The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ශ්‍රී රාමායන් ට්‍රේල්ස්: සීතාඑළියේ සිදුවන්නේ කුමක් ද?

T

The Leader Desk

June 3, 2024 • 4:15 PM

ශ්‍රී රාමායන් ට්‍රේල්ස්: සීතාඑළියේ සිදුවන්නේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සාහිත්‍යයේ දීර්ඝතම පුරාණ වීර කාව්‍යයන්ගෙන් එකක් ලෙස සැලකේ.
  • රාමා, සීතා සහ රාවණා යන චරිත ගොඩනැගී ඇත්තේ, එම කෘතිය හරහා ය.
  • ශ්ලෝක 24,000ක් සහිත එම කෘතිය කාණ්ඩ 7ක් යටතේ සකස් කර තිබේ.
  • ඉන්දියාවේ අයෝධ්‍යා රාජ්‍යයේ දශරථ රජුගේ පුත්‍රයෙකු වූ රාමා, සීතා සමග විවාහ වන අතර, රජුගේ වෙනත් බිරිඳකගේ පුත්‍රයෙකු වූ භාරතට රජකම භාර දී වනයට ගොස් වාසය කළ බව එහි කියැවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක සාහිත්‍යයේ දීර්ඝතම පුරාණ වීර කාව්‍යයන්ගෙන් එකක් ලෙස සැලකේ.

රාමා, සීතා සහ රාවණා යන චරිත ගොඩනැගී ඇත්තේ, එම කෘතිය හරහා ය. ශ්ලෝක 24,000ක් සහිත එම කෘතිය කාණ්ඩ 7ක් යටතේ සකස් කර තිබේ.
 
ඉන්දියාවේ අයෝධ්‍යා රාජ්‍යයේ දශරථ රජුගේ පුත්‍රයෙකු වූ රාමා, සීතා සමග විවාහ වන අතර, රජුගේ වෙනත් බිරිඳකගේ පුත්‍රයෙකු වූ භාරතට රජකම භාර දී වනයට ගොස් වාසය කළ බව එහි කියැවේ.

එහිදී, යක්ෂ ගෝත්‍රිකයින්ට එරෙහිව ක්‍රියා කරන රාමාට එරෙහිව ශ්‍රී ලංකාවේ යක්ෂ අධිපතියෙකු වන රාවණා සටන් කර ඇති බවත්, පළිගැනීමක් වශයෙන් රාමාගේ බිරිඳ වූ සීතා පැහැරගෙන ලංකාද්වීපයට පැමිණ සිර කරගෙන සිටි බවත් රාමායණ කතා පුවතේ සඳහන් වේ.

පසුව, හනුමාන් සමග එක්ව සීතා යළි රැගෙන යාමට රාමා සමත්වූ බව ද එම කතා පුවතේ දැක්වේ.
 
xdfgdr64

ශ්‍රී රාමායන් ට්‍රේල්ස්
 
ඉහත කී පුරවෘත්තය සමග සම්බන්ධ වී ඇති බවට සැලකෙන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන 9ක් 'ශ්‍රී රාමායන් ට්‍රේල්ස්' නමින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් 21 වන දා කොළඹදී ආරම්භ කෙරිණි.

"ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාව වර්ධනය කිරීම සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින්, අතිනවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිත," ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය එහිදී නිල වශයෙන් ආරම්භ විය.

ඉන්දියාවේ අයෝධ්‍යයාහි ඉදිකරන ලද ශ්‍රී රාම කෝවිලේ ප්‍රධාන භාණ්ඩාගාරික ගෝවින්ද් දේව්ගිරි මහාරාජ් ස්වාමිගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර, මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්විය.

මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආයෝජනයක් බව පැවසේ.

මෙය ඉන්දියාවේ මග පෙන්වීම අනුව ශ්‍රී ලංකාව විසින් කරනු ලබන ව්‍යාපෘතියක් බව සීතාඑළිය, සීතා අම්මාන් කෝවිලේ භාරකාර කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඉන්දියාවේ රාමා කෝවිල විවෘත කළාට පස්සේ, ඒගොල්ලන්ගෙ බලාපොරොත්තුවක් තියෙනවා, සීතා මෙහෙනෙ හංගල තිබුණේ, ඒ නිසා මේක සංවර්ධනය කරන්න ඕන කියල කියනවා. අපේ සල්ලිවලින් තමයි සංවර්ධනය කරන්නේ. ඒ වුණාට ඒගොල්ලන්ගේ අනුග්‍රහයක් තියෙනවා, මේ ව්‍යාපෘතියට," වී. රාධාක්‍රිෂ්ණන් පැවසීය.

 
"ලෝකයේ එක ම සීතා කෝවිල"
 
ඉන්දියාවේ රාමා නමින් කෝවිල් පැවතිය ද, ශ්‍රී ලංකාවේ සීතාඑළිය හැර ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක සීතා නමින් කෝවිලක් නැතැයි වී. රාධාක්‍රිෂ්ණන් ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසූ පරිදි, ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලපෑ හේතුව ද, සීතාඑළියේ පිහිටි සීතා අම්මාන් කෝවිල යි.

