The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

මෙතෙරින් සැලකුම් නැතත් ලක් පොළොවට සුව සදන එතෙරින් ආ ශාක අහිංසකාවිය; ග්ලිරිසිඩියා – (රේණුකා දමයන්ති)

T

The Leader Desk

June 2, 2024 • 6:20 AM

මෙතෙරින් සැලකුම් නැතත් ලක් පොළොවට සුව සදන එතෙරින් ආ ශාක අහිංසකාවිය; ග්ලිරිසිඩියා – (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසුන් සම්බන්ධයෙන් මිනිසුන් වෙතින් නිතර කියැවෙන එම කතාව ගසකට කියා සිටිය හැකි නම් අප රටේ බොහෝ ප්‍රදේශවල කිසිවකු ගේ අවධානයකින් සැලකිල්ලකින් තොරව ඇති වැටමාර, ඇල්බීසියා ආදී නම් වලින් ප්‍රචලිත ග්ලිරිසිඩියා ශාකය එසේ කියනු ඇතැයි මට සිතෙයි.
  • එය මුහුදු මට්ටමේ සිට මීටර් 1600 ක උන්නතාංශයක් දක්වා හොඳින් වර්ධනය වේ.
  • ඒ සඳහා මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 සිට 29 දක්වා සහ, වාර්ෂික වර්ෂාපතනය මිමී 900 සහ මිමී 1500 අතර වන පසුබිමක් යෝග්‍ය වේ.
  • මාස පහක වියළි කාලයක් වුව ඒ සඳහා කම් නැත. එහෙත්, ග්ලිරිසිඩියා සෙල්සියස් අංශක 15 ට අඩු ශීත උෂ්ණත්වයට එතරම් ඔරොත්තු නොදේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මිනිසුන් සම්බන්ධයෙන් මිනිසුන් වෙතින් නිතර කියැවෙන එම කතාව ගසකට කියා සිටිය හැකි නම් අප රටේ බොහෝ ප්‍රදේශවල කිසිවකු ගේ අවධානයකින් සැලකිල්ලකින් තොරව ඇති වැටමාර, ඇල්බීසියා ආදී නම් වලින් ප්‍රචලිත ග්ලිරිසිඩියා ශාකය එසේ කියනු ඇතැයි මට සිතෙයි. වැටමාර, ඇල්බීසියා ලාඩප්පා, වැටහිර ඇකේෂියා, ලිංසීරියා, ගිනිසීරියා ආදී නම් කිහිපයකින් අප රට තුළ හැඳින්වෙන ග්ලිරිසිඩියා සේපියම් (Gliricidia sepium) කාගේවත් සාත්තු සප්පායමකින් තොරව ඔහේ හැදී වැඩෙමින් මිනිසුනට සතා සීපාවාට සේම තමන් ජීවත්වන පරිසරයට සුවිසල් මෙහෙයක් ඉටු කරන අහිංසක ශාකයක් වීම ඊට හේතුව ය. 

 

ග්ලිරිසිඩියා සේපියම් (Gliricidia sepium) කාගේවත් සාත්තු සප්පායමකින් තොරව ඔහේ හැදී වැඩෙමින් මිනිසුනට සතා සීපාවාට සේම තමන් ජීවත්වන පරිසරයට සුවිසල් මෙහෙයක් ඉටු කරන අහිංසක ශාකයක්
මධ්‍යම ඇමරිකාවේ සෘතුමය වියළි පැසිෆික් වෙරළ තීරය ග්ලිරිසිඩියා සේපියම් ශාකයේ නිජබිම වන අතර දැන් සමකයට උතුරු අක්ෂාංශ 23° හා දකුණු අක්ෂාංශ 23° අතර පිහිටා ඇති නිවර්තන කලාපය පුරා ව්‍යාප්ත වී ඇත. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1600 ක උන්නතාංශයක් දක්වා හොඳින් වර්ධනය වේ. ඒ සඳහා මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 සිට 29 දක්වා සහ, වාර්ෂික වර්ෂාපතනය මිමී 900 සහ මිමී 1500 අතර වන පසුබිමක් යෝග්‍ය වේ. මාස පහක වියළි කාලයක් වුව ඒ සඳහා කම් නැත. 

