The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

ඇන්ටන් මාක්ස් : පනස් වසක කම්කරු සටන්කාමිත්වය

T

The Leader Desk

June 17, 2024 • 5:55 AM

ඇන්ටන් මාක්ස් : පනස් වසක කම්කරු සටන්කාමිත්වය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාර්මික හා පොදු සේවක සංගමය සොයා පැමිණෙන්නේ අරගලයට වසරක් ඉක්මවීමෙන් අනතුරුවයි.
  • කඳානේ පිඟන් කර්මාන්ත ශාලාවක අත් උදව්කරුවෙක් ලෙස පළමු රැකියාව ඇරඹිය ද ඔහුට එහි වැඩි කලක් සේවය කරන්නට නොලැබුණි.
  • වැඩ කිරීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම රැකියාව අත්හැර දැමීමට සිදු විණි.
  • ඇන්ටන් 71 අරගලයට සෘජු දායකත්වයක් ලබා නොදුන්නද පොලිසිය ඔහු පසු පස පන්නන බවට අනුමාන කළ ඔහුගේ පියා විසින් මාවතගම තෙල් මෝලක සේවයට යොමු කළේ ඇන්ටන්ගේ ආරක්ෂාව සලකාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කාර්මික හා පොදු සේවක සංගමය සොයා පැමිණෙන්නේ අරගලයට වසරක් ඉක්මවීමෙන් අනතුරුවයි. CMU ප්‍රධාන ලේකම් බාලා තම්පෝ විසින් මේ උද්යෝගිමත් තරුණයන්ට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයට අමතරව තම වෘත්තීය සංගමයේ වැඩ කොටස් ද පැවරීමට අමතක නොකළේය. ඊට අවුරුදු දෙකකට පසු තම්පෝ විසින් ඉන් එක් තරුණයෙකු සිය සංගමයේ රැකියාවක් අවස්තාවක් ලබා දෙයි.  CMU කාර්යාලයට දෛනිකව පැමිණෙන සාමාජිකයන්ගේ හා අනෙකුත් කම්කරුවන්ගේ නම් ගම් සටහන් තබා ගැනීම ඔහුට පැවරුණු රාජකාරියයි. බාලා තම්පෝගේ ඇසුරින් පන්නරය ලැබ එසේ ඇරඹි එකී තරුණයාගේ වෘත්තීය සමිති දිවියට මේ වන විට අඩ සියවසකි. පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන ජේෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු වූ ඔහු ඇන්ටන් මාක්ස් නම් වේ.


වෘත්තීය සමිති පුහුණුව 

 

දොන් පිලිප් යුවලගේ දරුවන් හත් දෙනා අතරින් පස් වැන්නා ඇන්ටන් මාක්ස් ය


රත්මලානේ සිට ජා ඇළට සංක්‍රමණය වූ දොන් පිලිප් යුවලගේ දරුවන් හත් දෙනා අතරින් පස් වැන්නා ඇන්ටන් මාක්ස් ය. 60 දශකය අග වන විට පාසැල් අධ්‍යාපනය නිමා කොට රැකියා පෝලිමට එක්ව සිටී ඔහු, සමාජ පීඩනයට එරෙහිව විප්ලවීය වෙනසක් වෙනුවෙන් පෙනී සිටී දේශපාලන පක්‍ෂ කණ්ඩායම් අතරින් වඩාත් ආකර්ෂණය වන්නේ රෝහණ විජේවීරගේ නායකත්වය වෙතයි. කඳානේ පිඟන් කර්මාන්ත ශාලාවක අත් උදව්කරුවෙක් ලෙස පළමු රැකියාව ඇරඹිය ද  ඔහුට එහි වැඩි කලක් සේවය කරන්නට නොලැබුණි. වැඩ කිරීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම රැකියාව අත්හැර දැමීමට සිදු විණි. පසුව සිය පියා සේවය කළ කඳානේ වැඩපොලේ  කාර්මික පුහුණුව සඳහා යොමු කෙරිණි.  

