The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 8, 2024 • 8:22 AM

හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැත්තෑ එක් වැනි දේවදූතයා ලෙස හඳුන්වන එම අධ්‍යාත්මික බලවේගය, පුද්ගලයෙකුගේ ජීවිතයේ සුභසාධනයට හා වර්ධනයට හේතුවන බව මෙවන් අධ්‍යාත්මිකවේදයන් වහරන අයගේ විශ්වාසය යි.
  • අඩ සියවසකට පසුවත් 1971 සාධකය වතුර යට සැඟ වූ රබර් බෝලයක් මෙන් වරින් වර ලාංකීය සමාජයේ උඩට ඒම දක්නට හැක.
  • කැරැල්ල පසුගිය සතියේ මැයි තිස් වැනිදා සමාජ මාධ්‍ය පරිශීලනය කරන විට ය මට දැන ගන්නට ලැබුණේ බොහෝ කලක් මා ඇසුරු කළ මානෙල් රත්නායක මහතාට එදින වයස අවුරුදු හැත්තෑ එකක් ලබන බව.
  • ඒ අසල ම සිටියේ එකල රජයේ ආයතනයක ලිපිකාරිනියක ලෙස වැඩ කටයුතු කළ ඔහුගේ බිරිඳ රෝහිණී මහත්මිය ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හැත්තෑ එක් වැනි දේවදූතයා ලෙස හඳුන්වන එම අධ්‍යාත්මික බලවේගය, පුද්ගලයෙකුගේ ජීවිතයේ සුභසාධනයට හා වර්ධනයට හේතුවන බව මෙවන් අධ්‍යාත්මිකවේදයන් වහරන අයගේ විශ්වාසය යි.  සමකාලීන ලංකාවේ 'හැත්තෑ-එක' යනු හුදු අංකයක් පමණක් නොව සමකාලීන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ද හැඟවුම් කරන සන්ධිස්ථානයකි.


නිදහසින් පසු ලංකාවේ, හැත්ත එකට අමතර ව, සමාජයේ නිතර ම වැහැරෙන, වෙනත් මෙවැනි අංක සහිත සන්ධිස්ථාන වන්නේ පනස් හය හා අසූ තුන ය. 1971 කැරැල්ල, උතුර නැගෙනහිර සමාජයට කෙසේ වෙතත්, ලංකාවේ සෙසු සමාජයේ නොමැකෙන සලකුණක් තැබී ය.  අඩ සියවසකට පසුවත් 1971 සාධකය වතුර යට සැඟ වූ රබර් බෝලයක් මෙන්  වරින් වර ලාංකීය සමාජයේ උඩට ඒම දක්නට හැක.

 

1971 JVP1971 කැරැල්ල

පසුගිය සතියේ මැයි තිස් වැනිදා සමාජ මාධ්‍ය පරිශීලනය කරන විට ය මට දැන ගන්නට ලැබුණේ බොහෝ කලක් මා ඇසුරු කළ මානෙල් රත්නායක මහතාට එදින වයස අවුරුදු  හැත්තෑ එකක් ලබන බව. ඒ වෙලාවේ ම  බදුල්ලට මා දුරකථන ඇමතුමක් ගත් අතර, උදේ හතට පමණ මානෙල් සිටියේ තම මුණුබුරන් දෙදෙනා සමග කෙළිදෙළින්ය. ඒ අසල ම සිටියේ එකල රජයේ ආයතනයක ලිපිකාරිනියක ලෙස වැඩ කටයුතු කළ ඔහුගේ බිරිඳ රෝහිණී මහත්මිය ය. කුඩා කල සිට ම මා දන්නා මානෙල්-රෝහිණී යුවලගේ එක ම පුත්‍රයා වසන නිවසේ ම ය සමග ය ඔවුන් දෙදෙනා තම විශ්‍රාම සුවය විඳිමින් සිටින්නේ.

