එය ඉංග්‍රීසීන් අපේ රට ආක්‍රමණය කර තිබූ සමයයි. අපේ රටේ වතු වගාව ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළේ මෙම සුද්දන් ය. ශ්‍රී ලංකාව අදටත් "තේ" සම්බන්ධයෙන් ලෝකයේ අඛණ්ඩ ජනප්‍රියතාවක් රැකගෙන සිටී. තේ වගාව අපේ රටට හඳුන්වා දුන්නේ ඔවුන් ය. ඉංග්‍රීසීන් ගේ තේ වතුවල කම්කරුවන් ලෙස අසීමිතව සිය ශ්‍රමය කැප කරමින් ලොවම පරසිදු ශ්‍රී ලංකා තේ නිපදවීමේ කාර්යයෙහි දී තේ වගාව ආරම්භ කළ දා සිට අද වනතුරුත් කම්කරුවන් ලෙස අසීමිතව ශ්‍රමය වැය කරමින් සිටින්නේ වතුකරයේ දෙමළ ජනතාව ය. දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ සියවස් දෙකකට අධික කාලයක් තිස්සේ ඔවුහු මෙරට ජීවත් වෙති.
ඔවුන් මෙරටට පැමිණ (2024 වනවිට) වසර දෙසීයක් සපිරීම වෙනුවෙන් පසුගියදා ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ද පැවැත්විණි.
දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ සියවස් දෙකකට අධික කාලයක් තිස්සේ ඔවුහු මෙරට ජීවත් වෙති. ඔවුන් මෙරටට පැමිණ ( 2024 වනවිට) වසර දෙසීයක් සපිරීම
නමුත් දකුණු ඉන්දීය ශ්‍රමිකයන් අපේ රටට පැමිණියේ තේ වගාව සඳහා ම නොවේ. ඔවුන්ගේ ආගමනය සම්බන්ධ අතීතය තවත් වසර ගණනාවක ඈතට විහිද යයි. අපි අපේ කතාව ආරම්භ කරන්නේ එතැන් සිට ය.
එඩ්වඩ් බාන්ස් අපේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ කාලයේ එවකට ලංකාව හෙවත් සිලෝන් ලෙස හැඳින්වූ මෙරට ප්‍රදේශ ගණනාවක ඔහු සංචාරය කළේය. එම සංචාරයෙන් ඔහු අවබෝධ කරගෙන තිබූ එක් දෙයක් තිබිණි. එදා මේ සම්බන්ධයෙන් ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පැවසූ වදන් සිංහලයට ඒ අයුරින්ම පෙරළා පැවසුවහොත් මෙසේ ය.
" මේ රටට පළමුවෙන්ම ඕනේ පාරවල්. දෙවනුවෙන් ඕනෙත් පාරවල්. තුන්වෙනුවෙන්ම ඕනෙත් පාරවල්"
එඩ්වඩ් බාන්ස් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා
අපේ රටේ ගමනාගමනය එදා කුමන ආකාරයෙන් පවතින්නට ඇතිද යන්න වටහා ගැන්මට මෙය සියුම් ඉඟියකි.
එවකට අශ්ව සහ ගොන් කරත්තවලට යා හැකි තරමේ මාර්ග කන්ද උඩරට පැවති අතර ඒ හැරුණු විට වෙරළ තීරය හරහා විහිද ගිය පටු මාර්ග ව්‍යුහයක් තිබිණි. රටේ වැඩිපුරම පැවතියේ මගීන් ට පයින් පමණක් ගමන්කළ හැකි අඩි පාරවල් වැනි පටු පාරවල් ය.
එක හේතුවක් නම් එකල අපේ රටේ පැවැතියේ ස්වයංපෝෂිත ආර්ථිකයකි. අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මිනිසුන් විසින් තමාම නිපදවාගත් අතර පිටතට ගියේ ලුණු, රෙදි වැනි ගමෙන් සොයා ගත නොහැකි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීම සඳහා පමණි. එනිසා දීර්ඝ ගමන් යාමේ අවශ්‍යතාවක් එදා ගැමියන්ට තිබුණේ නැත.
ඉංග්‍රිසි යුගයේ බඩු ප්‍රවාහනය කළ පාරක්
කන්ද උඩරට රජවරුන් අතීතයේ පාරවල් තැනීමෙන් වැළකී සිටියේ රාජධානිය ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීමේ ක්‍රමෝපායක් ලෙසිනි. මේ නිසා 1818 කැරැල්ලෙන් පසු ආරක්ෂාව තර කර ගැනීම පිණිස බලකොටු තනා රට පාලනය කිරීමට සුද්දන්ට සිදුවිය.
රටට මංමාවත් මිස බලකොටු තැනීමෙන් පලක් නොවන බව එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාට වැටහිණ. බලකොටු තැනීම සඳහා වැය වූ ශ්‍රමයත් ධනයත්, මංමාවත් ඉදිකිරීම සඳහා යොදා ගැනීමට ඔහු තීරණය කළේය.