IMG 20240615 WA0092ඇන්ටන් 71 අරගලයට සෘජු දායකත්වයක් ලබා නොදුන්නද පොලිසිය ඔහු පසු පස පන්නන බවට අනුමාන කළ ඔහුගේ පියා විසින් මාවතගම තෙල් මෝලක සේවයට යොමු කළේ ඇන්ටන්ගේ ආරක්ෂාව සලකාය. මෙසේ නේවාසිකව තෙල් මෝලේ වැඩ කරමින් සිටියදී ඔහුගේ පියා මියගිය ආරංචිය කන වැකීමත් සමගින් ඇන්ටන් යළි ජා-ඇළ නිවෙසට පැමිණියේ රැකියාවට ද ආයුබෝවන් කියමින් ය.

මාර්ග සංවර්ධන කම්කරුවෙකු ලෙසත් පෑලියගොඩ නවලෝක සමුහ ව්‍යාපාරයේ කාර්මික නිලධාරියෙකු ලෙසත් රැකියා කළ ඇන්ටන් මාක්ස්ට 1974 මාර්තුවේදී  CMU හි රැකියාවට යාමත් සමග බාලා තම්පොගේ නායකත්වයෙන් වූ විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයට බැඳි දේශපාලනය විශේෂයෙන් කාල් මාක්ස්ගේ දර්ශනය අධ්‍යනයට මග විවර විණි. බාලා තම්පෝ ට අමතරව එච්.ඒ. සෙනෙවිරත්න, උපාලි කුරේ, ටී.ඇන්.පෙරේරා ආදීන් සමග සමීප ඇසුර ඔහුට සිය දේශපාලන හා වෘත්තීය සමිති දිවිය සාර්ථක කරගැනීමට මහත් රුකුලක් විය.  

තම්පෝ විරසකවෙයි
 
1980 දී වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් කැඳවූ සමස්ත මහ වැඩවර්ජනයට  සහාය ලබා නොදීමට ලංකා බැංකු සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සහ ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමය [CMU] තීරණය කර තිබිණි.
 
1980 දී වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් කැඳවූ සමස්ත මහ වැඩවර්ජනයට සහාය ලබා නොදීමට ලංකා බැංකු සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සහ ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමය [CMU] තීරණය කර තිබිණි. මේ තීරණය ගැන විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුල උපාලි කුරේ පාර්ශවය විසින් කියා සිටියේ වර්ජනයට සහාය නොදීමට ගත් තීරණය වැරදි බවය. එහෙත් පෙර සුදානමක් නොමැතිව කඩිමුඩියේ වර්ජන දියත් කළ නොහැකි බව තම්පෝ පාර්ශවයේ මතය විය.

1981 දී ඇතිවූ මත ගැටුම් අවසන RMP දෙකඩ වූ අතර ඇන්ටන් මාක්ස් ද නියෝජනය කරනු ලැබුවේ උපාලි කුරේ පාර්ශවය බැවින් CMU හි පුර්ණකාලිනයෙකු ලෙස කළ රැකියාව ද ඔහුට අහිමි විය. බොහෝ දෙනාට CMU මුලස්ථානය තහනම් පෙදෙසක් වූ බැවින් මෝදර රෙඩ්ලි සිල්වාගේ ගෙදර කාමරයක් RMP කාර්යාලය බවට පත්විය.

`` CMU වැඩ කරපු කාලේ  මම නිවාඩුවක් කියලා ගත්තේ විවාහය දවසේ විතරයි`` ඇන්ටන් මාක්ස් කියනුයේ සිය රාජකාරිය වෙනුවෙන් කළ කැපකිරීම ගැන සිහිපත් කරමින්ය.

නව වෘත්තීය සමිතිය හා පොලිටෙක්ස් සටන  

1982 වසරේ ජා-ඇළ කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින් විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයේ වෘත්තීය අංශය විදිහට කර්මාන්ත, ප්‍රවාහන හා පොදු කම්කරු සංගමය ගොඩ නැගෙන්නේ CMU ට විකල්පයක් ලෙසය. එහි පුර්ණකාලිනව වැඩ කරන්නේ ඇන්ටන් මාක්ස් සහ ආතර් ප්‍රනාන්දු. ජා ඇළ පමණක් නොවේ රත්මලාන කාර්මික පුරවරේ කර්මාන්ත ශාලාවන්හි CMU සාමාජිකත්වය පවා දිනා ගන්න නව සමිතිය සමත් විය.
 
