මතක හිටින සටහනකි.
ඒ අනුව අපි පළමුව ඒ සටහනේ එන “වැලිඔය මිනිහා” පැත්තකට කර “බෙල්ලන බල්ලා” පෙරට ගනිමු.
පසුගිය දා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් අගලවත්ත, බෙල්ලන ආඳාදොළ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටීමට පෙරාතුව තමන්ට ආ ඉව ඔස්සේ නිවැසියන් දැනුවත් කළ සුනඛයෙකු නිසා ජීවිත හතරක් බේරුණු පුවතක් වාර්තා වී තිබේ. එම නිවස පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවසක් සම්පූර්ණයෙන්ම යටවී ගිය අතර එම සිදුවීමට පෙරාතුව විදානලාගේ සෝමසිරිගේ පවුලේ අය නිවසින් පලා ගියේ ‘කළු’ නමැති ඔවුන්ගේ සුනඛයා හිටි හැටියේ අමුතුම ආකාරයකට බුරමින් ලබා දුන් අසාමාන්‍ය පණිවිඩය නිසා ය.
පස් කන්දක් කඩා වැටීමට පෙරාතුව තමන්ට ආ ඉව ඔස්සේ නිවැසියන් දැනුවත් කළ සුනඛයෙකු
සුනඛයා ඒ අවස්ථාවේ අමුතු ස්වරයකින් බුරනු අසා එම නිවසේ මව, පියා, පුතා, පුතාගේ දරුවා වහා එම නිවසින් පිටව ගියේ සුනඛයා තමන්ට බරපතල අනතුරු හැඟවීමක් කරන බව වටහා ගැනීමෙන් පසුව ය. එසේ ඔවුන් නිවසින් පිටව ගොස් සුළු වේලාවකින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම කඩා වැටී නිවස මතට වැටී තිබූ අතර නිවැසියන් එහි සිටියේ නම් ඔවුන් පණ පිටින් වැළලීමේ පහසු හැකියාවක් තිබිණ.
ඉහත සඳහන් “බලු මිනිසා”ගේ කතා ප්‍රවෘත්තියට අනුව වයස අවුරුදු 4 1/2 කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිඔය කල්‍යාණපුර කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද සහ අනෙක් කාන්තාවන් දෙදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පදවිය සංවාරක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 308 – ඒ වගන්තිය ප්‍රකාරව දරුවෙකුට එරෙහි කෲරත්වය වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ. එම දැරිය මේ වන විට අධිකරණ නියෝගය මත පරිවාස භාරයට පත් කර තිබේ. මෙම සිද්ධියට මුල් වනුයේ කුඩා දැරියක ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වීමකි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කුකුල් චමින්ද යන ආරූඪ නාමයෙන් හඳුන්වන පුද්ගලයා 45 හැවිරිදි වන අතර සෙසු කාන්තාවන් දෙදෙනාගේ වයස අවුරුදු 37 ක් හා 46 ලෙස සඳහන් ය. ඉන් එක් කාන්තාවක ඔහු ගේ නීත්‍යානුකූල බිරිඳ බවත් අනෙක් කාන්තාව අනියම් බිරිඳ බවත් පැවසෙයි. නමුදු තවත් ආරංචි මාත්‍ර වලින් පැවසෙන අන්දමට එම කාන්තාවන් දෙදෙනාම ඔහු ගේ අනියම් බිරින්දෑ වරුන් ය. ඒ අනුව කුකුල් චමින්දගේ විවාහක බිරිඳ පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවක් ද පෙනෙයි.
දැරියට බත් කවමින් අමානුෂික ලෙස පහර දෙන කුකුල් චමින්ද සහ නීත්‍යානුකූල බිරිඳ දැරිය ගේ මාපියන් බවත් කුකුල් චමින්ද වැලිඔය සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචි, මිරිදිය ධීවර කර්මාන්තයේ නිරතව සිටින අයකු බවත් පැවසෙයි.
තිරියාය අරසිමලේ ප්‍රදේශයේ දී අළුයම කුකුළන් හැඬලීමටත් පෙර කුකුල් චමින්ද අත්අඩංගුවට ගැනීම
පසුව සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාල පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා පුල්මුඩේ, තිරියාය අරසිමලේ ප්‍රදේශයේ දී අළුයම කුකුළන් හැඬලීමටත් පෙර කුකුල් චමින්ද අත්අඩංගුවට ගැනීමට වැලිඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ඇඹලගම ඇතුළු කණ්ඩායමක්ද විශේෂ කාර්ය බළකායේ පුල්මුඩේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්‍ෂක කේ.ඒ.ඩී.එස්. කුලතුංග ඇතුළු කණ්ඩායමක්ද, පුල්මුඩේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නුවන් තරංග ඇතුළු කණ්ඩායමක් ද සමත් වී තිබේ.