මානෙල් මාගේ කොලම කියවන හාඩ්-කෝර පාඨක කවයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු දැන් මිලදී ගන්නේ අනිද්දා පත්තරය පමණ ය. කලක තම විප්ලව සගයෙකු වූ මහැදුරු ජයදේව උයන්ගොඩගේ දීර්ඝ ලිපියත්, උයන්ගොඩගේ ඥාති සහෝදරයා වන ගාමිණී වියන්ගොඩගේ ලිපියත් මානෙල් නිතර ම කියවන අතර, ඊට අමතරව මාගේ කොලම ද නොවරදවා ඔහු කියවන බව කී විට මට යම් සතුටක් දැනෙන බව සැඟවිය යුතු කාරණයක් නොවේ. ගෙවීමක් රහිතව දැන් වසර පහක් තිස්සේ පමණ මේ ලියන කොලම හරහා ලැබෙන මෙවැනි පාඨක ප්‍රතිචාර අමිල ය.

 

227294109 810436946320734 3389841331870607465 n

මා මෙය ලියන්නේ මානෙල් මා දශක තුනහමාරක් තිස්සේ දන්නා හඳුනන කෙනෙකු නිසා ම නොවේ. මානෙල්ගේ පුද්ගලික ජීවිතයේ ට්‍රැජෙක්ටරිය හෙවත් ගලායෑම සමකාලීන ලාංකීය සමාජ දේශපාලන සන්දර්භයත් සමග වාත්තු කරනට දරන උත්සාහයක් ලෙසිණි. විශේෂයෙන් මා උනන්දුවන්නේ හැත්ත එක කැරැල්ලට සම්බන්ධ වූ පිරිසගේ පශ්චාත් 71 තෝරා ගැනීම් සමකාලීන ඉතිහාසයේ රටාවන් හෝ ප්‍රවණතාවයන් ලෙස අප හඳුනා ගන්නේ කෙසේ ද කියා විමසීමට ය. ඒ තුළින් සමාජයට යම් බලපෑමක් සිදුවුණා ද නැද්ද සහ එහි නෂ්ඨාවශේෂ තවමත් ඇද්ද කියා සිතන්නට පදනමක් දැමීමට ය.

1953 වසරේ උපන් මානෙල් රත්නායක, 1971 කැරැල්ලට සම්බන්ධ වන විට වයස අවුරුදු 18 කි. දකුණේ මාතර දිස්ත්‍රික්කයේ, මාවරල ප්‍රදේශයේ (වත්මන් පරිපාලන බෙදීම් අනුව, පස්ගොඩ ප්‍රා.ලේ යටතේ) දරුවන්  හය දෙනෙකුගේ පවුලක සාමාජිකයෙකු ලෙස ළමා කාලය ගත කළ මානෙල්, කැරැල්ලේ මුල් ම දිනවල මාවරල පොලිසිය අල්ලා ගත් මෙහෙයුමේ ක්‍රියාකාරී කැරලිකරුවෙක් වි‍ය. මානෙල්ට අමතර ව තම වැඩිමහල් සොයුරා ද සොයුරිය ද කැරැල්ලට සම්බන්ධ වූ හ. හමුදාවේ හා පොලිසියේ පීඩනය මැද දින කිහිපයකින් තමන් විසින් අල්ලා ගත් පොලිස් ස්ථානය අතහැර දමා පසුබසින්නට මානෙල් ඇතුළු කැරලිකරුවන් තීරණය කර ගත් අතර, දින කිහිපයකින් ඔවුන් තෝරා ගත්තේ සිංහරාජ වනය ඔස්සේ පසු බැසීමට යි. දින කිහිපයක් සැතපුම් සිය ගණනක් සිංහරාජයේ ගමන් කරමින් සිටිය දී හමුදාව හා පොලිසියෙන් එල්ල කළ ප්‍රහාර හමුවේ සමහර කැරලිකරුවන් ජීවිතක්ෂයට පත් වූ අතර, මානෙල්ගේ ජීවිතය බේරුණේ, ඒ වෙඩි උණ්ඩයේ ඉලක්කය වැරදි ඔහුගේ පාදයට පමණක් වැදුණු නිසාවෙනි. එහෙත් එම පාදයේ ආබාධය, ඔහුගේ ජීවිතය පුරා ම මනා සේ ඇවිදින්නට බාධාවක් කළේ හැත්තෑ එකේ කුරිරු මතක සටහනක් ලෙසිණි.

