The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ආර්. සම්බන්ධන්: දිවියට සමුදුන් ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායකයා ගැන දත් නොදත් තොරතුරු

T

The Leader Desk

July 2, 2024 • 8:40 AM

ආර්. සම්බන්ධන්: දිවියට සමුදුන් ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායකයා ගැන දත් නොදත් තොරතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වූ බව ය.
  • වසරේ පෙබරවාරි 05 වන දා උපත ලැබූ රාජවරෝදියම් සම්බන්ධන් අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසු විය.
  • ඔහු දේශපාලනඥයෙකු ලෙස ප්‍රකටව සිටියේ, ආර්.
  • මුල් විය ගල්ඔය ව්‍යාපෘතියේ සේවය කළ ගබඩා භාරකරුවෙකු බව කියන ඒ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වූ බව ය.

1933 වසරේ පෙබරවාරි 05 වන දා උපත ලැබූ රාජවරෝදියම් සම්බන්ධන් අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසු විය.

ඔහු දේශපාලනඥයෙකු ලෙස ප්‍රකටව සිටියේ, ආර්. සම්බන්ධන් ලෙසිනි.

මුල් විය

ගල්ඔය ව්‍යාපෘතියේ සේවය කළ ගබඩා භාරකරුවෙකු බව කියන ඒ. රාජවරෝදියම්ගේ පුත්‍රයෙකු වූ ආර්. සම්බන්ධන්, යාපනය ශාන්ත පැට්‍රික්, කුරුණෑගල ශාන්ත ආනා, ත්‍රිකුණාමලය ශාන්ත ජෝසෆ් සහ මොරටුව ශාන්ත සෙබෙස්තියන් යන විද්‍යාලවලින් ඉගෙනුම ලබා තිබේ.

පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු, නීතිඥයෙකු බවට පත් විය.

නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ආර්. සම්බන්ධන් ත්‍රිකුණාමලයේ සේවය කළේ ය.

 

r 1

1956 වසරේදී ආර්. සම්බන්ධන් ඉලංකෙයි තමිල් අරසු කට්චි සාමාජිකත්වය ලබා ගත්තේ ය

 

පාර්ලිමේන්තුවට පත්වීම

වෘත්තියෙන් නීතිවේදියෙකු වූ පසුව වෘත්තීය දේශපාලනඥයකු බවට පත්වූ ආර්. සම්බන්ධන්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛත්වය ගත් දේශපාලන නායකයා වූ එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් ආරම්භ කරන ලද ඉලංකෙයි තමිල් අරසු කට්චි (ITAK) සාමාජිකයකු බවට පත්වීමත් සමග ය.

1956 වසරේදී ආර්. සම්බන්ධන් ඉලංකෙයි තමිල් අරසු කට්චි සාමාජිකත්වය ලබා ගත්තේ ය.

1970 වසරේ පැවති මහ මැතිවරණයේදී ආර්. සම්බන්ධන් ඉලංකෙයි තමිල් අරසු කට්චි නියෝජනය කරමින් ත්‍රිකුණාමලය ආසනය වෙනුවෙන් තරග කළ ද ඔහුට ජයග්‍රහණය හිමි නොවී ය.

ඉන් අනතුරුව පැවැත්වුණු 1977 මහ මැතිවරණයේදී කල්කුඩා ආසනය හැර උතුරු - නැගෙනහිර බහුතර පාර්ලිමේන්තු නියෝජන බලයක් දිනා ගත් සම්බන්ධන් ද නියෝජනය කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුවේ දෙවන බලවත් තනි දේශපාලන පක්ෂය බවට පත්විය.

එම මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනා අතර සම්බන්ධන් ද විය.

 

r 2

අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත්වීමෙන් වසර 38කට පසු ශ්‍රී ලංකාවේ දෙවන දමිළ විපක්ෂ නායකයා ලෙස ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු ඉතිහාසයට එක්විය

 

1977 සිට වසර දොළහකට පසු කැඳවූ 1989 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ද, පාර්ලිමේන්තුවේ ආසනයක් දිනා ගැනීමට ආර්. සම්බන්ධන්ට නොහැකි විය.

1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ඔහුට ජයගත නොහැකි වූ නමුත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඒ. තංගතුරෙයි ඝාතනය කරනු ලැබීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහුට අවස්ථාව හිමි විය.

2000 වසරේ ඔක්තෝබර් මස පැවති මහ මැතිවරණයෙන් ඔහුට යළිත් පාර්ලිමේන්තු ආසනය අහිමි විය. ආර්. සම්බන්ධන්ගේ ඊළඟ පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ වන්නේ, 2004 මැතිවරණ ජයග්‍රහණයත් සමග ය. ඉන් පසු පැවැත්වුණු 2005, 2010 සහ 2015 මහමැතිවරණවලදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඔහු සමත්විය.

ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායකයා

ඔහු 2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2018 දෙසැම්බර් මාසය වන තුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ, අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ගෙන් පසු මෙරට විපක්ෂ නායක ධූරයට පත්වූ දෙවන දෙමළ දේශපාලනඥයා ලෙස ය.

1977 වසරේදී අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත්වීමෙන් වසර 38කට පසු ශ්‍රී ලංකාවේ දෙවන දමිළ විපක්ෂ නායකයා ලෙස ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු ඉතිහාසයට එක්විය.

2015 මහමැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ (UNF) ළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පොදුජන එක්සත් පෙරමුණ (UNFA) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව හිමි දේශපාලන පක්ෂය වුවද, එහි කොටසක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිනව පාලනය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්වීමත් සමග ඊළඟට වැඩිම පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන ලද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ට විපක්ෂ නායක පදවිය හිමිවිය.