කුකුල් චමින්ද නීත්‍යනුකූල බිරිය අතහැර දමා මෙම දැරිය ද රැගෙන පැමිණ වෙනත් කාන්තාවක සමග ජීවත් වන බවට තොරතුරු ලැබුණ අතර ඒ මොහොතේ නීත්‍යානුකූල බිරිඳ ද එහි සිට ඇතැයි කියනු ලැබේ.
උඩු කයට ඇඳුමක් නොමැතිව කොට කලිසමක් හැඳගෙන පුටුවක වාඩි වී සිටින හැඩි දැඩි පුද්ගලයකු පිගානක් ළඟ තබා ගෙන කුඩා දරුවකුට බත් කටක් කවන වාරයක් පාසා වැරෙන් අතින් පහර දෙන අයුරු එම වීඩියෝවේ දක්නට ඇත. මුහුණ හරහා ගසන සෑම වාරයක් පාසාම දරුවා විසි වී ගොස් වැටෙන අයුරු ද, නැවත කැඳවා බත් කටක් කවා නැවත පහර දෙන අයුරු ද එම විඩියෝවේ දක්නට ඇත. ”හොරා කන්න එපා” යැයි කියමින් ඉතා අසභ්‍ය වචනයෙන් බැණ විදිමින් මෙම පහරදීම සිදු කරන බව ද දක්නට තිබේ. අත දරුවකු වඩා ගත් කාන්තාවක ද මැදි වියේ පසු වන කාන්තාවක සහ තරමක තරබාරු කාන්තාවක ද දරුවාට පහර දෙන වීඩියෝවේ රූප රාමුවල පසුබිමේ සිටින අයුරු දක්නට ඇත. කුකුල් චමින්ද දරුවාට හොරා කන්න එපා කියන්නේ සීනි බෝතලයෙන් සීනි ටිකක් කෑ නිසා බව මේ වන විට අනාවරණය වී තිබේ.
විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා ඇත
පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරට ද මෙම දරුවාට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන රූප රාමු සහිත වීඩියෝ පටය ලැබීමෙන් පසු ඇය විසින් ද විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා ඇත. ඒ අතර මෙම වීඩියෝ පටය වැලිඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ඇඹලගමට ලැබීමෙන් පසු මොහු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කුකුල් චමින්ද පදිංචිව සිටි වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ ඔහුගේ නිවස සොයා ගියද ඔහු ඒ වන විටත් නිවසේ ෙදාරගුළු වසා දමා සිය බිරින්දෑවරුන්ද සමඟ පලාගොස් තිබිණි. ඔහුට අයත් නිල් පැහැති ත්‍රිරෝද රියෙන් ඔවුන් පලා ගිය බවට ද තොරතුරු අනාවරණය විය. නමුත් ඔවුන් පලා ගිය දිසාවක් සොයා ගත නොහැකි වී තිබේ.
ඉන් අනතුරුව ඔහු පලා ගොස් ඇත්තේ කොහිද යන්න විමසුමට ලක් කළ පොලිස් කණ්ඩායම් කුකුල් චමින්දගේ මුල් ගම වෙත ද ගොස් ඔහු සෙවීම සිදුකළ අතර වැලිඔය සහ ඒ අවට ලඳු කැලෑවන් ද නිලධාරීන්ගේ නිරීක්‍ෂණයට ලක් කරන ලදී. මේ අතර කුකුල් චමින්ද භාවිත කරනු ලැබූ ජංගම දුරකථන අංක දෙකක් විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති අතර එම අංක දෙක ඔස්සේ ද දත්ත විමර්ශනයක් සිදු කරන ලදී.
ඒ අනුව ලබාගත් දත්ත විශ්ලේෂණ වලට අනුව සැකකාර කුකුල් චමින්ද පුල්මුඩේ ප්‍රදේශයේ පසුවන බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ඒ මොහොත්ම පොලිස් කණ්ඩායම් තුනක් පුල්මුඩේ බලා පිටත්ව එම ප්‍රදේශය සහ ඒ අවට ජනතාවට අදාළ වීඩියෝ දර්ශන පෙන්වමින් දරුවකුට පහර දෙන පුද්ගලයා හඳුනාගැනීමට සහාය ඉල්ලමින් ඔවුන් දැනුවත් කිරිමට පියවර ගෙන තිබේ.
ඒ වන විට එම සංවේගාත්මක දර්ශන දැක තිබූ සාමාන්‍ය ජනතාව ද පොලීසියට උපරිම සහායක් පළ කිරීම විශේෂත්වයකි. එහි දී ඇතැමුන් පවසා ඇත්තේ ඒ පුද්ගලයා පොලිස් අත් අඩංගුවට පත් නොවුණ හොත් ප්‍රදේශවාසින් ගෙන් මැරුම් කෑමට ද ඉඩ ඇති බවකි.
මේ අතර පුල්මුඩේට තරම් නොදුරින් පිහිටි වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන ගිරිහඩු සෑය පිහිටි තිරියාය ප්‍රදේශයේ කුකුල් චමින්ද රැඳී සිටි බවට තොරතුරු ලැබුණු අතර දුරකථන දත්ත අනුව ඔහු ඒ වන විටත් පුල්මුඩේ ප්‍රදේශයෙන් පලාගොස් නැති බව ද සනාථ වී තිබේ.