කාර්මික ප්‍රවාහන හා පොදු කම්කරු සංගමයේ පොලිටෙක්ස් ගාමන්ට් ශාඛාවේ වැඩ වර්ජනය 1978 විවෘත ආර්ථිකය හදුන්වා දීමෙන් අනතුරුව බිහිවූ කර්මාන්ත ශාලා කම්කරුවන්ගේ පළමු අරගලය වේ.
1982 දෙසැම්බර් 11 දින ඇරඹි කාර්මික ප්‍රවාහන හා පොදු කම්කරු සංගමයේ පොලිටෙක්ස් ගාමන්ට් ශාඛාවේ වැඩ වර්ජනය 1978 විවෘත ආර්ථිකය හදුන්වා දීමෙන් අනතුරුව බිහිවූ කර්මාන්ත ශාලා කම්කරුවන්ගේ පළමු අරගලය වේ.
'' මේ වර්ජනය කාලේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එයාගේ ආණ්ඩු කාලේ අවුරුදු හට්‍යකින් දික් කරගන්න ජනමත විචාරණය පැවැත්වූ කාලේ. මේ දවස්වල උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් හදිසි නීතිය පනවා තිබුණා. ඒ නීතියට අනුව පස් දෙනෙකුට වැඩිය ඒකරාශි වෙන්න බැහැ. ඒත් වැඩ වර්ජනය කාලේ ඒකල පොලිටෙක්ස් ගාමන්ට් එක ඉස්සරහ පොල්වත්තේ කම්කරුවෝ පන්සියකට වැඩිය අයගේ සහභාගිත්වයෙන් රැස්වීම් පැවැත්වුවා.'' ඇන්ටන් මාක්ස් පොලිටෙක්ස් සටන ගැන සිය මතකය සිහි ගන්වයි.

කම්කරු අරගලය ඉදිරියට යමින් තිබිය දී සටන්කරුන් රැස්ව සිටී පොල්වත්ත වට කළ ජා ඇළ පොලිසිය නියෝග කරනු ලැබුවේ හදිසි නිතිය යටතේ මෙය නීති විරෝධී රැස්වීමක් බැවින් සියලු දෙනා විසිර යන ලෙසයි. එහෙත් කම්කරුවන් පොලිසියේ නියෝගය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ විට පොලිස් භටයෝ එක්වරම බැටන් ප්‍රහාරය එල්ල කරන්නට විය. ප්‍රහාර හමුවේ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය.
 
 
IMG 20240615 WA0086මැයි දින පෙළපාලි

'' ඒ වෙලාවේ රැස්වීම අමතමින් හිටිය මම ඇතුළු අපේ සංගමයේ භාණ්ඩාගාරික ආතර් සහෝදරයා, පොලිටෙක්ස් ශාඛාවේ ලේකම් බන්දුශාන්ති සහෝදරි, ශාඛාවේ සභාපති ලීලා ෆර්දිනන්දස් සහෝදරි අත්අඩංගුවට අරන් මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ගෙනිහින් හදිසි නීතිය යටතේ මහර බන්ධනාගාර ගත කළා.''

එසේ ඇන්ටන් ඇතුළු වෘත්තීය සමිති නායක නායිකාවන් බන්ධනාගාරයේ සිටිය දී පාර්ලිමේන්තුව රැස්වී හදිසි නිතිය දීර්ඝ කිරීමට ආණ්ඩුවට නොහැකිවිය. කාර්මික, ප්‍රවාහන හා පොදු කම්කරු සංගමයේ සම ලේකම්වරයා වූ අධිනීතිඥ එච්.ඒ. සෙනෙවිරත්න විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වුවේ මේ වන විට හදිසි නිතිය අහෝසි වී ඇති බැවින් ඒ යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගත කර සිටින සිය වෘත්තීය සමිති සගයන් නිදහස් කළ යුතු බවයි. ඒ අනුව ඔවුන් සැමට නිදහස් ලැබුණි.