නුවරඑළියේ සිට බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 3.6ක් පමණ දුරින් සීතා අම්මාන් කෝවිල පිහිටා තිබේ.

රාවණා විසින් සඟවාගෙන සිටි සීතා දේවියට හිරු එළිය දැකීම සඳහා එම ස්ථානයට රැගෙන ආ බවත්, සීතා සොයාගෙන ආ හනුමාන්ට පළමු වරට සීතා දේවිය දැක ගැනීමට හැකි වී ඇත්තේ, එවැනි අවස්ථාවකදී බවත් ඇතැමුන්ගේ පිළිගැනීම යි.

ඊට අදාළ බව කියන සලකුණු කිහිපයක් ද එහි ඇති බවත් කියැවේ.

 
ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතියෙන් සිදුවන්නේ කුමක් ද?
 
zdfser5g“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය හරහා ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කරගැනීම
 
ශ්‍රී රාමායන් ට්‍රේල්ස් හෙවත් ශ්‍රී රාමායන මංපෙත් යනුවෙන් හැඳින්වෙන මෙම ව්‍යාපෘතියේදී රාමා - සීතා කතාවට සම්බන්ධ බවට පිළිගැනෙන ශ්‍රී ලංකාවේ ස්ථාන 9ක් සංවර්ධනය කෙරේ.

එම ස්ථාන 9 මෙසේ ය.
 
1. මන්නාරම් ද්‍රෝණියේ ඇති බව කියන ආදම්ගේ පාලම. (එකමුතුකම සහ ශක්තිය සංකේතවත් කරමින් රාම් දෙවියන්ගේ හමුදාව විසින් ඉදිකරන ලද පුරාවෘත්තයෙහි සඳහන් පාලම)

2. අශෝක වතිකා සීතාඑළිය. (සක්‍රීය හරිත හා නිස්කලංක පරිසරයක් මධ්‍යයේ රාවණා විසින් සීතා දේවිය සිර කරනු ලැබ සිටි ස්ථානය බව කියන ශාන්ත වූ අභයභූමිය)

3. වැලිමඩ, දිවුරුම්පොළ. (දරා ගැනීමේ හැකියාව හා දැහැමි බව පිළිබඳ සාක්ෂියක් වන අග්නි පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයේ සිට සීතා දේවියගේ චරිතයේ නිර්මලත්වයට උපහාර දැක්වීම)

4. උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය. (රාමා මුලින් ම ලංකාද්වීපයට ගොඩ බසින ලද ස්ථානයේ සිට හනුමාන්ගේ වීර ගමනට ගෞරව දැක්වීම)

5. ගාල්ල - රූමස්සල. (සංජීවනීය ඖෂධ පැළෑටිය සෙවීමේ හනුමාන්ගේ ගවේෂණයෙන් ලද බව කියන උද්භිද උද්‍යානය)

6. ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල. (ශිව දෙවියන් උදෙසා වන්දනාමාන කරන මෙම පෞරාණික විහාරස්ථානයේ වාස්තු විද්‍යාත්මක වැදගත්කම සහ ආධ්‍යාත්මික වැදගත්කම අත්විඳීම)

7. හලාවත - මානවරි කෝවිල. (කරුණාවේ සහ භක්තියේ සංකේතයක් වන රාම් දෙවියන් විසින් ස්ථාපනය කරන ලද කෝවිලකි)

8. ඇල්ල - රාවණාගේ ගුහාව. (සීතා සඟවා තැබූ බව කියන ස්ථානය)

9. කතරගම නොහොත් දකුණු කෛලාශය.
මේ අතර, මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ, රාමා - සීතා පුරාවෘත්තය සමග බැඳුණු ඓතිහාසික කතාන්දරය, කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality, සහ Virtual reality වැනි අතිනවීන තාක්‍ෂණික ක්‍රම ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම යි.

 
"ඉන්දියාවේ පාලනය ලංකාව තුළ ගෙන යන සංස්කෘතික මෙහෙයුමක්"
 
මෙම ව්‍යාපෘතිය හරහා සිදුවන්නේ, "ඉන්දියාවේ පාලනය ලංකාව තුළ ගෙන යන සංස්කෘතික මෙහෙයුමක්" බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.

ඔහු මෑතකදී පැවති සම්මන්ත්‍රණයකදී පැවසුවේ, "රාමායණයට අදාළ පුරාවෘත්තය බල ගන්වන සංස්කෘතික මෙහෙයුම් අලුත් වටයකින් ක්‍රියාත්මක වන," බව ය.

