The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති

T

The Leader Desk

July 2, 2024 • 7:45 AM

අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • , 1989 යන දෙවසර පුරා රට තුළ පැවැති භීෂණ සමයේ මෙරට තරුණ තරුණියන් හැට දහසක් පමණ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වී තිබීම හේතුවෙන් හටගත් සමාජමය කැළඹීම ඒ වන විට නිමා වී නොතිබිණ.
  • මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කැපී පෙනුණු ශිෂ්‍ය නායකයකු ද හිටිහැටියේ අතුරුදන්ව සිටි අතර ඔහු ජීවත්ව සිටිතැයි එහි සිසුවන් කොටසක් කියා සිටි අතර තවත් කොටසක් කියා සිටියේ ඔහු ඝාතනයට ලක්වන්නට ඇතැයි කියා ය.
  • නාමල් කීයේ 1989 අතුරුදන් වූ බව පැවසෙන තම සරසවියේ ශිෂ්‍ය නායකයා සම්බන්ධයෙනි.
  • “එහෙනම් එන්න ඇතුළට” අංජනම් බලන ස්ථානයේ අඳුරු කුටියට නාමල් කැඳවමින් අංජනම් ඇදුරා කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


1988, 1989 යන දෙවසර පුරා රට තුළ පැවැති භීෂණ සමයේ මෙරට තරුණ තරුණියන් හැට දහසක් පමණ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වී තිබීම හේතුවෙන් හටගත් සමාජමය කැළඹීම ඒ වන විට නිමා වී නොතිබිණ. නාමල්ගේ මිතුරු මිතුරියන්ගේ ඥාතීන් සහ දන්නා කියන පවුල්වල තරුණ තරුණියන් කිහිප දෙනෙකු ද අතුරුදන්ව සිටි අතර ඔවුනට කුමකින් කුමක් විනිදැයි කිසිවෙකුත් නොදත්හ.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කැපී පෙනුණු ශිෂ්‍ය නායකයකු ද හිටිහැටියේ අතුරුදන්ව සිටි අතර ඔහු ජීවත්ව සිටිතැයි එහි සිසුවන් කොටසක් කියා සිටි අතර තවත් කොටසක් කියා සිටියේ ඔහු ඝාතනයට ලක්වන්නට ඇතැයි කියා ය.

 

1988, 1989 යන දෙවසර පුරා රට තුළ පැවැති භීෂණ සමය

“ඇත්තෙන්ම අපිට මොනම ක්‍රමයක්වත් නැද්ද මේ අතුරුදන් වෙලා ඉන්න අය අඩුම තරමින් ජීවත්වෙලා ඉන්නවද නැත්නම් මැරිලද කියලා දැන ගන්නවත්?” තරුණ තරුණියන්ගේ අතුරුදන්වීම් පිළිබඳව මිස ඉන්පසු ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් කිසිවකුටත් දැනගත නොහැකි වූ පසුබිමක් තුළ නාමල් තම මිතුරන්ගෙන් ඇසීය.
“හැබැයි ඉතින් දැන් හැමතැනම ඔය සාත්තර පේන, නිමිති වලින් වගේම මළවුන් ගෙන්වන තැන්වලිනුත් ඒ වගේ අතුරුදන් වුණු අය ගැන තොරතුරු දැනගන්න පුළුවන් කියලයි හුඟදෙනෙක් කියන්නේ නම්” එවන් අවස්ථාවක එක් මිතුරෙක් කීය.


“මොන පිස්සුද මම නම් ඕවා සතපහකට විශ්වාස කරන්නේ නැහැ. ඕවා මෝඩයො රවට්ටන ඇස් බැන්දුම්නේ” නාමල් උපහාසයෙන් සිනාසුණි.

