The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය: ආරංචිය ශ්‍රී ලංකාවට සැබවින්ම සුබ වෙයිද ?

T

The Leader Desk

June 27, 2024 • 5:50 PM

ණය ප්‍රතිව්‍යුහගතකරණය: ආරංචිය ශ්‍රී ලංකාවට සැබවින්ම සුබ වෙයිද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ජුනි මස 26) ප්‍රකාශ කළේය.
  • මේ යටතේ ඩොලර් බිලියන 10ක ණය ප්‍රතිව්‍යුගතකරණයට ලක්වනු ඇත.
  • වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල වෙත කියා සිටියේ, රටක් ලෙස මෙය සුබ පණිවිඩක් බවය.
  • ඔවුන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කරලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ජුනි මස 26) ප්‍රකාශ කළේය.

මේ යටතේ ඩොලර් බිලියන 10ක ණය ප්‍රතිව්‍යුගතකරණයට ලක්වනු ඇත.

ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම පිළිබඳ රටට නිවේදනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දින කිහිපයකට පෙර සිට ම සූදානම් වෙමින් පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් ගෙන ගියේය.

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල වෙත කියා සිටියේ, රටක් ලෙස මෙය සුබ පණිවිඩක් බවය.

‘ඊයේ සැමරුවනේ ණය ප්‍රතිව්‍යුගත කළ කියලා. රටක් හැටියට සුබ පණිවිඩයක් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. මේක හොඳ දෙයක්. සුබ දෙයක්. ඒක අපි පිළිගන්නවා. නමුත් සුබ පණිවිඩය යථාර්ථයක් කර ගැනීමේ තීරණය තියෙන්නේ ඉදිරියේදී පත්වන දේශපාලන පක්ෂයට.’ යනුවෙනි.

‘ඒක සුබ පණිවිඩක් ජනතාවට. නමුත් ඒ සුබ පණිවිඩය අපිට ගෙනාපු ජනාධිපතිවරයා අවුරුදු කීයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද? අවුරුදු කීයක් අගමැතිවරයා හෝ ඇමතිවරයෙක් හැටියට කටයුතු කළාද? එතකොට මේ රට බංකොලොත් කළේ මේ පණිවිඩය අහං ඉන්න අපිද? එහෙම නැත්තම් මේ රට මෙච්චර කල් පරිපාලනය කළ අය ද?’

‘ඔවුන්ම බංකොලොත් කරලා. ඔවුන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කරලා. ඊට පස්සේ ඔවුන්ම කියනවා දැන් බංකොලොත් නැහැ කියලා රතිඤ්ඤා පත්තු කරනවා. අපි එකක් තේරුම් ගන්න ඕනේ. රටක් බංකොලොත්ත නැද්ද කියන එක මේ මහ බැංකු අධිපතිවරයටවත් ජනාධිපතිටවත් තීරණය කරන්න බැහැ. ඒක තීරණය කරන්න ඕනේ ලෝකයේ ඉන්න ශ්‍රේණිගත කිරීමේ ආයතන. ශ්‍රේණිගත කිරීමේ ආයතන පිළිගන්නවා නම් රට බංකොලොත්භාවයෙන් මිදිලා කියලා. ෆිච්, මෝඩීස්, එස් & පී, දර්ශකය හරි අපි උටඩ ගෙනාවොත් තමයි ජාත්‍යන්තරය පිළිගන්නේ. එහෙම නැතිව මහ බැංකු අධිපතිවරයට හිතුණ වෙලාවට බංකොලොත් කියන්නයි. ජනාධිපතිවරයාට හිතුණ වෙලාවට නැහැ කියන එකෙනුයි මම හිතන්නේ නැහැ ජ්‍යනන්තරව වාසියක් වෙයි කියලා.’

‘අපි දෙපාරක් හිතන්න ඕනේ ඒ කට්ටියම බංකොලාත් කරලා. ඒ කට්ටියම සුබ පණිවිඩ දෙන එක විහිළුවක් මේ රටේ. මොකද ඒකට මේ අහිංසක මිනිස්සු පලි නැහැ.’

ප්‍රචාරණයට කොච්චර වියදම් කළාද?

‘අපි මේක එන්න ඉස්සෙලම පෝස්ටර් ගැහැවා සුබ පණිවිඩක් කියලා. ඊට පස්සේ මධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. අපිට පුළුවන් නම් රජය ඒ සඳහා කොච්චර වියදම් කලාද කියලා දැන ගන්න’ මහාචාර්යවරයා සඳහන් කළේය.