ඉන්දියාවෙන් අපේ රටට ශ්‍රමිකයන් ගෙන්වන්නේ මුලින්ම මේ රටේ මංමාවත් තැනීමට සහ රේල් පාරවල්වල වැඩ කිරීමට ය. අපේ රටේ කොළඹ නුවර මාර්ගය තැනීමේ කටයුතු වසර 1820 දී ආරම්භ වූ අතර එය ඉංග්‍රීසින් විසින් මෙරට තැනූ මුල්ම මහා මාර්ගයයි. විවෘත කරනු ලැබුවේ 1832 දී ය. මෙම කටයුතුවලදී විශාල ශ්‍රමදායකත්වයක් දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙන් ලැබිණි. මේ අනුව බලන විට දකුණු ඉන්දියානු ජනතාව කම්කරුවන් ලෙසින් අපේ රටට පැමිණ ඉටු කරන ලද මෙහෙය වසර දෙසීයකට එහා අතීතයක් තෙක් විහිදේ.
අපේ රටට බහුල ලෙසම ඉන්දියානු කම්කරුවන් පැමිණෙන්නේ තේ වගාව ආරම්භ වූ පසුව ය. තේවලට පෙර ඉංග්‍රීසීන් මෙහි වතු වගාව ආරම්භ කළේ කෝපිවලිනි. නමුත් ඊට පෙර මේ රටේ කෝපි වගාව නොතිබුණා නොවේ. දාහත් වන සියවසේ දී මුස්ලිම් වන්දනාකරුවන් විසින් ලංකාවට මුලින්ම කෝපි වගාව හඳුන්වා දී තිබූ අතර පසුව දහඅට වන සියවසේ දී ලන්දේසීන් ද මෙහි කෝපි වගාව අත්හදා බලා තිබිණි. නමුත් ඒවා සාර්ථක වූයේ නැත.
අපේ රටේ වාණිජ කෝපි වගාවේ පියා ලෙස සැලකෙන්නේ ජෝර්ජ් බර්ඩ් ය. ඔහු හිටපු බ්‍රිතාන්‍ය යුද හමුදා නිලධාරියෙකි. අත්හදා බැලීමක් ලෙස මුලින්ම කෝපි වගාව කරන ලද්දේ ගම්පොළ සිංහපිටියේ ය. එය එකල සින්න පිටිය නමින් හැඳින්වූ බව පැවසේ.
සිංහපිටියේ කෝපි වතු යායේ සිතුවමක්
කෝපි වතුවල කම්කරුවන් ලෙස වැඩ කරන්නට අපේ රටේ මිනිසුන් කැමති වූයේ නැත. එයට එක හේතුවක් වූයේ එදා අපේ මුතුන් මිත්තන් බැඳී සිටියේ රාජකාරී ක්‍රමයට වැඩ කරන්නට ය. ඔවුන්ට පරම්පරාවෙන් උරුම වූ රාජකාරියක් තිබිණි. ඒ විවිධ කර්මාන්තයන් ය. ඔවුන් වැඩ කළේ එම පාරම්පරික කර්මාන්තවල ය. ඒ අතර ඔවුහු තමන්ගේ ඉඩකඩම් ද වගා කළහ. මේ සියල්ලම එක් පැත්තකින් තැබුවත් තමන්ගේ රට ආක්‍රමණය කර සිටින පරසුද්දන්ගේ ඉඩම්වල කුලී වැඩ කරන මානසිකත්වයක් අපේ රටේ මිනිසුන්ට තිබුණේ නැත. අවසානයේ ජෝර්ජ් බර්ඩ් දකුණු ඉන්දීය කුලීකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එවකට ආණ්ඩුකාරවරයාව සිටි එඩ්වඩ් බාන්ස්ගෙන් අවසර පැතුවේය. ඒ සඳහා ඔහුට අවසර ලැබිණි.
නියඟය, ආහාර අහේනිය, නිසි ආදායම් මාර්ග නොමැති වීම වැනි ගැටලු නිසා මේ වනවිට දකුණු ඉන්දීය ජනතාව ගත කළේ අතිශයින් දුක්ඛිත දිවි පෙවෙතකි. එය කොතෙක් වීද යත් තමන්ගේ ඉඩකඩම් පවා සොච්චමට විකුණා දරු පවුලට කන්න බොන්න වැය කරන්නට තරම් ඒ සමහරෙකු ගේ ජීවිත දුක්ඛදායක විය. නියඟය, ආහාර අහේනිය, නිසි ආදායම් මාර්ග නොමැති වීම වැනි ගැටලු නිසා මේ වනවිට දකුණු ඉන්දීය ජනතාව ගත කළේ අතිශයින් දුක්ඛිත දිවි පෙවෙතකි. එය කොතෙක් වීද යත් තමන්ගේ ඉඩකඩම් පවා සොච්චමට විකුණා දරු පවුලට කන්න බොන්න වැය කරන්නට තරම් ඒ සමහරෙකු ගේ ජීවිත දුක්ඛදායක විය. මේ තත්ත්වය මත ඔවුන් ලංකාවට කුලීකරුවන් ලෙස ගෙන්වා ගැනීම පහසුවේ යැයි ඉංග්‍රීසි පාලකයින් කල්පනා කරන්නට ඇත. ඔවුන් ඊළඟට තමන්ගේ වතුවල සේවය කරමින් සිටි දෙමළ කංකානිලා කිහිප දෙනෙක් ඉන්දියාවට යැවූයේ එරටින් ශ්‍රමිකයන් රැගෙන එන්නට ය.