“හැබැයි අකුරැස්සේ නම් තියනවලු අංජනම් එළි බලන තැනක්. එතැන අංජනම් එළිය බලන්න දෙන්නේ අංජනම් එළිය බලන්න යන කෙනාටමලු. එතකොට නම් ඉතින් ඒක හොරයක් බොරුවක් කියන්න බෑ නේද?” සරසවියේ දෙවන වසරේ දී නාමල්ගේ හිතමිතුරු වෛද්‍ය ශිෂ්‍යයකු දුන් ඒ හෝඩුවාවෙන් මිතුරු පිරිස ප්‍රමුදිත වූහ. ඒ අනුව ඔවුහු ඊළඟ සතිඅන්තයේ එම අංජනම් එළි බලන ස්ථානය සොයා ගියේ ඉන් තම ජීවිතවල කුමක් හෝ නවතම අත්දැකීමක් ලබාගැනීමේ අටියෙනි.
“දැන් මොකක් දැනගන්නද මේ අංජනම් බලන්න ආවේ?” ඒ අංජනම් බලන ස්ථානයට ගිය වෛද්‍ය සිසු පිරිසගෙන් ඇදුරා ඇසීය.

 

images 23හැබැයි අකුරැස්සේ නම් තියනවලු අංජනම් එළි බලන තැනක්. එතැන අංජනම් එළිය බලන්න දෙන්නේ අංජනම් එළිය බලන්න යන කෙනාටමලු. එතකොට නම් ඉතින් ඒක හොරයක් බොරුවක් කියන්න බෑ නේද?

“මීට අවුරුදු තුනකට විතර කලින් අපේ යාළුවෙක් හිටිහැටියේ අතුරුදන් වුණා. අපිට ඕනේ එයා ගැන තොරතුරක් දැනගන්න”. නාමල් කීයේ 1989 අතුරුදන් වූ බව පැවසෙන තම සරසවියේ ශිෂ්‍ය නායකයා සම්බන්ධයෙනි.

“එහෙනම් එන්න ඇතුළට” අංජනම් බලන ස්ථානයේ අඳුරු කුටියට නාමල් කැඳවමින් අංජනම් ඇදුරා කීය. ඒ ඇදුරු කුටිය තුළ දේව රූප විස්සක් තිහක් දක්නට තිබූ අතර එහි පූජාසනය මත පොල්තෙල් පහනක් දැල්වෙමින් තිබිණ. ඉන් ඔබ්බෙහි පීරිසියක් වැනි තැටියක්ද දැකිය හැකි විය.

“දැන් මෙතැනින් වාඩිවෙලා වෙන කිසිම දෙයක් ගැන නොහිතා බලාපොරොත්තු වෙන කාරණේ විතරක් තදින්ම හිතේ තියාගන්න.ඊට පස්සේ ඔය පහන් දැල්ලෙන් එක එක රූප මතුවේවි. ඒ පෙන්නන රූප මොනවද කියලා මට කියන්න” එසේ කී ඇදුරා නාමල් පූජාසනය ඉදිරියේ වූ අසුන මත වාඩිකොට සිහින් හඬ නංවන සීනුවක් නාද කරමින් මොනවාදෝ හෑල්ලක් කියාගෙන ගියේය.

 

01 Page 3 M 01ඇදුරු කුටිය තුළ දේව රූප විස්සක් තිහක් දක්නට තිබූ අතර එහි පූජාසනය මත පොල්තෙල් පහනක් දැල්වෙමින් තිබිණ

“ හොඳට බලන්න මුකුත් පෙන්නුම් කරනවද?” විනාඩි දහයක් පමණ එසේ යමක් කී ඇදුරා නාමල්ගේ කණට මුව ළංකොට ඇසීය. “නැහැනේ” නාමල් පිළිතුරු දුනි.

“ළඟකදී ඌරුමස් කෑවද?” ඒ සමඟම ඇදුරා නාමල්ගෙන් ඇසීය. “නැහැ; ඇයි?”. නාමල් ඇසීය. “එහෙනම් ළඟදී ඉලව් ගෙදරක ගියාද? මළගෙදරක?” ඇදුරා ගේ පැනය එය විය. “ඔව් සති දෙකකට වගේ කලින්” මඳක් කල්පනා කළ නාමල් පිළිතුරු දුන්නේය.“එහෙනම් මේ අංජනම් කීයටවත් පෙන්නේ නැහැ. මොකද මළ කිල්ලට අංජනම් දේවි වඩින්නෙම නෑ.” ඇදුරා ගත්කටටම කීය.