‘වියදම් කපා හරින්න කියලා මෙච්චර බල කරද්දි, රුපියල් බිලියන කීයක් වියදම් කලාද මේ ප්‍රචාරණය වෙනුවෙන්. ඒක දේශපාලනිකයි.’

dfg45fff3

ශ්‍රී ලංකාවේ ණය

ව්‍යාපෘති ණය - ඩොලර් බිලියන 22
වාණිජ ණය - ඩොලර් බිලියන 15


ව්‍යාපෘති ණය සඳහා ලබා ගත් ඩොලර් බිලියන 22කින් ඩොලර් 10.6ක් ද්වී පර්ශවික ණය අන්තර්ගත වේ.

ද්විපාර්ශ්වික ණය දෙන්නන් අතර, ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 4.7 ක් ණය වී ඇති අතර ඉන්දියාවට ඩොලර් බිලියන 1.74 ක් ණය ගෙවීමට ඇත. පැරිස් ක්ලබ් සමූහයේ පාර්ශවයක් වන ජපානයට ඩොලර් බිලියන 2.68ක් ණය ගෙවීමට තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ( OCC) හි නිල සාමාජිකයෙකු නොවේ.

ස්වෛරීත්ව බැඳුම්කර සහ අනෙකුත් ණය වලින් සමන්විත වාණිජ ණය ඩොලර් බිලියන 14.73 ක් පමණ වේ.

මෑතකාලීනව ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විදේශ විනිමය සංචිත හිඟයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණ පා තිබුණි.

ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේදී ණය තිරසාර නොවන රටවලට ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොහැකි බැවින් ශ්‍රී ලංකාවට සිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට සමගාමීව කිරීමට ‍සිදුවිය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත ලද ණය වැඩ සටහන යටතේ මෙරටට ලබා දෙන ණය මුදල බිලියන 2.3ක් වන අතර ඉන් ණය වාරික තුනක් දැනටමත් මෙරටට ලබා දී තිබේ.

එකඟතාවලට එළඹුණේ කා සමගද ?

ශ්‍රී ලංකාව පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ද, චීනයේ දී එක්සිම් බැංකුව සමග ද සාකච්ජා කිරීමෙන් අනතුරුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවලට එළඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන ලදී.

පැරිස් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතීත්වය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් දරනු ලබයි.

ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, හංගේරියාව, කොරියාව, නෙදර්ලන්තය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සෙසු සාමාජිකයන් වෙයි.

එහිදී ශ්‍රී ලංකාව පැරිස් නිල ණය හිමියන් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්වලට එළඹිණි.

එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්වලට එළඹී තිබේ.

පැරිස් නිල ණය හිමියන් සහ චීන එක්සිම් බැංකුව හරහා ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ණයවල ඒකාබද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කි.

ගිවිසුම් අත්සන් තැබීම

xgrst45s

පැරිස් ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වී තිබුණි.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ අවසන් එකඟත්වයට අත්සන් තැබුණේ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දීය.

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ එම අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් සහ මහාභාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න එම අවබෝධතා ගිවිසුම හුවමාරු කරගන්නා ලදී.

ශ්‍රී ලංකාවට ලැබෙන සහන මොනවාද ?

නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ වන ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා දෙකම සැලකිය යුතු කල්පිරීමේ කාල සීමාවන් දීර්ඝ කිරීම, ප්‍රාග්ධනය සඳහා සහන කාලසීමාවන් ලබාදීම සහ පොලී අනුපාත අඩු කිරීම් යන කරුණු ඔස්සේ ශ්‍රී ලංකාවට සැලකිය යුතු ණය සහනයක් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුනි 26 වැනිදා ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශයේදී කියා සිටියේ ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා 2028 දක්වා කාලය හිමිවූ බවය.

‘මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි.’

‘ඉන් පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි.’ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් සහ අනාගතයේ දී ණය ගෙවීමේ හැකියාව වැඩිදියුණු වන තෙක් කෙටි කාලීනව ශ්‍රී ලංකාව සඳහා පවතින ගෙවීම් බර අඩු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

මේ අතර ප්‍රමාණාත්මකව තක්සේරු කිරීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ වන ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් ක්‍රියාත්මක කාල සීමාව තුළ ගෙවිය යුතු ඔවුන්ගේ අදාළ ණය ප්‍රමාණයෙන් 92% දක්වා ණය සහන ලබා දී තිබේ.


ඉදිරි සැලසුම කුමක් ද ?

එක් එක් ණයහිමියා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මගින් දක්වා ඇති ඉලක්කය සපුරාලිය යුතු අතර අනෙකුත් ණය හිමියන් සමඟ ඇතිකරගත් ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා සමඟ ද සන්සන්දනාත්මක විය යුතු වේ.

මීළඟ පියවර ලෙස ශ්‍රී ලංකාව වාණිජ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතාවන්ට පැමිණීම කඩිනම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ විශේෂ ප්‍රකාශයේදී පැවසීය.

‘ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා.’ ජනාධිපතිවරයා පැවසුවේය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...