The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: විමර්ශන වාර්තාවට මොකද වුණේ?

T

The Leader Desk

July 3, 2024 • 11:49 AM

මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: විමර්ශන වාර්තාවට මොකද වුණේ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ ආරක්ෂක අංශවලට ද චෝදනා එල්ල වු එම ප්‍රහාරය සම්බන්ධව ගවේෂණය කළ දෙමළ මාධ්‍යවේදින් යුගලක් විසින් වින්දිතයින්ගේ සාක්ෂි ඇතුළත් කර සම්පාදනය කරන ලද වාර්තා චිත්‍රපටයකින් ඒ බව හෙළි කර ඇත.
  • ‘කන්ද උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ලට අවුරුදු 6 යි: යුක්තිය කෝ’ වාර්තා චිත්‍රපටයෙන් විමසා බැලෙන්නේ දිගන, තෙල්දෙණිය ඇතුළු මහනුවරට තදාසන්න ප්‍රදේශ කිහිපයක මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් 2018 මාර්තුවේ දි එල්ල වූ වෛරී සහගත ප්‍රහාර මාලාව පිළිබඳව ය.
  • එම වාර්තාව ගැන 2023 ජුලි 18 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ කළ විමසීමට කෙටි චිත්‍රපටය එළිදැක්වු 2024 ජුනි 27 වැනිදා තෙක්ම පිළිතුරක් නොලැබුණු බව, මාධ්‍යවේදී පාර්තීබන් ෂන්මුගනාදන් පවසයි.
  • වසරේ මාර්තු 4 වැනිදා දිගන, තෙල්දෙණියෙන් ආරම්භ වු මුස්ලිම් විරෝධි ප්‍රහාරය ගැන එම වසරේ මැයි මස 9 වැනිදා සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ ආරක්ෂක අංශවලට ද චෝදනා එල්ල වු එම ප්‍රහාරය සම්බන්ධව ගවේෂණය කළ දෙමළ මාධ්‍යවේදින් යුගලක් විසින් වින්දිතයින්ගේ සාක්ෂි ඇතුළත් කර සම්පාදනය කරන ලද වාර්තා චිත්‍රපටයකින් ඒ බව හෙළි කර ඇත.

 

‘කන්ද උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ලට අවුරුදු 6 යි: යුක්තිය කෝ’ වාර්තා චිත්‍රපටයෙන් විමසා බැලෙන්නේ දිගන, තෙල්දෙණිය ඇතුළු මහනුවරට තදාසන්න ප්‍රදේශ කිහිපයක මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් 2018 මාර්තුවේ දි එල්ල වූ වෛරී සහගත ප්‍රහාර මාලාව පිළිබඳව ය.

 

මානව හිමිකම් කොමිසමෙන් පිළිතුරක් නැත

 

මාධ්‍යවේදී පාර්තීබන් ෂන්මුගනාදන්ගේ අධ්‍යක්ෂණයෙන්, සෙල්වමනි ශ්‍රීධරන්ගේ සංස්කරණයෙන් නිර්මාණය වී ඇති වාර්තා චිත්‍රපටයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමෙන් ඔවුන්ගේ විමර්ශනය පිළිබඳව අවුරුද්දකට ඉහතදී කරන ලද විමසීමකට අදටත් පිළිතුරු ලැබී නැත.

 

එම වාර්තාව ගැන 2023 ජුලි 18 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ කළ විමසීමට කෙටි චිත්‍රපටය එළිදැක්වු 2024 ජුනි 27 වැනිදා තෙක්ම පිළිතුරක් නොලැබුණු බව, මාධ්‍යවේදී පාර්තීබන් ෂන්මුගනාදන් පවසයි.

 

2018 වසරේ මාර්තු 4 වැනිදා දිගන, තෙල්දෙණියෙන් ආරම්භ වු මුස්ලිම් විරෝධි ප්‍රහාරය ගැන එම වසරේ මැයි මස 9 වැනිදා සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කර තිබුණි.