2015 පාර්ලිමේන්තුව තුළ 'ඒකාබද්ධ විපක්ෂය' ලෙස පෙනීසිටි පොදුජන එක්සත් පෙරමුණට (UNFA) අයත් මන්ත්‍රී කණ්ඩායම ආර් සම්බන්ධන්ගේ විපක්ෂ නායකත්වයට අභියෝග කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පවා උත්සාහ දරන ලද නමුත් කතානායකවරයා විසින් සම්බන්ධන් විපක්ෂ නායකයා ලෙස පිළිගනිමින් එම පදවිය තහවුරු කරනු ලැබිණි.

දෙමළ ජාතික සන්ධානය

ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් පිහිටවූ දෙමළ ජාතික සන්ධානය (TNA) ශ්‍රී ලංකාවේ දමිළ ජාතික දේශපාලනයේ සුවිශේෂී කඩඉමක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

දෙමළ ජාතික සන්ධානය ගොඩනගන ලද්දේ, මධ්‍යස්ථ මතධාරී දේශපාලන නායකයන්ගේ පක්ෂය වූ ITAK සාමාජිකයන් ඇතුළත් TULF සහ සන්නද්ධ සටන් මාවතින් බැහැරව දේශපාලනයේ නිරත වෙමින් සිටින EPRLF, PLOTE සහ TELO යන සංවිධාන ඒකාබද්ධ වීමෙනි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සංකේතය වන නිවස ලකුණ දෙමළ ජාතික සන්ධානයේ සළකුණ ලෙසට ලබාගෙන පසුගිය මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය මැතිවරණවලට තරග කළේය.

1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් 2004 වසරේ සිට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක ලෙස කටයුතු කරනු ලැබීය.

සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට පත්වීමෙන් අනතුරුව පක්ෂ නායකයා ලෙසට 2014 වසරේ සිට මාවෙයි සේනාධිරාජා කටයුතු කෙරිණ.

මියයන තෙක්ම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙසට ආර්.සම්බන්ධන් කටයුතු කළේය.

ප්‍රශංසා සහ චෝදනා

සටන් මාවතින් බැහැර වූ මධ්‍යස්ථා මතධාරී දේශාපලනඥයෙකු ලෙස ප්‍රකටව සිටි ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් සාමය, සංහිඳියාව සහ සාධාරණත්වය වෙනුවෙන් කැප වි ක්‍රියා කළේ ය.

කෙසේ වෙතත්, ඔහුගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා ද එල්ල විය.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට පත්වීමෙන් පසු සම්බන්ධන් මුහුණ දුන් පළමු දේශපාලන අභියෝගය LTTE ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය යි.

2001 වසරේදී ශ්‍රී ලංකා රජය, කොටි සංවිධානය සමග සාකච්ඡා ආරම්භ කරද්දී දෙමළ ජාතික සන්ධානය ද කොටි සංවිධානය සමග සබඳතා ආරම්භ කිරීමට යොමු වූ අතර 2002 අප්‍රේල් මාසයේ සම්බන්ධන් සහ ආනන්දසංගරී ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඇන්ටන් බාලසිංහම් කිලිනොච්චියේදී මුණගැසී සාකච්ඡා කළහ.

කෙසේ වෙතත්, කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රමුඛ සංවිධානය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීමකට හේතු වූ අතර වී. ආනන්දසංගරී සන්ධානයෙන් ඉවත්ව යද්දී බොහෝ සිංහල දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් ද එල්ල වූ දැඩි විරෝධයකට මුහුණ පෑමට සම්බන්ධන්ට සිදුවිය.

ඔහු සිංහල බහුතරයක් ඉගෙනුම ලැබූ පාසල් කිහිපයකින් (මොරටුව සහ කුරුණෑගල) ඉගෙනුම ලැබූ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා සාර්ථකව හැසිරවිය හැකි දෙමළ දේශපාලනඥයින් කිහිප දෙනා අතරින්, කෙනෙකි.

සම්බන්ධන්ගේ අභාවයෙන් මතුවන දෙමළ දේශපාලන රික්තකය

සම්බන්ධන්ගේ අභාවය පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි දේශපාලනය ගැන ඉලංගෙයි තමිල් අරසු කච්චි ජ්‍යේෂ්ඨ උපදේශක මාවේයි සේනාධිරාජාගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

‘සම්බන්ධන් මහත්තයා හා මම එකම කාලයක තමයි දේශපාලනය වෙත පිවිසුණේ. සම්බන්ධන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක ලෙසට හා දෙමළ ජාතික සන්ධාන නායකයා ලෙසට පත්වීම දෙමළ ජනතාවගේ වාසනාවක්.’

‘සම්බන්ධන් හැම වෙලාවේම සාධාරණය වෙනුවෙන් පෙනි සිටියා. දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් සම්බන්ධන් නිරන්තරයෙන් පෙනී හිටියා.’

‘දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් සම්බන්ධන් හා මම ඇතුළු කණ්ඩායම සෑම අවස්ථාවකම උත්සහ කළා.’

‘විවිධ බාධා කිරීම් රැසකට අපට මුහුණ දෙන්න සිදුවුණත් සම්බන්ධන්ගේ නායකත්වය යටතේ අපි සියළුදෙනා ඒ බාධාවන් මැඩ ගන්න කටයුතු කළා.’ ඔහු කියා සිටියේය.

‘සම්බන්ධන්ගේ දේශපාලන රික්තකය පිරවීමට වෙනත් කෙනෙකුට හැකියාවක් නෑ. සම්බන්ධන් දෙමළ ජනතාවගේ සැබැ නායකයෙක්.’

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආර්. සම්බන්ධන්: දිවියට සමුදුන් ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායකයා ගැන දත් නොදත් තොරතුරු | The Leader