පසුව එම අංජනම බැලීම සඳහා නාමල් සමඟ ගිය මිතුරකුට අවස්ථාව සලසා දුන් අතර එහිදී ද තම සුපුරුදු හෑල්ල කී ඇදුරා ඒ මිතුරාගෙන්ද එවැනිම ප්‍රශ්න මාලාවක් ඇසීය.“කවදාහරි බල්ලෙක් හපා කාලා තියෙනවද? ඒ ප්‍රශ්න අතුරින් ඇදුරා ඇසූ ප්‍රශ්නයට මිතුරා දුන් පිළිතුර වූයේ “පුංචි කාලේ නම් බල්ලෙක් හපලා තියෙනවා තමයි” යන්න ය.

“පුංචි කාලේ කියලා හරියන්නේ නෑ කවදාහරි බල්ලෙක් හපලා තියෙනවා නම් මේ අංජනම කොහොමත් පේන්නේ නෑම තමයි” නාමල්ගේ මිතුරා ද ඒ අසුනින් ඉවත් කරමින් ඇදුරා කීය.

 

13 4 701x445“පුංචි කාලේ කියලා හරියන්නේ නෑ කවදාහරි බල්ලෙක් හපලා තියෙනවා නම් මේ අංජනම කොහොමත් පේන්නේ නෑම තමයි”

කෙසේ හෝ ඊළඟට අංජනම බැලීමට තෝරාගත් මිතුරා හමුවේ ඇදුරා තම මන්ත්‍රය ජප කරත්ම මිතුරා නිදිබර හඬින් යමක් මුමුණනූ ඇසිණ. “මට වෙලක් පේනවා…. ඒ වෙල කෙළවරේ ඇළ පාරකුත් පේනවා… එතැන ගහක් තියෙනවා …. අර ගහ යට සොහොන් කොතකුත් තියෙනවා…” මේ ආදී වශයෙන් ඔහු තමන්ට දර්ශනය වන යම් යම් දේ පැවසුවද අපේක්ෂිත කරුණ සම්බන්ධ කිසිදු හෝඩුවාවක් නොපෙනිණ.



“මේ අංජනමට පෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් විතරයි. දැනට මේ ලෝකේ නැති කිසිම දෙයක් මේකට පෙන්නේ නැහැ. ඔතන තමයි ඔය කියන ප්‍රාණ කාරයා මේ ලෝකේ හැරලා ගිය තැන” අවසානයේ ඇදුරා කීයේ නාමල් ඇතුළු පිරිස අන්දමන්ද කරමිනි.

 “මට ඒ වෙලාවේ තද නිදිමතක් වගේ දැනුණා. ඊට පස්සේ මට මොනවා වුණාද දන්නේ නැහැ” එම අංජනම බලා ආපහු එන ගමනේදී එම මිතුරු පිරිස බසයක් එනතුරු පාර අයිනේ බෝක්කුවක් උඩ වාඩි වී සිටින අතරවාරයේ ඒ අංජනම බැලූ මිතුරා සෙස්සන්ට කීය. ඔහු ඒ සමඟම යළි කතා කළේය.

porkහැබැයි මචං මෙහෙම දෙයක් නම් තියෙනවා. මම පෙරේදා ඌරු මස් කෑවා

 

“හැබැයි මචං මෙහෙම දෙයක් නම් තියෙනවා. මම පෙරේදා ඌරු මස් කෑවා. ගිය සතියේ මළගෙවල් දෙකකටම ගියා. පුංචි කාලේ මාව බල්ලොත් කාලා තියෙනවා එලෝ කෝටියට;මොකද මං ඒ කාලෙ උන්ට පයින් ගහනවනේ”


පසුව වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා විෂය හදාරන සමයේ එවක එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියක් හෙබවූ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී. ටී. ජේ. හරිශ්චන්ද්‍රයන්ගෙන් ඒ පැනය විමසා සිටි නාමල් ඇතුළු සිසු පිරිසට අංජනම් බැලීම යනු හුදු උප විඥානය පුබුදුවා ගැනීමක් හෙවත් නොනිඳා සිහින දැකීමේ අවස්ථාවක් උදා කර ගැනීමක් පමණක් බව දැනගත හැකි විය.

තම ජීවිතයේ තරුණ වියේ ලත් එම රසවත් අත්දැකීම මා හා කියා සිටි එවක වෛද්‍ය සිසු නාමල් මේ වන විට හෘදවේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයා ය.


thilak
(තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)






The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...