 

එක්සත් ජාතින්ගේ 43 වැනි සැසිවාරයට ආගම හෝ ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය අහ්මඩ් ෂහීඩ් ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි එක් පුද්ගලයෙකු මරා දැමු එම ප්‍රහාර මාලාවෙන් හාරසියයකට වැඩි දේපළ, පල්ලි සහ රථ වාහන සංඛ්‍යාවක් විනාශ කර දමා ඇත.

 

digana 1

 

විමර්ශන මෙහෙය වු මානව හිමිකම් සභාපතිනිය

 

හය අවුරුද්දක් තිස්සේ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කිරිමට නොහැකි වීම සම්බන්ධයෙන් එම විමර්ශන මෙහෙයවු කොමිසමේ හිටපු සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම බීබීසි සිංහල වෙත කරුණු කියා සිටියාය.

 

‘බාහිර උපදේශකයෙක්ට දෙන්නත් තිබුණා අපිට මේක. නමුත් මේකේ තියෙන සංවේදි බව නිසා අපි එහෙම දුන්නෙත් නැහැ. ඔය ප්‍රශ්න මැද ඒක ලියාගෙන ඇවිල්ලා සංස්කරණය වුණා, එක පාරක් හෝ දෙපාරක්. නමුත් ඒකේ තිබුණා තවත් නොයෙකුත් තොරතුරු ආදිය බොහෝම නිවැරදි විදියට දක්වන්න. ඒවාගේ ඒකේ අවසාන නිගමන හා නිර්දේශ කොටස ලියාගෙන යනකොට තමයි 2019 බෝම්බ පිපිරීම සිදුවුණේ. එතකොට සම්පුර්ණයෙන්ම අපේ අවධානය ඒකට යොමු වුණා. අනිත් එක ඔය වගේ වාර්තාවක් ලියනකොට එක පාර සුමාන දෙක තුනකින් එලියට දාන්න බැහැ, මොකද ඔක්කොම කොමසාරිස්වරුන්ගේ අදහස් විමසන්න ඕනේ, හැම කෙටුම්පතක් පිළිබඳවම. බාහිරින් බලනකොට හිතන්න පුළුවන් ඇයි මේක නොහැකි වුණේ කියන එක. හැබැයි ඕක තමයි තිබුණ ප්‍රශ්නය.’

 

වාර්තාව ප්‍රසිද්ධ නොකිරිම කුමන්ත්‍රණයක් හෝ යට ගැසිමේ උවමනාවක් නොවූ බව ද හිටපු සභාපතිවරිය සඳහන් කළාය.

 

මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකිරිමෙන් මෙම ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරවා ගැනීමට බාධාවක් නොවේදැයි බීබීසි සිංහල යොමු කළ පැනයට, ‘ඔව්, ඒක වෙන්න පුලුවන්. ඒක මම පිළිගන්නවා.’ යැයි ආචාර්ය දීපිකා උඩගම විසින් පිළිතුරු ලබා දුන්නාය.

 

 

‘මේ අවුරුද්දේ ප්‍රසිද්ධ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ’

 

මුස්ලිම්වරුන් ඉලක්ක කර දියත් කළ දිගන ප්‍රචණ්ඩත්වය ගැන අවුරුදු හයකට පෙර කරන ලද විමර්ශනයේ වාර්තාව සම්පුර්ණ කර ඇති බව මෙන්ම එය මේ වසරේ දී අනිවාර්යෙන්ම ප්‍රසිද්ධියට පත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බීබීසි සිංහල වෙත කියා සිටියේය.

 

‘දැනට කොමිෂන් සභාව තීරණයක් අරන් තියෙනවා වාර්තාව ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා. හිටපු කොමසාරිස්වරු එක්ක සාකච්ඡා කරලා, ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ ගැන සාකච්ඡා කරලා, මේ අවුරුද්දේ ප්‍රසිද්ධ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.’ යැයි කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක පැවසීය.