 

 

309213839 158639540179163 2015614303530143444 nසමස්ත ලංකා ගොවි සම්මේලනය

මානෙල් ඇතුළු පවුලේ තවත් දෙදෙනෙකු සිරබාරයට ගත් අතර, සෙසු සහෝදර සහෝදරියන් තිදෙනා හා මව ජීවත්වූ මාවරල නිවස ගිනිබත් කළ නිසා, පවුල පාරට වැටී, තැන තැන ජීවිතය ගැට ගසා ගැසීමට ඌරුබොක්ක, මාතලේ හා මිනිපේ යන ප්‍රදේශයන් හී මව ඇතුළු සෙසු පවුල අවතැනට ලක් විය. ඒ අතරතුරේ වසර හතක් තිස්සේ දකුණේ සිට උතුරේ ඇති විවිධ බන්ධනාගාරවල, වීරවිල සිට හැමන්හිල් හා ඒ අතරතුර ඇති තැන්වල මානෙල්ට සිරබත් කන්නට සිදු විය. පෙබරවාරියේ ඔහු නිදහස ලැබුවේ, පොදු සමාවෙන් විජේවීර-බෝපගේ  ඇතුළු  නායක පිරිස නිදහස ලැබීමට පෙර ය. මානෙල් ඇතුළු පිරිසක් සිරගෙදර සිටින කාලයේ ම ජවිපේ මතවාදයෙන් හා පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ හ. කලින් නිදහස් වූ මානෙල් ඇතුළු පිරිස්, දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ව්‍යාපාරය නමින් තිබූ සංවිධානයට ද එකතු වූ හ. නායකයන්ගේ ද නිදහසින් පසු ව ජනතා සංගමය ලෙස දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකරාශි වූයේ සිරගෙදරදී ජවිපෙන් වෙන් වූ කොටස් ය. සලගොස ලෙස කෙටියෙන් හැඳින් වූ සමස්ත ලංකා ගොවි සම්මේලනය සමග ජනතා සංගමය සමීපව කටයුතු කළේ ය.  අසූව දශකය ම මානෙල් ගත කළේ මෙවන් දේශපාලන අවකාශයක ය. ඒ අතර, මොනරාගල සීනි සමාගම්වලට එරෙහි ව දියත් කළ අරගලයේ මානෙල් ඉදිරිපෙළ නායකයෙක් විය.

 

අනූව දශකය මානෙල් වැය කළේ මුලින් පස්සරින් අරඹා පසුව බදුල්ලට ගෙන ආ ඌව ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය නමින් රාජ්‍ය නොවන සංවිධාන පන්නයේ සංවිධානයක් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක තුළ දියත් කිරීමට ය. කුඩා පරිමාණයෙන් පටන් ගත් මේ ව්‍යායාමය, පසු කලෙකදී දිස්ත්‍රික්ක දෙක පුරා ම විහිදුණු ශක්තිමත් ජාලයක් හා බලවේගයක් බවට පත් විය.  සම්ප්‍රදායික එන්ජියෝ කප්පිත්තන්ගෙන් මානෙල් වෙනස් වූයේ  ජනතාව ඒකරාශි කිරීමට හෙවත් මොබිලයිස් කිරීමට ඔහුට තිබූ විශේෂිත හැකියාව ඊට ගැලපෙන පෞරශය හා කැරිස්මාව නිසා ය. මේ විරල හැකියාව හඳුනාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය 1994 මැතිවරණයේදී පොදු පෙරමුණු ආණ්ඩුව ගොඩනැගීමට දියත් කළ ව්‍යායාමයේ මානෙල් ද ප්‍රධාන කොටස්කරුවෙකු කරවා ගත්තේ ය. 1999 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ මානෙල්, එම වසරේ සිට වාර තුනක්  මන්ත්‍රීවරයකු ලෙස ඌව පළාත් සභාවේ කටයුතු කළ අතර, එක් වාරයක දී පළාත් සභා සභාපති තනතුර ද හෙබවී ය. 2014 වසරේ පැවැති පළාත් සභා ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට මානෙල් අපොහොසත් වූයේ දෙසීයක පමණ ඡන්ද හිඟයක් නිසාවෙනි. ඉන් අනතුරු ව මානෙල් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් ජීවිතය කල් ගෙවීමට තීරණය කළේ ය.


