස් කුඩු මද පමණින් එක්කහු කර තිබීම ය. එය වචනයෙන් කියන්න බැරි රස මුසුවකි. මොහොතකට සිතන්න, අතිශය පැණි රහ සීනි තට්ටුවකට ඇහෙන් කඳුළු පනින තරම් සැර ගම්මිරිස් ටිකක් මුසු වූ විට එතැන ඇතිවෙන සූප ශාස්ත්‍රීය රමණය!
කාම්බෝජ මෑත කාලීන ඉතිහාසයේ පුරාම ලේ වැකුණු පොල් අකුරෙන් ලියා ඇති නම වෙන කාගේවත් නොව පොල්පොට් ගේ ය.
පොල්පොට්මුද්‍රණ දෝෂයක රහිත ව, පුවරුවක නොව, කාම්බෝජ මෑත කාලීන ඉතිහාසයේ පුරාම ලේ වැකුණු පොල් අකුරෙන් ලියා ඇති නම වෙන කාගේවත් නොව පොල්පොට් ගේ ය. කාම්බෝජය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම 'සම සමාජයක්' කරන්නට සමාජය තලා පෙලා සමතලා කළේ පොල්පොට් ය. පොල්පොට් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කර ඇත්තේ ප්‍රංශයේ ය. ඊට හේතුව කලකට පෙර කාම්බෝජය ප්‍රංශයේ යටත් විජිතයක් වීම ය. සියයට සියයක් දේශීය වශයෙන් නිපදවන ආර්ථික ක්‍රමයක්, ජනතාවගේ කනට තුවක්කුව තබා කාම්බෝජයට හඳුන්වා දුන්නේ පොල්පොට්ගේ කෙමර්-රූශ් (Khmer Rouge) පාලනය ය.
මිලියන් දෙක තුනක අහිංසක මිනිසුන් පිරිසක් කාම්බෝජයේ 'කොම්පෝස්ට්' වූයේ ඔවුනට පොල්පොට්ගේ රෙසිපියක හෙවත් සුප ශාස්ත්‍රීය වට්ටෝරුවක සිදු වූ පොඩි අත් වැරදීමක් බත රොස් වීම නිසා ය.
රූෂ් කියන්නේ ප්‍රංශ භාෂාවෙන් රතු ය. කෙනෙක්ට අනුමාන කරන්න පුළුවන්, ක්‍රෙම් බෘලේ එකට දේශීය කම්පොට් ගම්මිරිස් දාන්න අණ කළේ පොල්පොට් කියා. ඒත් පොල්පොට්ගේ භීම සමයේ ක්‍රෙම් බෘලේ තබා හාල් ඇටයක්වත් හොයාගන්න අමාරු තත්ත්වයකි තිබුණේ. කුඹුරු කොටන්නට, අගල් හා ඇල මාර්ග කපන්නට වැඩබිම්වල ගාල් කළ ලක්ෂ සංඛ්‍යාත කාම්බෝජවැසියන්ට දවසට ම ලැබුණේ කැඳ කෝප්පයක් පමණි. එය ද ලැබුණේ කලාතුරකිණි. කන්නට දෙයක් නැති කල ඔවුන් කළේ ගස්වල පොතු හා දිමියන් කෑම බව බොහෝ කතා ඇත. 1975 අප්‍රේල් සිට 1979 ජනවාරි දක්වා පැවැති පොල්පොට්ගේ කෙමරූෂ් පාලන කාලය තුල මිය ගිය කාම්බෝජ ජනතාවගේ සංඛ්‍යාව මිලියන 1.5 සිට 3 දක්වා විය හැකි බව ඇස්තමේන්තු ඇත. මොවුන්ගෙන් වැඩි පිරිසක් මිය ගියේ කන්න බොන්න නැතුව හාමතෙන් බව කියැවේ. මිලියන් දෙක තුනක අහිංසක මිනිසුන් පිරිසක් කාම්බෝජයේ 'කොම්පෝස්ට්' වූයේ ඔවුනට පොල්පොට්ගේ රෙසිපියක හෙවත් සුප ශාස්ත්‍රීය වට්ටෝරුවක සිදු වූ පොඩි අත් වැරදීමක් බත රොස් වීම නිසා ය.
කුඹුරු කොටන්නට, අගල් හා ඇල මාර්ග කපන්නට වැඩබිම්වල ගාල් කළ ලක්ෂ සංඛ්‍යාත කාම්බෝජවැසියන්ට දවසට ම ලැබුණේ කැඳ කෝප්පයක් පමණි.

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