එහෙත්, ග්ලිරිසිඩියා සෙල්සියස් අංශක 15 ට අඩු ශීත උෂ්ණත්වයට එතරම් ඔරොත්තු නොදේ. එය ජලය බැස යන මෘදු සාරවත් පසෙහි පුළුල් පරාසයකට ඔරොත්තු දෙයි. ග්ලිරිසිඩියා, කොළවල නයිට්‍රජන්- 4.6% පොස්පරස්- 0.2% පොටෑසියම්- 2.2% කාබන් නයිට්‍රජන් අනුපාතය- 10 අතර ගත වන අතර දඬුවල නයිට්‍රජන්- 1.8% පොස්පරස්- 0.2% පොටෑසියම්- 2.8% හා කාබන් නයිට්‍රජන් අනුපාතය- 25 වශයෙන් දැක්වෙයි. 

ඉක්මන් සැරයටිය,සැරයටිය, මෙක්සිකානු ලිලැක්, කොකෝවාගේ මව, ශාන්ත වින්සන්ට් පාම්, යකඩ ගස ආදී අරුත් ගෙනෙන නම් සිය දහස් ගණනකින් ලොව පුරා මෙය හඳුන්වනු ලැබේ. ග්ලිරිසිඩියා ශාකයෙන් ප්‍රයෝජන රැසක් ලබාගත හැකිය. එසේම ඉතාමත් පහසුවෙන් වගා කළ හැකි මෙම ශාකය රෝග සහ පළිබෝධ හානිවලට හොඳින් ඔරොත්තු දීම විශේෂත්වයකි.

Gliricidia Sepium Seedsග්ලිරිසිඩියා ඇට
ග්ලිරිසිඩියා වැටවල් සැකසීම මහත් ප්‍රතිඵල උදාකර දෙන්නකි. මෙය ගොවි බිමේ අනෙකුත් බෝග සඳහා අහිතකර ලෙස බලනොපාන, නිදැලි ගවයන්, එළුවන් ගොවිබිමට ඇතුළු වීම වළකාලන බුර බුරා නැඟෙන ලැව් ගිනි සඳහා මඟ අහුරන ශාකයකි. අප රටේ මෙය වැටමාර ලෙස හැඳින්වෙනුයේ එනිසාම ය. 

එමෙන්ම ඉතා පහසුවෙන් පසට මුසු කළ හැකි කොළ පොහොරක් ලෙස ද මෙය ලොව පුරා භාවිතයට ගැනෙයි. මෙහි දී ශාකයේ කොළ පැහැති ළපටි දඬු සහ කොළ පස මත අතුරනයක් ලෙස යොදා ගත හැක. පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණ ඉහළ දැමීම බහුලව සිදු වේ.පසෙහි, නයිට්‍රජන් සංයුතිය ඉහළ දැමීම, පාංශු වයනය, ජල වහනය වර්ධනය වීම, පාංශු උෂ්ණත්වය පාලනය වැනි පාංශු භෞතික සාධක සංවර්ධනය, වල් මර්ධනය, මතුපිට පාංශු ඛාදනය අවම කිරිම හා පසේ තෙතමනය ඉහළ දැමීම, වැනි විශේෂ ප්‍රතිලාභ ග්ලිරිසිඩියා කොළ පොහොරක් ලෙස පසට යෙදීමෙන් ලබාගත හැකිය. 

Gliricidia Green manure incoorporation 1 ග්ලිරිසිඩියා අමු කොළ පසට යෙදිමෙන් පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යයි.

 

ග්ලිරිසිඩියා අමු කොළ පසට යෙදිමෙන් පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යයි. නයිට්‍රජන් හා පොටෑසියම් පෝෂක කඩිනමින් ද පොස්පරස් කැල්සියම් සහ සල්ෆර් මඳක් සෙමින් ද පසට එක්කරමින් අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය වන තඹ, සින්ක්, මොලිබිඩිනම් සහ බොරොන් පසට සපයයි. පස සරු කරන, සක්‍රීය කරන බිම් පණුවන් වර්ධනය ද මෙමඟින් පහසු කරයි.පසේ මුල් වර්ධනය වීමට පහසු අයුරින් පස බුරුල් කරයි.