IMG 20240615 WA0085'' එදාම හවස වැඩ වර්ජනය ගැන කතාබහක් ජා ඇළ කම්කරු කාර්යාලයේ පැවැත්වුනා. මේ රැස්වීම රාත්‍රී හතට විතර වෙනකම් ගියත් විසදුමක් නැතිව තමයි අවසන් වුනේ. කම්කරු කාර්යාලයෙන් එලියට එමින් හිටිය මට කම්කරු ඇමැති, ජා ඇළ මන්ත්‍රී ගේ මැරයෝ වට කරලා පහර දීලා මාව පැහැරගෙන යන්න සුදානම් වුනේ. ඒත් වර්ජිත කම්කරුවන එතැනට පැමිණීමත් එක්ක මැරයන්ගේ උත්සහාය සාර්ථක වුනේ නැහැ.''

සකල විධ මර්දනයන් යටතේ වුවද පරාජය කළ නොහැකිවූ පොලිටෙක්ස් ගාර්මන්ට් කම්කරු සටන  උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් කාන්තා සංවිධානවල නොමසුරු සහයෝගය මැද මසකට ආසන්න කාලයක් අවසන ජයග්‍රාහිව නිමා කෙරිණි.

1983 ජුලි සංහාරය හා ඉන් පසුව ඇතිවූ මර්දනකාරිතවය හමුවේ ක්‍රියා කලයුත්තේ  කෙසේද යන්න ගැන විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂයේ නායකත්වය හා කාර්මික,ප්‍රවාහන හා පොදු කම්කරු සංගමයේ නායකත්වය අතර ඇතිවූ බරපතල වෙනස් කම් වල ප්‍රතිපලයක් ලෙස ITGWU ස්වාධීන වෘත්තීය සමිතියක් ලෙස කටයුතු කිරීමට තීරණය කෙරිණි.

නිදහස් වෙළඳ කලාප කම්කරුවන් වෘත්තීය සමිතියක්

ඇන්ටන් මාක්ස් ගේ පනස් වසක වෘත්තීය සමිති දිවියේ ජයග්‍රණයක් ලෙස ඔහු සලකනුයේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන් වෘත්තීය සමිති වෙත ගොනු කර ගැනීමට හැකි වීමයි.

''ලෝ පුරා ව්‍යාප්තව තිබුණු නිදහස් වෙළඳ කලාප හැඳින්වුණේ වෘත්තීය සමිති වලින් තොර කලාප විදිහටයි. සම්ප්‍රදායික වෘත්තීය සමිති පවා වෙළඳ කලාප කම්කරුවන් සංවිධානය කිරීම අතහැරියා. විවෘත ආර්ථික කෙටිකාලින බවත් වෙළඳ කලාප ඉක්මනින් වැසි යන බවත්, මේවාට එන වැඩට එන අයට කම්කරු අයිතිවාසිකම් ගැන අවබෝධයක් නොමැති ග්‍රාමීය කෘෂිකාර්මික දැනුමක් පමණක් ඇති අය බවත් ඔවුන් කිවා.''
 
IMG 20240615 WA0090දේශපාලන මතවාදයකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාකාරිව පවත්වා ගෙන යන්න හැකියි කියා අපි අදහස් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙසේ පැමිණෙන කම්කරුවන් විවිධ උපක්‍රම යොදා ගනිමින් දැනුවත් කරමින් ක්‍රියා කළ කාර්මික, ප්‍රවාහන හා පොදු කම්කරු සංගමය වසර විසි දෙකක් ඉක්ම වූ තැන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පළමු වෘත්තීය සමිති ශාඛාව පිහිටුවීමට සමත් විය.

