The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය: රුධිරය පරිත්‍යාග කිරීමෙන් ස්ථූලභාවයට පත් වෙනවා ද?

T

The Leader Desk

June 14, 2024 • 3:59 PM

රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය: රුධිරය පරිත්‍යාග කිරීමෙන් ස්ථූලභාවයට පත් වෙනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය මුදල් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර කරනු ලබන සැබෑ පරිත්‍යාගයකි.
  • ජීවිත බේරා ගැනීම සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා නොමිලයේ රුධිරය පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳව ලෝකයේ අවධානය යොමු කිරීමේ අරමුණින් සැමරෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ජූනි මස 14 වන දාට යෙදී තිබේ.
  • මෙවර එය සැමරෙන්නේ, 20 වන වරට ය.
  • මෙවර එහි තේමාව වී ඇත්තේ, '20 වසරක පරිත්‍යාගශීලීත්වය සැමරීම: රුධිර පරිත්‍යාගශීලීනි, ස්තුතියි,' යන්න ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය මුදල් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර කරනු ලබන සැබෑ පරිත්‍යාගයකි.

ජීවිත බේරා ගැනීම සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා නොමිලයේ රුධිරය පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳව ලෝකයේ අවධානය යොමු කිරීමේ අරමුණින් සැමරෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ජූනි මස 14 වන දාට යෙදී තිබේ.

මෙවර එය සැමරෙන්නේ, 20 වන වරට ය.

මෙවර එහි තේමාව වී ඇත්තේ, '20 වසරක පරිත්‍යාගශීලීත්වය සැමරීම: රුධිර පරිත්‍යාගශීලීනි, ස්තුතියි,' යන්න ය.

මෙම විශේෂ දිනය පළමු වරට සමරන ලද්දේ, 2004 වසරේදී ය.
 
d4ffeරුධිරය පරිත්‍යාග කිරීම යනු ලෝකයේ මිනිසුන්ගේ යහපත් සෞඛ්‍යය වෙනුවෙන් කරනු ලබන උතුම් පරිත්‍යාගයක් ලෙස සැලකේ


ජූනි 14 වන දා සැමරෙන්නේ ඇයි?

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ජූනි 14 වන දා ලෙස නම් කර ඇත්තේ, ඔස්ට්‍රියානු ජීව විද්‍යාඥයෙකු සහ භෞතික විද්‍යාඥයෙකු වූ කාල් ලෑන්ඩ්සටයිනර්ගේ (1868 - 1943) උපන් දිනය වෙනුවෙනි.

1901 වසරේදී මිනිස් රුධිරයේ A,B,O ප්‍රභේද අනාවරණය කළ ඔහු, නූතන රුධිර පාරවිලයනයේ නිර්මාතෘ ලෙස සැලකේ.

පසුව, 1937 වසරේදී ඔහු ඇලෙක්සැන්ඩර් එස්. වෙයිනර් සමග එක්ව රුධිර ප්‍රභේදවල පවතින රීසස් සාධකය හඳුනා ගත්තේ ය.

ඒ තුළින්, ජීවිතයට හානියක් නොමැතිව රුධිර පාරවිලයනය සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබිණි.

ඔහු කළ එම කාර්යයට‌ ගෞරව දැක්වීමක් ලෙස ලෝක රුධිර පරිත්‍යාගශීලීන්‌ගේ දිනය ලෙස ජූනි 14 වන දා නම් කර තිබේ.


රුධිරය පරිත්‍යාග කිරීමෙන් ස්ථූලභාවයට පත් වෙනවා ද?

රුධිරය පරිත්‍යාග කිරීමෙන් ස්ථූලභාවයට පත් වන බවට බොහෝ කාන්තාවන් තුළ මතයක් ඇතැයි මහනුවර ශික්ෂණ රෝහලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිලීත කුරුප්පු ප්‍රකාශ කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, එම මතය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මිථ්‍යා මතයක් පමණක් බව ය.

"රුධිරය පරිත්‍යාග කළා ම ස්ථූලභාවයට පත් වෙනවා කියලා මතයක් තියෙනවා. වැඩියෙන් ම ඒ මතය තියෙන්නේ, කාන්තාවන් අතරේ. ඒත් ඒකට කිසි ම විද්‍යාත්මක පදනමක් නෑ. රුධිරය පරිත්‍යාග කිරීමෙන් ස්ථූලභාවයට පත්වෙන්නෙවත්, කෘෂ වෙන්නෙවත් නෑ," විශේෂඥ වෛද්‍ය දිලීත කුරුප්පු පැහැදිලි කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, කාන්තාවන් අතර බහුලව ඇති මෙම මතය හේතුවෙන් කාන්තාවන් රුධිරය පරිත්‍යාග කිරීම පහළ මට්ටමක පවතින බව ය.