එමෙන්ම මෙම ශාකමය අහිංසකාවිය පෝෂණීය අමු ද්‍රව්‍යයක් පමණක් නොව පොස්පරස් පොටෑසියම්, කැල්සියම් හා මැග්නිසියම් ද ක්ෂුද්‍ර මුල ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද පසට සපයයි. බෑවුම් ඉඩම් සහිත කඳුකර ප්‍රදේශයන් හි පාංශු සංරක්ෂණය, සෝදා පාළුව අවම කිරිම, පාංශු කාබනික ද්‍රව්‍ය රැකගැනීම සඳහා වැටි ලෙස ග්ලිරිසිඩියා වගා කිරීම ඉතා යෝග්‍ය ය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ ජලාධාර කළමනාකරණයේ දී මහඟු පිටුවහලක් සපයයි. අඟල් 4-6 අතර පරතරය ඇතුව සිටුවීම මෙහි විශේෂ ලක්ෂණයකි.

 

Gliricidia sepium flowerග්ලිරිසිඩියා මල්
සත්ව ආහාර සඳහා ද ග්ලිරිසිඩියා ළපටි දඬු හා පත්‍ර යෝග්‍ය වේ. ඉහළ ප්‍රෝටීනමය අගයක් (20%-30% දල ප්‍රෝටීන්) ඇති බැවින් සත්ව නිෂ්පාදන ඉහළ යයි. තණකොළ හෝ පිදුරු සමඟ 30% ක් පමණ මිශ්‍ර කර ආහාර සඳහා ලබා දිය හැක. සත්ව ආහාර සඳහා ලපටි, ග්ලිරිසිඩියා ශාකයේ ළපටි දඬු කොළ පොත්ත ලබා දිය හැකි අතර ඉතිරි දර ලෙස යොදා ගත හැක. පස ආවරණය කරමින් යොදන ග්ලිරිසිඩියා කොළ අතු දීලීර නාශකයක් ලෙස සමහර අවස්ථා වලදී ක්‍රියාකරනු ඇත. විශේෂයෙන් රට කජු වගාවේ දි මෙහි විශේෂ ප්‍රතිඵල ලබා තිබේ. දිලීර බීජ පැතිරිමට භෞතික බාධයක් ද ලෙස ක්‍රියා කරයි. තේ වගාවේ වේයන්ගේ ක්‍රියාකාරීත්වය අඩු කිරිමට ද ග්ලිරිසිඩියා යෝග්‍ය ය.

LK94006383 03 Eග්ලිරිසිඩියා කොළ

 

ග්ලිරිසිඩියා, වගාවක් ලෙස සිදුකිරීමේ දී දඬු සහ බීජ මඟින් පැළ ලබාගැනීම සිදුකරනු ලැබේ. එහි දී එක් එක් ආකාරයට අනුව පැළ ලබාගැනීමේ අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් ඇත. අවුරුද්දකට වඩා මේරූ දඬු භාවිතා කළ යුතු වීම ඉන් පළමු තැන ගනී. දඬු කැබැල්ලක උස මීටර් 1.5ක් පමණ විය යුතු අතර විෂ්කම්භය සෙ.මී (2.5-3) පමණ වුණු දඬු වගාවකට වඩාත් සුදුසු ය. පොලිතින් මළුවල සිටවූ දඬුවල මුල් ඇදුණු පසුව ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය. එහි දී මුල් ඇද්දවීම වේගවත් කිරීම සඳහා කැපූ කෙළවරේ හෝමෝනයක් ආලේප කළ යුතු වේ.දඬුවල වාතයට නිරාවරණය වන කෙළවරේ මැටි ආලේප කිරීම මඟින් වියළීම අවම කරගත හැකි වනු ඇත.

දඬු සිටුවීමේ දී සිටුවන කෙළවරේ පොත්තට හානි නොවන සේ සිටුවිය යුතු අතර වර්ෂා කාලයේ දී දඬු සිටුවීම වඩාත් සුදුසු වේ.