ලංකා වෘත්තීය සමිති ඉතිහාසය පුරාම දක්නට ලැබෙනුයේ ස්වාධීන වෘත්තීය සමිති වලට වඩා දේශපාලන පක්ෂයකට විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්‍ෂ වලට අනුගත වෘත්තීය සමිති වේ. කාර්මික,ප්‍රවාහන හා පොදු සේවක සංගමය ද ආරම්භයේ විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයේ අනුබලය අනුව ගොඩ නගුවකි. එහෙත් පසුකාලිනව පක්‍ෂයේ සම්බන්ධයෙන් බිඳී ස්වාධීනව වැඩෙන්නට විණි. පසුව එය නිදහස් වෙළඳ කලාප සහ පොදු කම්කරු සංගමය ලෙසින් නාමකරණය වූ අතර ඇන්ටන් මාක්ස් පෙන්වා දෙන පරිදි එහි මුලික සිද්ධාන්තයක් ලෙස සලකනුයේ වෘත්තීය සමිතියක් සේවා යෝජකයන්ගෙන්, සියලුම ආණ්ඩුවලින්, දේශපාලන පක්ෂ-කණ්ඩායම් වලින් ස්වාධීන විය යුතු බවයි.

 
'' දේශපාලන මතවාදයකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාකාරිව පවත්වා ගෙන යන්න හැකියි කියා අපි අදහස් කරන්නේ නැහැ. මොකද පැහැදිලි දේශපාලන මතවාදයකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාකාරිව පවත්වාගෙන යාම කොහොමත් කරන්න බැහැ. අපි ජාතික ප්‍රශ්න වලදී කම්කරු පංති දේශපාලනය මත පදනම්ව ඕනෙම  දේශපාලනයක් සමග කටයුතු කරනවා.''

 රාජ්‍ය නොවන සංවිධාන බලපෑම
 
IMG 20240615 WA0101ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය වෘත්තීය සංගමයේ විධායක සභාව නියෝජනය කරන ඇන්ටන් මාක්ස් කම්කරු උපදේශක සභාවේ ද සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන්නෙකි.

ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය වෘත්තීය සංගමයේ විධායක සභාව නියෝජනය කරන ඇන්ටන් මාක්ස් කම්කරු උපදේශක සභාවේ ද සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන්නෙකි. සමාජයේ අනෙකුත් ක්ෂේත්‍රයන් මෙන්ම වෘත්තීය සමිති කෙරෙහි යම් බලපෑමක් කරනු ලබන විදෙස් මුල්‍යධාර ලබන ජාත්‍යන්තර සංවිධාන කෙරෙහි  ඔහුට ඇත්තේ ප්‍රබල විවේචනයකි. අඩ සියවසක වෘත්තීය සමිති දිවියේ අත්දැකීම් මත පිහිටා එම විවේචනයන් එල්ල කරනු නිසැකය.

''රාජ්‍ය නොවන සංවිධාන බිහි වුනේ පවතින සංවර්ධන ප්‍රතිපත්තීන් ජනතා කේන්ද්‍රීය සංවර්ධන ප්‍රතිපත්ති නොවන නිසා සැබෑ ජනතා කේන්ද්‍රීය සංවර්ධන ප්‍රතිපත්තීන් තීරණය කිරීම වෙනුවෙන් සමාජයේ කතිකාවක් ඇති කිරීමේ අරමුණින්. ආරම්භයේදී ජනතාව මුලික රාජ්‍ය නොවන සංවිධාන බිහිවුණා. ඒවා ඉතාම උද්යෝගයෙන් වැඩ කළ මුත් පස්සේ විදේශ සංවිධාන වල මුල්‍යමය ආධාර මත යැපීම නිසා ඒවයේ ජනතා ක්‍රියාකාරිත්වය හීන වෙලා, මුල්‍යධාර ලබා දෙන ආයතන වලින් මුදල් ලබා ගැනීම මතම ව්‍යාපෘති හදන්න පෙළඹිලා ඉන්නේ.''

ඔහු නියෝජනය කරන ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුල ද මෙවැනි සංවිධාන වල ක්‍රියාකාරිත්වය වෘත්තීය සමිති කෙරෙහි බලපෑම් සහගත වී ඇති බව පවසන මාක්ස් මෙම තත්වය හමුවේ හාම්පුතුන්ට වාසි සහගත බව පෙන්වා දෙයි.
 