කුකුල් චමින්ද සමඟ රැඳී සිටි කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිණි. මේ වන විට ඔවුන් ද රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති
පසුව ලැබුණු තවත් තොරතුරක් සමඟ කුකුල් චමින්ද අනිවාර්යයෙන්ම තිරියාය ප්‍රදේශයේ රැඳී සිටින බව තහවුරු කර ගත් පොලිස් කණ්ඩායම් මධ්‍යම රාත්‍රිය ගෙවී ගිය පසුව ද නිවෙස් නිරීක්‍ෂණය කළහ. පසුව එහි ගේට්ටුවක් සහිත නිවසක් ආසන්නයට පැමිණ ගේට්ටුවෙන් එම නිවස පිහිටි වත්ත දෙසට සිය නෙත් යොමු කළ පොලිස් නිලධාරීන් එහි නිල් පැහැති ත්‍රිරෝද රථයක් නතර කර ඇති අයුරු දැක ඇත. ඉන් එය ඔවුන් පලා ආ ත්‍රිරෝද රථය බවට සාධාරණ ලෙස අනුමාන කළ පොලිස් නිලධාරීහු කුකුල් චමින්දට පැනගත නොහැකි ලෙසින් එම නිවස වට කළහ. ඉන් පසු පිටත සිට එම නිවස සියුම් පිරික්සීමකට ලක් කළ පොලිස් නිලධාරීන්ට ඔහු සිය බිරියන් දෙදෙනා සහ පහර කෑමට ලක්වූ කුඩා දියණිය සමඟ එම නිවසේ නිදා සිටිනු දක්නට ලැබිණ. ඒ මොහොතෙ ඔහු ගේ සිරුරේ ඇඳුම් වත් නොතිබූ බව ද පැවසෙයි.
ඒ වන විට වේලාව අලුයම එක පමණ වූ අතර හනික නිවසේ දොරට තට්ටු කළ පොලිස් නිලධාරීහු කුකුල් චමින්ද අත් අඩංගුවට ගත්හ. ඒ සමඟ කුකුල් චමින්ද සමඟ රැඳී සිටි කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිණි. මේ වන විට ඔවුන් ද රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති. ඒ කුකුල් චමින්ද ගේ සාපරාධී ක්‍රියාවට අනුබල දීමේ චෝදනාව මත ය.
පසුව එම අමානුෂික පහර කෑමට ලක් දැරිය වැලි ඔය පොලීසියේ පොලිස් නිලධාරිනියක් වෙතට පත් වූ අතර ඇය දැරිය වඩා ගෙන සිටින අතරේ දැරිය පොලිස් නිලධාරිනියගේ හිස් වැසුම ගලවා පරීක්ෂා කරමින් සුරතල් වන ආකාරයක් හා පසුව ඇගේ උරයට හිස තබා නිදා ගන්නා ආකාරයක් ද දැකිය හැකි විය. ඉහත සඳහන් ආකාරයේ මිනිස් මෘග වෙස් පළ කළ අප සමාජයේ හිඳින එකම මිනිසා කුකුල් චමින්ද යැයි අපි නොසිතමු. එහෙත් එම “නොමිනිස් මාදිලිය” සමාජ කරළියට ගෙන එන ලද්දේ මානුෂීය ගුණයෙන් සපිරි සමාජ ජාල පරිශීලකයකු බව පෙනේ. ඒ අනුව ඔහු තම ක්‍රියාවෙන් පළ කළ පූර්වාදර්ශය මෙබඳු නොමිනිස් කම් සමාජයෙන් තුරන් කිරීමට කෙසේ වෙතත් අව ප්‍රමාණ කිරීමට හේතු වනු ඇත.
දැරිය පොලිස් නිලධාරිනියගේ හිස් වැසුම ගලවා පරීක්ෂා කරමින් සුරතල් වන ආකාරය
ඒ අතරේ තමන් නොදැනුවත්ව හෝ කුකුල් චමින්ද වෙතින් ද එක්තරා සමාජ මෙහෙවරක් ද සිදුව තිබේ. ඒ තමන්ට සාපෙක්ෂව අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ‘කළු’ නම් සුනඛයා තුළ උතුම් ගති ගුණ තිබූ බව අනියමින් ලොවට කියා පෑම ය. ”වැලිඔය මිනිහෙක් බල්ලෙකු මෙන් හැසිරී ඇති අතර බෙල්ලන බල්ලෙක් දෙවියෙකු මෙන් හැසිරී ඇත” යන සමාජයේ බොහෝ දෙනකුට ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ ජාල වැකිය මුල් කොට මෙම වැකිය අප අතින් ලියැවෙනුයේ ද එම පසුබිම මුල් කර ගනිමිනි.

(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)