"දැන් ඒ අතරේ එනවා තව එකක්. රාම - රාවණා පුරාවෘත්තය පදනම් කර ගත්තා වූ සංචාරක ව්‍යාපාරයක්. අපේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න කට්ටිය මේකට හරි ආසයි. කතරගමත් තියෙනවා, ඒ තැන් හතේ. කෛලේශ්වරී කියල තමයි කතරගම හදුන්වල තියෙන්නේ. තව ස්ථාන ගණනාවක්, ඇල්ල පැත්තේ රාවණා ගුහාව වගේ. ඒවාට බිලියන 50ක් වෙන් කරල තියෙනවා, රාවණා ස්ථාන හැටියට. ඒවා වැඩිදියුණු කරන්න. තමුන්නාන්සෙලා දන්නවා, රාමායණය පොතේ විතරයි, ඔය රාම - රාවණා කතාව තියෙන්නෙ. වෙන කොහෙවත් නෑ. පුරාවිද්‍යාත්මකව කොහෙවත් සනාථ වෙලා නෑ. එතකොට ඔය පොතේ තියෙන විදිහට අන්තිමට රාවණා රජ්ජුරුවො පාවලා දෙන්නෙ සහෝදරයා, විභීෂණ. ටක්කෙට ම බැසිල් රාජපක්ෂ වගේ බඩුවක්. විභීෂණට තමයි, ලංකාව පාලනය කරන්න භාර දුන්නේ. එතකොට රාමගේ පාලනය තමයි, විභීෂණ පවත්වගෙන යන්නෙ. එතකොට විභීෂණ කරන්නෙ රාමට ඕන විදිහට ලංකාව පාලනය කරන එක. ඒ රාමායණයට අදාළ පුරාවෘත්තය බල ගන්වන සංස්කෘතික මෙහෙයුම් අලුත් වටයකින් දැන් බල ගන්වලා ගේනවා," විමල් වීරවංශ එහිදී පැවසීය.
 

 
"මෙතන යටි අරමුණු නැහැ"
 
ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතිය හරහා යටි අරමුණු ක්‍රියාත්මක නොවන බව සීතාඑළිය සීතා අම්මාන් කෝවිලේ භාරකාර කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මේ හරහා ඉන්දීය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම වැඩි වන බව ය.

"විමල් වීරවංශලා හැම දේ ම විවේචනය කරනවා. මෙතන කිසි ම යටි අරමුණක් නෑ. එතකොට මම අහන්න කැමතියි, බුද්ධාගම ආවේ මොන රටෙන් ද? කියලා. ඒක හොඳ නම් මේක නරක් වෙන්නෙ කොහොම ද? මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ සංචාරක කර්මාන්තය දියුණු කරන අරමුණින්. ශ්‍රී ලංකාවේ බෞද්ධයින් ඉන්දියාවේ දඹදිව සංචාරය කරනවා වගේ, ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංචාරය කරාවි. ඒකයි මෙතනදි සිද්ධ වෙන්නේ," වී. රාධාක්‍රිෂ්ණන් පෙන්වා දුන්නේ ය.

 
රාමා - සීතා - රාවණා කතාව මිථ්‍යාවක් ද?
 
රාවණා යනු ලංකාද්වීපයේ සැබවින් ම වාසය කළ සුවිශේෂී දක්ෂතා සහිත ජීවමාන චරිතයක් බවට ඇතැම් පිරිස් තර්ක කරති.
 
ඇතැමෙකු පවසන්නේ, සීගිරිය රාජ මාලිගය පවා රාවණා විසින් නිර්මාණය කරන ලද්දක් බව ය.

කෙසේ වෙතත්, රාවණා යනුවෙන් කිසිවෙකුත් ලංකාද්වීපය තුළ විසූ බවට කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් හමුවී නැතැයි ඇතැම් විද්වත්හු පවසති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක එවැනි විද්වතෙකි.

"රාවණා ගැන කියවෙන්නේ, වාල්මිකීගේ රාමායණය නමැති වීර කාව්‍යයේ විතරයි. ඒක ප්‍රබන්ධයක්. ශ්‍රී ලංකාවෙන් නම් රාවණා හෝ රාමායණයට අදාළ කිසි ම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමු වෙලා නෑ. රාවණා ඇල්ල, රාවණා ගුහාව වගේ නම් භාවිත කරලා තියෙන්නේ පසු කාලෙක. ඒ නිසා රාවණා කතාව අපට පිළිගන්න බැහැ," මහාචාර්ය සෙනරත් දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර, ඔහු ප්‍රකාශ කළේ, තමන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ සමයේදී ද 'ශ්‍රී රාමායන් ට්‍රේල්ස්' ව්‍යාපෘතිය ඉදිරිපත් කළ බව ය.

"මීට අවුරුදු පහකට විතර කලින් මම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරපු කාලේ තමයි මුලින් ම ඔය ව්‍යාපෘතිය යෝජනා කළේ. මම ඒකට කැමති වුණේ නෑ. දැන් ආයෙත් ඒක ආරම්භ කරලා තියෙනවා. මම දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නෙවෙයි."

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)


සබැඳි ලිපි :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...