"ශ්‍රී ලංකාවේ රුධිරය පරිත්‍යාග කිරීම පිරිමි 75%ක් සහ කාන්තාවන් 25%ක් වශයෙන් තමයි තියෙන්නේ. වෙනත් රටවල නම් ඒ ප්‍රතිශතය තියෙන්නේ 50% අගයන්ගෙන්. මේකට හේතුව තමයි, ගොඩක් කාන්තාවන් හිතනවා, ලේ දුන්නා ම ඇඟ මහත් වෙනවා කියලා. ඒක මිථ්‍යා මතයක්. ඒ මතය ඇති වුණේ කොහොම ද කියලා දන්නෙ නෑ."

අනෙක් අතට, වයස අවුරුදු 18ත් 60ත් අතර කාලයෙන් වැඩි කාලයක් කාන්තාවන් දරුවන් බිහි කිරීම, මව් කිරි දීම වැනි කාර්යයන් වෙනුවෙන් ගත කිරීම ද කාන්තාවන්ගේ රුධිර පරිත්‍යාග ප්‍රතිශතය අඩුවීමට බලපා තිබේ.

රුධිරය පරිත්‍යාග කිරීමෙන් ස්ථූලභාවයට පත් වන බවට බොහෝ කාන්තාවන් තුළ මතයක් ඇතැයි මහනුවර ශික්ෂණ රෝහලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිලීත කුරුප්පු ප්‍රකාශ කළේ ය


රුධිරය පරිත්‍යාග කිරීමෙන් සෞඛ්‍යයට හානියක් සිදු වන්නේ ද?
 
රුධිරය පරිත්‍යාග කිරීමෙන් පරිත්‍යාගශීලියාගේ සිරුරට හෝ සෞඛ්‍යයට කිසිදු ආකාරයකින් හානියක් සිදු නොවන බව ද විශේෂඥ වෛද්‍ය දිලීත් කුරුප්පු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, රුධිරය ගැනීම මාස 4කට වරක් පමණක් සිදු කිරීම නිසා රුධිරය පරිත්‍යාග කිරීමෙන් අඩු වන යකඩ ප්‍රමාණය මාස 4ක් තුළ නිර්මාංශික අයෙකුට පවා යළි ලැබෙන බව ය.

එහෙයින්, රුධිරය පරිත්‍යාග කිරීමෙන් කිසිදු හානියක් සිදු නොවන බව ඔහු සඳහන් කළේ ය.
 

වසරකදී ලේ බැංකුව ලබා ගන්නා රුධිර ප්‍රමාණය කොපමණ ද?

රෝගීන්ගේ වාර්ෂික අවශ්‍යතා අනුව වසරකට රුධිරය ඒකක ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කර ගන්නා බව විශේෂඥ වෛද්‍ය දිලීත කුරුප්පු පැවසීය.

රුධිර ඒකකයක් යනු මිලිලීටර් 450කි. එවැනි ඒකක ලක්ෂ 4ක් අවශ්‍ය වන බවට වාර්ෂිකව ඇස්තමේන්තු කෙරේ.


රෝගියෙකුට රුධිරය ලබා ගැනීමට රුධිරය පරිත්‍යාග කළ යුතු ද?

2013 වර්ෂයේ සිට රුධිරය අවශ්‍ය සියලු රෝගීන්ට කිසිදු කොන්දේසියකින් තොරව රුධිරය ලබා දෙන බව ද විශේෂඥ වෛද්‍ය දිලීත කුරුප්පු සඳහන් කළේ ය.

"2013ට කලින් රෝගියෙකුට ලේ අවශ්‍ය නම් ඔහුට වෙනත් අයෙක් අරගෙන එන්න වුණා ලේ දන් දෙන්න. 2013 වසරේ සිට ඒ කොන්දේසිය සම්පූර්ණයෙන් ඉවත් කළා. දැන් අවශ්‍ය සියලු රෝගීන්ට බාධාවකින් තොරව ලේ දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා."

(BBC සිංහල සේවය)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...