The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

සුනිල දිය දහර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 22, 2024 • 7:12 AM

සුනිල දිය දහර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවකට මා සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක් විසින්, රාජිනී වෙනුවෙන් සමරු වැඩසටහනක් සංවිධානය කළේ කොළඹ බ්‍රිස්ටල් පාරේ පිහිටි වයි එම් සී ඒ ගොඩනැගිල්ලේ ෆෝරම් ශාලාවේ ය.
  • අපගේ ආරාධනයෙන් එලෙස පැමිණි අය අතර රාජිනීගේ සැමියා වූ දයාපාල තිරාණගම, සුනන්ද දේශප්‍රිය, 'මර්ජ්' කන්දසාමී හා සුනිලා අබේසේකර සිටි බව මතක ය.
  • සමරු උළෙල අවස්ථාවේ මේ පැහැපත් පෙනුමක් හා ප්‍රසන්න මුහුණකින් යුතු මේ පිළිවෙලක මිනිසා සුනිලා අබේසේකර සමග ගිටාරය ගසමින් ඉතාමත් සුමියුරු ගීතයක් ගැයූ බව තවමත් හොඳින් මතක ය.
  • පසුව විමසීමේදී, මේ පිළිවෙලක පුද්ගලයා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බව දැන ගතිමි.
අකුරු ප්‍රමාණය (Font Size):

එවකට මා සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක් විසින්, රාජිනී වෙනුවෙන් සමරු වැඩසටහනක් සංවිධානය කළේ කොළඹ බ්‍රිස්ටල් පාරේ පිහිටි වයි එම් සී ඒ ගොඩනැගිල්ලේ ෆෝරම් ශාලාවේ ය.

පාසලෙන් අස් වී වසර දෙක තුනක් පමණ වයසක සිටි අපට මේ සමරු උළෙලට ප්‍රගතිශීලී ලොකු ලොක්කන් කීපදෙනෙකුට ද ආරාධනා කරනට අපට මහත් අවශ්‍යතාවයක් විය. අපගේ ආරාධනයෙන් එලෙස පැමිණි අය අතර රාජිනීගේ සැමියා වූ දයාපාල තිරාණගම, සුනන්ද දේශප්‍රිය, 'මර්ජ්' කන්දසාමී හා සුනිලා අබේසේකර සිටි බව මතක ය. මේ පිරිස අඩු වැඩි වශයෙන් එන්ජීයෝ උප සංස්කෘතියේ වස්ත්‍රාභරණ වන කුරුතා, කාකි කලිසම්, සැන්ඩල්ස් හා දුර්වර්ණ වූ ජෙනුයින් ලෙදර් බෑග්වලින් සන්නද්ධ වී සිටිය හ.

Sunil Wijesiriwardena scaledසුනිල් විජේසිරිවර්ධනඑහෙත් මේ පිරිස අතර, පිළිවෙලට කලිසමක් කමිසයක් හැඳ, කමිසය කලිසමට යට කොට, පැමිණි තරමක් නොඋස් පුද්ගලයකු සිටියේ ය. ඔහු පැමිණියේ ගිටාරයක් ද රැගෙන ය. එහෙත් සංගීතඥයෙකුගේ අංග ලක්ෂණ වන දිග කොණ්ඩයක්, අපිලිවෙල රැවුලක් හා මාල වළලු මුදු කරාබු එකකුදු ඔහුගේ තිබුණේ ම නැත. සමරු උළෙල අවස්ථාවේ මේ පැහැපත් පෙනුමක් හා ප්‍රසන්න මුහුණකින් යුතු මේ පිළිවෙලක මිනිසා සුනිලා අබේසේකර සමග ගිටාරය ගසමින් ඉතාමත් සුමියුරු ගීතයක් ගැයූ බව තවමත් හොඳින් මතක ය. පසුව විමසීමේදී, මේ පිළිවෙලක පුද්ගලයා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බව දැන ගතිමි. 1986 මැයි පළවැනි දින කොළඹ නව රඟහලේ පැවැති, ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාව සඳහා ව්‍යාපාරය (මර්ජ්) අනුග්‍රහයෙන් මහජන වේදිකාව විසින් ඉදිරිපත් කරන ලද 'නිදි නැති නදියේ නාදය' සංගීත ප්‍රසංගයේ ගැයුණු ගීත බොහොමයක පද රචනය, සංගීතය හා ගායනය කරන ලද්දේ ද මොහු විසින් බව ද තේරුම් ගතිමි.  