දකුණු ඉන්දියාවට ගොස් ඔවුන් මුලින්ම කළේ එහි ත්‍රිචී, තිරුනල්වේලි, මදුරෛයි, රාමේශ්වරම් වැනි එවකට පිටිසර ගම්මාන වශයෙන් පැවති ප්‍රදේශවල අතින් ලියන ලද දැන්වීම් ඇලවීම ය. ඒවායෙහි සඳහන් වූයේ ලංකාවේ රැකියා අවස්ථා ඇති බවත්, හොඳින් කෑම බීම ඉන්න හිටින්නට ගෙවල් දොරවල් ආදිය ලැබෙන බවත්, පැන්ස සහ සිලිංවලින් වැටුප් ගෙවන බවත් ය. ලංකාවේ කෝපි වතුවල රැකියා කර ඉතා හොඳින් මුදල් උපයා ගෙන අහිමිවී ගිය ඉඩකඩම් ගේ දොර ආදිය නැවත මිලදී ගත හැකි බවට ඔවුන් ඉදිරියේ සුන්දර සිහින රාශියක් මවන්නට මේ දෙමළ කංකානිලාට හැකි විය.
එවකට ඔවුන් ගතකළ ජීවිත අනුව බලන විට ලංකාවට පැමිණීම ඔවුන්ගේ සියලු ගැටලුවලට විසඳුමක් බව ඔවුන් කල්පනා කරන්නට ඇත.
කෝපි වගාව තවදුරටත් ව්‍යාප්ත වන විට තවත් එකසිය පනහක පමණ ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් මෙහි ගෙන්වා තිබිණි. මොවුන් පැමිණියේ තනි පුද්ගලයන් ලෙස පිරිමින් පමණි. එයද විශාල පිරිසක් නොවේ. මුලින්ම මෙහි පැමිණියේ දාහතර දෙනෙකුගෙන් යුත් පිරිසක් බව සඳහන් ය. ඒ එක්දහස් අටසිය විසි ගණන්වලදී ය. පැමිණ තිබුණේ ජෝර්ජ් බර්ඩ් ට අයත් සිංහපිටිය වතුයායට ය. කෝපි වගාව තවදුරටත් ව්‍යාප්ත වන විට තවත් එකසිය පනහක පමණ ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් මෙහි ගෙන්වා තිබිණි. ඒ ද 1823 දී පමණ ය. සිංහ පිටියේ කෝපි වගා කරන අතරේ බාන්ස් ආණ්ඩුකාරවරයා පේරාදෙණිය ගන්නොරුවේ කෝපි වගාවක් ඇරඹුවේය.
මේ ආකාරයට කෝපි වගාව සඳහා දකුණු ඉන්දීය ශ්‍රමිකයන් පැමිණියත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙහි රැඳුණේ නැත. ඊට හේතුව, වගාවේ මුල් කාලයේත්, ඉන්පසු පළ නෙළන කාලයටත් මිස කෝපි වගාවේදී වෙන කරන්නට දෙයක් නොමැති වීම ය. එනිසා ඒ අතර මැද කාලයේ ඔවුහු යළි තමන්ගේ රටට ගියහ.
නමුත් කෝපි වගාව හැරුණු විට ඉහත සඳහන් කළ පරිදි ලංකාවේ මාර්ග සකස් කිරීමේ කටයුතුවලදීත්, කොළඹ වරායේ කම්කරු රැකියාවලදීත් වැඩිපුරම ශ්‍රමදායකත්වයක් ලබා දී තිබුණේ ඉන්දියානු කම්කරුවන් ය.
කෝපි වගාව නිසා අපේ රටට ඉතා ඉහළ ආදායම් ලබා ගැනීමට හැකි විය. කෝපි වගාව නිසා අපේ රටට ඉතා ඉහළ ආදායම් ලබා ගැනීමට හැකි විය. ස්වදේශිකයන් තම වතුවගාවට සම්බන්ධ කර ගැනීමට සුද්දන්ට වුවමනා වී තිබුණත් එය පහසු නොවිණි. අන්තිමේ ඊට ඔවුහු උපායක් කල්පනා කළහ.
තවත් කොටසකින් හමුවෙමු.
තොරතුරු සහ ඡායාරූප ලබා ගැනීමේදී සහාය වූ Collective for historical dialogue and memory ආයතනයේ ජොහාන් පීරිස් මහතාටත්, මාරිමුත්තු සතිවේල් පියතුමාටත් ස්තුතියි.
ඉන්දු පෙරේරා