 

‘මේ වාර්තාව නිකුත් කිරිම තුළින් වින්දිතයන්ට සත්‍ය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රතිලාභයක් තියෙනවා අනිවාර්යෙන්ම. ඒක නිසා තමයි අපිත් මේ අවුරුද්ද තුළ ඒක නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.’ යැයි කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය.

 

පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන්න හකීම්ගෙන් පොරොන්දුවක්

 

වාර්තා චිත්‍රපටය අවසානයේ පැවැත්වු සාකච්ඡා සභාවට සහභාගී වු මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් හය අවුරුද්දක් තිස්සේ ප්‍රසිද්ධියට පත් නොකළ මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන බවට පොරොන්දු විය.

 

‘පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක මං කරන්නම්. මොකද වාර්ෂිකව වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමේ අවශ්‍යතාවයක් තියනවා මානව හිමිකම් කොමිසමට. ඉතින් ඒ වාර්තාව ලබා දෙද්දී මේ පිළිබදව ප්‍රගතිය කුමක්ද කියන එක විමසීම, ඒක අපේ වගකීමක් හැටියට කරන්න පුළුවන්.’

 

ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතනවලට වුවද දේශපාලන බලපෑමෙන් තොර පුද්ගලයන් පත් කරගන්නා තුරු යුක්තිය ඉටුකරගැනීම දුෂ්කර කටයුත්තක් බව ද මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

චෝදනා එල්ල වු පොලිස් ලොක්කාට රජයේ ඉහළම තනතුරක්

 

මුස්ලිම් විරෝධි ප්‍රහාර මාලාව සම්බන්ධව එවක දී රජයේ ආරක්ෂක අංශ වෙත ද චෝදනා එල්ල වී තිබුණි.

 

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබු මහසෝන් බලකායේ අමිත් ජීවන් වීරසිංහ කලබල හටගත් දා රාත්‍රියේ දිගනට ගෙන්වා ගත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය බාරව සිටි ඉහළම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ බවට චූදිතයාගේ බිරිඳ මෙන්ම භික්ෂුන් වහන්සේ නමක් විසින් ඒ දිනවල දී චෝදනා කළේය.

 

‘නුවර DIG මහත්තයා තමයි අමිත් වීරසිංහ ඔයා මේ වෙලාවේ මෙතෙන්ට එන්න කියලා මේ ප්‍රශ්නෙට එයාව පටලැව්වේ,’ යි අමිත් වීරසිංහ බිරිඳ ජයංගනී සිතුම් කුමාරි එවක මාධ්‍යවේදීන් හමුවේ කියා තිබුණි.

 

මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන්ද තහවුරු කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැටුමට පුද්ගලයන් කැඳවූ බවයි.

 

එසේ චෝදනාවට ලක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ ප්‍රහාරයෙන් වසර දෙකකට පසුව ‘මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස’ ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස රජයේ ඉහළම තනතුරකට පත් කර තිබුණි.

 

වෛරය ඇවිස්සීම ගැන සමාව ගත් ෆේස්බුක්

 

මහනුවර ප්‍රදේශයේ මුස්ලිම්වරු ඉලක්ක කර දියත් කළ ප්‍රහාර මාලාවෙන් වසර දෙකකට පසුව ෆේස්බුක් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී වෛරය ඇවිස්සීමට දායක වීම ගැන ෆේස්බුක් සමාගම සමාව අයැදිනු ලැබීය.

 

‘අපගේ සමාජ මාධ්‍ය වේදිකාව අවභාවිතය සම්බන්ධයෙන් අපගේ බලවත් සංවේගය පළ කරනවා,’ 2020 මැයි 12 වැනිදා සිය වාර්තාව නිකුත් කරමින් ෆේස්බුක් සිටියේය.

 

දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම්, සමාජ ජාල තුළ මුස්ලිම් විරෝධී වෛරය අවුළුවමින් පැතිර ගිය අතර එය පාලනය කිරීම සදහා හදිසි නීතිය පැනවූ රජය ෆේස්බුක් සමාජ ජාලයට ඇතුළු වීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තේය.

 

BBC සිංහල

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...