image 214d81322b2014 වසරේ පැවැති පළාත් සභා ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට මානෙල් අපොහොසත් වූයේ දෙසීයක පමණ ඡන්ද හිඟයක් නිසාවෙනි

 

මානෙල්ගේ දේශපාලන ජීවිතය ගැන විවේචන නොතිබුනා නොවේ. මේ කොලමෙන් මා ඔහුට චරිත සහතික දීමක් නොකරන අතර මාගේ උනන්දුව වන්නේ මානෙල්ගේ වැඩිහිටි ජීවිතයේ දශක හතරක් විකාශනය වූ ආකාරය හා ඔහුගේ එම තෝරා ගැනීම් සඳහා පාදක වූ පුළුල් සමාජ දේශපාලන සන්දර්භීය කාරණා ය. හැත්තෑව දශකය ජවිපෙ වෙනුවෙන් කැරැල්ලටත් හිර ගෙදරටත් වැය විණ. අසූව දශකය ගෙවුණේ බහුජන සංවිධාන ලෙස විකාශනය වූ වාමාංශික ඌරුවක් සහිත ස්වේච්ඡා/පූර්ණකාලීන දේශපාලන ඇක්ටිවිසමාත් ම ක  ක්‍රියාකාරකම්වලට ය. අනූව දශකයේ මෙවැනි බහුජන දේශපාලන ව්‍යාපාර එන්ජීඕකරණය වීම දක්නට ලැබෙන අතර, මානෙල් ද එම ධාරාවට හසු වූ බව පෙනේ. මානෙල්ගේ ට්‍රැජෙක්ටර පරිණාමයේ විශේෂ ලක්ෂණයක් වන්නේ, නව සහශ්‍රයෙන් ඇරඹෙන දශකයේ ඔහු පූර්ණ කාලීන දේශපාලන වෘත්තිකයෙක් බවට පත්වීම යි. අසූව දශකයේ ද මානෙල් රුපියල්  250 ක් වැනි යැපුම් දීමනාවක් සහිත ව පූර්ණකාලීන ව දේශපාලනය කළේ ය. එහෙත් එය විකල්ප ධාරාවේ දේශපාලනයකි. දශක දෙකකින් පසු ඔහු විකල්ප දේශපාලන ධාරාවෙන් විතැන් වී ස්ථාපිත දේශපාලන ධාරාවට මුසු වේ. හැත්තෑව දශකයේ මුල ද මානෙල් මාවරල පොලිසියට තුවක්කු බටයක් අමෝරා ගෙන සිටියේ රාජ්‍ය බලය ඩැහැ ගැනීමට ය. ඒ අර්ථයෙන් බලන විට දෙදහ වර්ෂයේ ඔහුගේ තීරණය අමුත්තක් නොවේ. එක ම වෙනස වූයේ ශොට්-ගන් එක බැලට්-පේපර් එක වීම ය.

හැත්තෑ එකේ මානෙල් හැත්තෑ එකක් වන විට විශ්‍රාමික ය. මානෙල්ගේ හැත්තෑ එකේ සගයන්ගෙන් සමහර කොටස් මේ වන විට මිය පරලොව ගොස් ඇති අතර ඉතිරිය අර්ධ විශ්‍රාමික හෝ විශ්‍රාමික තත්ත්වයෙන් කාලය ගත කරති. සුළු පිරිසක් තවමත් ක්‍රියාකාරී දේශපාලන භූමිකා  විවිධ මාධ්‍යයන්  හා ක්‍රමවේදයන් ඔස්සේ  ක්‍රියාත්මක වෙන බව දක්නට හැක. මේ පරපුර තවදුරටත් ලාංකීය දේශපාලනය තුල තීරණාත්මක සාධකයක්ද නැද්ද යන වග මට වඩා ඒ ගැන දැනුම් තේරුම් ඇති උදවිය විසින් කිව යුතු ය.




Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com

 


(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...