'' කාලයක් වෘත්තීය සමිති විවේචනය කළ රාජ්‍ය නොවන සංවිධාන දැන් ඇඟළුම් කර්මාන්තයේත්, නිදහස් වෙළඳ කලාප වලත්, වෘත්තීය සමිති විදිහට ලියාපදිංචි වෙලා රාජ්‍ය නොවන සංවිධාන විදිහටත්, වෘත්තීය සමිති විදිහටත් දෙයාකාරයෙන්  එක්වර වැඩ කරනවා. මේ ආයතන කම්කරුවන් මුහුණ දෙන සමාජීය ගැටළුවලට සහන සැලසුවත්  කම්කරුවන්ගේ සුරාකෑමේ තත්වය වෙනස් කිරීම, ඔවුන් සංවිධානය කිරීම දැනුවත්ව අත්හැර තිබෙන්නේ. මේක ලංකාවේ විතරක් නොවේ බොහෝ ආසියානු රටවල දකින්න පුළුවන් ප්‍රවනතාවක්. ඇතැම් සේවා යෝජකයෝ සහ සන්නාම හිමියෝ වෘත්තීය සමිති වලට විකල්පයක් විදිහට මේ සංවිධාන වලට ප්‍රමුඛතාව දීමේ ප්‍රවණතාවක් පේනවා.''

 වෘත්තීය සමිති එක්සත් කම
 
 
garment industry has collapsed Free Trade Zones Anton Marcus''විශේෂයෙන් පුද්ගලික අංශයේ ශ්‍රම බලකායෙන් වෘත්තීය සමිතිවල සංවිධානය වෙලා ඉන්න ප්‍රතිශතය සියයට පහකටත් අඩුයි.''
 
මේ අනුව විශේෂයෙන් පෞද්ගලික අංශ කම්කරුවා වෘත්තීය සමිති වෙත ගොනු කර ගැනීමේ අභියෝග රැසකි. අනෙකුත් සාධක වලට අමතරව ක්‍රියාත්මක වෘත්තීය සමිති වල ද ඇල්මැරුණු ස්වාභාවය ඊට හේතු වී ඇත. එම නිසාම කම්කරු පංතිය තුල ද ඇති වන රික්තකය රාජ්‍ය නොවන සංවිධාන හෝ ඒ හා බලවේග විසින් සැපිරීම වැළක්විය නොහැක.

'' විශේෂයෙන් පුද්ගලික අංශයේ ශ්‍රම බලකායෙන් වෘත්තීය සමිතිවල සංවිධානය වෙලා ඉන්න ප්‍රතිශතය සියයට පහකටත් අඩුයි. ඒකෙන් පේන්නේ රටේ වෘත්තීය සමිති පෞද්ගලික අංශ කම්කරුවා ආකර්ෂණය කරගන්න අසමත් වෙලා කියලා. ඒ නිසාම වෘත්තීය සමිතිවල පසු බැසීමක් පෙන්වනවා.''

වෘත්තීය සමිතිවලට එරෙහිව විරුද්ධවාදීන් විසින් ගොඩ නගන අවලාද, මඩ ප්‍රහාර සහ වැරදි ප්‍රතිරූප සහ ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වය නිසාම ගොඩනැගෙන ප්‍රතිරුප හේතුවෙන් බරපතල තත්වයක් මතු විය හැකි බැවින් ඒ ගැන වෘත්තීය සමිති අතර කතිකාවක් ඇතිවීම පමා කළ නොහැකි කාර්යයකි.

''අපි වෘත්තීය සමිති අතර අව්‍යාජ එක්සත්කමක් ගොඩනැගීමට මුලිකත්වය දෙමින් කටයුතු කරමින් සිටියත් කම්කරු පන්තිය තුල එවැනි එක්සත්කමක් ගොඩනගා ගන්න නොහැකි වීම ඇත්තටම කනගාටුදායකයි.''


(ඉෂංඛා සිංහආරච්චි)
ishanka.singhe@gmail.com
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇන්ටන් මාක්ස් : පනස් වසක කම්කරු සටන්කාමිත්වය | The Leader