 

  

 

වැඩි කලක් නොගොසින්, මේ පිළිවෙලක මහත්මයාට මට 'සුනිලයියා' කියා ඇමතීමේ අප්ග්‍රේඩයක් ලැබිණ. ඔහු එකල වැඩ කළේ කරු ජයසූරිය මහතාට සම්බන්ධයක් තිබූ කෘෂිකාර්මික ව්‍යාපෘතියක ය. ඒවන විට  ජයසූරිය මහතා නිරත ව සිටියේ ක්‍රියාකාරී දේශපාලනයේ නොව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ය. මේ ව්‍යාපෘතියේ වැඩ කරන අතර සුනිලයියා පදිංචි ව සිටියේ අනුරාධපුරයේ තලාව ප්‍රදේශයේ ය. අනුරාධපුරය සුනිලයියාට ආගන්තුක ස්ථානයක් නොවුණේ ඔහු හැදුණේ වැඩුණේ, අනුරාධපුර තිසා වැව අවට ප්‍රදේශයක නිසා ය. එහෙත් ඔහු උපත ලබන්නේ කුරුණෑගල තෝරයායේ ය. ගම ගැන නොතකන සුනිලයියාට එය මහා ප්‍රශ්නයක් නොවී ය. කෘෂිකාර්මික ව්‍යාපෘතියේ රාජකාරී වැඩවලට අමතර ව, සුනිලයියා, මාවත සඟරාවේ පියල් සෝමරත්න හා සුසිල් සිරිවර්ධන වැනි අය සමග සමකතෘවරයෙකු ලෙස ද, ජනතා සංස්කෘතික කේන්ද්‍රය නමින් නන්දන මාරසිංහ, ගුණදාස කපුගේ, ආදී පිරිසක් සමග ද කටයුතු කරමින් සිටි බව මට දැනගන්නට ලැබිණ.

සුනිල් අයියා කරූ ජයසුරියගේ කෘෂිකාර්මික ව්‍යාපෘතියට සම්බන්ධ වන්නේ 1987 වැනි කාලයක ය. එහෙත් ඊට පෙර, වසර පහක් හයක් පමණ ඔහු කර ඇත්තේ ලංකාවේ තැන තැන රස්තියාදු වීම ය. ඇත්තෙන් ම එය රස්තියාදුවක් ම නොවේ. වසර දහයක් වැනි දිගු කාලයක් සෝවියට් රුසියාවේ අධ්‍යන කටයුතු නිමකර, ආචාර්ය උපාධියක් ද රැගෙන, පෙරළා මව් රටට පැමිණි පසු, කළ යුත්තේ කුමක් ද ස්ථානගත විය යුත්තේ කොතනට ද කෙලෙසට ද යන ගවේෂණය හෙවත් එක්ස්ප්ලොරේශනය කිරීම ය.

ශාක ප්‍රවේණි විද්‍යාව (plant genetics) ගැන ආචාර්ය උපාධියක් තිබීම එකල දුර්වලභ දෙයක වූ අතර, 1981 වසරේ, සුනිලයියා ලංකාවට පැමිණි විගස ම, රුහුණු විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය පත්වීමක් හෝ එකල ජයට කෙරුණු කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ ඉහළ තනතුරක් ඔහුට පිරිනැමුණේ රිදී බන්දේසියක තබා ය. ඒ ඔහුගේ තිබූ දුර්ලභ වෘත්තීය විශේෂඥතාවය නිසා ය. කුමන හෝ හේතුවකට සුනිලයියා එවැනි වෘත්තීය මං තීරුවකට පිවිසෙන්නට තරමක් අදිමදි කළේ ය.