ග්ලිරිසිඩියා බීජ මඟින් ද රෝපණය කර ගත හැක. බොහෝ ප්‍රදේශවල ග්ලිරිසිඩියා මල් හටගන්නේ පෙබරවාරි සහ මාර්තු මාසවල දී ය. එවිට හටගන්නා කරල් දුඹුරු පැහැ වුණු විට කඩා බීජ ලබාගත හැකි ය. බීජ පොලිතින් මළුවල සිටුවීමෙන් පසුව පැළ ලබාගත හැකි වනු ඇත. බීජ සිටුවා මාස 2-3ක කාලයකින් ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය.

bfgerග්ලිරිසිඩියා වැට
ග්ලිරිසිඩියා ශාකය විවිධ ආකාරයට වගා කරනු ලැබේ.ඒ ගෙවතු සහ වගාවන් ආශ්‍රිතව ය. එවැනි වගා ක්‍රම කිහිපයක් තිබේ.තනි වගාවක් ලෙසින් සිදු කිරීම ආවරණ බෝගයක් ලෙසින් වගා කිරීම වෙනත් බෝග අතරේ පේළි ලෙස වගා කිරීම වැටවල්වල වගා කිරීම ගෙවත්තේ වගා කිරීම බුලත්, ගම්මිරිස් වැනි බෝග සඳහා ආධාරක ලෙස වගා කිරීම ඒ ක්‍රම අතරට අයත් වේ.

කිසිදු ප්‍රයෝජනයක් නැති බවක් යමකුට හැඟී යා හැකි වුවද ග්ලිරිසිඩියා වලින් ගත හැකි තවත් ප්‍රයෝජන රැසකි. කොහු කර්මාන්තයේ දී අතුරුඵලයක් වන කොහුබත් සැකසීම හා වියළීමේ දී භාවිතා කිරීම,සක්‍රීය කාබන් නිෂ්පාදනයේ දී අධී පීඩන හුමාල ජනනය සඳහා යොදා ගැනීම, හුනු පිළිස්සීමේ දී පෝරණු සඳහා යොදා ගැනීම, පිත්තල කර්මාන්තයේ දී පිත්තල උණු කිරීම ඔප මට්ටම් කිරීම ට අවශ්‍ය බලශක්තිය සපයා ගැනීම, රබර් කර්මාන්තයේ දි දුම් ගෙය සඳහා යොදා ගැනීම, පොල් කර්මාන්තයේ කොප්පරා වියලීම සඳහා ඉන්ධනයක් ලෙස යොදා ගැනීම, ගෘහස්ථ ආහාර පිසීම් වල දී ඉන්ධනයක් ලෙස යොදා ගැනීම, කෘෂි කාර්මික නිෂ්පාදන වියලීම සඳහා විජලනයන් හී තාප දායකය ලෙස යොදා ගැනීම ඉන් කිහිපයකි. ඊට අමතරව ග්ලිරිසිඩියා ලොව ඇතැම් රට වල ග්‍රාමීය ජනතාවගේ නිවෙසේ ආලෝකකරණය සඳහා යොදා ගනු ලැබේ.

වගා බිමක හෝ ඉඩමක ආරක්ෂාව සඳහා වැටක් බැඳීමේ දී ග්ලිරිසිඩියා ඉනි භාවිතා කර හැකි මුත් වර්තමානයේ දී වැටවල් ගැසීම සඳහා නවීන ක්‍රම භාවිතා කරන බැවින් ග්ලිරිසිඩියා ඉනි භාවිතා කිරීම අවම වී තිබෙන ආකාරය දැකිය හැකිය. එහෙත් මේ වන විට කෙමෙන් ජනප්‍රිය වෙමින් පවත්නා හරිත වැටවල් ( Green hedge) සඳහා ග්ලිරිසිඩියා භාවිතා කෙරෙන අතර එය පරිසර හිතකාමී දැකුම්කලු නිමැවුමක් ද වේ. ඒ අනුව මෙතෙරින් සැලකුම් නැතත් ලක් පොළොවට සුව සදන එතෙරින් ආ ශාක අහිංසකාවිය කෙරෙහි අප මීට වඩා උනන්දුවක් පළ කිරීමෙන් අපගේත් සොබා දහමේත් සුවසෙත වඩාත් හොඳින් සළසා ගත හැකිය.

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදා ද? - (රේණුකා  දමයන්ති)(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...