 

 FB IMG 1664294861863රාජිනී තිරාණගම

රාජිනී තිරාණගම සමරු වැඩසටහනට අප පවත්වා වැඩිකල් නොගොසින් සුනිලයියා මා සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාරය සමග කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේ 1990 මැද භාගයේ සිට ය. ජවිපේ විසින් සිදුකළ භීෂණය හා ඝාතන ද පොලිසිය හා හමුදා විසින් ඊට ප්‍රතික්‍රියා ලෙස කළ කුරිරු මර්දනය ද ඒ වන විට අවසන් වී තිබුණේ ජවිපේ ඉහළ නායකත්වයේ සියලු දෙනාම පාහේ ඝාතනය කිරීමෙන් අනතුරුව ය. සමාජය ගල් ගැසී තිබුණු එවන් සමයක අපට යම් මැදිහත් වීමක් කිරීමට අවශ්‍ය වූ අතර, උපාය මාර්ගයක් ලෙස අප තෝරා ගත්තේ සංස්කෘතික මාධ්‍යය යි. ඒ සඳහා අපගේ මග පෙන්වන්නා හා සංකල්පගත කරන්නා ලෙස අප තෝරා ගත්තේ සුනිලයියා ය.  

තරුණ පිරිසක් සමග මානව හිමිකම් සම්බන්ධයෙන් නාට්‍ය වැඩමුළුවක් පවත්වා, එහි ප්‍රතිඵලයක් ලෙස නාට්‍යයක් නිෂ්පාදනය කිරීම මාස පහක් හයක් පමණ කළ කටයුත්තක විය. මේ ක්‍රියාදාමය අප වෙනුවෙන් සම්බන්ධීකරණය කළේ දැන් ප්‍රකට නීතිඥයෙකු වන ලක්ෂාන් ඩයස් හා රාජනී තිරාණගමගේ බාල සොහොයුරිය වන වාසුකී රාජසිංහම් ය. එකල ඔවුන් දෙදෙනාම ශිෂ්‍යයෝ වූ හ. නාට්‍ය වැඩමුළුවේ පුහුණු කටයුතු සඳහා සුනන්ද පුෂ්පකුමාර කටයුතු කළ අතර, නාට්‍යයේ පිටපත සුනිලයියා විසින් අනුවර්තනය කළ අතර, ඔහු නාට්‍යයේ පුහුණුව සඳහා කැඳවා ගත්තේ කේමදාසගේ මානසවිලේ කොකා ලෙස රඟපෑ රෙඩ්ලි ද සිල්වා ය. ප්‍රියන්ත මාරසිංහ (පසු ව, ධර්මජිත් පුනර්ජීව) හා වසන්ති රන්වල නාට්‍යයේ ප්‍රධාන භූමිකා රඟපෑ අතර පසුකාලීන ව ඔවුන් ජනප්‍රිය නාට්‍ය හා ටෙලි නාට්‍ය නළුවෝ වූ හ.

  

63168 111725332230988 1334727 nවසන්ති රන්වල නාට්‍යයේ ප්‍රධාන භූමිකා රඟපෑම

නාට්‍යය වේදිකාගත කළේ දෙහිවල ජයසිංහ ශාලාවේ වූ අතර එය නව සංවිධානයක් ලෙස මෝදු වෙමින් තිබූ 'විභවි' විසින් සංවිධානය කළ සංස්කෘතික උළෙලක කොටසක් විය. නාට්‍යයෙන් පසු රෙඩ්ලි ද සිල්වා තමාට ජීවිත තර්ජනයක් ඇති බව පවසා දේශපාලන රැකවරණය පතා එංගලන්තයට විතැන් වුණේ අපගෙන් ද ඒ බැව් සහතික කෙරෙන ලියුම් කඩදහියක් ද රැගෙන ය. දේශපාලන රැකවරණ 'කර්මාන්තය' ගැන අපට ඒ කාලයේ වැඩි අවබෝධයක් තිබුණේ නැත. ද සිල්වා මහතා තවමත් එංගලන්තයේ (තර්ජිත ජීවිතය රැකගනිමින්) වෙසෙන අතර, නාට්‍යයේ වැඩි බරක් දැරූ සුනිලයියා මානව හිමිකම් පහනෙන් එළිය බැලූ කෙනෙකු නොවන බව ඔප්පු කළේ ඔහු දිගට ම ලංකාවේ රැඳී සිටි නිසා ය.

තම සමකාලීනයන් විවිධ හේතු මවා පෙන්වා රටින් පිට ව යද්දී සුනිල් අයියා අනුවේ දශකයේ සුනිලයියා විභවි හරහා කළේ නව දේශපාලන සංස්කෘතික අවකාශයක් නිර්මාණය කිරීම යි. ඒ වන විට රාජ්‍ය නොවන සංවිධාන හෝ සිවිල් සමාජ ක්ෂේත්‍රයේ දේශපාලන-සංස්කෘතික ප්‍රවේශයකින් කෙරෙන මැදිහත්වීම් ඒ හැටි දක්නට නොලැබිණ. විභවිය මේ නවෝත්පාදනය කළේ දකුණේ ලාංකීය සමාජය වසර තුන හතරක භීෂණ සමයකින් පසු එක්තරා රික්තකයක කල්ගත කරන අතර ය. අනූව දශකයේ මැද භාගය පමණ වන විට, මාගේ වෘත්තීය කටයුතු ඕලන්ද ඩෝනර් ඒජන්සි සමග සම්බන්ධ වූ අතර, ඉන් එක් ආයතනයක් වූ 'හීවොස්' (HIVOS),  විභවයේ මුල සිට අග දක්වා අනුග්‍රහය දැක් වූ එකක විය. දෙදාහ දශකය තුල  මා ඕලන්දයේ පදිංචි වී සිටි අතර, මුල් වසර කිහිපයේ මා කුලියට ගත්තේ හීවොස් ආයතනයේ ලංකාව භාර ව සිටි නිලධාරියාගේ නිවස යි. ඒ නිසා මා දශකයක් පමණ කාලය දුරක සිටිය ද නිතර ම විභවිය ගැන යාවත්කාලීන වීමි.

 

28279547 10156164504739938 3298598022754458848 n 1 696x696ඔහුගේ පෘථුල දැනුමට ප්‍රඥාවට අමතර ව මේ ස්වාධීන පෞරුෂත්වය සමාජයේ විවිධ කොටස් අතර එක සේ පිළිගැනීමට හේතු වූවා

විභවියෙන් පසු ව සුනිලයියා කිසිදු ආයතනයකට පූර්ණ කාලීන ව නොබැඳී, තම සංස්කෘතික මැදිහත්වීම් අඛණ්ඩ ව කරගෙන ගියේ ය. මෙහිදී මා වැදගත්කොට සලකන්නේ, බොහෝ අය මෙන්, ඇන්ජීඕ සෙක්කුවේ බැඳී, ඒ වටා ම පමණක් කැරකෙමින් නොසිටි සුනිල ලක්ෂණය ය. විශේෂයෙන් රාජ්‍ය ආයතන හා අමාත්‍යංශ සමග ද අවශ්‍ය මැදිහත්වීම් කරනට ඔහු පසුබට නොවී ය. විභවියේ සිටියදී පවා ඔහුගේ චර්යාව හා අනන්‍යතාව සුපුරුදු ඇන්ජීයෝ මුදලාලී කෙනෙකුගේ එකක නොවී ය. ඔහුගේ පෘථුල දැනුමට ප්‍රඥාවට අමතර ව මේ ස්වාධීන පෞරුෂත්වය සමාජයේ විවිධ කොටස් අතර එක සේ පිළිගැනීමට හේතු වූවා යැයි මම සිතමි. එක්තරා කාලයක සුනිලයියා භාවනාවට යොමු වී සිටි අතර මගේ සමහර හිතවත්හු කීවෝ ඔහුගේ හිස වට හේලෝවක් වැන්නක් දිදුළන බව යි. ඔහුගේ ප්‍රඥාවේ එළියෙන් මා බොහෝ දේ උගෙන ඇති නිසා හිස වටේ එළි බැලුමට මට එතරම් උනන්දුවක් නොවී ය.  


අනුන් කැපූ කොන්ක්‍රීට් ඇලවල් දිගේ නොයා තමන්ට ම රිසි පරිදි, තමන්ගේ ම වේගයකට නිවිහැනහිල්ලේ සුනිල දිය දහරක් මෙන් සිසිලසින් ගලා ගිය මේ විශේෂ පුද්ගලයා දශක හතරක් තුළ ලාංකේය සමාජයටත් ඉන් පිටතටත් කළ සේවය ඇගයීම සඳහා මේ  මස අග රැස්වීමක් සංවිධානය කර තිබීම අතිශයින් කාලෝචිත හා වැදගත් තීරණයකි. මේ සාකච්ඡා මණ්ඩපයේ මා සිටියහොත්, සභාවෙන් නැගිට මා අසන කෙටි ප්‍රශ්නය වනුයේ, 'සුනිලයියාට කරන්න බැරි සාස්තරයක් හරි  කර්මාන්තයක් හරි තියෙනවා  ද' කියා ය.

Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...